මේ නටන්නේ වලව් සව්දම වෙන්නැති! | Page 4 | සිළුමිණ

මේ නටන්නේ වලව් සව්දම වෙන්නැති!

 

අනේ සමාවෙන්න බේබි හාමු!

කරුණාදාස ඔළුවෙ අත තියාගත්තේ දුක්බරවය. ජයතිස්ස ඔහේ බලාගත් අත බලාගෙන සිටියේ මේ විත්තිය කල්තියාම චන්ද්‍රලතා තමාට කියා ඇති නිසාය.

ටික වෙලාවකට මනුස්ස කටහඬවල් යටපත්වී ලේනුන්ගේ හා මයිනන්ගේ මෙන් ම දෙමලිච්චන්ගේ ද හඬවල් ඉස්මතු වී ඇසෙන්ට ගත්තේය. ඒ තරමට දැඩි නිශ්ශබ්දතාව එකසීරුවට රජ කරන්ට වූ නිසාය.

********

උදේ පාන්දර ම කණ්ඩායම ‘ශ්‍රී ජය’ වලව්වෙන් නික්මෙද්දී ජන්තුවා මෙන් ම සිරියා සිටියේ අමුතුම මානසිකත්වයකය.

“මදැයි කට්ටිය ම වාහන දෙකෙන් වැලිගම යන්න හිටපු එක රෑ දෙගොඩහරියෙදි වෙනස් වෙච්ච හැටි... හරියට ඡන්ද ප්‍රතිඵල නිකුත්වෙනවා වගේ නේ...”

සිරියා කීවේ කුස්සිය අතුපතු ගාමින්ය.

“මං නම් දැනගත්තා බං.. ඔය ප්ලෑන වෙනස් වෙන බව.. අපේ හාමු මහත්තයා ඩග්ලස් හාමු මහත්තයා එක්ක බොහොම උණුසුම් විදියට සාකච්ඡා කොළේ.. හහ්... මමනෙ එයැයිලට කටගැස්ම හද හද දුන්නෙ.. උඹලා නිදි.. එතකොට ගෙදර ගොහිල්ලා...”

“හැබෑ නේන්නම් මායි පුතයි ඒත් රෑ ‍මැද්දෙ වෙනකම් බලා ඉඳලයි නින්දට වැටුණෙ. පුතා කිව්වා හෙට ගමන උදෙන් ම යන හින්දා හාමුලා, ඔයැයි වලව්වෙම නතර කොරං ඉඳියි කියලා.”

“ඔය.. හාමුලාගෙ තියෙන උද්දච්ච කොමට තමා අන්තිමට තීරණේ කොළේ අර ජෝඩුව රත්නපුරේ වලව්වට ගෙන්නන්න.. අපොයි බලන්නෙපෑ අපේ හාමු ඒක කීව තාලෙ..”

ඊළඟට ජන්තු කොස්ස අතට අරගෙන බස්තම වාගේ කරකව කවා විල්ප්‍රඩ් හාමුගේ භූමිකාව රඟපායි.

“හහ්..! ඈ අයියෙ.. අපි මොකොටද උන්ගෙ දෙපතුල් ගාවට යන්නෙ.. උන්ට එන්නය කියමු රත්නපුර වලව්වට.. හහ්.. ආයෙ.. පැනල ගිය එවුන්ට අපි මොකොට ඔටුනු පලන්දන්න යනවද.. හැහ්..! අපේ නම්බුව කාලා ගිය වුන්.. හහ්...!”

ජන්තුවාගේ රඟපෑම නතරවුණේ ජයමාල් බේබි හාමු එතැනට එද්දිය. කොස්සත් අකුළාගෙන එකත්පස් වෙච්ච ජන්තු දැකලා ජයමාල්ට හයියෙන් ම හිනාය. ඒත් එය යටපත් කරගත්තේ බලෙනි.

“මොකෝ ජන්තු.. මේ නටන්නෙ වලව් සව්දම වෙන්න ඇති!”

ජයමාල් හාමු එහෙම කියද්දි සිරියා අතින් කටවසාගෙන සැමියා දෙස බැලුවේ තරවටුවට වගේය.

“අනේ සමාවෙන්න බේබි හාමු මං දන්නෙ නෑ” ඔහු යාප්පු වෙයි. කුමාර කඩේ ගිහිල්ලා එන්නේ එතකොටමය. ඔහු කඩේ ගොස් ආවේ පාසල් යන්ට ලෑස්තිවෙලාය.

“කොහොමද කුමාර ඉස්කෝලෙ වැඩ..?”

