
මෙරට ගම් දනව් පුරවර සියල්ල සැලකූ කළ අඛණ්ඩව නොනිදන නගරයක් වේ නම් ඒ රටේ අග නගරය වන කොළඹ- පිටකොටුවය. නැතහොත් දිවයිනටම එළවළු සපයන දඹුල්ලය. එහෙත් ගමින්-ගම, නගරයෙන්-නඟරය, රෝහල්, පුද්ගලික බෙහෙත් ශාලා, කැඩුම් බිඳුම් වෛද්‍යවරු සුලභ රටක, පාරම්පරික සිංහල වෛද්‍යවරයෙකු නිසා හද්දා පිටිසර ඉසව්වක නොනිදන ගම්මානයක් වේ යැයි ඔබ විශ්වාස නොකෙරෙනු ඇත. මෙතෙක් විශ්වාස නොකළද මේ ලිපිය කියවීමෙන් පසු ඔබට එය විශ්වාස කරන්නට සිදුවනු ඇත.
කොළඹින් කිලෝමීටර් 181 දුරින් පිහිටි මරදන්කඩවල යනු මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ කැකිරාවත් තිරප්පනේ නගරයත් අතර හමුවන කුඩා මංසන්ධියකි. ‘මරදන්කඩවල යකඩයා’ නමින් කලකට පෙර විසූ කුප්‍රකට විසේකාරයෙකු නිසා ඇතිවූ කළු පැල්ලමකින් මිදී අභිමානවත් මංසලකුණක් බවට අද දවසේ පත්වන්නට මෙම මංසන්ධියට හැකියාව ලැබී ඇත්තේ ඉසිවරයෙකු බඳු වෙදදුරෙකු නිසාය. මරදන්කඩවල “වෑල්ඩින් වෙද මහතා” යැයි නම් දැරූ මේ වෙද මහතා නමින් සිලම්බුරාලගේ මුතු බණ්ඩාය.
වෛද්‍ය තාක්ෂණය දියුණු විසි එක් වන සියවසේදීද බටහිර වෛද්‍ය විද්‍යාවට, අස්ථි සම්බන්ධ කැඩුම් බිඳුම් වලදී නිවැරදි සහ සාර්ථක ප්‍රතිකාර උපක්‍රමයන් හඳුන්වා දිමට හැකියාව ලැබී නැත. අස්ථි බිඳුමකදී ශල්‍යකර්මයක් මඟින් ඇණ හෝ යකඩ තහඩු යොදා අදාළ අස්ථි සම්බන්ධ කර ප්‍රතිකාර කළද එයින් දිගුකාලීනව රෝගියාට දැනෙන අපහසුව හෝ සාමාන්‍ය ක්‍රියාකාරකම් වල නිරතවිමේ හැකියාව ලැබෙන්නේ නැත. ඒ නිසා කැඩුම් බිඳුම් තත්වයන් වලදී පැරණි සිංහල සහ ආයුර්වේද වෙදකම් කරා යොමුවීමට මෙරට වැසියෝ පසුබට නොවෙති.
ඒ සියලු දේශිය කැඩුම් බිඳුම් ප්‍රතිකර්ම අතරිනුත් මරදන්කඩවල “වෑල්ඩින් වෙද මහතා” විශේෂ වන්නේ අස්ථි පැළුම් සහ පිපිරීම් පැය එකහමාරක් කාලයක් තුළ යළි ප්‍රකෘති තත්වයට පත් කරන නිසාය. අස්ථි පැනීම් එවෙලේම සකසා ප්‍රතිකාර කරන අතර අවම සතියකින් ප්‍රකෘති තත්වයට පත් කරන්නේය. භග්න හෙවත් කැඩීම් එම අස්ථියට බලපා ඇති ප්‍රමාණය මත සති දෙකේ සිට මාසය අතර කාලයකදී නිට්ටාවටම සුව කරනු ලැබේ. එම කාලයෙන් පසු රෝගියාට තම පුරුදු රැකියාවන් වල සුපුරුදු පරිදි යෙදෙමින් බර ඉසිලීම්, ඇවිදීම් ඇතුළු සියළු සාමාන්‍ය ක්‍රියාකාරකම් අපහසුවකින් තොරව සිදු කළ හැකිය.
