අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් අපේ ව්‍යාපාරිකයන්ට කියූ බණ | Page 3 | සිළුමිණ

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් අපේ ව්‍යාපාරිකයන්ට කියූ බණ

අද කාලයේ පෙර අපරදෙදිග ලෝකයේ එක සේ ජනප්‍රිය බෞද්ධ යතිවරුන් අතර අජාන් බ්‍රහ්මවංසෝ හිමියෝ ප්‍රමුඛයෙකි. කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධරයකු සේම කලක් ගුරු වෘත්තියේ නියැළුණු අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් බුදු දහම ගැන පැහැදී තම භික්ෂුවරයට අදාළ කමටහන් ලබන්නේ තායිලන්තයේ සුප්‍රසිද්ධ ථෙරවාද භික්ෂුවක වන අජාන් චා හිමියන්ගෙනි. බුදු දහමේ එන කරුණු තත්කාලීන ලෝකයට සරල ව බෙදන උන්වහන්සේ ලොව පුරා මුල් පෙළේ ව්‍යාපාරික වැඩමුළු සම්මන්ත්‍රණ ආදියෙහිද නොවරදින දේශකයකු බවට පත්ව ඇත්තේ බ්‍රහ්මවංසෝ හිමියන්ගේ කාලීන වූත් ආකර්ෂණීය වූත් දේශන රටාව නිසාය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට වැම කළ අවස්ථාවේදී බ්‍රහ්මවංසෝ හිමියෝ අරලිය ගහ මන්දිරයේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තිකයන් අමතා දේශනයක් කළේ ය. විශාල පිරිසක් හමුවේ උන්වහන්සේ විසින් කරන ලද දේශනයේ සාරාංශයක් මෙසේ පළවෙයි.

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වර්තමාන ලෝකයටත් එක සේ ගැළපෙනවා. විශේෂයෙන් මේ නවීන ලෝකයේ අප වෙත එන විවිධ ප්‍රශ්න හමුවේ විවිධ අභියෝග හමුවේ බුදු දහම තුළින් විශාල සහනයක් පිළිතුරක් ලබා ගන්න පුළුවන්. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලින් ව්‍යාපාරික ප්‍රජාවටත් වෘත්තිකයන්ටත් ඉතා වැදගත් කරුණු රැසක් ලබා ගත හැකියි. විශේෂයෙන් ඵලදායීතාව වැඩි කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම, දළ දේශීය නිෂ්පාදිතය මේ සියල්ල සැලකුවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලින් මෙම ඉලක්ක සපුරා ගන්න අපට බොහෝ දෙයක් ලැබිය හැකියි. ඒ වගේම අපේ ජීවිතයේ සෑම අවස්ථාවකටම මෙම ඉගැන්වීම් අදටත් ඉතා ප්‍රයෝජනවත්. මේ වනවිට ලෝකයේ බොහෝ ව්‍යාපාර නායකයින්, බ්ලුම්බර්ග් වැනි ව්‍යාපාර වෙබ් අඩවිවලට ලිපි සපයන්නන් ආයෝජකයන් රැසක් බුදුදහම අදහනවා. සිංගප්පූරුවේ සිටින වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරීනුත් මේ අතරේ ඉන්නවා. ඔවුන් මේ බුදුදහමේ ඉගැන්වීම්වලට අනුව තමන්ගේ ජීවිතය දෛනික රටාව සකස් කර ගැනීම තුළින් වඩාත් සාර්ථකත්වයට පත් වූ බව මා සමඟ පවසා තිබෙනවා.

අද ව්‍යාපාර ලෝකය වැඩි වශයෙන්ම කතා කරන්නේ ඵලදායීතාව වැඩි කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම ඒ හරහා තරගකාරීත්වය මතින් සාර්ථක ව්‍යාපාර ඇති කිරීම ගැන. එහිදී කොහොමද බුදු දහමේ ඉගැන්වීම් අදාළ වෙන්නේ? ව්‍යාපාර වෘත්තිකයන් නිතර පවසන කරුණක් තමයි වැඩ අධික වීම. මේ සමඟ මානසික ආතතිය සහ හෘදයාබාධ ගැනත් කතා කරනවා.