“අනේ හොඳයි බේබි හාමු.. හාමුලාට පිං සිද්ධ වෙන්න මාත් ඉතිං අකුරු ටිකක් ඉගෙන ගන්නවා..”

“අපේ අයියා කරපු එක හොඳ වැඩක් තමා ඔය. අයියා ඒ විදියට බලපෑම් කරලා කුමාරව ඉස්කෝලෙ යැව්වෙ නැත්නම් අපේ අප්පච්චිලා නම් කීයටවත් කුමාරව ඉස්කෝලෙ යවන්නෙ නෑ. එහෙනම් හැමදාම කුමාරට වෙන්නෙ වලව්වට කඩේ යන්න විතරයි..”

ජයමාල් බේබිහාමු ගේ කතාවට ජන්තුට සතුටුය. ඒ එක්කම දුකකි. ඒ බේබි හාමු ලොකු හාමු මහත්තයාට විරුද‍්දෙන් කතා කරන එකටය. ඒ පුරුද්ද නම් හොඳ ම නැත.

“අනේ බේබිහාමු ලොකු හාමුලා ගැන එහෙම විරසක තියාගන්ට එපා මේ දුප්පත් අපි හින්දාවත්.. අපේ පව්කාරකං වලට හාමුලා පලි නෑ...!”

ජන්තු ඒ ටික කීවේ යාප්පුවෙමින්ය.

ජයමාල්ට ඇතිවුණේ හීනියට කේන්තියකි. අයියා කියන කතාව ඇත්ත. මේ ගැතිකම් කරන කට්ටිය හරියට ‘බ්රේන් වොෂ්’ කරලා වගේ තමා...

එවිටම සාලය මැද්දේ ඇති දුරකතනය නාද වෙයි. ජන්තු එක පිම්මට ම එතැනට දුවන විදියට ජයමාල්ට හිනාව නවත්වන්ට බැරි තරම්ය. අප්පච්චි යුද්ධ කරන්න පටන් අරන්ද දන්නෙ නෑ,. ජයේන්ද්‍රලත් එක්ක..

අප්පච්චිලාගේ වලව් මාන්නය විශ්වාස කරන්න බැරි තරමේ පුදුමාකාර සමාජ රෝගයකි...!

*****

“මචං දැන් අපේ වීරයා කට්ටියත් එක්ක වැලිගම යනවා ඇති නේද.. බං...”

උදාර ගේ ඒ කතාවට සිරිනාතට පුදුමය.

“වැලිගම..? කවුද වැලිගම යන්නෙ.. ශ්‍රීමාලයා උඹට කෝල් කළාද?”

උදාර සංජය දෙස බලා පෑව කපටි හිනාව සිරිනාතට ඇල්ලුවේ නැත.

“කතා කරපල්ලකො!”

“උඹට නිකං ඩෝං යනවා නේ.. අපි ඔය මුකුත් දන්නෑ බං.. උඹ ඊයෙ ශ්‍රීමාලයා එක්ක කතා කරද්දි මට ඇහුණ වැලිගම යන කතාවක් කට්ටිය එක්ක...”

“අනේ අනේ.. උඹලත් හරිම පැපරාසියො තමයි. උඹලා ඇත්තට කැම්පස් ආවෙ මොකටද මන්දා...”

සිරිනාත විහිළුවට එසේ කීවත් ඇත්තටම ශ්‍රීමාල් ගැන තම සිතද විමසිලිමත් වන බව දැනෙයි. කෝල් එකක් ගන්නත් බයයි. මොනවගේ තත්වෙක - තැනකද ඉන්නෙ දන්නෙ නෑනෙ. අන්තිමට හිත හදාගත්තේ ලිපි ගොනු අවුස්සමින් පස්සෙන්දා දේශනවලට ලෑස්තිවීමට මිතුරන් දෙදෙනාටද අණ දෙමිනි.

“පාඩම් කරන්නත් බෑ බං.. බඩ පණුවො පිනුං ගහනවා...!”

උදාර බඩ අතගායි. මූණත් ඇඹුල් කරගෙනය.

“අනේද කියන්නෙ.. මචං හිත එකඟ කරගන්න බෑ බං බඩේ ගින්දර එද්දි...”

සංජයට එසේ කියෙවෙද්දි සිරිනාතට නැවතත් මතක් වෙන්නේ ශ්‍රීමාල්මය.

