විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලැබූ එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා | සිළුමිණ

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලැබූ එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා

 තිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ අපේ රට වෙළාගත් කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරා ගැන්මට යුද , ගුවන් හා නාවික හමුදාව කළ මෙහෙය සුළු පටු ‍නොවේ. එහිදී රට වෙනුවෙන් තම දිවිය පුද කළ විරුවන් මෙන්ම ආබාධිතව අන් අයගේ පිහිටෙන් දිවිගෙවන රණවිරුවෝද විශාල පිරිසකි. මේ විරුවන් අප වෙනුවෙන් තම දිවි දෙවෙනි කොට සටන් වැදුණාහ.

ඔවුන් විසින් කළ සේවාව අප සැමදා සැමරිය යුතුය. රණවිරු සතියක්ව තිබූ මැයි මාසයේ දින 7 වෙනුවට මැයි මාසයම රණවිරු මාසයක් කරන්නට මේ රජය කටයුතු කෙළේ එහෙයිනි.‍

පසුගිය සතියේ පැවැති රණවිරු සැමරුමේදී ජාතික රණවිරු දිනයට සමගාමීව, සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් වසර 25කට වැඩි කාලයක් යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු වෙත කැපී පෙනෙන සහ නොකැළැල් සේවය අගයමින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් (VSV) පිරිනමනු ලැබීය. ඒ පසුගිය 19 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති විශේෂ රණවිරු සමරුවකදී ය.

මෙම පදක්කම නිලධාරියකු සිය හමුදා ජිවිතය තුළ ලැබිය හැකි උතුම් පදක්කමක් වන අතර මෙය සේවය ඇගයූ විශේෂ උපහාරයක් ද වේ. මෙහිදී යුද හමුදා නිලධාරීන් 25ක් නාවික හමුදා නිලධාරීන් 23ක් හා ගුවන් හමුදා නිලධාරීන් 2කටද මෙම පදක්කම් හිමි විය.

මෙහි විශේෂත්වය වූයේ විශ්‍රාම ගිය නිලධාරීන්ටද මේ පදක්කම් හිමි වීමයි.

යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ටද මේ සම්මානය හිමි විය.මෙහිදී විශේෂයෙන්ම ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිවරයා හැරුණු කොට විශීෂ්ට සේවා විභූෂණ පදක්කම් හිමි වූ එකම නිලධාරියා වන්නේ එයාර් වයිස් මාර්ෂල් එම්. ලාල් කිත්සිරි පෙරේරා (විශ්‍රාමික) මහතායි. ඔහු මේ වන විට ලේක්හවුස් ආයතනයේ නි‍යෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව හා ප්‍රාග්ධන) තනතුර දරමින් සිටින අතර ගුවන් හමුදාව වෙනුවෙන් ඔහු විසින් කළ සේවය අගයා මෙහි සටහනක් තැබීම සුදුසු යැයි සිතමි.

1961 වසරේ කොහුවලදි උපත ලද මංගලගේ ලාල් කිත්සිරි පෙරේරා දරුවන් 6 දෙනකුගෙන් යුත් පවුලක සිවුවැන්නා විය. පෞද්ගලික ආයතනයක සේවය කළ පියාට මෙන්ම නිවසේ සිට දරුවන් 6 දෙනකුගේ සියලු කටයුතු තම දෑතින්ම කළ මවටද බොහෝ සේ ගරු කළ මේ කොලු පැටියා ඉසිපතන විදුහලේ අධ්‍යාපනය හැදෑරීය‍.

පන්ති කාමරයෙන් පිටත ඇතැම් සිසුන් දග වැඩ කරද්දී. සෙල්ලම් කරද්දී මෙන්ම තවත් පිරිසක් පොත් ගුල්ලන් සේ පන්තියේම ඇලී ගැලී සිටියදී මේ කොලු පැටියා කෙළේ පන්ති කාමරයත් පිට්ටනියත් දෙකම එක‍ සේ හසුරුවා ගැනීමයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අවදියේ පවා විද්‍යාලයේ රගර් ක්‍රීඩා පිටිය දෙවනත් කළ ක්‍රීඩකයන් අතර ලාල් කිත්සිරිද සිටියේය. උසස් පෙ‍ළ විභාගයෙන් පසුව ගුවන් හමුදාවේ සම්මුඛ පරීක්ෂණයකට ලාල් යන්නේ මවගේත් පියාගේත් ආශිර්වාදය පිටයි.

