
හාත්පස එක පැහැර නැගෙන වන දහනය. සයුරක් සේ පැතිරෙනා මේ වනඅරණ අතරින් පීත්තපටියක් සේ දිවෙන මග ගල්කුලම හන්දියේ සිට මිහින්තලා කඳු පාමුලින් ඇදෙන්නේය. කළුගල් අතුරා තාර දමා සකස් කර තිබුණ නමුත් හැටේ දශකයේ මුල් භාගය වන විටත් මේ මඟෙහි මෝටර් වාහනයක් ගියේ නම් කලාතුරකිනි. මඟදී හමුවන්නේ පා ගමනින් යනෙන අයය. නොඑසේ නම් බරකරත්තවල නැඟී හැල්මේ එන නඩය.
වන්දනාව අරමුණු කරගත් මේ මිනිස්සුන්ට මිහින්තලා වන්දනාව පහසු එකක් වූයේ නැත. ඉංග්‍රීසි ආණ්ඩුවේ යම් යම් මූලික මැදිහත්වීම් වලින්ද, සෙනරත් පරණවිතානයන් ඇතුළු පුරාවිද්‍යාඥයන්ගේ ශාස්ත්‍රීය සංරක්ෂණ ක්‍රියාවලියේ ඵලයක් ලෙසින්ද මිහින්තලා පුදබිම එළිපෙහෙළි වී තිබූ බව සැබෑය. එහෙත් ඒ ශාස්ත්‍රීය සංරක්ෂණ වන්දනාවේ එන බැතිමතුන්ගේ සිත් ආශ්චර්යයෙන් පිරවීමට සමත් නොවීය.
මිහින්තලා වන්දනාවට කොන්දේසි රැසකි. උදේ රැයින් යා යුතුය. දිවා කලදී කරනු ලබනා වන්දනාවෙන් අනතුරුව රෑ බෝ වන්නට පෙර යළි අනුරාධපුරයට පැමිණිය යුතුය. ඇඳිරි වැටෙන විටහාත්පස රැකවරණය පිළිබඳ සහතිකයක් නැත. මිහින්තලේ ගම් මණ්ඩියේ කටු මැටියෙන් තනා ඉලුක් මානා සෙවිලි කළ පැල්පත් බඳු ගෙවල් තිබුණේ හූවක දුරිනි. සැතපුම් ගණනක් පුරා පැතිර තිබුණු සියලු ගෙවල් ගණන විස්සක්වත් නැත. එවක මිහින්තලා හන්දිය වරිච්චි බිත්තියෙන්ම තැනූ දුගී තේ කඩ දෙකකින් හා සිල්ලර කඩ තුනකින් යුතු කුඩා කඩ මණ්ඩිය ගොම්මනේදී පාළුවට යන්නේය. ගමේ සිංහල උළු හෙවිලි කළ එකම ගොඩනැගිල්ල මිහින්තලේ මහ පන්සලය.
එවකට මිහින්තලා පන්සලේ නායක හාමුදුරුවන් වලවාහැංගුනවැවේ රතනජෝතිය හිමියෝය. උන්වහන්සේලාගේ දිවි පෙවතත් පහසු එකක් වූයේ නැත. පොසොන් කාලයේදී නම් ගහක් යට උයාගෙන කා රැය පහන් කරන වන්දනාකරුවෝ වෙති. ඔවුන් රැය පහන් කරන්නේ බිය මුසු තිගැස්මෙනි. දිවා කල වනදහන අතර උපශාන්තව දිස්වන මිහින්තලා පුදබිම රෑ අඳුරෙහි ගිලී නොපෙනී යයි. අනතුරුව ඒ බිම වග වලසුන්ගේ කෙළි බිමකි. සොර සතුරන්ගේ ලැගුම් පොළකි. පොසොන් වන්දනා සමයේ සමහර බැතිමත්හු එක්වී මිහින්තලා පව්වට යන මග පහන් ආලෝකයෙන් එළි කළත් රාත්‍රියේ මිහින්තලා පව්ව වඳින්නට යෑම කිසිවෙක් හිතන්නටවත් උත්සාහ නොකළහ. මිහින්තලා පුදබිම ශ්‍රද්ධාශීල බැතිමතුන්ගෙන් ගිලිහී ගිය ඒ ඉතිහාසය සිංහලයේ ඉතිහාසයමය.