“බලාගෙන ගියාම ඌ තාත්තා කෙනෙක් වගේ අපිව පෝෂණය කරනවා බං.. ඌ නැත්තං මේ බෝඩිං බත ගිලලා අපි මෙලහකට පරලොව ගිහිල්ලා. බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නෙ බඩගින්නෙ ඉඳන් බණ අහන්න බෑ කියලා.. බඩේ ගින්දරෙන් ‘ක්‍රෑම’ නම් බොරු බං...”

සිරිනාත එකවරම කලබල වුණේ ජංගම දුරකතනය සලිත වෙද්දීය.

“බලපං... අපේ දෙයියද කියලා...!”

සංජයත් උදාරත් එකවරම කෑගෑවේ හරියට අත්වැල් ගායනයක් වගේය.

සිරිනාත හිනා වෙවී දුරකතන මූණත පිරික්සයි.

“හහ් හා... දෙයියා නෙමෙයි... දෙයියගෙ දේවතාවි...!”

“ඈ.. ඒ කිව්වෙ උගෙ අම්මද?”

එබසට සිරිනාත කට ඇද කර මිතුරාට ඔලොක්කුවක් දමයි.

“අම්ම නෙමෙයි බං.. මේඛලා.. මේඛලා...!”

“ලව් කරනවා කියන්නෙ මහා අමුතු දෙයක් නෙ බලාගෙන ගියාම...”

උදාර කියන්නේ සිරිනාතට ඉඟි කරමිනි. ඒකනේ සරච්චන්ද්‍ර මහත්තයා කිව්වේ ‘නැත ලොවේ අන් රසඳුනා ආදරේ සේ සුව දෙනා’ කියලා. සංජය කියන්නේ තාලෙට ගායනාවක් කරමිනි.

“ඔව් ඔව් දැන් කට්ටියට ඕකෙ ර‍ඟේ තේරෙන්නෙ නැතැයි. හැබැයි මට නම් බය අපේ ශ්‍රීමාලයගෙ වැඩේ ගැන.

හරිම දුකයි බං...” සිරිනාත කියන්නේ හැඟීම්බරවය. ශ්‍රීමාල් ගේ ඇත්ත තත්වය යාළුවන් දෙන්නාට කීවාට කමක් නැතැයි ද සිතමින්ය. මේ තරම් සමීප යාළුවන්ගෙන් ඒවා වැසැංගිය යුතුද නැත.

“උඹලට කියන්න.. අපේ ශ්‍රීමාල්ට මේ වගේ ලව් හුටපටවලදි සෑහෙන්න ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි...”

“ඒ මොකද අප්පේ...”

“මචං.. ශ්‍රීමාල් යමක් කමක් තියෙන බොහොම ඉහළ සමාජෙක ඉහළ පෙළැන්තියක කෙනෙක්. මේඛලා වගේ සාමාන්‍ය දුප්පත් කෙල්ලෙකුට කීයටවත් ඔය දෙමාපියො කැමැති වෙන්නෙ නෑ. නමුත් මට තේරෙන හැටියට අපේ යාළුවා හරිම සීරියස්.. ඒකයි මට දුක!”

“මේවා ලත් තැනම ලොප් කරලා දැම්මම ඉවරනෙ...”

“පුහ්... බලපල්ලකො... මෙයාගේ උපදේසෙ.. හා හා... අපි නිකම් කෝල් එකක් දීලා බලමුකො මිනිහට...!”

රත්නපුර වලව්වේ විශාල කලබගෑනියකි. කලින් දවසේ ශ්‍රීජය වලව්වට ගිය ගොඩලියද්ද හාමු ජෝඩුව රැගත් වාහනය වලව් අංගණයට ඇතුළු විය. ඊට පිටිපසින් රත්නසේකර හාමු ජෝඩුවත්, ශ්‍රීමාල් පුතාත් ඔවුන්ගේ වාහනයෙනි.

වැලිගම අක්කලාගේ ගෙදරට යන්නට සිටිය මලින්ද ඒ ගමන වැළැකුණු කනගාටුවෙන් වගේ ආලින්දයේ ය.

මුළුතැන්ගෙයි වැඩවල ඉස්පාසුවක් නැතිව නිරත වෙච්ච මැගී වරින් වර ආලින්ද මිදුල පැත්තට හිස පොවා බලන්නේ කුමන වෙලාවක හෝ සමන්ති බේබි හාමුගේත් ජයේන්ද්‍රගෙත් පැමිණීමය. මේ සැලැස්මවල් පණිවුඩ සියල්ලම දැනගත්තේ උදේ පාන්දර දෙකේ කණිසමට ය. එවෙලේ ඉඳන් මැගීටත්, කුස්සියේ අතවැසි ළමයාටත් නිවනක් නැත. නින්දකුත් නැත.