ඒ 1981 වසරේදී යන්තම් අවුරුදු 20 පිරුණු සැණින්ය. තම දරුවා තරුණ වියට පා තබද්දී එසේ වෙන්ම ටික කාලයකට හෝ යාම මවුපියන්ට සිත් රිදුම් ගෙන දුන්නක් වුවත් පුතාගේ ආසාව මෙන්ම රට වෙනුවෙන් සේවයට ඇති ලැදියාව නිසා මවුපියන් ලාල්ගේ සිත රිදෙව්වේ නැත.

ලාල් ගුවන් හමුදාවට බැඳුණු 1981 වසරේදී පෙබරවාරි මස 12 වැනිදායි. ගුවන් හමුදා කැඩෙට් නිලධාරියකු ලෙස නිල ඇඳුම ඇඳ සිටි ලාල් දුටු විට මවුපියන් සතුටු කඳුළු වැගිරූ හැටි ඔහුට තවමත් මතකය.

එදා පටන් තම දිවි පෙවෙත තමන්ට අවශ්‍ය පරිදි නොව රටට අවශ්‍ය පරිදි හසුරුවා ගන්නට ලාල්ට සිදු විය.

1982 වසරේදි පියාසර නිලධාරියකු ලෙසට පත් වූ ඔහුට 1983 වසරෙන් පසුව ත්‍රස්තවාදී යුද්ධයේ පෙරමුණ ගෙන සිටි ගුවන් නිලධාරියකු ලෙස කටයුතු කරන්නට විය. රට බේරා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටියදී ඔහු 1987 වසරේදී ෆ්ලයිට් ලුතිනන් තනතුරට පත් පත් විය.

ස්කොන්ඩර් ලීඩර් තනතුරට 1991 වසරේදීත් වින්ග් කමාන්ඩර් තනතුරට 1997 වසරේදීත් ගෲප් කපිතාන් ධුරයට 2003වසරේදිත් පත් වූ ඔහු එයාර් කොමදෝර් තනතුරට පත් වන්නේ 2009 වසරේදීය. කොතරම් තනතුරින් ඉහළ ගියත් තම තනතුර ආභරණයක් කර ගැන්මට ඔහු උත්සුක වූයේ නැත. අද වුවද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඔහු දන්නා නිලධාරියකු හමු වූ විට ඔහුට ආචාර කරන්නේ ඔහුගේ ඒ නිහතමානී ගුණාංගය නිසාමය. 2013 වසරේදී එයාර් වයිස් මාර්ෂල් තනතුරට පත් වූ ලාල් කිත්සිරි පෙරේරා නම් වූ ඔහු මාතෘ භූමිය පරසතුරන්ගෙන් මුදවා ගැනීමෙන් පසු වසර 35ක දීර්ඝ සේවා කාලයකින් පසු විශ්‍රාම ලබා ගත්තේය.

ඇත්තෙන්ම 2003 වසරේදී ඔහුට විශ්‍රාම යාමට හැකියාව තිබුණි. එහෙත් රට වෙනුවෙන් සේවය කිරීම ඔහුට ඊට වඩා අවශ්‍ය විය. ඒ වන විටත් තම එකම පුතු අධ්‍යාපනයේ කඩඉම් විභාග පසු කරමින් සිටියේය. මරණ්‍ය පෙනී පෙනී වුවද ඒකීය රටක් යන සංකල්පය මත පිහිටා කටයුතු කළ නිසා ඔහු ඒ සියල්ල රට දැය වෙනුවෙන් කැප කෙළේය.

දරුවාගේ සියලු කාර්යයන් තම බිරිය විසින් සිදු කිරීම ලාල්ට මහත්ම වූ සහනයක් විය. එකම දරුවාගේ සියලු වගකීම් බිරියට පැවරූ ලාල් රට රැක ගැනීමේ මෙහෙයුමේ නිරත විය. ආදරණීය බිරියද ඔහුගේ සෙවණැල්ල මෙන් ලාල්ගේ සේවය ගාන මනා අවබෝධයකින් කටයුතු කළාය.

ලාල් කිත්සිරි නම් මේ ගුවන් විරුවා ජීවිතයක් මරණයත් අතර සිටි අවස්ථා කිහිපයක්ම අපට දැන ගන්නට ලැබුණි.

ඒ 1985 වසරයි. ත්‍රිකුණාමලය මොරවැව සේවයේ යෙදී සිටියදී ත්‍රස්තවාදීන් සිටින ඉදිරි ආරක්ෂක තීරයේ සෝදිසි මෙහෙයුමකට සහභාගි වීමට ගුවන් හමුදාවට ක්ෂණික දැනුම් දීමක් ලැබුණි. පියාසර නිලධාරි ලාල් පෙරේරා ද රථයකින් මහා මාර්ගයෙ තවත් කිහිප දෙනකු සමඟ එහි යාම පිණිස රථය ඉදිරියට ගන්නවාත් සමඟම තවත් රථයක් පැමිණ එම රථයට ඉදිරියෙන් නවත්වා එම මෙහෙයුමටම පිටත් විය. ලාල් පෙරේරා ඇතුළු පිරිස රැගත් රථයද එයට පසුපසින් පිටත් විය. එහෙත් මීටර් 500කටත් අඩු දුරකදී ඉදිරියෙන් ගමන් කළ ඒ රථය බිම් බෝම්බයකට අසුව සුණු විසුණු විය. තත්ත්පර ගණනක් එහා මෙහා වූවානම් ලාල් පෙරේරා ඇතුළු පිරිස ගමන් ගත් ඒ රථය බිම් බෝම්බයට අසු වන්නේය.

මෙවන් තවත් අවස්ථාවක් ත්‍රිකුණාමලයේදීම සිදු වූ අතර එහිදීද මරණය පෙනි පෙනී දිවි ගලවා ගෙන යළි මවුපියන් බලන්නට එන්නට ලාල්ට වාසනාව ලැබුණේ ත්‍රස්තවාදීන් විසින් පිට පිට වෙඩි තබද්දීය.

තවත් එවන් අත් දැකීම් ඇතත් ඒවා යළි සිහිපත් කරන්නට ලාල් කැමැති නැත. එයට හේතුව යුද්ධයේ සැබෑ අහිමිරි වේදනාව දත් ඔහු තව දුරටත් එවන් දොම්නස් පතුරවන්නට අකමැති හෙයිනි.

වසර 35ක දිගු සේවා කාලයක් සැපිරූ මේ විරුවාණන් ලද පදක්කම්ද රාශියකි.

ඒ අතර උත්තම සේවා, පූර්ණ භූමි පුත්‍ර, දීර්ඝ සේවා සම්මාන පදක්කම, 50 වසර නිදහස් සැමරුමේ සම්මානය, උතුරු නැගෙනහිර මෙහෙයුම් සම්මානය. රිවිරැස මෙහෙයුම් සම්මානය. ගුවන් හමුදා 50 වසර සැමරුම් ස්මමානය, උතුරු මානුෂීය මෙහෙයුම් සම්මානය. නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් සම්මානය ඇතුළු තවත් සම්මාන සහතික රැසක්ම ඔහුට හිමිව ඇත්තේ මේ වසර 35ක නොකැළැල් සේවය වෙනුවෙනි.

සිය පුතු හමුදාවෙන් විශ්‍රාම ගියද ඔහුට ලැබුණු මේ පදක්කම දෙස බලා එයින් සතුටු සිනා නඟන්නට ලාල්ගේ මවට හැකිවිය.

ලාල්ට කීමට බොහෝ දේ ඇතත් අපට ඇසීමට බොහෝ දේ ඇතත් ලාල් ට කීමට උත්සාහ දරන්නේ ඉතාම සුළු කරුණු කිහිපයක් පමණකි.

‘මම හැම දෙයක්ම කරන්නේ සැලසුමකට අනුව, ඒක මට ලොකු ධෛර්යයක් වුණා. ඒ වගේම තමයි මම කවදාවත් පසුව පශ්චාත්තාප වෙන කිසිම තීරණයක් අරගන්නෙ නැහැ. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානය සහ අනාගතය හැඩ ගස්වා ගන්නවා හැරෙන්නට අතීතය සිහි කර කර ඉන්න මම කැමැති නැහැ. අනිත් අයට හරි තමන්ට හරි යම් ක්‍රියාවක් නිසා අවැඩක් හානියක් වනවා යැයි හිතෙන්නේ නම් ඒ ක්‍රියාව නොකර සිටීම වඩා උතුම් කියලයි මම හිතන්නෙ. අවුරුදු 35ක කාලයක් හමුදා සේවයේ නොකැළැල් සේවයක් කරන්න මට පුළුවන් වුණේ ඒ නිසා බවයි මට හිතෙන්නේ. තමන්ටත් අනිත් අයටත් වැඩදායක තීන්දු තීරණ ගන්න පුළුවන් නම් ඒ සතුට තමන්ට සදාකාලිකවම ලැබෙයි. කවදාවත් තමන්ට පසුතැවෙන්න වෙන එකක් නැහැ‘

ඉතාමත් සරල ලෙස කටයුතු කරන සරල දිවි පෙවෙතක් ගත කරන ප්‍රසිද්ධිය කරා හඹා නොයන මෙවන් විරුවන් ලක් දෙරණ සුරකින්නට ඉපදීම අපගේම වාසනාවක් බව කිව යුතුමය.

තාරක වික්‍රමසේකර

Comments