අනුරාධපුර යුගය නිමා වන්නේ 10 සියවසේදී අනුරාධපුර යුගය හෙබවූ අවසන් රජ වන පස්වන මහින්දයන් ස්වකීය බිසව, සමග ගෙල ග්‍රහයෙන් ගෙන සිරකරුවන් ලෙස චෝල දේශයට රැගෙන ගොස් සිංහල රාජාවලියත් විකල් කළ බිහිසුණු ආක්‍රමණයෙන් අනතුරුවය. ඒ දීන පරාජයෙදී සිංහලයේ රජු හා අගබිසව සමග සිංහලයේ ඔටුන්න ඇතුළු පංඤ කකුධ භාණ්ඩ සොලීන් අතට පත්විය. මේ සතුරු ආක්‍රමණය සමග විදේශික ආක්‍රමණියන්ට විවෘත වන අනුරාධපුරය තවදුරටත් ආරක්ෂිත නුවරක් වූයේ නැත. එතැන් සිට දශක අටක් තුළ පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ හරහා පැමිණ මහනුවට විතැන්වන සිංහලයේ රාජකීය වංශකථාව නිමා වන්නේ අවසන් සිංහල රජ වූ ශ්‍රී වික්‍රමරාජසිංහයන් යටත් කොට සිරකරුවෙකු කර මුරුසියට යවා ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයට ඈඳා ගැනීමෙන් අනතුරුවය. ඒ අඳුරු සියවස් අට මිහින්තලා පුදබිම රජුන්ගෙන්ද පුරවැසියනගෙන්ද ගිලිහී වන දහන තුළ ගිලී ගියේය.
බලාපොරොත්තුව
යළිත් මිහින්තලාව එළි පෙහෙළි වන්නේ ඉංග්‍රීසී පාලන සමයේය. යළිත් මිහින්තලා පුදබිමේ සංඝාවාස බිහිවන්නේ 19 වන සියවසේය. පොසොන් සඳ පෑයූ බව සැබෑය. එහෙත් සිංහලය ප්‍රභාමත් කළ මිහින්තලා පුදබිම පුරා සියවස් නවයක් පැවතුණේ අඳුරේය.
එත් එක් විදුලි ආලෝක ධාරාවකින් ඒ අඳුර ඉතිහාසය වෙනස් විය. මිහින්තලාව අවට ජීවත්වූ මිනිසුන්ගේ ජීවිත වෙනස් විය. අපට හිතෙන්නේ ඒ කතාවට ඉතිහාසයේ හිමිවන තැන තවමත් ලැබී නැති බවය.
වර්ෂ 1963 පොසොන් පොහොය යෙදී තිබුණේ ජූනි මස හය වෙනිදාටය. පොසොන් පොහොය දින කේන්ද්‍ර කරගෙන මිහින්තලය පුදබිම විදුලි බුබුළෙන් එළිය කරන්නට කටයුතු සූදානම් කර ඇති බවට ආරංචියක් පැතිර ගියේය. ඒ ආරංචිය මිහින්තලාව අවට මිනිසුන් දැනගන්නේ රතනජෝති නායක හාමුදුරුවන්ගෙනි.
පොසොන් වන්දනාව අනුරාධපුරය පුරවාලන්නේය. සිවු දිගින් එන බැතිමත්හු අනුරාධපුරයේ ගස් ගල් යට රැය පහන් කරමින් ඒ අසිරිමත් වන්දනාවේ යෙදෙති. අනුරාධපුර පුරාණ නටබුන් නගරය යළිත් ජීවිතය ලබන වකවානුවේදී මිහින්තලාව විදුලි බුබුළින් සැරසීම අරුමය රට පුරා පැතිර ගියේය. ඒ සඳහා ඉදිරිපත්ව සිටියේ ලංකාවේ එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමය. එවකට එහි සභාපතිවරයා වූයේ රංජිත් විජයවර්ධනයන්ය. මිහින්තලාව ඒකාලෝක කිරීමේ සංකල්පය රංජිත් විජයවර්ධනයන්ගේය.
වෙසක් පොහොය නිමාවීමත් සමග මිහින්තලාව ආලෝකවත් කිරීමේ මංගල්‍යය සූදානම් කෙරිණි. ලේක්හවුස්හි කාර්මික අංශය හා නඩත්තු අංශ සේවකයෝ කඳු පාමුල කඳවුරුගත වූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා රාජ්‍ය අංශයේ අනුග්‍රහය ලැබිණි. විදුලි බුබුළු දැල්වෙන්නට විදුලිය නැත. විදුලිය ජනනය කරන්නේ කොළඹින් ගෙන්වන විදුලි ජනක යන්ත්‍රය. මිහින්තලේ ඇත්තන්ගේ වහරින් ලයිට් මෝල්ය.
