
අද අප සාකච්ඡාවට බඳුන් කරන්නේ වත්මන් සමාජයේ විශාල ප්‍රශ්න රැසකට ප්‍රධාන හේතු සාධක වන කරුණක් පිළිබඳවයි. එනම් අධික ලෙස අාවේගශීලි වීම. මේ ඉවසීමක් නැති වීම නැත් නම් අධික කෝපය නිසාම මිනිසුන්ට අනන්ත අප්‍රමාණ ප්‍රශ්න රාශියකට මුහුණ පාන්න සිදු වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසා අද වන විට සමාජය නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණ දී ඇති ආකාරය ඉතා පැහැදිලියි. කෝපය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් නිරන්‍තරයෙන් නොයෙකුත් අපරාධ සිදු වනවා. කේන්තිය නිසා අප ජීවත් වන සමස්ත සමාජයට පමණක් නොවෙයි; සමාජයේ මූලික ඒකකය වන පවුල තුළ ස්වාමියා භාර්යාව දූදරුවන්ටත් ප්‍රබල බලපෑම් සිදු වී තිබෙනවා.
ජීවිතයේ සෑම කටයුත්තකටම කෝපය විශාල බලපෑමක් වෙලා තිබෙන අධික තරහා නැත් නම් කෝපය ඉතා ප්‍රායෝගිකව පාලනය කරගැනීමට උපදෙස් රාශියක් සම්බුද්ධ ධර්මයේ විවිධ තැන්වල ඉගැන්වෙනවා. බුද්ධ දේශනාවේ සඳහන් වන එබඳු කරුණු කිහිපයක් පිළිබඳවයි මේ ලිපියෙන් පැහැදිලි කරන්න උත්සාහ කරනු ලබන්නේ.
මජ්ඣිම නිකායේ මහා හත්ථිපදෝපම සූත්‍ර දේශනාවේදී සාරිපුත්ත තෙරුන් වහන්සේ තරහා පාලනය කරන්නේ කෙසේද යන්න මේ ආකාරයට පැහැදිලි කරනවා:
ඔබට යම් කිසි කෙනෙක් බනිනවා නම් ඒ බැනීම ඔබේ කනට ඇසුණ හොත් අප සිතිය යුත්තේ: ‘කනට ශබ්දයක් ඇසී දුකක් ඇති වුණා.’ නැවතත් ඔබ සිතන්නට අවශ්‍යයි ‘මේ කන අනිත්‍යයි. මේ කනේ වැදුණු, අපට දුකක් ඇති වූ ශබ්දය අනිත්‍යයි. ඒ ශබ්දය වටහා ගත් සිත අනිත්‍යයි.’ එනම්: කන, සිත, ශබ්ද යන සියල්ල අනිත්‍ය බව අපි නිරන්තරයෙන් මෙනෙහි කළ යුතුයි. ඔබට යම් කිසි තරහක් සිතේ ඇති වූ අවස්ථාවන්හිදී මේ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් ඔබේ මනසේ ඇති වන කේන්තිය පාලනය වනු ඇත.තරහා ඇති වීමට පළමු හේතුව ලෙස ‘පටිඝය’ සඳහන් කෙරෙනවා. මොකක්ද මේ පටිඝ නිමිත්ත කියන්නේ? තමා අකැමැති අරමුණ පටිඝ නිමිත්ත ලෙස සැලකෙන්නේ. අකැමැති දේ අපිට අනන්තවත් දකින්නට ලැබෙනවා. ඒත් අපේ සිතට පටිඝ නිමිත්තක් ලැබුණු පමණින්ම අපට තරහක් ඇති වන්නේ නැහැ. තරහව ඇති වන්න නම් පටිඝ නිමිත්තත් ඇති වෙච්ච මොහොතේදීම එම පටිඝ නිමිත්ත දැනිලා ඒ පටිඝ නිමිත්ත පිළිබඳ නුවණින් තොර සිතිවිල්ලක් හටගත යුතුයි. යම් අවස්ථාවක තරහකාරයෙක් දකින්න ලැබෙනවා. එය පටිඝ නිමිත්තක්. එය තරහක් බවට පත් වීමට නම් තමා තුළ ‘අයෝනිසෝ මනසිකාරය’ ඇති විය යුතුයි.