මෑතකදී මා සහභාගී වූ සමුළුවකදී මේ ගැන කතා වුණා. එහිදී මනෝ විද්‍යාඥවරියක් ඉතා විද්‍යාත්මක පදනමකින් යුතුව මේ කාර්යාල ජීවිතය මානසික පීඩනය සහ හෘදයාබාධ අතර සබඳතාව ගැන කළ පර්යේෂණයක තොරතුරු හෙළි කළා. ඇය කිව්වේ විශේෂයෙන් කළමනාකාර අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාර ඇයගේ අධ්‍යයනයට සහභාගී කරගෙන තිබුණා. ඇය මේ අතුරින් පිරිසක් ඉතා නිරෝගී ව සතුටින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත අධික වැඩ සමඟ මානසික පීඩනය සහ හෘදයාබාධ වැලඳගන්නන් සහ බොහෝම සතුටින් නිරෝගීව වෘත්තීය අභියෝගවලට මුහුණ දෙන්නන් දෙපිරිසක් සිටින බව කියවුණා. මොකක්ද වෙනස. අපි කාර්යබහුලත්වය, වැඩ අධික වීම තරගකාරීත්වය හමුවේ තැවෙනවා නම් ඔවුන් ලෙඩ වෙනවා. ඔවුන් තුළ අප්‍රසන්න හැඟීම් පහළ වෙනවා. නමුත් තවත් පිරිසක් ඉන්නවා ඔවුන් තමන්ට එන පීඩනය, තරලය අභියෝගයක් ලෙස බාර ගන්නවා. ඔවුන්ට මේ අභියෝගය ජය ගැනීම එක්තරා සතුටක්. කාර්යාලයේ කාර්ය බහුලතාව අභියෝගයක් ලෙස බාර ගන්නවා. ඔවුන්ට අර කිව්ව හෘදයාබාධ මානසික පීඩන නැහැ. රුධිරයේ කොලෙස්ටෙරෝල් නැහැ. මෙයට බලපාන්නේ අප තුළ ඇති ආකල්පයි. අප හොඳ ආකල්පයකින් අප වැඩ කරනවා නම් තැවීම් මානසික පීඩන අඩුයි. මොකද අප ජීවිතයේ සමහර වෙලාවට පවුලේ උදවියත් සමඟ සිටිනවාටත් වඩා වැඩි කාලයක් ගත කරන්නේ කාර්යාලයේ. මේ කාර්යාල ජීවිතය අප සතුටින් ගත කළ යුතුයි.

බොහෝ වෘත්තිකයන්ට පීඩනයක් එන තවත් අවස්ථාවක් තමයි තීරණ ගැනීම. විශේෂයෙන් ආයතන ප්‍රධානීන්ට, ව්‍යාපාර නායකයන්ට කළමනාකරුවන්ට මෙය බලපානවා. අප හැම විටෙකම තීරණ ගනිද්දී ඉතා සැනසීමකින් එම තීරණ ගත යුතුයි.එයින් අදහස් වන්නේ නැහැ, තීරණ ගැනීම නොබිය ව ගත යුතුයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස මටත් විශාල වගකීම් රැසක් තිබෙනවා. මගේ විමුක්තියට අදාළ කටයුතුවලට අමතරව ධර්ම දේශනා. දේශන වැඩසටහන් ආදියට මට සම්බන්ධ වෙන්නට සිදුවෙනවා. එය එක්තරා ආකාරයකට මානසික ආතතිය ගෙන දෙන්නක්. නමුත් අප මෙය පීඩනයක් ලෙස බාර ගත යුතු නැහැ. එය විඳිය යුතුයි.ඒ ඒ දේවල් ගැන අප හිතන ආකාරයෙනුයි සියල්ල වෙනස් වෙන්නේ.

මම මගේ අත්දැකීමක් මතක් කරන්නම්. ඒ මම භික්ෂුවරය ලද මුල් කාලයේ අත්දැකීමක්. මම මහණ වු‍ණේ තායිලන්තයේ සිටි අග්‍රගණ්‍ය හිමි නමක් වුණු අජාන් චා හිමියන් යටතේයි. උන්වහන්සේගේ ආශ්‍රමයක අපට භාවනා කටයුතු පුහුණු වෙන්න සිදුවුණා. මේ නැගෙනහිර තායිලන්තයේ වනගත පෙදෙසක්.