මිහින්තලාවේ ගම්වාසීන්ට මේ අත්දැකීම විස්මය ජනක විය. ලයිට් මෝලකින් ආලෝකවත් වන තොරණක විදුලි බුබුළු දැල්වෙනු දුටු අය උන්හ. බොහෝ දෙනකුට් විදුලි බුබුළුක් පත්තුවනු උපන්තේකට දැක තිබුණේ නැත. ලොරිවල පටවාගෙන කොළඹින් ගෙනා ලයිට් මෝල් දකින්නට ගමේ ඇත්තන් පැමිණි ආකාරය මිහින්තලේ ජීවත්වූ ඇලඩින් අම්මා වරෙක දිණමිණ පුවත්පතට කියා තිබුණාය.
“පුතේ. ඔය කියන කාලෙ මට අවුරුදු තිහක් ඇති. අද වගේ මතකයි ඒ සිද්ධිය. ලයිට් දෙන්න අරන් ආපු ලයිට් මැෂින් බලන්න අපි දුවගෙන ආවා. ඒවා උස්සගෙන කඳු මුදුනට යන්න අපේ ගමේ ඈයො අතරෙ තිබුණෙ තරගයක්. මොකද මෙහෙම දෙයක් උපන් තේකට අපි හිතලා තිබුණෙ නෑ. මේ මූකලන් මැද්දෙ ලයිට් පත්තු කරනවා කියන එක ඒ කාලෙ පුදුමයක්. සමහර පෝය දවස්වල හවස් කාලෙට ගමේ ඇත්තො මිහින්ලා කන්දට නැග්ගා. ඒ හුළු අතු පත්තු කරගෙන. ගිහින් එනකම් විචිකිච්ඡාවක් තිබුණේ. පෝය දවසෙ හවස හය වෙනකොට ලයිට් දැම්මා. මයෙ පුතේ... එහෙම ලස්සනක්. මුළු මිහින්තලේම එළිය වෙලා. ඉහළට නගින පෙත්මග, මැද මළුව, චෛත්‍යය විදුලි බුබුළෙන් එළිය වෙලා. මිනිස්සු සාධුකාර දුන්නා. පැය ගානක් තිස්සේ සාධුකාර දුන්නා.” ඇය අතීත මතකය අවදි කර තිබුණේ එසේය.
ඒ වන විට මිහින්තලේ මහා සෑය අද පවතින සේ ප්‍රතිසංස්කරණය වී තිබුණේ නැත. සිවුවන මිහිඳු රජු කළ මිහින්තලා පුවරු ලිපියේ අම්බුලු දාගැබ ලෙස හඳුන්වා තිබුණු මහා සෑය ඉදි වන්නේ ක්‍රිස්තුවර්ෂ 7 සිට 19 තෙක් රජ කළ මහාදාඨික මහානාගා රජු විසිනිි. අනුරාධපුර යුගය නිමාවත් සමග සියවස් නවයක් තිස්සේ ගර්හිතව පැවති දාගැබේ මෑත කාලීන මුල්ම සංරක්ෂණය සිදුවන්නේ 1893 දීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වර්ෂ 1950 දී දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබිණි. වර්ෂ 1963 වන විටත් පැවතියේ ප්‍රතිසංස්කරණය වෙමින් පවතින පුරාණ දාගැබේ ගර්භ ගොඩැල්ලය. මේ ගොඩැල්ල විදුලි බුබුළෙන් සරසා තිබිණි.
මිහින්තලා ආලෝක සැණකෙළිය
මිහින්තලාව ආලෝකවත් වන ප්‍රවෘත්තියට තටු ලැබී තිබිණි. පොසොන් සඳ පායා තිබිණි. ඒ සඳරැස යට මිහින්තලාව බබළවමින් විදුලි ආලෝක එළි දැල්වන විසිතුර දකිනවුන් ආනන්දයට පත් කළේය. මේ අසිරිය දකින්නට මිහින්තලේට ගම් පිටින් පැමිණෙන්නට වූහ. කවරදාවත් නැති බැතිමත් පිරිසකගෙන් මිහින්තලාව දිවා රෑ නැතිව පිරී ගියේය. මේ පිරිස් පැමිණෙමින් සිටියේ සැණකෙළියක් දකින්නට එන අරුමයකිනි.
මේ අරුමය වාර්තා කරන්නට 1963 ජූනි මස 6 දා පොහොය දින දිණමිණ පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයක් සමග කුඩා ප්‍රවෘත්තියක් පළ කර තිබිණි.
