අෙන්... ෙදයියනේ... මගේ දුවේ | Page 4 | සිළුමිණ

අෙන්... ෙදයියනේ... මගේ දුවේ

මලින්ද වහාම තම අම්මාව වත්තන් කරගත් අතරේ ජයේන්ද්‍රත් ජයතිස්සත් සමන්තිව වත්තන් කරගත්තේ ඇයගේ ආරක්ෂාවටය.

“අනේ.. දෙයියනේ.. මගෙ දුවේ!”

සුදු මැණිකෙ හාමු තම එකම දියණියගේ බෙල්ලේ එල්ලෙන්නට ගොස් ඇගේ මඳක් නෙරූ උදරය මත අතක් තබා මඳක් මෙල්ල වී හඬන්නට පටන් ගත්තාය.

රත්නපුරේ ගොඩලියද්ද වලව්වේ වහල උඩින් පියාඹා යන කපුටන්ට ද කුරුල්ලන්ට ද මහා වෙනසක් දැනිලා වගේය. මිදුලේ බටිචි කූඩුවල බට්ටිච්චන් තමන්ගේ කිචිබිචිය දෙගුණ තෙගුණ කළා වගේය!

මඳ වෙලාවක් හඬා වැලපුණු සුදු මැණිකෙ හාමු... සිහි නැතිව වැටෙන්නට යද්දී නිර්මලා හාමුත් මැගීත් මලින්ද බේබිත් විසින් ඇය අල්ලාගෙන හාන්සිකරවන ලදී.

“අනේ.. අපෙ අම්මට මොකද වුණේ...? අම්මා!”

සමන්ති මහා විලාපයක් තිබ්බාය. ඒ විලාපය වලව්වම දෙවනත් වෙන තරම් විය.

******

දේශනාගාරය අසලදී සිරිනාතට ඈතදීම දකින්නට ලැබුණේ රැකගෙන සිටින මේඛලාය. මේඛලා දෙපසින් ඇගේ ‘පරිවාර ස්ත්‍රීන්’ දෙදෙනාය. සිරිනාතට ඒ උපමාවට තනියම හිනා එයි. සමීරාත් ගීතාත් මේඛලාට අතින් අනිමින් සිරිනාතව පෙන්වද්දී සිරිනාත වීරයෙකු වගේ කෙල්ලන් ළඟට ප්‍රාදුර්භූත වෙයි.

“කොහොමද අයියෙ.. ශ්‍රීමාල්ගෙන් ආරංචියක් ලැබුණද?”

මේඛලා නිහඬ වී ඉඳිද්දී කතා කළේ ගීතාය.

“ඇයි මොකෝ මෙයා ගොළුවෙලාද ආ...”

සිරිනාතගේ කතාවට ද මේඛලා ගෙන් විතරක් හිනා නැත.

“අපි නම් අහලා තියෙන්නේ ආලය ‘අන්ධ’ යි කියලා. ඒත් දැන් තමා තේරෙන්නෙ ආලය ගොළුයි කියලා.. හහ් හා!”

සිරිනාත ඒ වැකිය කීවේ උස් හඬින්ය. එතැනින් පියමං වූ රංචු කීපයකට ම ඒ සද්දෙ ඇහිලා වගේය.

“යාංතම් එකක් දාගෙන... පැණි හල හලා ඉන්නේ..”

ඒ අතරේ හඳුනන කොල්ලෙක් එහෙම කියනවා සිරිනාතට ඇහුණත් ගණන් ගත්තේ නැත.

“මම කෝල් කළා නංගි.. ශ්‍රීමාල්ට.. එයාගෙන් වැඩි විස්තරයක් ගන්න ලැබුණෙ නෑ. එයාලගෙ ඥාතියෙකුගෙ පොඩි ප්‍රශ්න වගයක් ඇවිල්ලා මිනිහාට ඒවාට මැදිහත් වෙන්න වෙලා...!”

සිරිනාත කීවේ වගකීම් සහිතවය.

“මං දන්නවා ඔය කියන්නෙ අර සමන්ති අක්කිගෙ ප්‍රශ්නෙ වෙන්න ඇති...”

මේඛලා එහෙම කියද්දී සිරිනාතට පුදුමය.

“ඔයා කොහොමද ඒක දන්නෙ?”

මේඛලා සුසුමක් හෙළා නැවත කතා කරන්නේ සීරුවටය.