වාහනයෙන් බසින ගමන් විල්ප්‍රඩ් රත්නසේකර හාමු තම රියැදුරා අමතයි. හදිසි රියැදුරුකම්වලට කැඳවාගන්නා ඔහු කරුණාදාසගේ ඥාති පුත්‍රයෙකි.

“කරුණාදාසලා පිටත් වෙලාද දන්නෙ නෑ?”

ඊට උත්තරය ලැබෙන්නේ ඩග්ලස් හාමුගෙන්ය.

“ඉන්න අයියා.. මං ජයතිස්සට කෝල් එකක් දීලා බලන්නම්...”

සුදු මැණිකෙ හාමු හරියට පිටගෙදරකට ආවා වගේ වටපිට බලමින් ආලින්දයේ හාන්සි පුටුවේ බරවෙන්නේ මලින්ද පුතාගේ ආධාරයෙනි.

“කෝ පුතේ... මයේ සමන්ති දුව... අපි එහේ යන්න නේද ආවෙ...”

“නෑ.. අම්මා එයාලාව මෙහාට එක්කරං එනවා.. අම්මා ගිහිල්ලා ඇඳුම් මාරුකරගෙන වොෂ් එකක් දාගෙන ඉන්නකො.”

එසේ කියාගෙන මලින්ද නානකාමරය පැත්තට යන්නේ සමන්ති අක්කාට ඇමතුමක් ගනිමින්ය.

නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැත.

මලින්ද ගේ හිතට හරි නැත. සමන්ති අක්කා වලව්වට යන්න බෑ කියලා කරුණාදාසව හරවලා එවලා වත්ද? ඊළඟ විනාඩි දහයේදි මලින්ද ගේ මෙන් ම අනිත් හැමදෙනාගේ ම කුතුහලය දෙගුණ තෙගුණ කරවමින් වලව් අංගණය වෙත වාහනයක් පැමිණෙමින් තිබිණ.

“හා.. කරුණාදාස එනවා!”

දැන් ආලින්දයේ කීපදෙනෙක් නැගිටගෙනය. කීප දෙනෙක් වාඩිවෙලාය...!

ඩග්ලස් ගොඩලියද්ද හාන්සි පුටුවේ දිගෑදිලා ඇස් පියාගෙනය. විල්ප්‍රඩ් රත්නසේකර තවත් හාන්සි පුටුවක දිගෑදිලා බාගෙට ඇස් ඇරගෙනය. නතර වූ වාහනයෙන් කරුණාදාස බැස්සේය. වටයක් කැරකී අවුත් පිටිපස දොර අරිද්දී මහාම මහා නිශ්ශබ්දතාවකින් පරිසරය ම දෙවනත් වෙලා වගේ ය. වෙනදා නම් පරිසරයත් දෙවනත් කරවන්නේ ශබ්ද ඝෝෂා ය. මෙදා නිශ්ශබ්දතාවය.

මලින්ද ගැහෙන පපුවෙන් යුතුව විවර වාහන දොර වෙත ළඟාවිය. ඉදිරිපස දොරෙන් ජයේන්ද්‍ර බිමට බැස්සේය. මහා වරදක් කළ එකෙකුගේ හැඟීම් ඒ මුහුණේ ‍ලියැවිලාය. ජයේන්ද්‍රගේ පියා ජයතිස්ස ද සිටියේ දෙගුණයක් වරදකාරි හැඟීමෙන් ය. මැගී දුවගෙන ඇවිත් කම්මුලේ අත තියාගෙන බලා සිටියේ සුදු මැණිකේ දිහාය.

ඒ මොහොත එළැඹියේ ය.

සමන්ති වාහනයේ පසුපස දොරෙන් හෙමිහිට අඩිය පොළවට තිබ්බාය!

යාන්තමට මෝදුවෙලා පෙනෙන උදරයට අතක් තබාගෙන ඇය බිමට බැස වටපිට බැලුවේ අසරණ හැඟීමෙන්ය!

එකවරම හාස්කමක් සිද්ධ වෙච්ච ගානට. හාමුලා දෙන්නාම ආලින්ද සැප පුටුවලින් නැගිට්ටුණි..!

සුදු මැණිකෙ හාමු.. අත්දෙක ඉහළට ඔසවා කෑගසමින් ද සිනාසෙමින් ද තම දියණිය වෙත පැන්නා ය....!

ලබන සතියට‍...

Comments