කුකුළෙකු අතින් ගෙන යාපනය කලඹන යක්ෂයා | Page 2 | සිළුමිණ

කුකුළෙකු අතින් ගෙන යාපනය කලඹන යක්ෂයා

යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක් අමනුෂ්‍ය බියකින් පෙළෙමින්ය. භූත බිය නැතිවුණා පමණය. මෙවර ඔවුන් පෙළන්නේ යක්ෂ බියක්ය.

දුටුවන් කියන ආකාරයට යකාගේ එක අතක ලේ වැගිරෙනා කුකුළෙක්ය. උසට උසය. මුහුණ ඇපැහැදිලිය. සුදු රෙද්දක් පොරවාගෙනය. අනෙක් අතේද ලේ තැවරී ඇත්තේය. යකා එළි බහින්නේ පාන්දර එකට පමණ බව කියැවුණේය. භූත උවදුර පැවති සමයේදී මෙන් රාත්‍රී කාලයට කවුරු කතා කළත් දොරවල් නොරින තත්වයට මිනිස්සු පත්වී ඇත්තේය. ඔවුන් රෑ පානේ කළ ගමන් බිමන්ද දැන් සීමා කරය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා තමන්ට නාගයෙකුගේ උපකාරයක් ඇති බව කීවේ යාපනයේ කෝවිලක පැවති වාර්ෂික මංගල්‍යයකට සහභාගි වෙමිනි. ඔහු කීවේ නාගයා හා තමා අතර ඇති බැඳීම අවුරුදු ගණනාවක් මුළුල්ලේ පැවති එකක් බවය. ඔහුගේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවල එම නාගයා තමන්ට පිහිට වූ බව ඔහු කීවේය. ඔහු නොකියා කීවේ උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය හිමි වීමේදී පවා මේ නාගයා තමන්ට උදව් කළ බවය. මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස, ප්‍රභූ දේශපාලනයෙක් ලෙස ලත් දැනුමේ අවලෝකනයත්, විචාර බුද්ධියත් සහිත විග්නේෂ්වරන් ඇමතිවරයාත් තමා ඉදිරියේ පෙනී සිටිනා අද්භූද නාගයෙක් ගැන කියද්දී යාපනයේ සාමාන්‍ය මිනිස්සුන්ට යක්කු පෙනීම අරුමයක් නොවේ

යාපනයේ එක් තැනක යක්ෂයෙකු සිටි බවට මුලින්ම තොරතුරු රැගෙන යාපනයේ වෙළද පොළට හිමිදිරියේම පැමිණ ඇත්තේ යාපනයේ මනිපායි ප්‍රද්ශයේ පදිංචි සින්නයියා කීර්තරන් විසිනි.

''ඒක නෙමෙයි බං මම ඊයේ රෑ ගෙදරට එනකොට මහපාර අයිනේ සුදු ඇඳුමක් පොරව ගත්ත කෙනෙක් හිටියානේ.....අතේ මොකක්ද කළුපාට පාර්සලයක් තිබ්බා... මම කවුද කියලා අහනකොට මොනවත් කිවුවේ නෑ... එක පාරටම නොපෙනී ගියා.. උඹලා කිව්වට විශ්වාස කරන නෑ... ඌ නම් යකෙක් වගේම තමයි..''

කතාව අසාගෙන සිටි වෙළද පොලේ යාළුවෝ සින්නයියාට විහිළු කරමින් අවවාද කළහ. ඔවුන් කියා තිබුණේ මේ කතාව දිගටම පැතිරී ගියහොත් භූත බියේදී සිදුවූවාක් මෙන් මේ වෙළෙඳපළත් පාළුවට ගොස් ඔවුන්ගේ ජීවන වෘත්තියත් නැතිවිය හැකි බවය. තව දුරටත් යකාගේ කතාව නොකියන්නට සින්නයියා තීන්දු කළේය. එහෙත් දින හතරක්වත් ගත වූයේ නැත. එළවළු මිලට ගැනීමට පැමිණි අයෙක් එළවළු මිලදී ගන්නා අතරතුර වෙළෙන්දන්ට අලුත්ම ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළේය.