“ මෙවර පොසොන් උත්සවයේ විශේෂත්වය වන්නේ ලංකාවේ එක්සත්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම මගින් මුළු මිහින්තලාවම විදුලි බුබුළින් ආලෝකවත් කිරීමය. 5 වැනිදා රාත්‍රියේ සිට මිහින්තලාව විදුලි බුබුළින් ආලෝකවත් විය. 6 සහ 7 දවස් දෙක තුළ මිහින්තලාවේ දී ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් ධර්මානුශාසනා පැවැත්වේ.”
ජූනි 7 වැනි දා දිණමිණ පුවත්පතේ මුල් පිටුවේ ඉතා කුඩා ඉඩක මෙසේ සඳහන් වී තිබිණි.
සඳ එළියත් විදුලි බුබුළුත් නිසා රාත්‍රී කාලයේ මිහින්තලා දර්ශනය කාගේත් සිත් ඇදගන්නා සුලුය. මේ රමණීය දර්ශනය නැරඹීමට මිහින්තලය කරා දහස් ගණන් සැදැහැවත්හු ඇදී එති. මිහින්තලය ආලෝකවත් කරන ලද්දේ ලේක්හවුස්හි සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම මගිනි.”
පොසොන් මස 05, 06 සහ 07 තෙදින තුළම විදුලි බුබුළු දැල්විණි. මහාසෑය, මිහිඳුගුහාව, ආරාධනාගල, නාගපොකුණ, කණ්ඨක චේතිය, කඳු මුදුනට දිවෙන පෙත්මග ආලෝකවත් විය. දිවා රෑ එක සීරුවට ධර්මානුශාසනා, භක්ති ගීත, පිරිත් සජ්ඣායනා, මිහිඳු ධාතු ප්‍රදර්ශන පැවැත්විණි. පොලොන්නරුවේ එගොඩපත්තුවේ වැදිගම්වල දස දහසකට අධික වැදි පිරිසක් පොසොන් පෝයට සිල් සමාදන් වූහ.මේ ආලෝක ධාරාව තෙදිනක් පුරා දැල්වී නිවී ගියා නොවේ. එය නව සංස්කෘතියක් ආරම්භ කළේය. සංවර්ධනයේ යථාර්ථය අතීත වැව්බැඳි රාජ්‍යයේ දුගී ගම්කොටුවලට රැගෙන ආවේය. සංවිධිත මිහිඳු උත්සවයක් පිළිබඳවූ ලේඛනගත මුල්ම වාර්තාව කිත්සිරිමෙවන් රජ සමය තෙක් දිව යයි. මහාවංශය වාර්තා කරන්නේ ඒ මනරම් උළෙල මිහින්තලය ආලෝකවත් කළ ආකාරයය.
අනුරාධපුර යුගය නිමාවත් සමග නිවී ගිය ඒ ආලෝක ධාරාව යළි දල්වනු ලැබුවේ ඒ අවධියේ ලංකාවේ දැවැන්තම පාඨක ප්‍රජාවක් සිටි ජනමත නිර්මාපකයා වූ ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ මූලිකත්වයෙනි. ඔවුන් ඒ සඳහා දරා තිබූ පිරිවැය එදා සමාජය විස්මයට පත් කළේය. එහෙත් යුගයක් වෙනස් කළ මේ මහා පුණ්‍යකර්මය පිළිබඳ ඡේද දෙකක ප්‍රවෘත්තියක් හැර තමන්ගේ ආයතනයේ තමන් විසින් ප්‍රකාශයට පත් කරන පුවත්පතවලවත් විශේෂ සඳහනක් නොවීය.
1963 ජූනි 02 සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේ කොනක මිහින්තලා මහා සෑයේ අඩක් නිමවූ ගර්භය ආලෝකවත් කරන ආකාරය සම්බන්ධව වින්සන්ට් වීරසේකර ගත් කුඩා ඡායාරූපයක් සමග එක් ඡේදයක ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. වර්ෂ 1963 පොසොන් මාසය පුරා පළ වූ සිළුමිණ පුවත්පත්වල කිසිම විශේෂාංගයකට මේ ආලෝක පූජාව නිමිති වී තිබුණේ නැත. යහපත් සතියෙන් කළ පුණ්‍යකර්මයකට වෙනත් අර්ථ තිබිය නොහැකි බව ඔවුන් පෙන්වා දී තිබිණි.
දශක පහකට පසු මේ සිදුවීම කියවන විට දැනෙන්නේ අපේ ආකල්ප සහ වටිනාකම් වෙනස් වී ඇති තරමය. සමාජයේ උතුංග සංකල්ප හා ගෞරවනීය පුරුෂාර්ථ පෙව්මන්ට්වල දමා විකුණමින් ඇති තරමය.