පාපන්දු උණුසුම මැද ශත සංවත්සරය සමරන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය | Page 2 | සිළුමිණ

පාපන්දු උණුසුම මැද ශත සංවත්සරය සමරන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය

දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනා නෙත් දල්වා බලා සිටි 2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් රුසියාවේ මොස්කව් නුවර ලුෂ්හ්නිකි (Luzhniki Stadium) ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. එහිදී මංගල තරගය ලෙස සත්කාරක රුසියාව හා සවුදි අරාබිය තරග වැදුණු අතර මංගල තරගයේ ජය ගෝල 5-0ක් ලෙස සත්කාරක රුසියාවට හිමි විය. මේ ජය 1934න් පසු ලෝක කුසලාන ආරම්භක තරගයක දී වාර්තා වූ විශාලම ජය විය. එසේ ආරම්භවූ 2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ප්‍රථම එය සංකේතවත් කරමින් ෆිෆා පාපන්දු ලෝක කුසලානය ලෝවටා සංචාරය කළ අතර, එය පසුගිය ජනවාරී 23 වැනිදා මෙරටට ද රැගෙන ආවේය.

මේ සමඟම මෙරට පාපන්දු ලෝලීන් අමන්දා නන්දයට පත්වනු අපි දුටුවෙමු. ඊට හේතු සාධක නැතුවාම නොවේ. ඇත්තෙන්ම මෙරට තුළද යටත් විජීත සමයේ ඇරඹි පාපන්දු ක්‍රීඩාව පිළිබඳව දිගු ඉතිහාසයක් තිබේ. මෙරට විධිමත් පාපන්දු කණ්ඩායමක් ලෙස සොන්ඩර්ස් පාපන්දු කණ්ඩායම බිහිවන්නේ වර්ෂ 1918දී ය. මෙම ක්‍රීඩා සමාජය බිහිවී මේ වසරට වසර සියයක් සම්පුර්ණ වීම විශේෂත්වයකි. සොන්ඩර්ස් පාපන්දු කණ්ඩායම ලංකාවේ අති දක්ෂ කීර්තිමත් ක්‍රීඩකයින් ගණනාවක් බිහි කළ ක්‍රීඩා සමාජයකි. මේ තරග උණුසුම මැද්දේ ඒ පිළිබඳව සැකෙවින් විමසා බැලීමට අපි සිතුවෙමු.

පිටකොටුවේ මාළු වෙළෙඳාමෙන් ජීවිකාව සරිකරගත් හරි අපූරු තරුණයෙක් සිටියේය. හේ නමින් දියෝනිස් අප්පුය. මොහුගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ පාපන්දු ක්‍රීඩාවය. හේ බෙහෙවින් ඊට ඇලුම් කළේය. මේ ඇල්ම නිසා ම ඔහු තරුණයන් සමඟ එකතු වී හවස් වරුවේ පාපන්දු ක්‍රීඩාවේ නිරත විය. මේ සඳහා ඔහු තෝරාගත්තේ කොළඹ කෙසෙල් වත්තය. දියෝනිස් දැල් රැකිමේ ශූරයකු වූ බැවින් ඔහු බොහෝ විට ක්‍රීඩා කළේ දැල් රකින්නා ලෙසය. ක්‍රීඩා කරන අතරවාරයේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යන්නේ කෙසේදැයි ඔහු නිරතර කල්පනා කළේය. මිතුරන් හා සාකච්ඡා කළේය. ඒ වන විටත් පාපන්දු කණ්ඩායම් තුනක් කෙසෙල් වත්ත ආශ්‍රය කරගෙන බිහිවී තිබිණි. දියෝනිස් අප්පු හරි අපූරු යෝජනාවක් කළේ මේ අතරය.

"කණ්ඩායම් තුනක් විදියට අපි ඇයි මේ වෙන වෙනම සෙල්ලම් කරන්නේ. එහෙම නැතිව අපි හැමෝම එකතුවෙලා එක කණ්ඩායමක් විදියට ක්‍රීඩා කළොත් නරකද? එතකොට ශක්තිමත් හා අභියෝගාත්මක කණ්ඩායමක් විදියට අපට ඉදිරියට යන්න පුළුවන්." දියොනිස්ගේ ප්‍රශ්න කිරීම යථාර්ථවත් බව පිළිගත් සෙසු සාමාජිකයෝ එය ක්‍රියාවට නැංවීමට හොඳ යෝජනාවක් බව සහතික කළෝය. ඒ අනුව එක කණ්ඩායමක් යටතේ කටයුතු කිරීම සියලු දෙනා ඒකමතිකව තීරණය කළේය. එහෙත් මේ නව පාපන්දු කණ්ඩායමට නමක් නොතිබිණි. මෙකල කොළඹ නගර සභාවේ බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෙක් වාසය කළේය.