‘අයෝනිසෝ මනසිකාරය’ කියන්නේ නුවණින් තොරව සිතීමයි. නැති තරහක් සිතේ උපදවාගෙන ද්වේෂයක් සිතේ ඇති වන ආකාරයට සිතන්නට පෙලඹීමයි. සරලව කිව හොත් යටපත්ව ඇති තරහා ඉස්මතු වන ආකාරයට සිතීමයි. අදාළ තැනැත්තා හෝ තැනැත්තිය දැකීමෙන් අතීතයේදී අදාළ පුද්ගලයාගෙන් සිදු වූ යම් යම් වැරදි මෙනෙහි කිරීමට පටන් ගන්නවා. ‘මොහු මට මෙසේ කීවා, මෙසේ පරිභව කළා, අපහාස කළා, නින්දා කළා, අවමං කළා’ යනුවෙන් සිතීමට පටන් ගැනීම තුළ මේ ‘අයෝනිසෝ මනසිකාරය’ සිත තුළ ඇති වනවා.
මේ ලෙස අපේ සිත තුළ හට ගන්නා තරහා නුවණින් විමසා බලා නැති කර ගැනීමෙන් එය පාලනය කරගැනීමට හැකියාවක් ලැබෙනවා. චිත්තානුපස්සනා සතිපට්ඨානයේ මේ තරහව පාලනය කිරීම පිළිබඳ සදහන් වනවා.
‘සදෝසං වා චිත්තං - සදෝසං සංචිත්තං පජානාති’ මෙහි ‘සදෝසං වා චිත්තං’ යනුවෙන් අදහස් වන්නේ ද්වේෂ සහිත හිතක් යන්නයි. ඔබ ඔබේ සිතින්ම මෙනෙහි කළ යුතුයි ඔබේ සිත තුළ ඇති වන කෝපය පිළිබඳව. ඒ මෙනෙහි කිරීමේදීම තරහාව සිතින් තුරන් වී යනවා. එහෙත් ඇතැම් විට සිතේ ඇති වන තරහව ප්‍රබල නම් ඒ සිතිවිල්ල සිතින් ඈත් කිරීමට අප අමුතුවෙන් වෑයම් කළ යුතුයි. එබඳු අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. මෙහිදී අප සිතිය යුතුයි අපේ සිතේ තරහවට හේතුකාරණා වූ පුද්ගලයාගේ හිසේ සිට පාදාන්තය දක්වා අරමුණු කරමින් ‘මම මේ පුද්ගලයාගේ කවර කොටසත් සමඟද තරහා විය යුත්තේ?’ කියා. එනම්: කෙස්, ලොම්, දත්, ඇස්, නාසය, කට, බෙල්ල, මස්පිඬු, නහර, ඇට සහ ඇටමිදුළු යන මෙයින් කුමන කොටස සමඟද මා කෝපයෙන් සිටින්නේ? මේ ආකාරයට වෙන් වෙන්ව නුවණින් විමසා බැලීමෙන් අනිත්‍යය වටහාගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මේ ශරීරයේ කොටස් වෙන් වෙන්ව ගත් කළ ඒ තුළ මනුෂ්‍යයෙක් නැහැ. මේ සියල්ල එකතුවයි පුද්ගලයකු හටගන්නේ. ඔබට එවිට සිතේවි ‘වෙන් වෙන් වශයෙන් ගත් කල පුද්ගලයකු නොමැති නම් මා තරහා උපදවාගත්තේ කා සමඟද?’ කියා. එසේ නම් ඔබ කා සමඟවත් තරහා විය යුතු නැති බව ඔබට වැටහෙනවා. බුදුදහමේ විසුද්ධි මාර්ගයේ මෛත්‍රී භාවනාවෙන් ඒ පිළිබඳ උපදෙස් දී තිබෙන්නේ මේ ආකාරයටයි.
තරහව පාලනයට තවත් ක්‍රමවේදයක් සලකා බලමු: සබ්බත්තක මෛත්‍රිය. මෙය ඉතා සරල, කෙටි භාවනා ක්‍රමයක්. එසේ නම් මේ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් තරහව නැති වී යනවා. ඔබ යම් කිසි තැනක පහසුවෙන් වාඩි වෙලා මේ මෛත්‍රි සිතිවිලි සිතේ ඇති කරගන්න ‘මම වෛර නොවෙම්වා! තරහා නොවෙම්වා! නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා!’ යන සිතිවිල්ල හතර පාරක් පමණ මෙනෙහි කරන්න. ඒ වගේම නිවෙසේ සිටින, කාර්යාලයේ සිටින අධිපති ජනයාට, නිවෙසේ කාර්යාලයේ ආරක්ෂක දේවතාවන්ට, නිවෙසේ කාර්යාලයේ සෙසු ජනයාට, පෙනෙන නොපෙනෙන සියලු සත්ත්වයන්ට මෛත්‍රිය වඩන්න. මෙලෙස මෛත්‍රිය වැඩීමෙන් නිවෙසේ කාර්යාලයේ සියලු ජනයා ආරක්ෂක දේවතාවන් ඔබ කෙරෙහි දයාව කරුණාව අනුකම්පාව ඇති කරගන්නවා. මේ ආකාරයට මාස දෙකක් පමණ කාලයක් මේ මෛත්‍රිය වැඩීමෙන් ඔබ සියලු දෙනාට ප්‍රියමනාප තැනැත්තකු වනු නොඅනුමානයි. ඔබේ සිත නිවීපහන් වන ආකාරය ඔබට ම වැටහෙනු අැත. නිවෙසේ කාර්යාලයේ දී ඔබ ප්‍රිය මනාප තැනැත්තකු වනු නොඅනුමානයි.