රෑ තිස්සේ හැදෙන පෝලිම
“මේක අපේ පාරම්පරික වෙදකමක්… මගේ තාත්තත්, තාත්තාගේ තාත්තා (සීයා)ත් මේ වෙදකම කරනවා මම දැකලා තියෙනවා… මේ වෙදකම හැර, අපි වෙන දේකට ප්‍රවීණයෝ නෙවෙයි…අපි සර්වාංග වෙදකම කරන්නේ නෑ… සර්ප විෂට බෙහෙත් කරන්නේ නෑ…නිධන්ගත රෝග වලට බෙහෙත් කරන්නේ නෑ… ප්‍රතිකාර කරන්නේ කැඩුම් බිඳුම් වලට විතරයි… හැබැයි ඒක හරියට කරනවා..” අප සමඟ තමන්ගේ වෙදකමේ සිමාවන් වෙන්කර හඳුන්වා දුන්නේ සිලම්බුරාලගේ මුතු බණ්ඩා නම් “වෑල්ඩින් වෙද මහතාගේ” පුත්‍රයා වන එම්. රංජිත් දිසානායක මහතාය.
කාර්ය බහුල උදෑසනක අප මරදන්කඩවලට යන විටත් රෝගීන් හතළිහක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණ සිටියහ. කැඩුම් බිඳුම් ආපදාවකට ලක්වූ රෝගියෙකු සමග තවත් අවම වශයෙන් දෙදෙනෙකු වත් පැමිණිය යුත්තේ එම රෝගියාට තම කටයුතු සඳහා සහය දීම පිණිසය. ඒ නිසාම එහි ඒ වන විට රැඳී සිටි පිරිස එකසිය පනහකට ආසන්නය.
“මෙතැන ප්‍රතිකාර පටන් ගන්නේ උදේ අටට… පසළොස්වක දා හැර අනෙක් හැමදාම බෙහෙත් කරනවා… එක ලෙඩෙකුට ප්‍රතිකාර පන්තිය ඉවර කරන්න අවම පැය දෙකක් දෙක හමාරක් යනවා…ඒ නිසා මුලින්ම ප්‍රතිකාර ගන්න බලාගෙන සමහර කට්ටිය රෑ වෙද්දි මෙහෙට ඇවිත් පෝලිමේ ඉන්නවා…” එම්. රංජිත් දිසානායක මහතා මෙම ස්ථානයේ රෝගීන්ගේ තදබදය ඇති වන්නට හේතුව අපට පැහැදිලි කලේය.
“දැන් බෙහෙත් කරන වෙලාව…. අන්තිම ලෙඩත් බලල තමයි මට නැඟිටින්න වෙන්නේ….. කීය හරි වෙනකම් ඉදල ඒ වේලාවට කතා කරමු….” ඔහු අපට සමුදුන්නේය.
සිලම්බුරාලගේ මුතු බණ්ඩා වෙද මහතා දැන් ප්‍රතිකාර ලබාදීම සඳහා වෙද මැදුරට පැමිණෙන්නේ නැත. 1942 මැයි 05 දින උපන් ඔහුගේ වත්මන් වයස අවුරදු 76කි. නිසි කලට සිය දැනුම දෙවැනි පරම්පරාවට පවරා දැන් ඔහු නිදහසේ නිවසට වී සිටී. ඔහුගේ පුතුන් දෙදෙනාත්, බෑනාත් දැන් ප්‍රතිකාර කරන්නේ ඔහුගෙන් ලත් කැඩුම් බිඳුම් ප්‍රතිකාර වට්ටෝරුවට අනුවමය. දැක හුරුවෙන්, දැනහුරුවෙන් සහ කළ හුරුවෙන් තම දැනුම කළමනකරණය කර “වැල්ඩින් වෙද මහතා”ටත් වඩා සංවිධානාත්මකව සහ සාර්ථකව ඔහුගේ දෙවැනි පරම්පරාව මෙම ප්‍රතිකාරය සිදු කරන බවට හොඳම සාක්ෂ්‍යය වන්නේ වැල නොකැඩී එන රෝගින්ය.
