මිහිඳු යුගයේ බිහිවුණු පින්බිම | Page 3 | සිළුමිණ

මිහිඳු යුගයේ බිහිවුණු පින්බිම

අපගේ නැවතුම සොබාදහම් දිනිතිය මනා හික්මීමෙන් මවන ලද අපූර්ව රමණීයත්වයකින් හෙබි විහාර භූමියක් අසල ය.ඓතිහාසික බිහල්පොළ වෙහෙරගල ශ්‍රීපාදස්ථාන රජමහා විහාරය නම් වන මේ පෞරාණික සිද්ධස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය -නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිහල්පොළ ග්‍රාමයේ පිහිටා ඇත.

අනුබුදු මිහිඳු මාහිමිගේ උපදෙස් පරිදි දෙවනපෑතිස් රජු යොදුනෙන් යොදුන චෛත්‍ය කරවූ බව මහාවංශය හා සමන්තපාසාදිකාව සඳහන් කරයි. ඒ සාදන ලද චෛත්‍ය අතුරින් එකක් මේ රජමහා විහාරයේ දාගැබ බව සඳහන් වේ. මුදියන්සේලා පස්දෙනකුගෙන් යුතු පංච ප්‍රධාන භාරකාර මණ්ඩලයක් පත් කර 'කනත්තව ගෙදරට'ඒ මණ්ඩලය භාරදී විහාරය රැක ගැනීමට අවශ්‍ය කටයුතු ඒ කාලයේදීම සිදු විය. මේ 'කනත්තව ගෙදර' පරපුර වර්තමානයේද විහාරස්ථානය ආසන්නයේ පදිංචිව සිටිති.

වළගම්බා රජු රාජ්‍යත්වයට ප්‍රථම සැඟවී සිට සටන් පුහුණු වූ ආරක්ෂිත ස්ථානයක් ලෙස ස්වාභාවික ගල් දෙබුක්කාවකට මැදි වූ මේ පුදබිම භාවිත වී ඇත. දැනට වැසී පවතින ඉතා දිගු රහස් උමං මාර්ග ද්විත්වය ද ඒ බවට සාක්ෂි දරයි. වළගම්බා රජුගේ රාජ්‍යත්වයෙන් පසු කාලීනව මලියදේව මහරහතුන්ගේ පිරිනිවන් පෑම සිදු වේ. ඒ මහරහතුන්ගේ දෙණ ආදාහනය උදෙසා වට්ටාරම සිට නාරම්මල රජමහා විහාරයට අහසින් වැඩම කිරීම සිදු විණැයි කියති. මේ ආදාහන පූජෝත්සවයට වළගම්බා රජු නාරම්මලට පෙරහරින් පැමිණෙන විට තමන් සැඟව සිට සටන් පුහුණු වූ මේ කනත්තව විහාර පරිශ්‍රයට පැමිණියේය. දෙවනපෑතිස් රජ දවස කරවූ අඩි 06ක් පමණ උසින් යුතු දාගැබ් වහන්සේගෙන් ඒ දිනවල රැස් විහිදෙන ආකාරය තමන් සියැසින් දුටු බැවින් මේ භූමිය තවදුරටත් පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට උපදෙස් ලබා දුනි. වළගම්බා රජුට මේ භූමියට පැමිණීම සදහා නිර්මාණය කළ පෙත්මග (ගල් කුට්ටි ගෙනැවිත් තබා නිර්මාණය කළ වන්දනා මාර්ගය) දෙකක් නැඟෙනහිර හා නිරිත දෙසින් දක්නට ලැබේ. රජු, බිසව හා සේවක පිරිස ජලය පරිහරණය කළ පොකුණු ඇතුළුව පොකුණු නවයක් ද අදටත් මේ විහාරයේ දක්නට ලැබේ.

දෙවනපෑතිස් රජු විසින් ධාතූන් වහන්සේ සය නමක් තැන්පත් කර සෑදවූ කුඩා සෑය වටා ඇතකු උසට බැම්මක් බැද විශාලා මහනුවරින් වැඩම වූ ධාතුන් වහන්සේ 15 නමක් එහි අඩියේ තැන්පත් කොට ඒ මත නැවත චෛත්‍යයක් නිර්මාණය කර තිබේ. ඒ නිසාම මේ ප්‍රදේශය 'විසල්පුර' බවට පත් වී පසුව 'බිහල්පොළ' වූ බව ද කියවේ. තවද මේ සමඟම තුන් බෝධි පිහිටුවූ බවත් සිරිපා සටහනක් කරවූ බවත් සදහන් වන අතර ඒ සියල්ල දැනුදු නිරුපද්‍රැතව විරාජමානව පවතී. මේ විහාරය ස්වභාවයෙන්ම මළු තුනකින් සමන්විතව නිර්මාණය වී ඇති අතර පහළ මළුව, මැද මළුව හා ඉහළ මළුව ලෙස හැදින්වේ.