මෛත්‍රියේ ඇති බලය පිළිබඳ මෑත ඉතිහාසයෙන් උදාහරණයක් ගෙන මම පැහැදිලි කරන්නම්. සිරිපා අඩවියේ වැඩවාසය කළා භාවනාව හොඳින් ප්‍රගුණ කළ, බදුරලියේ චන්දිම නම් වන හිමි නමක්. දිනක් උන් වහන්සේ ගල්ලෙනෙහි වැඩවාසය කරන කාලයේ උන් වහන්සේ දැක්කා කළු ලොම් පිරීගිය මිටි පුද්ගලයකු ගල්ලෙනට ඇතුළු වී සුවසේ නිදා සිටින ආකාරය. මේ පුද්ගලයා උදේම ලෙනට ඇතුළු වී සවස් වන තුරු මේ නිදා සිට සවස අවදි වී පිටව යනවා. ඒත් මේ ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව ඔහුගෙන් විමසීමක් කළේ නැහැ. මාස තුනක් ගත වන තැන මේ පුද්ගලයා මේ ස්වාමීන් වහන්සේට පුස්කොළ පොතක් දුන්නා. ඒක මන්තර පොතක්. උන් වහන්සේ එය කියවා බලා, යළිත් අර පුද්ගලයාටම ලබාදුන්නා. ඉන් අනතුරුව මේ පුද්ගලයා කවුරුන්දැයි උන් වහන්සේ විමසීමක් කළා. තමා මේ වනයේ ජීවත් වන යක්ෂයකු බව ඔහු කීවා. ඉන් අනතුරුව උන් වහන්සේ ඇයි මේ ගල්ලෙනට පැමිණෙන්නේ කියා විමසනවා. යක්ෂයා මේ ආකාරයට පිළිතුරු දෙනවා: ‘ඔබ වහන්සේගේ මෛත්‍රිය නිසා මට මේ ගල්ලෙනෙහි ආරක්ෂා සහිතව නිදාගන්න පුළුවන්.
මේ ස්ථානයේ වැඩවාසය ඔබ වහන්සේ වෙනත් යක්ෂයන් කලබල කරන්නේ, කලකෝලහල ඇති කරන්නේ නැහැ. ඔබ වහන්සේගේ මෛත්‍රිය නිසා මට සුවසේ නින්ද යනවා. ඒ නිසයි මේ ස්ථානයට මා පැමිණියේ.’ පෘථග්ජන මිනිසුන්ගේ පියවි ඇසට නොපෙනෙන මෙවැනි යක්ෂයන් පවා මෛත්‍රිය හමුවේ මෘදු බවට පත් වන ආකාරය මෙයින් පෙනෙනවා. ඔබ මෛත්‍රිය වඩනවා නම් ඔබ අවට සිටින සියලු සත්ත්වයන්, අත්භූත බලවේග පවා මෘදු බවට පත් වනවා. එතරම් ගුණයක් මේ මෛත්‍රියේ තිබෙනවා.
අධික කෝපය නැති කරගන්න තවත් ක්‍රමයක් පිළිබඳව බුදුදහමේ එනවා. ඒ ගැන බොහෝම ලස්සන උපමා කතාවකින් පැහැදිලි කරනවා: මනුෂ්‍යයෙක් වැටෙනවා මල අපද්‍රව්‍ය ඇති වළකට. ගොඩ ඉන්නවා වෙනත් පුද්ගලයෙක්. එ පුද්ගලයා බලනවා වළේ වැටුණු පුද්ගලයාගේ ඇඟේ අපද්‍රව්‍ය නොගැවුණ තැන කොතැනද කියලා. තමන් ඇඟේ තවරාගන්නේ නැතිව මල තැවැරුණු පුද්ගලයා ගොඩට ගන්නවා. ඒ වගේ යම් කිසි කෙනෙක් පිළිබඳ තරහව උපදින අවස්ථාවලදී ඔබ සිතිය යුතුයි මේ පුද්ගලයාගේ මල අපද්‍රව්‍ය නොතැවරී අැත්තේ කොතැනකද කියා. ඒ කියන්නේ යම් පුද්ගලයකුගේ නරක දෙස බැලුවොත් තමයි තරහව ඇති වන්නේ. ඒ පුද්ගලයාගේ හොඳ විතරක් නිතර දකින්න පුරුදු වන්නේ නම් නිවෙස තුළ වුණත් පවුලේ ආරවුල් බොහෝමයක් විසඳාගැනීමට මේ ක්‍රමය ඉවහල් වෙනවා. ස්වාමියා භාර්යාවගේ වැරදි පමණක් දැකීමෙන්, භාර්යාව ස්වාමියාගේ නරකම පමණක් දැකීමෙන් පවත්නා වැඩි හොඳ යටපත් විය හැකියි. කාර්යාලයේදීත් ඒ ආකාරයට සිතිය යුතුයි.
විශාල ගුණ සමුදායක් එක් නරක සිදුවීමකින් යටපත් නොකළ යුතුයි. ඒ ගුණ ගැන සිතමින් මා පෙනේරයක් නොවිය යුතුයි, හොඳ හලා ඉවත් කර නරක රඳවා නොගත යුතුයි. මා කුල්ලක් විය යුතුයි. කුල්ල නරක දේ ඉවත් කර, හොඳ දේ පමණක් රඳවාගන්නා සේ මාත් අනෙකාගේ නරක ඉවත් කර හොඳ පමණක් දකිනවා කියන අධිෂ්ඨානයේ ඔබ සිටිය යුතුයි. කෙනකුගේ හොඳ දැකීමෙන් ඒ ඔස්සේ තමාද ප්‍රියමනාප පුද්ගලයකු වනවා නොඅනුමානයි. මේ මෛත්‍රි සිතිවිලිවලින් ඔබේ සිතේ කරුණාව, දයාව හට ගන්නවා. තරහාව ඇති වූ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩිම තුළ ඔබේ සිත නිවී යනවා නොඅනුමානයි.
තරහා නැති කරගන්න තවත් ක්‍රමයක් වන්නේ සිහිය පිහිටුවා ගැනීම 'යො නිසෝ මනසිකාරය' යනුවෙන් හදුන්වනවා. දිනකට කෙටි කාලයක් හෝ සිතින් අධිෂ්ඨාන කරගත යුතුයි. එවැනි තරහවක් ආවොත් මා එහි අනිත්‍යය කෙරෙහි සිත යොමු කරනව කියා. මේ ආකාරයට දිනෙන් දින මේ ඉවසීමේ කාලය වැඩි කර තරහා උපදින්නට ඉඩ දෙන්නේ නැහැ කියන භාවනාවේ ඔබ සිටිය යුතුයි.
ත්‍රිපිටකයේ ඉගැන්වෙන තරහා ඉපදීම පාලනය කරන ආකාරයන් පිළිබඳ සඳහන් වනවා:
‘ඛන්ති පරමං තපෝ තිතික්ඛා
කන්ත්‍යා භීයෙළ්‍යා නවිජ්ජතී
ඛන්තී බලං බාලාණිඛං
තමහං බ්‍රෑමී බ්‍රාහ්මණං’
‘ඉවසීම උතුම්ම සීලයයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නැත. ඉවසීම කියන බල හමුදාව ඔබ තුළ වේ නම් ඔබ බ්‍රාහ්මණයෙක් වෙනවා.’ අන්න ඒ වගේ බුද්ධභාෂිත සිහි කළ යුතුයි. ධම්මපදයේ යමකවග්ගයේ මෙහෙම සඳහන් වනවා:
‘නහී වේරේන වේරානි - සම්මන්තිච කුදාචනං
අවේරේන සම්මන්ති - ඒස ධම්මෝ සනන්ථනෝ’
වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන් සංසිඳීමට පත් වනවා. වෛර කරන්නාට අප වෛර නොකර සිටිය හොත් වෛර කරන්නා ශාන්ත බවට පත් වනවා, නිවීමට පත් වනවා. එයයි ලෝකයේ පවතින සනාතන ධර්මය.
සුභද්‍රා දේශප්‍රිය