''දන්නවද වැඩක්. යාපනයේ කොලුම්පුතුරේ ගමට ඊයේ රෑ යකෙක් ඇවිත් කියලා මිනිස්සු බය වෙලානේ... උගෙ එක අතක කළුපාට කුකුළෙක් ඉන්නවලු... ඒ කුකුළා ලේ පෙරාගෙන හිටියට යකා කුකුළව තුරුල් කරගෙන තමයිලු ගියේ. අනිත් අතෙත් ලේ තියනවලු... මුළු ඇඟේම සුදු රෙද්දක් පොරවගෙනලු යකා හිටියේ.''

වෙළෙන්දෝ නිහඬව අසා උන්හ. ඔවුන් අතර යළි සංවාදය ඇතිවුණේ එළවළු ගනුදෙනුව අවසන් වී ගැනුම් කරුවා යතුරු පැදියේ නැගී යාමත් සමගිනි.

''ඕකනේ මම කිවුවේ... කොහෙද උඹලට මම කියන එව්වා විශ්වාස නෑනේ... දැන් මොකද කියන්නේ. මම දැක්කෙත් ඕකම තමයි... මම කිවුවේ අතේ තිබුණේ කළුපාට පාර්සලයක් කියලා. එහෙනම් උගෙ අතේ ඉඳලා තියෙන්නේ කළුපාට කුකුළෙක් තමයි.” සින්නයියා කීවේය.

නොබෝ දිනකින් යාපනය පුරාවට යක්ෂයාගේ කතාව ප්‍රචාරය විණි. උතුරේ දෙමළ වෙබ් අඩවි කීපයකම මේ ප්‍රවෘත්තිය පළවිය. ඒ සමගම යාපනයේ සෞඛ්‍යය බලධාරීහු වෙබ් කතුවරුන්ගේ කරට ගොඩ වූහ.

''පහුගිය වතාවෙත් ඔයාලම තමයි භූතයෝ ඉන්නවා කියලා මුළු යාපනේම බය කෙරුවේ. යාපනේ මිනිස්සු මැරුණෙත් ඉන්ෆ්ලුවන්සා උණ හැදිලයි. දැන් ගාල්ල පැත්තෙත් ලෙඩ්ඩු මැරෙන්නේ ඒ උණෙන්ම තමයි. එහෙම නැතුව භූතයෝ ගහලා නෙමෙයි. ඒක හින්දා අනේ කරුණාකරලා ඔය වැඩේ නවත්තන්න. ආයෙ යාපනේ යක්කු ඉන්න්වා කියලා ලියන්න එපා''

යාපනයේ සෞඛ්‍යය බලධාරීන් වෙබ් කතුවරුන්ගෙන් කළ ඉල්ලීමද ඇතැම් වෙබ් වල පල වුවත් “යාපනයේ යක්ෂයෙක් නෑ.. ඒක බොරු කතාවක් ”යනුවෙන් කිසිදු වෙබ් පිටුවක සඳහන් නොවුණි.

ඊට හේතුව වූයේ පසුගිය කාලවකවානුවේදී සෞඛ්‍යය බලධාරීන්ගේ අදහස් වලට අනුව “යාපනයේ නොව ලෝකයේ කිසිම ස්ථානයක භුතයෝ නැත” යනුවෙන් පළකොට දින දෙකකට පසුව යාපනයේ තවත් දෙදෙනෙකුම මිය යාමත් සමගම ජනතාව වෙබ් කතුවරුන්ට එරෙහිව නැගී සිටීමය.

ඔවුන් පසු දින සේවයට පැමිණෙන විට පුද්ගලයන් කීප දෙනෙකුම ඔවුන් හමුවීමට පැමිණ සිටියේය.

ඒ නිකම්ම නොව යාපනයේ යක්ෂයාගේ ඡායාරූප දෙකක්ද රැගෙනය.

''ඔන්න ඊයේ යකාගේ පින්තූර කැමරා වල වැදිලා තිබුණා'' යනුවෙන් පවසමින් යාපනයේ ගරාජ් හිමියෙකු මුල්ම වරට යාපනයේ යකාගේ ඡායාරූප ඉදිරිපත් කළේය. අලුයම එකහමාරට පමණ අද්භූත ශබ්දයක් ගරාජය දෙසින් ඇසුණු බවත් පසුදින උදෑසන ගරාජයට යන විට එහි වෙනසක් තිබූ නිසා සී.සී.ටී.වී කැමරාව පරීක්ෂා කොට බලන විට යකාගේ මේ පින්තූර ඡායාත්මක වශයෙන් තිබූ බව ඔහු පවසා තිබුණේය.

යක්ෂයන් හෝ භූතයින් ඡායා රූප වලට හසුනොවන තරමේ ක්ෂුද්‍ර ශරීර ඇත්තෝයි කියති. එහෙත් යාපනයේ යකා වෙනස්ය. යකාගේ ඡායාරූප සී.සී.ටී.වී දර්ශනවලත් සටහන්ව ඇත්තේය. ගරාජ් හිමියාට ලැබුණ යාපනයේ යකාගේ ඡායාරූප යාපනයේ පලවන වෙබ් අඩවි වලත් ප්‍රධාන පුවත්පත් වලත් මුල් පුවත වශයෙන් පළවුණි.

ඒ සමගම යකා කලින් දුටු යාපනයේ වැසියෝ '' මේ යකාම තමයි මමත් දැක්කේ''.....යනුවෙන් පවසමින් යකාගේ කතාව සහතික කළහ.

දැන් යාපනයේදී යකා දුටු පිරිස යකා ගැන කතාවය. එහෙත් යකා ගැන කිසිම පැමිණිල්ලක් යාපනයේ කිසිම පොලිසීයකට ලැබී නැත. ඒ නිසා පොලීසිය මේ ගැන සොයන්නට වෙහෙසී නැත. හේතුව මේ යකා තවම යාපනයේ කිසිම කෙනෙකුට කිසිම අනතුරක් කර නොතිබීමය. හිතා මතා මිනිසුන්ව බය කර නොතිබීමය. අනෙක යකා ගැන සොයනවාට වඩා වැඩි බරකින් යාපනයේ අවි කරුවන් සෙවීමට පොලීසියට සිදුවී ඇත්තේය. ඒ අතින් බලන විට යාපනයේ සිටින අවිගත් මිනිස් යක්කුන්ට වඩා මේ යකා හොඳය. කීකරුය.

යාපනයේ සෞඛ්‍යය බලධාරීන්ගේ මතයට අනුව ලෝකයේ යක්කු නොමැත. මේ රඟපෑම කරන්නේ වෙස් වළාගත් මනුස්සයෙකු නම් ඉතා ඉක්මනින්ම යාපනයේ කවරෙකුට හෝ මාට්ටු වී බඩකට පිරෙන්න්ට ගුටි කා හන්දියක් අසල සිටිනු දැකිය හැකි වනු ඇත. මේ යක්ෂ කතාව පසුපස ඇති රංගනය කුමක්දැයි හෙළිවනතුරු මිනිසුන්ගේ බිය පහව යන්නේ නැත. ඔවුන් සුපුරුදු ලෙස රෑ පානේ ගමන් බිමන් යන්නේත් නැත. රාත්‍රියේ මරණාසන්නව අයෙක් කතා කළත් ගෙදර දොර හරින්නේත් නැත. කරන්නට දෙයක් නැත. අපට සිදුවන්නේ යාපනයේ යකාගේ තතු හෙළිවන තුරු ඉවසීමෙන් බලාගෙන ඉන්නටය.

Comments