අපි වෙදමහතාගෙන් ආරම්භක ප්‍රතිකාරයට අදාළ නිර්දේශ ලැබ බෙහෙත් ගෙදරට පැමිිණි රෝගීන් සහ ඔවුන්ගේ ඥාතින් සමග කෙටි පිළිසදරකට උත්සාහයක් දැරුවෙමු. රාගම, මාතර, ගලෙන්බිඳුණුවැව, ගල්නෑව, හබරණ, හොරොව්පතාන, කඳාන, පුත්තලම , අවිස්සාවේල්ල, රක්වාන, මහනුවර සහ ඇඹිලිපිටියෙන් පැමිණි රෝගීහු ගණනාවක් අප එහි විමසුම කරන මොහොතේ රැඳී සිටියහ.
රෝගීන්ට අසීරුම වෙලාව
අප මුලින්ම කතා කළේ කඳාන සිට පැමිණි 48 හැවිරිදි උදිත දියසේන මහතා සමඟය. මෝටර් සයිකල් අනතුරකට ලක්වූ ඔහුගේ වම් උරස් අස්ථිය දෙකට කැඩි තිබුණේ දින පහකට පෙරය. Ace Cargo සමාගමේ සේවය කරන ඔහු පළමුව ප්‍රතිකාර සඳහා යොමුව තිබුණේ ජාතික රෝහලටය. ප්‍රතිකාරයට පෙර ලබාගත් එක්ස්-රේ සටහනේ අස්ථි වෙන්වීම පැහැදිලිව තිබූ අතර එයට පසු රෝහලෙන් ගල් බැන්ඩේජ් දමා උදිතව නිවසට එවා තිබිණි. පසුව අසාමාන්‍ය කැක්කුම අඩු නොවන නිසා සිදු කළ දෙවැනි එක්ස්-රේ පරීක්ෂාවෙන් තහවුරු වී ඇත්තේ අස්ථි යථා පරිදි සකස් නොකර පැවැති තත්වයෙන්ම ගල් බැන්ඩේජ් දමා ඇති බවයි.
විශ්වාස කළ ප්‍රතිකාරයෙන් අපේක්ෂා කල ප්‍රතිඵල නොලැබෙන බව දත් උදිත හිතවතෙකු අමතා තත්වය පැහැදිලි කලේ ඉන් අනතුරුවය. ඔහුගේ නිර්දේශය වූයේ මරදන්කඩවල වැල්ඩින් ප්‍රතිකාරයට මාරුවීම වඩා හොඳ බවය. එදින රාත්‍රියේම කොළඹින් පිටවූ ඔවුහු මරදන්කඩවලට පැමිණියේ අලුයම හතර පමණ වන විටය. ඒ වන විටත් ඔවුන්ට ලැබි තිබුණේ තිස් අට වන අංකයයි.
පෝලිමේ පිළිවෙලට පැමිණි උදිත සිය රෝග විනිශ්චය සඳහා වෛද්‍ය වරයාගේ කාමරයට ඇතුළු වි තිබුණේ පෙරවරු දහය හමාරටත් පසුවය. එක් රෝගියෙකු වෙනුවෙන් රෝග තත්වය පරීක්ෂා කර, නාඩි ඇසුරෙන් ශරීර ප්‍රකෘතින් හඳුනාගෙන ප්‍රතිකාර නිර්දේශ කිරීමට වෙදමහතාට ගත වෙන සාමාන්‍ය කාලය විනාඩි හත අටකි. ඉන් අනතුරුව රෝගියාගේ අස්ථි ඇද, නිසි පරිදි තබා විශේෂ තෙලක් තවරා පසුව පතුරු තබා බඳී. එය කරන්නේ වෛද්‍යවරයා යටතේ විශේෂයෙන් පුහුණූ කරන ලද සේවක පිරිසක් විසිනි. අවශ්‍යතාව අනුව අමු පොල් පිති වලින් පතුරු කපා ගන්නේ එවලේමය. එම කටයුතු සඳහා සේවකයින් දෙදෙනෙකු අඛණ්ඩව යෙදවා සිටී. රෝගයේ හැටියට ආබාධ සහිත ස්ථානය නොසෙල්වා නියම කරන කාලය වෙදගෙදර ඇඳන් මත, බංකු මත, හෝ ඇවිදිමින් ගත කළ යුත්තේ ඉන් අනතුරුවය.
