
ඔහු නමින් ජියාවෝ ටාඕ ය. තිස්පස් හැවිරිදි ටාඕ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ ලංකාවට පැමිණෙන්නේ පසුගිය 11 වැනි දාය. ඒ ව්‍යාපාරික වීසා රැගෙනය. ටාඕ එදිනම තම මිතුරන් සමඟ චීන ජාතිකයන් ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටින මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩකටයුතු සිදු කෙරෙන ස්ථානයට පැමිණෙන්නේය. එහිදී මිතුරන් සමඟ කටයුතු කරන ඔහු ඔවුන් සමඟ දිවා ආහාරය ද ගෙන සන්ධ්‍යා යාමයේ දී ඒ අසල ඇති දන්දෙණිය රක්ෂිතයේ ඇවිදීමට ගොස් තිබේ.
''මම කැලේ පාර දිගේ ඇතුළටම ඇවිද ගෙන ගියා. ඉදිරියට යද්දී පාර දෙකට බෙදුණා. ඉන්පස්සේ මම එක් පාරකින් තවත් ඉදිරියටම ඇවිද ගෙන ගියා. මට කිසිවක් හොයා ගන්න බැරිව ගියා. දින ගණනක් ඇවිද්දා'' ටාඕ පසුව ඒ පිළිබඳ පොලීසියට පවසා ඇත්තේය. ටාඕ රක්ෂිතයට ඇවිදගෙන යනු දුටු ඒ අවට නිවෙසක කාන්තාවක් ද ඔහුට රක්ෂිතයට නොයන්නැයි අවවාද කර ඇත්තේය. ඔහු එය ගණනකට නොගෙන ඉදිරියට යද්දී රක්ෂිත වනාන්තරයේ වූ වළකට ඇද වැටී ඇත. දින කීපයක් ඇවිද යෑම නිසා අධික තෙහෙට්ටුව හා ඇඟට පණ නැති වීම හේතුවෙන් අඩි පහමාරක් පමණ වූ එම ගැඹුරු වළෙන් ගොඩට ඒමට ඔහුට නොහැකි වී තිබේ. දන්දෙණිය රක්ෂිතය හෙක්ටයාර හාරසීයකට වඩා විශාලය.
රක්ෂිතය ආසන්නයේ ඉඩමක හිමිකරුවකු ඔහුගේ දියණියද සමඟ ඉඩම සුද්ද කිරීමට යන්නේ මේ අතරතුරය. ඉඩම සුද්ද කරමින් සිටියදී ඔවුන්ට කිසිවකු හෝ කෑ ගසන හඬ ඇසී තිබේ.
''අපි ඉඩම සුද්ද කරමින් සිටිද්දී කවුදෝ කෑ ගහන හඬක් ඇසුණා. ඒ සද්දේ අමුතුයි. ටික වෙලාවකදි ඇහෙනවා. නැවත ඇහෙන්නේ නෑ. අපි ටිකක් විපරම් කරලා බැලුවා. විදේශිකයෙක් රක්ෂිතය ඇතුළේ වළකට වැටිලා ඉන්නවා දැක්කේ එතකොටයි. අපි ඉන් පස්සේ 119 එකෙන් පොලිසියට කතා කළා.''
ලද දුරකථන ඇමතුම ඔස්සේ ක්‍රියාත්මක වූ තිහගොඩ පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරීහූ වහාම කිලෝමීටර් ගණනාවක් පා ගමනින් වනාන්තරය ඇතුළට ගොස් වළේ සිටි චීන ජාතිකයා ගොඩට ගත්හ. ඒ වනවිටත් ඔහු සිට ඇත්තේ දින හතක් නිරාහාරව අසාධ්‍ය තත්ත්වයේය. අනතුරුව ඔහු ඇඳක තබා ගෙන රක්ෂිතයෙන් පිටතට ගෙනැවිත් ප්‍රථමාධාර ලබාදී ගිලන්රථයකින් රෝහල් ගතකොට තිබේ. මේ චීන ජාතිකයා පසුගිය එකොළොස්වැනිදා සිට අතුරුදන්ව සිටින බවට ඔහුගේ මිතුරන් විසින් කරන ලද දැනුම් දීම් ඔස්සේ ඔහු ගැන පොලීසිය හා ප්‍රජා පොලිස් ඒකක අවට පීරමින් සොයා බලා ඇත. පසුව ප්‍රදේශය පුරා ඔහුගේ රුව සහිත පෝස්ටර් අලවා ජනතාව දැනුම්වත් කොට තිබේ. මොහු සොයා දෙන අයෙකුට රුපියල් පනස් දහසක ත්‍යාග මුදලක් ලබා දෙන බවද එම පෝස්ටර්වල සඳහන්ය.
ඒ අනුව මේ වන විට එම ත්‍යාග මුදල මොහු සොයා දුන් පියාට සහ දරුවනට ලබා දී තිබේ. ටාඕගේ අතුරුදන්වීම ගැන වැඩි දුර පරීක්ෂණ පවත්වන පොලීසිය සඳහන් කරන අන්දමට තවමත් ඔහුට තමාට සිදු වූ දේ පිළිබඳ නිවැරැදි මතකයක් නොමැත. ඔහුගෙන් කටඋත්තර ගැනීමේ දී තවමත් ඔහු තමා ජීවත් වූ රටේ සහ නිවෙසේ තොරතුරු පවසන බවද පොලීසිය සඳහන් කරයි.
''අක්කා ඉන්නවාද? අම්මා ඉන්නවාද? මගේ බීම බෝතලය කෝ?'' වැනි දේ ඔහු විමසන බවයි.
වළට වැටීමත් දින ගණනක් නිරාහාරව සිටීමත් නිසා ඔහු දැඩි කම්පනයකට ලක් ව ඇති බවත් මේ වන විට මේ චීන ජාතිකයා ගේ සිරුර පුරාම හම ගිහින් තිබෙන බවත් ඒ තුවාලවලට ප්‍රතිකාර සිදු කරමින් පවතින බවත් වෛද්‍යවරු පවසති. ඔහු මානසික ආතතියට ලක් ව ඇති බව වෛද්‍ය මතය වී තිබේ. කෙසේ වෙතත් මේ වෙද්දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සුව වෙමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.
චීන ජාතිකයා පාර වැරදීමකින් මෙලෙස අනතුරට ලක් වුණා ද නැතිනම් වෙනත් හේතුවක් නිසා මෙලෙස වළට වැටුණේ ද යන්න ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව තිහගොඩ පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු චීන ජාතිකයා ගැන තොරතුරු පළ කිරීමේදී ඇතැම් සමාජ මාධ්‍ය ජාල හා ඇතැම් මාධ්‍ය හාස්‍යයෙන් යුතුව වාර්තා කිරීම ගැන බොහෝ දෙනා අප්‍රසාදය පළ කරති. මෙරට ජනයා කුමන හෝ ආගමකට අයත්ය. ඒ සෑම ආගමකින්ම පෙන්වා දෙන්නේ අනෙකාට අවමන් නොකොට ගෞරව කිරීමය. ශ්‍රී ලාංකිකයන් හැම විටම පරිත්‍යාගශීලී කාරුණික හා ආගන්තුක සත්කාරයෙන් යුතු මිත්‍රශීලී ජනතාවක් ලෙස විදෙස් රටවල ප්‍රචලිතය. එනිසා කාට වුව සිදුවූ යම් දෙයක් වාර්තා කිරීමේ දී එය මානුෂික වාර්තාකරණයක් විය යුතු බව සමාජයේ අදහසයි.
ජායාරූපය- කැළුම් බෝධිමාන තිහගොඩ
තුෂාරි නේරංජා වික්‍රමසිංහ