රත්මලානේ නාගරික මන්ත්‍රී ඝාතනය පාතාලයේ වැඩක්ද? | සිළුමිණ

රත්මලානේ නාගරික මන්ත්‍රී ඝාතනය පාතාලයේ වැඩක්ද?

 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය බලා පිටත්ව යන්න ඔන්න මෙන්න කියා තිබියදී එහි සාමාජිකයෙක් වන ධනංජය සිල්වාගේ පියාණන් ඝාතනය වූ පුවතක් පසුගිය බ්‍රහස්පතින්දා (24) රාත්‍රියේ අසන්නට ලැබිණි. වරක් ධනංජය සිල්වා පිළිබඳ විශේෂාංගයක් ලිවීමට ගිය මොහොතේදී රංජන් ද සිල්වා නමැති ඔහු අපටද මුණ ගැසිණි. ඝාතනය වෙද්දී ඔහුදෙහිවල-ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුලෙස කටයුතු කරමින් සිටියේය.

ඔහුගේ නිවෙස ඇත්තේ රත්මලාන දුම්රිය පොළට ආසන්න ශ්‍රී ඥානේන්ද්‍ර පාරේ රේල් පාරත් මහමුහුදත් අතරමැද ජනාකීර්ණ ප්‍රදේශයේය.

ඝාතනය සිදුවූ දිනයේ ඔහු සිය වැඩිමහලු පුත්‍රයා වන සාවිත්‍ර ද සිල්වා සහ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ නිවෙසේ කතාබස් කරමින් සිට ඇත. රාත්‍රී 8.35ට පමණ නිවෙසට අතුළු වූ නාදුනන පුද්ගලයන් දෙදෙනාගෙන් අයකු ගිනි අවියකින් වෙඩි පහර 12ක් පමණ එල්ල කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. ටී56 ගිනිඅවියකින් එල්ල කළ එම වෙඩි පහරවල් රංජන් සිල්වා මහතාගේ සිරුර පසාරු කරගෙන ගොස් තිබිණි. වහා කළුබෝවිල රෝහලට රැගෙන ගියද ඒ වනවිටත් ඔහු මියගොස් තිබිණි. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද අනෙක් දෙදෙනාද කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයට යොමු කෙරිණි.

ධනංජය සිල්වා, සාවිත්‍ර ද සිල්වා සහ ජනංග ද සිල්වා යන පුතුන් තිදෙනාගේ පියා වන රංජන් සිල්වාගේ බිරිය ශ්‍රියාලතාය. නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ප්‍රථම දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ සෞඛ්‍ය පරිපාලකවරයකු ලෙස සේවය කළ ඔහු 62 හැවිරිදි වියේ පසු විය. රන්ජන් මහතා බෝට්ටු හිමි ධීවරයෙකි. ඊට අමතරව ව්‍යාපාරික කටයුතුවල ද නියැළෙමින් ද සිටියේය.

ඔහුගේ වැඩිමල් පුතු සාවිත්‍ර ද කලක් නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. “එදා අපි හතරදෙනා මල්ලිගේ බටහිර ඉන්දීය සංචාරය ගැන කතා කරමින් හිටියේ. මල්ලිගේ දක්ෂතා ගැන තාත්තට පුදුම සතුටක් තිබුණේ. තාත්තාට කිසිම තරහකාරයෙක් සිටියේ නැහැ. තාත්තා හැමදාම හවසට ගෙදර ඉස්සරහ තියෙන බංකුවෙ වාඩිවෙලා ඉන්නේ. එදාත් තාත්තා හිටියේ එතැනමයි. හිතාගන්න බැහැ මොකද වුණේ කියලා... එකපාරටම ගෙදරට ආපු දෙන්නගෙන් එක්කෙනෙක් වෙඩි තිබ්බා. මං වෙඩි තියපු කෙනා හරියටම දැක්කා.” සාවිත්‍ර පවසයි.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

“අපි මේ ගැන පැති කීපයකින්ම පරීක්ෂණ කරනවා. කිහිප දෙනෙක් ගැනම අපට ලොකු සැකයක් තියෙනවා. ඒත් තවම හරියටම හෝඩුවාවක් නැහැ කවුද කළේ කියලා. විශේෂයෙන්ම ගොනාකෝවිල අංජු ගැන සැකයි. ඒ වගේම ඝාතනය වූ රංජන් සිල්වා මහතාගේ පුත්‍රයා වන සාවිත්‍ර පසුගියදා දන්සලකදී ඇතිකරගත් ආරවුලට පළිගැනීමක්දැයි කියාත් අපගේ පරීක්ෂණ යොමු වී තිබෙනවා.”

මේ ඝාතනය ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශවල සිටින පාතාල කල්ලි නායකයන් දෙපළක් වන ගොනාකෝවිල අංජු සහ ගොනාකෝවිල රොහා අතර වන ගැටුම්වල තවත් එක් ප්‍රතිපලයක්ද යන්න ගැනත් සැකය යොමුවී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ ස්ථානාධිපති ධර්මප්‍රිය මහතා පැවසීය.

රොහාගේ කල්ලිය සහ අංජුගේ කල්ලිය අතර කලෙක සිටම පවතින ගැටුම්වල නිමාවක් තවමත් දක්නට නොලැබේ. ඒ හේතුවෙන් මේ වන විට ඝාතන හයකට වැඩිය සිදුව ඇති බව පොලිස් වාර්තාවල සඳහන් වේ.

අංජු රටින් පලා ගොස් මැලේසියාවේ සිට සියලු අපරාධ මෙහෙයවන බවටද වාර්තා වේ. අංජු යනු 2016 වසරේ ජුනි මාසයේ දිනෙක මහර අධිකරණය අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ සුරේෂ් අසංක නොහොත් ගොනාකෝවිල ලන්සිගේ සහෝදරයායි.

ලන්සිගේ ඝාතනයෙන් පසු ඔහුගේ තැන ගත්තේ ඔහුගේ සහෝදරයා වන අංජුය. අංජු සිය සහෝදරයාගේ ඝාතනයේ පළිය ගැනීමට සිය ප්‍රතිවාදි කල්ලිය වන රොහාගේ කල්ලියේ කීප දෙනෙකුම මේ වනවිට ඝාතනය කර ඇතැයි සැලවේ. ඒ හේතුවෙන් මේ කල්ලි දෙකේම කීප දෙනකු මේ වෙද්දී ඝාතනය වී තිබේ.

ලන්සියා යනු යහමින් මත්කුඩු ජාවාරම කරමින් ධනවත් ජීවිතයක් ගත කළ අයෙකි. ගල්කිස්ස සුසාන භූමියේදී ඔහුගේ භූමදානය සිදුවන මොහොතේ ලක්ෂ 20කට අධික මුදලක් වැය කරමින් මල් වරුසාවක් වැස්ස වූ බව පැවසේ. ලන්සි සහ රොහා යනු කලෙක ගජ මිතුරෝය. මත්ද්‍රව්‍ය ජාවාරම්හි ආරවුල් නිසා දෙදෙනා අතර නයි-මුගටි වෛරයක්ආරම්භ විය. රොහා ඝාතනය වී ඇත්තේ ඒ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස යැයි සැක කෙරේ. සිය සහෝදරයාගේ ඝාතනයේ පළිය ගැනීමට අංජු නොයෙක් වර විවිධ උපක්‍රම යොදමින් විරුද්ධ පාර්ශ්වයේ ඝාතන සිදුකර ඇතැයි පැවසේ. වරක් ගල්කිස්ස අධිකරණ භූමියේදී අංජු තම ගෝලයකු වූ ලොකු මයියා යොදවා රොහා ඝාතනය කිරීමට තැත් කළේය. එහෙත් එදින මයියා සඟවාගෙන සිටි ආයුධ පාර්සලය බිම වැටීම නිසා ඒ උත්සාහය ව්‍යර්ථ වූයෙන් සියලු රහස් පොලීසියට හෙළිවිය.මේ ආකාරයෙන් ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශවල මෑත කාලීනව පවතින පතාල ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස නාගරික මන්ත්‍රී රංජන් සිල්වා ඝාතනයවූ බවට ද සැක කෙරේ.

සිය පියාණන්ට අත්වූ අවාසනාවන්ත ඉරණම නිසා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා බටහිර ඉන්දීය සංචාරයෙන් ඉවත්ව ඇත.

Comments