අරුම පුදුම රහස් තෙල
රෝගයේ ස්වභාවය අනුව පැයක්, පැය එක හමාරක් හෝ දෙපැයක් ආදී ලෙස ගත කළ යුතු කාලය මෙම ප්‍රතිකාර ක්‍රමයේදී රෝගියෙකු මුහුණ දෙන අසීරුම අවස්ථාවයි. පළමු පැය භාගයේදී යන්තමින් වර්ධනය වන කැක්කුම අවසාන පැය භාගය වන විට දැරිය නොහැකි තරමට උත්සන්න වේ. එක් එක් රෝගියා එය අර්ථ දක්වන්නේ විවිධ ආකාරයටය.
“ඇඟ ඇතුළෙන් පුච්චනවා වගේ….”
“රත්වෙලා විදුලියක් යනවා වගේ දැනෙනවා”
සමහරු වේදනාවෙන් කෑගසති. තවත් සමහරු ඉවසාගෙන පාර දිගේ, අවට මිදුල් දිගේ ඇවිදිති. තවත් සමහරු තවකෙකු සමග පිළිසඳරේ යෙදෙති. කුමන ආකාරයෙන් හෝ ඒ කාලය ගෙවා ගතහොත් රෝගියා දිනුම්ය. පැරණි රජ සමයේ දඬු කඳේ ගැසූ අයුරු සිහිවන ලෙස බංකු වලට තබා බදින ලද රෝගීහුද සිටිති. සමහර රෝගීන් වැතිර සිටින්නේ බිමය. බංකු වල සිටිනවාට වඩා එය පහසු බව රෝගීන්ගේ අදහසයි. කෙසේ වුවද එම අසීරු පැය දෙක ගත කරන්නට අනුබල දෙන, සිත දිරිගන්වන හිතවත් උපස්ථායකයෙකු සමඟ පැමිණෙන්නට රෝගියා සැම විටම උත්සහ කළ යුතුය.
“අපි බඳින්නේ බෙහෙත් තෙලක්… ඒකට ගන්නේ මේ පළාතෙම කැලේ හැදෙන බෙහෙත් ජාති ටිකක්. මී පොතු, නවහන්දි, පෙතං පොතු වගේ දේවල් සීයක් විතර අරන් තමයි මේ තෙල හදන්නේ…. මේ තෙලෙන් කැඩුණු බිඳුණු, පුපුරපු අස්ථියක් උණු වෙලා තිබ්බ විදියටම යථා තත්වෙට ගේනවා… ඒ නිසා පැයකට දෙකකට කැක්කුමක් එනවා…. ජීවිතය පුරා විඳව විදවා ඉන්නවා වෙනුවට පැය දෙකක කැක්කුමෙන් නිට්ටාවට සනීප වෙන එකේ හැමෝම ඕක උහුලගෙන ඉන්නවා…. අස්ථිවල කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙකුට මේක බැන්දට එයාගේ අස්ථි උණු වෙන්නේ නෑ… කැක්කුමක් එන්නෙත් නෑ. ඕකයි ඔය තෙලේ හැටි….” සිලම්බුරාලගේ මුතුබණ්ඩා එනම් “වෑල්ඩින් වෙද මහතා” තම ප්‍රතිකාරය සඳහා යොදගන්නා විශේෂිත තෙල ගැන අපිට කීවේ එලෙසය.
තෙල් බැඳීමෙන් පැය එකහමාරකට පසු උදිත දියසේන මහතාට ගැල්වූ බෙහෙත ඉවත් කරන්නට අවකාශ ලැබිණි.. එය සිදු කළේ පළපුරුදු සේවකයෙකු විසිිනි. ඒ වන විට වේලාව දහවල් දොළහ හමාරට ආසන්නවි තිබිණි. ඉන්පසු නැවැත වෛද්‍යවරයා වෙත යොමු කළ පසු තෙල් ගැල්විමක් සහ දින දහසයක ප්‍රතිකාර පන්තියක් නියම කෙරිණි.
දෙවැනිවර තෙල් ගැල්වීමත් සමඟ තමන්ට අනතුරෙන් පසු එදින උදැසන තෙක් දැනුණු අසාමාන්‍ය වේදනාව පහව ගිය බව පැවසූ උදිත මහතා පළමු ප්‍රතිකාරයෙන් දැනුණු වේදනාවද නොදැනෙන බව ප්‍රකාශ කළේ සිනහ මුසු මුහුණෙනි. පැය දෙකක කාලයක් තුළ දින පහක් පුරා දැනුණු වේදනාවෙන් මිදී යාමට හැකි වීම ගැන ඔහුගෙන් විමසූ කළ කීවේ “මැජික් එකක් වගේ තමයි” යනුවෙනි.