“ඔය සමන්ති අක්කගෙ බැච් එකේ අක්කා කෙනෙක්ගෙ මල්ලි ඉන්නේ මගේ යාළුවෙකුගෙ බැච් එකේ.. ඔය වලව්වල විස්තර ඔක්කෝ ම ඒ මල්ලි දන්නවා...”

සිරිනාතට පුදුමය.

මේඛලා පුදුම ගෑනු ළමයෙකි. ශ්‍රීමාල්ගේ වලව්වල වග විස්තර ඔක්කෝමත් දැනගෙන මොන එහෙකට මෙහෙම සම්බන්ධයක් පටන්ගන්න යනවාදැයි අසන්නට එහෙත් ඔහුගේ දිව නැමුණේ නැත. ආද‍ෙර් හැටි ඒක වෙන්නට ඇත. පලක් නැති බව දැන දැනත් ප්‍රේම කිරීම ප්‍රේමයෙන් බැඳීම මෝඩකමක් ද? නැත්නම් ඒක ස්වභාවයද?

“මොකෝ අයියෙ හිටි ගමන් තුෂ්ණිම්භූත වුණේ...”

ගීතා සිරිනාතගේ ඇස් දිහා බලාගෙනම අසන්නේ සිනාසෙමිනි. සිරිනාත පියවි ලොවට ආවේ සාක්කුවේ දුරකතනය සලිත වෙනවාත් සමඟය.

විසල් ආලින්දයේ සිට ඇතුළු කාමරයට සුදු මැණිකේව රැගෙන ගියේ ඔසවාගෙනය. මඳ වේලාවකින් සිහිය ආ විගසින් ම ඇය කෑගෑවේ සමන්ති දුවටය. පසෙකට වී හඬමින් සිටි සමන්ති අම්මාව වැලඳගෙන මහා හඬින් හඬන්නට වූයේ මුළු කාමරය ම මොහොතකට කම්පනය කරලා වගේය.

මලින්දත් ජයේන්ද්‍රත් සමන්තිව වත්තන් කරගන්නට උත්සාහ කළේ ඇය සිටින අවස්ථාව හොඳ නැති නිසාය. මැගී සිටියේ කිසිවක් කර කියාගත නොහැකිව එහාට මෙහාට දුවමිනි. ඩග්ලස් හාමුත් විල්ප්‍රඩ් හාමුත්... කාමරයෙන් පිටත සක්මන් කරමින්ය. ශ්‍රීමාල් සිටියේ තුෂ්ණිම්භූත අවස්ථාවකය.

“අනේ මගෙ රත්තරන් අම්මේ... මට සමාවෙන්න...!”

සමන්ති දුවගේ තියුණු කටහඬ දෝංකර දෙද්දී දෙමස්සිනාල මූණට මූණ බලාගෙන සිට නැවත ආලින්දය වෙත පියමංකළේ දහසක් සිතුවිලි වලින් සිත් කැලඹෙද්දී වගේය.

අම්මාත් දුවත් එකිනෙකා බදාගෙන සෑහෙන වෙලාවක් හඬමින් සිටියේ වලව්ව පුරාම දෝංකාර දෙවමින්ය. ඩග්ලස් ගොඩලියද්දට මතක් වුෙණ් සමන්ති නම් වූ තම කුලුඳුලේ දරුවා - මෙලොව එළිය දුටු දිනයේ ඇසුණු ඇගේ බිලිඳු කටහඬය...!

මොහොතකින් ඔහුගේ දෑසේ කඳුළු පිරී ඇස් දිගේ බේරෙන්නටත් දෙතොල් වෙව්ලන්ටත් පටන් ගති. එවිට ම සමන්ති කෑගසාගෙන විත් අප්පච්චිගේ දෙපාමුල වැටුණි.

“අනේ මට සමාවෙන්න අප්පච්චි...!”

මලින්ද කඳුළු පිරි ඇස්වලින් අක්කාව වත්තම් කරගනිද්දි ජයේන්ද්‍රත් කපා හෙළූ ගසක් සේ හාමු පාමුල වැඳ වැටුණි.

වලව්වේ සිදුවූ මේ අපූරු කලබැගෑනිය විඳ දරාගන්නට අසීරුවෙන් වගේ.. කොහේ හෝ බිත්ති මුල්ලක සැඟවී සිටිය හූනෙකු ද හඬක් නැංවූයේ හැමදෙනාගේ ම මූණු එකිනෙකා දෙස බලවමිනි. නිර්මලා මැණිකේ සැමියා දිහා බැලුවේ බියපත් දෑසින්ය.

ඒ හඬ හරියට මිනිස් කටහඬක් අවදි කරවන්නට සංඥාවක් වගේ විය. ඩග්ලස් ගොඩලියද්ද වහා අසුනින් නැගී සිටියේය. මලින්ද තම පියා දෙස බැලුවේ විමතියෙනි. ජයේන්ද්‍ර එකත්පස්වය. ජයතිස්සත් රියැදුරු ඩේවිඩ් සමඟ උළුවහු අල්ලාගෙනය. ශ්‍රීමාල් බලාගෙන සිටියේ තමුන්ගේ අප්පච්චි දිහාය. එකවර ම සිංහ නාදයක් නිකුත් විය.

“දැන් නැගිටපල්ලා!.. ගියදේ ගියාවේ..!”

මහා නිශ්ශබ්දතාවකින් මුළු වලව්වම දෙවනත් විය. මොහොතකින් සුදු මැණිකේ විත් සැමියාගේ දෙපාමුල වැටුණේ කිසිවෙකුට හිතාගන්ට බැරි වෙලාවකය.

“මයෙ දයියෝ...!”

අවසිහියෙන් වගේ වැටුණු ඇයව නැගිට්ටවා පිළියම් කළ පසු පැය බාගයක් ඇතුළත සියල්ල පියවි තත්වයට ආවා වගේ විය.

“මැගී.. ඔය තේ ඩිංගක් වක්්කොරලා ගත්තා නං... කට්ටියට ම.. දවල් කෑම මේසෙත් ජයපහට ම හදලා ලෑස්ති කරපල්ලා...!”

විධානය ඩග්ලස් හාමුගේ ය. තම අයියණ්ඩියගේ කීම අදහා ගන්නට බැරිවා වගේ නිර්මලා මැණිකේ කම්මුලට අත තබා ගත්තා.

********

ශ්‍රීමාල්ගෙන් ආපු දුරකතන ඇමතුමෙන් සිරිනාත හොඳටම කැලඹී සිටියේය. වඩාත් ම කැලඹුණේ ඒ ඇමතුම ලැබෙද්දී මේඛලාත් ගීතාත් සමීරාත් එතැන සිටි නිසාය. ඒ අවස්ථාව කට්ටිය ම රත්නපුර වලව්වේ රැස්වී සිටි සමන්තිලාගේ පැමිණීම බලාපොරොත්තුව සිටි අවස්ථාව නිසාය. එවෙලේ ශ්‍රීමාල් ගේ කටහ‍ඬේ තිබුණු කැලඹිල්ල සිරිනාතගේ මිතුරු සිත පීඩාවට පත් කළේය.

“ඊළඟ තත්පරේදි මොකෙන් මොකක් වේද කියලා මට හිතාගන්න බෑ මචං...!”

අන්තිමට ඔහු කීවේ ඒ වැකිය ය.

සමන්ති අක්කලාගේ පලහිලව්ව මේඛලා ද දැන සිටි නිසා ඒ ගැන කීමේදී අපහසුවක් ඇති වූයේ නැත.

“ඔක්කෝම හොඳ විදියට සිද්ධ වේවි කියලා අපි හිතමු සිරිනාත. එහෙම වේවා කියලා ප්‍රාර්ථනාත් කරමු..!”

මේඛලාගේ ඒ කතාව සිරිනාතගේ සිත අන්දමන්ද කළේය. මේඛලා බලාගෙන ගියාම ඕනෑම දෙයක් ගැන නිරවුල්ව හිතන... ධනාත්මක කල්පනාවලින් යුත් එඩිතර යුවතියකි. ඒ ගැන විතරක් සිරිනාතට සතුටුය. නමුත් මේ වලව් කලබැගෑනි අස්සේ ඇය දැන දැනම ප්‍රශ්නවැලකට කොටු වෙන්නට බලා සිටිනවා වගේය.

ආදරයේ හැටි එහෙම වන්නට ඇත! පීනන්නට බැරි එකාට වතුරේ රඟ හිතාගන්ට බැරිය. ඒක තේරෙන්න නම් ඔහුත් වතුරකට වැටිය යුතුය. කට කොනකට හිනාවක් නගාගෙන එසේ සිතද්දී ගීතා ‍ගේ සිනාසෙන ඇස්.. තමා දිහාට ම යොමු වී තිබුණු හැටි මතක් වෙලා සිරිනාතට තනියම හිනාය.

 

ලබන සතියට‍...

Comments