අජාන් චා හිමියන් මේ කාලයේ මෙම ආශ්‍රමයේ උපෝසථාගාරයක් ඉදිකරමින් සිටියා. එය පහත් බිමක් නිසා ගංවතුර අවදානමෙන් මිදීමට බිම් මට්ටමේ සිට මීටර කිහිපයක් උසිනුයි ගොඩනැගිල්ල ඉදිකෙරුණේ. මෙම ඉදිකිරීමට හාරපු විශාල පස් තොගයක් එතනින් ඉවත් කරන්න කියල අජාන් චා හිමියන් අපට උපදෙස් දන්නා. කනිෂ්ඨ භික්ෂූන් හැටියට මේ වැඩේ කරන්න සිදුවුණේ අපටයි. නායක හාමුදුරුවෝ අපට උපදෙස් දීල දවස් කිහිපයකට පිට පළාතකට වැඩම කළා. අපි දවස් තුනක් තිස්සේ ඉතා මහන්සි වෙලා මේ පස් කන්ද එතැනින් ඉවත් කළා. ඒ දවස්වල අප දානය වැලඳුවේ දවසකට එක වේලයි. ඒකත් පෝෂණීය දාන වේලක් නොවෙයි. උදෑසන පිණ්ඩපාතේ ගිහින් දානය වළඳලා නවයට විතර වැඩ පටන් ගෙන හැන්දෑවෙ අඳුරු වැටෙනකල්ම අපි වීල්බැරෝවලින් පස් ඇද්දා. දවල්ට ගිනි රස්නය. අනෙක් අතට මදුරුවෝ. මම වගේ බටහිර සීත රටක ඉපදුණු පුද්ගලයකුට මේ කටුක පරිසරය කොහොම ඇද්දැයි ඔබට හිතා ගන්න පුළුවන් නේද? මම හිතන්නේ ඒ කැළේ හිටිය මදුරුවෝ ගත්ත පළමු බටහිර කෑම මගේ ලේ වෙන්නැති. එහෙම දවස් තුනක් ඉතා වෙහෙස වෙලා අපි නාගෙන පිිරිසුදු වුණේ පහුවදා ඉඳන් භාවනා කරන්න. ඇඟට වගේම සිතටත් දැනුණේ ලොකු සැනසීමක්. ඒත් වැඩි වෙලාවක් ගියේ නැහැ, අජාන් චා හිමියන් වෙනුවට ඒ දිනවල ප්‍රධානත්වය ගෙන සිටි භික්ෂූන් වහන්සේ ඇවිත් අපට කිව්ව ඔය පස් ගොඩදාලා තියෙන තැන නෙවෙයි වෙන තැනකට අදින්න කියල. දැන් අපිට ආයෙත් තවත් දවස් තුනක් මේකට වැය කළ යුතුයි. වෙන කරන්න දෙයක් නෑ. තවත් දවස් තුනක් අපි ඒ දුෂ්කරතාව අත්වින්ඳා. ඒ දුෂ්කර දවස් තුන ගෙවී ගියා. අපි සතුටින් යළිත් අපේ භාවනානුයෝගි සැහැල්ලු ජීවිතය හත්වෙනි දවසේ ඉඳන් කරන්න සූදානමින් සිටියා. ඒ දවසේ යළිත් අජාන් චා හාමුදුරුවන් ආශ්‍රමයට වැඩියා.

ඇවිත් එක පාරටකම කිව්වේ මම කිව්ව තැන නො‍වෙයිනේ පස් ගොඩ දාලා තියෙන්නේ. මේ ටික ආපසු මම කිව්ව තැනටම අදින්න කියල. තවත් දවස් තුනක්. ලේසි වැඩක්ද? මගේ ඉවසීමේ සීමාව පැන්නා. භික්ෂුවක් වුණත් මට මේ වෙලාවේ තරහ ගියා. මම තායිලන්තෙට ආවේ පස් අදින්නද? මම ආවේ මහණ වෙලා බුදු දහම ඉගෙනගෙන භාවනා කරල ඒ අනුව වැඩ කරන්න. තවදුරටත් මම මේ දේ කරන්න ලෑස්ති නෑ. මට ආව ආවේගෙට මම මේ දේ කියවුණා කොහොමටත් එය පිටවු‍ණේ මගේ මව් භාෂාවෙන්. හොඳ වෙලාවට මේ ආශ්‍රමයේ හිටපු භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රිසි භාෂාව තේරෙන්නේ නෑ.ඒත් මගේඉරියව්වලින් ඔවුන්ට මා කිව් දේ වටහා ගන්න ඒ තරම් අමාරු වුණේ නෑ. තරහෙන් රතු වෙච්ච මුහුණත් මගේ හැසිරීම් රටාවත් එක්ක මගේ ආවේගයට හේතුව එක් භික්ෂූන් වහන්සේ නමක් මනාව තේරුම් ගත් බව වැටහුණා. මේ භික්ෂූන් වහන්සේ මා අසලට වැඩම කළා. ඇවිත් බොහොම ඉවසීමෙන් මට එක දෙයක් කිව්වා. විල්බැරෝ එක අත් දෙකෙන් උස්සන්න පහසුයි. ඒක තල්ලු කරන්න පහසුයි. ඒත් මේ ගැන හිතන එක තමයි අමාරුම. අපි කරන හැම දෙයක්ම කරනකොට ලේසියි. එහි අමාරුවක් වෙහෙසක් නැහැ. නමුත් එය වෙහෙසකරයි අමාරුයි කියල හිතුවොත් අමාරුම තමයි. ඒ මේ භික්ෂූන් වහන්සේගේ අවවාදයයි. මේ නිසා ඕනෑම දෙයක් ගැන සුබවාදී ව හිතන්න කියල උන්වහන්සේ පැහැදිලි කළා. ඇත්තටම මම මේ ගැන සිතුවා. උන් වහන්සේ කියපු කතාව ඇත්ත තමයි. අපි මුලින්ම මනසින් ඕනෑම දෙයකට සූදානම් විය යුතුයි. අපි යමක් ගැන නරක විදිහට දකිනවා නම් අසුබ ලෙස දකිනවා නම් එය අමාරු වෙනවා. මේ දේ අපි කරන රාජකාරියටත් ව්‍යාපාරයටත් පොදු වැඩට හැම දේකටම අදාළයි.

මෙලෙස සිතීම අමාරු වන තවත් අවස්ථාවක් තමයි තීරණ ගැනීමේ ක්‍රියාවලිය.

තවත් කොටසක් ලබන සතියේ

Comments