කිසියම් රෝගියෙකුට දවස් දහසයක ප්‍රතිකාර පන්තිය සඳහා අවශ්‍ය ශාක ද්‍රව්‍ය සපයා ගැනීමට අපහසු වේ නම් වෙද මැදුරට යාබදව ඇති වෙළඳ සලක් හරහා එම ද්‍රව්‍ය මිළදි ගැනිමේ හැකියාව පවති. එය අනිවාර්ය නොවන අතර සොයාගත හැකි නම් වෛද්‍ය ගාස්තුවට අමතරව මුදල් ගෙවා ලබාගත යුත්තේ බෙහෙත් තෙල් කාලක් පමණි.
මැජික් එකක් වගේ සුවය
සතුටින් නිවෙස බලා ගියාට ප්‍රතිකාර පන්තිය අවසන් වෙනතුරු ඔහු රැකිය යුතු පිළිවෙත් රාශියකි. අස්ථි බිඳුම සිදුවූ ස්ථානය ඇල් වතුරෙන් තෙමන්නට අවකාශ නැත. එල්ලා වැටෙන පරිදි සිටින්නට අවකාශ නැත. එසේ නොසිටින්නේ නම් ප්‍රතිකාර පන්තියෙන් ලැබෙන සහනය අවමය. එවිට සම්පූර්ණ සුවය ලැබෙන්නට නම් වැඩි කාලයක් ගතවේ. නමුත් දින දහසයක උපරිමයක් මේ පිළිවෙත් රකින්නේ නම් තෙමසකි න් පසු අනතුරේ පසු බලපැම් කිසිවක් රෝගියාට නොදැනේ.
“ව්‍යාපාරයක හොඳම ප්‍රචාරණ උපක්‍රමය වන්නේ සතුටුදායී පාරිභෝගිකයාය” යන්න ව්‍යාපාර කළමනාකරණයේදී කියා දෙන පාඩමකි. ව්‍යාපාරයක් නොවූවද මරදන්කඩවල වෙද මහතා විසින් සිය පම්පෝරිය දිග හරිමින් පුවතපත් දැන්වීම් දමන්නේ නැත. රූපවාහිනියට පැමිණ තෙල් විකුණන්නේ නැත. ඔහු වෙත රෝගීන් රැගෙන යන්නේ පෙර වතාවක ප්‍රතිකාර ලැබ සුව වූ රෝගින් විසිනි. අප පෙර සඳහන් කල උදිත මහතාවද, මරදන්කඩවල රැගෙන ගොස් තිබුණේ ඔහුගේ මිතුරෙකි. ඔහු දෙවසරකට පෙර සිදුවූ අනතුරකට ප්‍රතිකාර ලබා සුව වි සිටින්නෙකි.
මට සිහියට නැඟෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි ශූරින්ගේ වෙදහාමිනේ ටෙලි නාට්‍යයයි. තම නිවසේ පසෙක තැනූ මඩුවක රෝගීන්ට ප්‍රතිකාර කරන ලද අතිත වෙදගෙදර මතක රූපයක් මා සතුව ඇත්නම් ඒ “වෙද හාමිනේ ‘ ටෙලි සිත්තමේ වූ වෙදගෙදරයි. එම මතකය යළිත් අලුත් වූයේ මරදන්කඩවල ‘වෑල්ඩින්’ වෙද ගෙදරදීය. පැරණි නිවසත්, ඊට යාබදව තැනූ ශාලාවත් පිරෙන්නට රෝගියෝය. ඔවුන්ට උවටැන් කරන්නෝය. තැනෙක බෙහෙත් වර්ග සකසන්නෝය. පතුරු කපන්නෝය. තවත් අසන්නට දකින්නට බොහෝ දේ ඉතිරිව තිබියදී තේ උගුරකට විරාමයක් සොයා අප ඇවිද ගියේ අසළ වූ තේ කඩයකටය.
“වැල්ඩින් වෙද මහතාගේ” වෙදකම් ගැන තවත් විස්තර සමඟ ලබන සතියේ හමුවෙමු.
එතුමාගේ ප්‍රතිකාර ගැන ඔබේ අදහස් සහ අත්දැකීම් වේ නම් [email protected] ඊ-ලිපිනයට යොමු කරන්න.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු