මියගිය සැමියා සිහිනෙන් ළඟට එයි | සිළුමිණ

මියගිය සැමියා සිහිනෙන් ළඟට එයි

 දකුණේ උපන් නන්දනී තිස් දෙහැවිරිදි රූමත් නැටුම් ගුරුවරියකි. දෙදරු මවකි. ඇගේ සැමියා සංජය දේශපාලනයට සම්බන්ධ ය. ඔහු මීට වසරකට පෙර මත් ගතිය ද ඇතිව රාත්‍රි වාහනය පදවද්දී නින්ද ගොස් අනතුරකට ලක්ව මරණයට පත්වූයේය. දැන් රාත්‍රියට නන්දනී නින්දට ගිය විට නින්දත් නොනින්දත් අතර සංජය ඇගේ ළඟට එයි. මේ අමනුෂ්‍යයාගේ පැමිණීම නිසා දරු දෙදෙනාට අමතරව තම මැණියන් ද නන්දනී ළඟින් නිදිකරවා ගනී. එහෙත් සංජය ඇය ඉදිරියේ පෙනී සිටී. මේ නිසා ඇය දැඩි සේ ඇඟ පත වේදනාවෙන් ද ආහාර අප්‍රියාවෙන් ද පෙළීම නිසා ශාරීරිකව ද මානසිකව ද පීඩා විඳී. ඇයට කායික හා මානසික වෛද්‍ය ප්‍රතිකාරවලින් ද ශාන්ති කර්ම වලින් ද කිසිදු සුවයක් නොවී්‍ය.

අන්තිමට ඥාතියෙකුගේ උපදෙස් අනුව නන්දනී සිය දෙමවුපියන් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියා ය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළාය.

පළමු රෝග පරික්ෂාවේදී ම නන්දනීගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී අඬන්නටත්, කෑගහන්නටත්, දඟලන්නටත් විය. කලබලකාරී බව වැඩි නිසා එදින ප්‍රතිකාර අත්හිටුවා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට නියම කළේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද භූතාත්මය නන්දනීට ආවිශ්ට විය. ගවේෂකවරයා භූතාත්මය සමඟ ප්‍රශ්න කරන්නට විය.

“මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ කවුද?”

“මම සංජය” යැයි භූතයා උත්තර දුන්නේය”

“කවුද සංජය කියන්නේ?”

“මම මේ නන්දනීගෙ මහත්තයා”

“ඇයි මේ නෝනාට හිරිහාර කරදර කරන්නේ?”

“මේ මගේ විවාහක බිරිය. මෙයාට මම ආදරෙයි. මට මෙයා නතුව ඉන්න බැහැ. මෙයා ලස්සනයි. මෙයා වෙන කෙනෙකුට අයිති වෙන්න ඉඩ දෙන්න බැහැ. මුන් මගේ නන්දනීළු වෙන මිනිහෙකුට දෙන්න හදනවා. මම ඒකට විරුද්ධයි. හඃ.... හඃ.... හා... මුන් මාව අදුනන්නේ නෑ. අන්න ඒ මිනිහා දැන් දැඩි සත්කාරෙ. මගේ වැඩ එහෙම තමයි. ඒ මිනිහව ලෙඩ කළේ මම. මම ඌව මරනවා” යි භූතයා දත් සපන්නට විය.

මේ කතාව ඇත්ත දැයි ගවේෂකවරයා නන්දනීගේ මවු පියන්ගෙන් ඇසීය.

“ඔව් මහත්තයා! දුව තාම තරුණයි. අපි දෙන්නා වයසයි. නිතර ම ලෙඩ ගණනෙ. ඉතින් දුවට ජීවිතයක්, ආරක්ෂාවක් තියෙන්න ඕනෑ. අපි දුවට නැවත විවාහයක් කර දෙන්න සූදානම් කළා. ඒ මහත්තයත් දුවටත් දරුවො දෙන්නාටත් ආදරෙයි. උගත් යහපත් කෙනෙක්. ඒ මහත්තය හදිසියෙ අසනීප වෙලා. අමාරුවෙලා දැඩි සත්කාර වාට්ටුවෙ ප්‍රතිකාර ගන්නවා. ඔය කතාව ඇත්ත.” යැයි නන්දනීගේ පියා පැවසීය.

ගවේෂකවරයා භූතාත්මයෙන් නැවත ප්‍රශ්න කළේය.

“සංජයට මොකද වුණේ?”

“ඇක්සිඩන්ට් එකකින් මැරුණා.”

“මැරුණා නම් දැන් සංජය කෙනෙක් නැහැ නේද?”

“.................” භූතාත්මය නිරුත්තරව දෑස් උඩ තබා ගෙන කල්පනා කරන්නට විය.

“ඔබ නන්දනීටත් දරු දෙදෙනාටත් ආදරේ ද?”

“ඔව්”

“ආදරේ නම් මේ අයට හිරිහැර කරන්න එපා. සංජය දැන් මැරිලා. ඇත්තම කියනවා නම් ඔබ දැන්‍ ප්‍රේතයෙක්. ඔබ බෞද්ධයෙක් නේද? බුදු දහම පිළිගන්නවා නම් ඒකයි යථාර්ථය. ඔබ මැරුණේ ලෝබයෙන් රාගයෙන්. “රා” කියන්නේ මත්වීම. “ගය” කියන්නේ දැඩි සේ ගැනීම - වේගය - ඕගය වගේ. දැඩි සේ අල්ලා ගැනීම උපාදානයයි. උපාදාන පච්චයා භව. භව පච්චයා ජාති. ඔබ මැරෙන වෙලාව දැඩි ආදරයක් රාගයක්. අඹු දරුවන් දේපළ මතක් වී ලෝබ සිතුවිල්ලක චිත්ත සන්ථානයේ දැඩිව පහළවීම නිසා ඒ ලෝබ කර්මයේ විපාකය වශයෙන් ප්‍රේතාත්මයක උපන්නා. ප්‍රේතයෝ ආහාරයට ගන්නේ අපද්‍රව්‍ය. ඔබත් දැන් ආහාරයට ගන්නේ මේ නන්දනීගේ අපවිත්‍ර රුධිරය. අසූචි. සෙම් සොටු. ඔබ වගේ බොහොම වැදගත් නම්බුකාර විධියට හිටපු කෙනෙකුට ලැජ්ජා නැද්ද? දැන් ඉතින් අවුරුදු දහස් ගණනක් ඔය ප්‍රේතාත්මයේ දුක් විඳින්න වේවි. ඒ මදිවට ලෝභය නිසා තවත් මහත්මයෙක් ලෙඩ කරලා. කර්මය දිග් කර ගන්නවා. මිනී මරන්නත් පෙලඹිලා. ඔබ නන්දනීටත් දරු දෙදෙනාටත් ආද‍රේ නම් ඒ අය ආදරෙන් ආරක්ෂා කරන්න බාර ගන්න සූදානම් වෙන පුද්ගලයාට ඉඩ දෙන්න. ඔය අපරාධය කරන්න එපා. ඔබ බෞද්ධයෙක් නම් සත්‍ය පිළිගන්න. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඔය දුක්ඛිත ආත්මයෙන් මිදී ඉහළට යන්න හිතට ගන්න. පිනට දහමට හිත යොමු කොට දෙවියන් අතරට යන්න කල්පනා කරන්න.” යැයි කරුණාවෙන් අවවාද කළේ ය.

“මේ අයට තවත් සතියක් බෝධි පූජා පවත්වන්න මම නියම කරනවා. ඔබත් මේ අය එක්ක බෝධි පූජාවට යන්න” යැයි වැඩි දුරටත් භූතයාට උපදෙස් දුන්නේ ය.

පිරිසුදුව ශ්‍රද්ධාවෙන් බෝධි පූජා පවත්වා තුන් සූත්‍රය සජ්ඣායනා ‍කොට සංජය දුකින් නිදහස් වෙන්නැයි සිතා පින් අනුමෝදන් කර සතිය අවසානයේ පන්සලට හීල් දානයක් පිරිනමා සංජයගේ නම කියා පැන් වාඩ පින් දී නැවත එන්නැයි ඔවුන්ට නියම කළේ ය.

ඒ සතිය අවසන් වන විට නන්දනීගේ අසනීප තත්ත්ව මග හැරී තිබුණි. දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ රෝගියා ද සුවපත්ව තිබුණි. ඊළඟ දිනයේ ඔහු ද ඔවුන් සමඟ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණ සිටියේ ය.

එදින ද ගවේෂකවරයා නන්දනීට භූතාත්මය දිෂ්ටි ගන්වා කතා කළේය. එදින භූතාත්මයේ රළු ගති ද ඉවත්ව තිබුණි.

“කොහොද බෝධි පූජාවලට ගියාද?”

“ඔව් මහත්මයා. පන්සලේ දානයටත් ගියා. මේ අය දානයත් හොඳට දුන්නා. හාමුදුරුවෝ මගේ ගුණත් කිව්වා. ඒ ගුණ ඇහෙන කොට මට පුදුම සතුටක්, පිනා යෑමක් සිදු වුණා” යි ප්‍රේතාත්මය කීවේ ය.

“ඔව් ඔබ දැන් ඉන්න දුක්ඛිත තත්ත්වයෙන් මුදා ගන්නා මේ අය කොයි තරම් උනන්දුවෙන් කටයුතු කරනවාද කියා හිතන්න. ඇදුරන් ලවා බැඳලා මූදෙ දැම්මානම් අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳින්න වෙනවා. අපි එහෙම කරන්නේ නෑ. කරුණාවෙන් ඔබටත් යහපතක් කරන්නයි හදන්නේ. බලන්න ඔබේ විවාහක බිරිය. දරු දෙන්නා කෙරෙහි කරුණාවෙන් මේ මහත්තයත් බාර ගන්න සූදානම්. ඔබ ඒ අයට ආදරේ නම්, දරු දෙන්නාගේ අනාගතය යහපත් වෙනවා දකින්න කැමති නම් ඔබත් ආශීර්වාද කරන්න. ඒකයි පරම පවිත්‍ර ආදරය.”

“ඔව් මහත්මයා. මට වැටහුණා. මට මේ දුකෙන් මිදෙන්න ඕනෑ” යි ප්‍රේතයා කීවේ ය.

නිවෙසට ස්වාමින් වහන්සේ දස නමක් වඩමවා සාංඝික දානයක් පිරිනමා සංජය සිහිපත් කාට නම කියා පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත එන්නැ යි ඔවුන්ට නියම කළේය.

දානයෙන් පසු නැවත පැමිණි දිනයේ ද ඇයට භූතාත්මය ආවිශ්ටව කතා කළේය.

“මේ මවුපියෝ හොඳ තීරණයක් අරගෙන තියෙන්නේ. නැවත විවාහ වීමෙන් මේ මහත්මයා නන්දනීටත් දරුවන්ටත් ආරක්ෂකයෙක් වේවි. නන්දනී ශක්තිමත් වේවි. ළමයින්ටත් හොඳයි. ඔබටත් සතුටු වෙන්න පුළුවන් දිව්‍ය ලෝකයකට යන්න හිතන්න.” යැයි ගවේෂකවරයා අවධාරණය කළේය.

“ඔව් මහත්මයා මම කැමතියි. හොඳ තැනකට යන්න.”

සුදු මල්වට්ටියක් ගෙන්වා ප්‍රේතයා ඊට සම්බන්ධ කොට කළුතර බෝධි පරිශ්‍රයට ඔවුන් අතම යැවීය.

Comments