ඔහු නමින් 'සෝන්ඩර්ස්ය'. ඔහු ඉතා ප්‍රියමනාප පුද්ගලයකු වූ අතර, සෑමදෙනා සමඟ සුහදව කාලය ගත කළේය. බ්‍රිතාන්‍ය යටත් වැසියන් වූ හෙයින් කණ්ඩායමට ඉංග්‍රීසි නමක් තිබීම පිළිගැනීමටත් හේතුවක් වන බව සිතූ තරුණයෝ මේ සමාජශීලී සුද්දාගේ නම ඊට උචිතයැයි යෝජනා කළෝය. අවසානයේ සියලු දෙනාගේ එකඟත්වයෙන් 'සෝන්ඩර්ස් ' යන නමින් පාපන්දු ක්‍රීඩා සමාජය කළ එළිබැස්සේය. ආරම්භයේ පටන් සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළේය. කාලය ගෙවී යත්ම සොන්ඩර්ස් කණ්ඩායමට කිසියම් අභියෝගාත්මක පාපන්දු කණ්ඩායමක් කොළඹ කොම්පඤ්ඤවීදිය කේන්ද්‍ර කරගෙන බිහි විය. ඒ වික්ටරි පාපන්දු කණ්ඩායමයි. මේ අනුව සෝන්ඩර්ස් කෙසෙල් වත්තෙන් බිහිවන විට වික්ටරි කොම්පඤ්ඤ වීදියෙන් කලඑළිබැස තිබිණි. මේ අතර රත්නම් හා රිනවුන් කොටහේනෙන් හා ජාවාලේන් නැවතත් කොම්පඤ්ඤවීදිය ආශ්‍රය කරගෙන බිහිවිය.

මෙම පාපන්දු ක්‍රීඩකයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් ක්‍රීඩා කළේ කිසිදු වෙනත් ලාබ සත්කාර අපේක්ෂාවකින් නොවීමය. මොවුන් බොහෝ දෙනා පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වූයේ ඊට තිබුණු උණ නිසා මිස වෙනත් පරමාර්ථයකින් නොවේ. එය මා පසක් කර ගත්තේ මගේ පාපන්දු ගුරුවරයාගෙනි. ක්‍රීඩාවේදී ඇති වූ අත්වැරදීමක් හේතුවෙන් අපට ඔහු උපදෙස් දුන්නේ "පුතා පාපන්දු ක්‍රීඩාව කියන්නේ උනක් ඒක හැදුණාම ලේසියෙන් හොඳ වෙන්නෙ නැහැ. කකුල් කඩාගෙන අතපය තුවාල කරගෙන සෙල්ලම් කරලා අපි මේ තත්ත්වයට ආවේ. තාමත් ඒ උණ තියෙනවා. ඒකයි අද මම මෙතැන ඉන්නේ. ඔගොල්ලො ෆුට් බෝල් ගහනව නම් ඒ උණ හදාගන්න. නැත්තම් සෙල්ලම් කරල වැඩක් නැහැ." මෙය 60/70/80 දශක මුල්කරගෙන බිහිවූ සමාජයන් හී විශේෂත්වයක් ලෙස දැකිය හැකිය.

ඒ කිසියම් දෙයක් පිළිබඳව අභියෝගාත්මකව කල්පනා කර ඒ වෙනුවෙන් අපේක්ෂාවක් ඇතිව කටයුතු කිරීමය.ඒ වෙනුවෙන් කැප වීම හා අදාළ ඉලක්කය සපුරා ගැනීම මෙහි මූලික ගතිකයකි. අන් සෑම ක්ෂේත්‍රයක මෙන්ම මෙරට රාජ්‍ය ක්ෂේත්‍රයෙහි ද ස්වර්ණමය යුගය මේ විය. අපි ක්‍රමයෙන් අපේක්ෂාභංගත්වයට ගොදුරු වීමට හේතු වූයේ කවර හේතූන් නිසාද යන්න වෙනමම සාකච්ඡා කළ යුතු ය.

සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම සඳහා සුමතිපාල මුදලාලි, කාපිරි මුඩුක්කුවේ විලි අයියා, කෙසෙල්වත්තේ මාටින් සිංඤෝ හා රිචඩ් ආදී වූ සුළු වෙළෙන්දෝ කිහිප දෙනකු නන් අයුරින් උපකාර කළෝය. මේ සියලු දෙනාම සෝන්ඩර්ස් කණ්ඩායම ගොඩනැගීමට තමන්ට හැකි පමණින් දායක වූවෝය.

කෙසෙල් වත්තට මේ ආකාරයට ආධාර අනුබල ලැබෙන විට වික්ටර් කණ්ඩායමට ද ජවය ශක්තිය දෙමින් සුළුපරිමාණ ව්‍යාපාරිකයෝ පෙළගැසුණාහ. මෙහිදී සිහිපත් කළ යුතුම වූ කෙනකු වූයේ නම් ඒ කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයකු වූ සෙයිනුල් ආබ්දීන්ය. ඔහු වික්ටර් කණ්ඩායම වෙනුවෙන් කැපවූ අයෙකි. පසු කාලීනව ‍ඔහු වික්ටරි කණ්ඩායමේ කළමනාකාරවරයා බවට පත් විය. කොළඹ කේන්ද්‍ර කරගෙන බිහි වූ මෙම පාපන්දු කණ්ඩායම් අතර සෝන්ඩස් කණ්ඩායමේ දක්ෂතාව කැපී පෙනිණි. මේ නිසා මීට ඇතුළු වීමට පාපන්දු ලෝලී කොලුගැටව් අභ්‍යාස කරමින් සිටි­ෙය්ය.

මේ අය අතර මරදාන සංඝරාජ විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාවට උපන් හපන්කම් දැක් වූ වයස අවුරුදු 17ක කොලු ගැටයෙක් යුහුසුලු විය. ඔහු වර්ෂ1957 අගදී පමණ සෝන්ඩර්ස් පිලට එකතු විය. හේ මෙම කණ්ඩායමේ නියමුවා වේ යැයි කිසිවකු සිතුවේ නැත. එහෙත් ඔහු සිය දක්ෂතා මතින් දිග්විජය කරද්දී ඔහු හැර වෙනත් සුදුස්සකු සොන්ඩර්ස් පිලේ සිටියේ නැත. නැති නම් ඊට තරග කිරීමට පවා ප්‍රතිවාදියකු සිටියේ නැත. වීරයා ඔහුම විය. හේ ලංකාවේ 'ෆුට් බෝල් සිරා' මිස වෙන කෙනෙක් නොවේ. නමින් පී.ඩී සිරිසේන වූ මේ කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයා පසුව ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා බවට පත් වූ අතර, අනතුරුව එහි පුහුණු කරුවා බවටද පත් විය.

ඊටත් අපූරු කතාව වන්නේ මේ පාපන්දු ක්‍රීඩකයාගේ බාප්පා අප මීට ප්‍රථම හඳුනාගත් සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායමේ නිර්මාතෘ දියෝනිස් අප්පුය වීමය. සිය බප්පාගේ අඩිපාරේ පැමිණි සිරා ‍පසු කාලීනව 'ෆුට් බෝල් සිරා' ලෙස ජනතා විරුදය ලැබුවේ මේ අයුරිනි.

ලංකාවේ හතර දිග්බාගයේ ඕනෑම පාපන්දු කුසලානයක් එක් වරක් හෝ දිනා ගත් සුපිරිතම පාපන්දු කණ්ඩායම ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම වාර්තා පොතට එක්වන්නේ සිරාගේ දක්ෂතාවය නිසාමය. වර්ෂ 1960 දී පැවති එෆ්.ඒ තරගාවලියේ සොන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළ සිරා අවසන් මහා තරගයේදී ගෝල 06ක් ලබාගනිමින් වාර්තා පොත අලුත් කළේය. ඔහු එම තරගාවලිය පුරා රැස් කළ සමස්ත ගෝල සංඛ්‍යාව 24 ක් විය. මෙය ලංකාවේ පාපන්දු ක්‍රීඩකයකු තබා ඇති හොඳම වාර්තා ද්විත්වයයි. අදත් එය අබිබවා යාමට හෝ සමකිරීමට හෝ කෙනකු සමත් වී නොමැත.

නමුත් අද එවැනි අපේක්ෂා සහිත ක්‍රීඩා තරු මෙරටට අහිමි වී ගොසිනි. සිරාට වඩා කෙනෙකු බිහි වීම ප්‍රශ්නාර්ථයක් වීමෙන් පෙන්නුම් කරන්නේ එයයි. නැති නම් අද සිරා සිහිනෙන්වත් නොසිතු ක්‍රීඩා උපාංග වත්මන් ක්‍රීඩකයින් සතුව ඇත. අවස්ථාව ඇත. එහෙත් ඔවුහු ඉදිරියට නොඑති. කුමක් හෝ දෙයක් මේ තුළ තිබේ. කාලයක් සෝන්ඩර්ස් කණ්ඩායම විවිධ හේතුන් නිසා පසුබා සිටියේය. එම අඳුරු යුගය නිමා කරමින් ඊට යළි ආලෝකය ලැබුණේ සිරා නැවත එහි පුහුණුකරුවා බවට පත් වීමත් සමඟය. ඉතා වැර වෑයමින් දිවා රෑ නොබලා පුහුණු සැසි පවත්වා දක්ෂතාවෙන් අනූන ක්‍රීඩකයන් ඔහු සොයාගත්තේය.

මේ කාලයේ දක්ෂතා දක්වමින් ඉදිරියට එන ක්‍රීඩකයන් මුදලට බිලිබා ගැනීමට බලා සිටින කණ්ඩායම් කොළඹ අවට පමණක් නොව කොළඹින් පිටතද හිස ඔසවමින් සිටියේය. එනමුත් සිරාගේ යුගයේ මුදලට තරග පාවාදුන් කතාවක් අප අසා තිබුණේ නැත.

පසු කාලීනව පාපන්දුවටත් වඩා ක්‍රීඩා සමාජක බලපත්‍රයත් මෙවැනි කණ්ඩායමක නාමයෙන් හිමි කර ගැනීම අමතර ලාභයක් විය. මේ නිසා අලුත් සල්ලිකාරයන් පාපන්දු ක්‍රීඩාව කළු ව්‍යාපාරයක් බවට පත් කරමින් තිබිණ. මේ නිසා ක්‍රීඩකයන් කණ්ඩායම්වල රඳවා තබාගැනීම ගැටලුකාරී විය. කුමන අභියෝගයක් එල්ල වුවද සිරා සොන්ඩර්ස් කණ්ඩායම අත් නොහැරීයේය හේ හැකි උපරිමයෙන් සිය වගකීම ඉටු කළේය. එනිසා ඔහුට ආදරය කළ විවිධ පුද්ගලයින්ගෙන් උදවු උපකාර හිමි විය. මෙනිසා ගහට පොත්තමෙන් සෝන්ඩර් හා පී.ඩී සිරිසේනගේ නාමය එකට බැඳී තිබිණි. සිරා ලංකා බැංකු කණ්ඩායම නියෝජනය කළ අතර, ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වශයෙන් කටයුතු කළේය. ඔහු පුහුණු කළ කණ්ඩායම් අතර වේල්සයේ ස්වොන්සි, මාලදිවයිනේ නිව් රේඩියන්ට් වැනි කණ්ඩායම් ද සිටියේය. අනතුරුව ඔහු මාලදිවයිනේ සහ ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කළේය.

එසේම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උපදේශක සහ තාක්ෂණික අධ්‍යක්ෂවරයකු වශයෙන්ද ක්‍රියා කළ අතර, ඔහු මෙරට පාපන්දු ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ජාතික මට්ටමින් අවස්ථා දෙකකදී උපහාර ලැබීය. ඒ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මාලිගාවත්ත නාගරික ක්‍රීඩා පිටිය පී. ඩී. සිරිසේන මහතා නමින් නම් කිරීමය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ලෝක පාපන්දු සම්මේලන සභාපති වූ සෙප් බ්ලැටර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විශේෂ සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීම අනෙක් කාරණාවය. මේ සියල්ල සොන්ඩර්ස් පාපන්දු කණ්ඩායමත් ඔහුත් අතර පැවති අවියෝජනීය සම්බන්ධයේ ප්‍රතිඵලයකි. සෝන්ඩර්ස් ක්‍රීඩකයන් කෙතරම් දක්ෂතා අතර සිටියේද යත් ජාතික පාපන්දු කණ්ඩායමට ඔවුන්ගෙන් 7-8 දෙනකු නැතුවම බැරි විය.

එකල නිශ්චිත ජාතික පාපන්දු කණ්ඩායමක් අපට නොවීය. විවිධ කණ්ඩායම්වල දක්ෂ ක්‍රීඩකයන් එකතු කර එවැනි අවස්ථාවලදී ඉදිරිපත් කළ අතර, ඔවුහු ඉන්දියාව බංගලාදේශය වැනි රටවලට ගොස් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියෝය. මේ අතරතුර සිවුකොන් තරගාවලියකට බුරුමය, ඉන්දියාව, පාකිස්ථානය, හා ශ්‍රී ලංකාව 1953දී මුහුණ දුන්නේය. එහිදී ප්‍රථමවතාවට ජාතික පාපන්දු කණ්ඩායමක් ලෙස ඊට සහභාගිවීමට මෙම ක්‍රීඩකයින්ට හැකි විය.

ශ්‍රී ලංකාවේ පළමු පාපන්දු ජාතික කණ්ඩායම ලෙස ඉතිහාස පොතට එක්වන්නේ මෙම කණ්ඩායමයි. එහි දී සොන්ඩර්ස් පිල නියෝජනය කරමින් විමලසූරිය, කුරුකුලසූරිය, ෙප්‍ර්මදාස, මෙත්තානන්ද, රන්බණ්ඩා, විල්සන් ආදීහු දායක වූහ. ඔවුන් සිය උපරිම දායකත්වය ලබා දුන් අතර, දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාද සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ පාපන්දු ක්‍රීඩකයෙක් විය. සිරා සහ සෝන්ඩර්ස් යනු ගහට පොත්ත මෙන් පෑහුණකි.

ආසියාවේ පැරැණිතම ක්‍රීඩා සමාජය ලෙස සැලකෙන සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩාමේ ශත සංවත්සර උත්සවය මෙම වසරේ අගෝස්තුවේ පැවැත්වීම සිරාගේ ලොකුම සිහිනයක් වී තිබිණි. එහෙත් ඊට ප්‍රථම ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 18 වැනිදා සදහටම දෙනෙත් පියාගත්තේය.

මිය යෑමට ප්‍රථම තම සිතේ හටගත් ආශාව ඔහු බිරිය ශ්‍රීයාට කීවේය. "මේ උත්සවය (සියවෙනි සංවත්සරය) උත්සවාකාරයෙන් සමරන්න ඕනෑ. එදාට ඒ පිට්ටනිය මැද්දෙම මට මැරෙන්න තිබුණොත් ඒ හොඳටම ඇති" හේ අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයකුය. වඩාත් ප්‍රතිඵලදායක පුහුණුකරුවෙකි.

මේ සේරටම වැඩියෙන් නාගරික පීඩිත ජන සමාජයේ ඉපිද හිණිපෙත්තටම නැගි මානව හිතවාදී ක්‍රීඩකයෙකි. ඔහු ඒ වෙනුවෙන් සිය ජීවිතයේ විශාල කාලයක් අඛණ්ඩව කැප කළේය. ඒ තම අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීම උදෙසාය. එළඹෙන ශත සංවත්සරය අබිමුවෙහි සෝන්ඩර්ස් කණ්ඩායමට පමණක් නොව අපටද අපේ අපේක්ෂා ගැන නැවත සිතා බලන්නට කාලය එළඹ තිබේ. වැටී තිබෙන අගාධයෙන් ර‍ට ගොඩගැනීමට කටයුතු කරන මේ මොහොතේ සිරා වැනි අප්‍රතිහත ධෛර්යයෙන් යුතු සිරා මිනිසුන් වඩ වඩා මේ රටට අවශ්‍යව තිබේ. එහෙත් පුහු ජාතිවාදී විපත් මඟවල්වල නොවැටී ඔවුන් කවුරුන්ද යන්න නිවැරදිව හඳුනා ගැනීම අපේ යුතු කමකි.

Comments