විහාර මළුවට පැමිණෙන බැතිමතුන්ට ගිනිකොන දෙසින් ශ්‍රීපාද අඩවිය උදෑසනට දිස් වේ. එකී ශ්‍රීපාද අඩවිය දෙස බලා වන්දනා කිරීම උදෙසා විහාර මළුවේ ගිනිකොන දිගින් ශ්‍රීපාද සටහන ගලෙහි කොටා ඇත. එයද වළගම්බා රජු විසින් කරවූවකි. මේ ශ්‍රීපාද පද්මය දියෙන් නහවා ඊට දිය පුරවා සමන් පිච්ච අතුරා ඒ යුගයේ සිට කළ පූජා චාරිත්‍රයක් තිබූ බව විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය කඩිගමුවේ සුනීත හිමියෝ පවසති.

පොලොන්නරු යුගයේ රහතන් වහන්සේ නමක මේ විහාරයේ වැඩ වාසය කළ බවත් ඒ යුගයේ නාග මාණික්‍යය හිමි නාගයකු විසින් මේ බිම අදෘශ්‍යමානව ආරක්ෂා කළ බවත් කියැවේ. දඹදෙණි හා කුරුණෑගල යුගවලදී මේ විහාරයේ විදර්ශනා ධුර භික්ෂූන් වැඩ වාසය කළ නිසා එතරම් ජනප්‍රියතාවක් හා ප්‍රචලිත වීමක් සිදු නොවූ බව ද විහාරාධිපති හිමි සඳහන් කරයි.

පසුව එළැඹෙන මහනුවර යුගයේ මුල් භාගයේ පරිහානි අර්බුදයට පෙර දෝන කතරිනා දේවියට විමලධර්මසූරිය රජුට දාව උපන් විජයපාල උප රජු මාතලේ පාලනය කරන සමයේ මැද්ද දේශයෙන් රණවිල තෙරුන් ඇතුලු භික්ෂූන් පස් නමක් වඩම්මවා මේ විහාර භූමියේ සංඝාවාසයක් ගොඩනගා ඇත. පසුව එළැ‍ඹෙන පරිහානි යුගයේ සියලු පන්සල්වල පාහේ ගණින්නාන්සේලා වාසය කළ අතර මේ විහාරයේ වාසය කරන ලද්දේ නක්කාවත්තේ සිල්වතුන් වහන්සේ ය. එනම් විදර්ශනාධුර භික්ෂු පරපුරෙන් පැවත ආවකු බැවින් සිල්වත්ව සිල්රැකි උතුමෙකි.

මෙහි ටැම්පිට විහාර සංස්කෘතියට පෙර ගල් මත ඉදිකළ විහාර සංස්කෘතියක් පැවතුණු බව විශ්වාස කළ හැකිය. විහාරයක් ස්වාභාවික අනතුරුවලින් වළක්වා ගැනිම සඳහා ටැම්පිට විහාර ඉදිකළ අතර ස්වභාවික උස් ගල්තලාවක විහාර ඉදිකිරිම ඊට පෙර පැවතුණ ආරක්ෂිත ක්‍රමය වු බවට සාක්ෂි ලැබෙමින් පවතී. මේ විහාරයේ ද බිම් විහාරයට වඩා ටැම්පිට විහාරය පැරණියයි මතයක් තිබුණද පසුගියදා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කළ සංරක්ෂණයන්හි දී විහාර බිත්තියෙන් මතුවු චිත්‍රවලින් මේ බිම් විහාරය වඩාත් පැරණි විහාරය ලෙස තොරතුරු ලැබෙමින් පවති.

මේ විහාරස්ථානයේ අනාගතය අතිශය තීරණාත්මක වන අතර පසුගිය කාලයේදීන් මෙහි තිබූ පුරාවස්තු රැසක් ‍අස්ථානගතවී ඇත. එමෙන්ම අක්කර 900ක් තිබූ ඉඩකඩම් විවිධ හේතුමත වර්තමානයේ අක්කර 14ක් දක්වා අඩු වී ඇති අතර, දැනටද අක්කර 28කට ඔප්පු විහාරය සතුව පවති.කුඹුරු අක්කර 97කින් වර්තමානයේ ඉතිරිව ඇත්තේද අක්කර 4ක පමණ කුඩා පරිමාණයකි. එමෙන්ම විහාරයේ ලියකියවිලි වෙනස් කිරිම හා නිධන් මංකොල්ලය ඉතා ප්‍රසිද්ධියේ සිදු වූ සමයක් තිබූ බවත් ගැමියෝ පවසති. අපගේ ගවේෂණය සිදු වන විටත් නිධන් සොරුන් විසින් අට වැනි වතාවටත් චෛත්‍යය හා සියලු පිළිම වහන්සේලා කඩා බිඳදමා තිබිණි. එහෙත් මේ වන විට ඒ සියල්ල මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් යථා තත්ත්වයට ගොඩනඟා ති‍බේ.

බුද්ධික සමන් ගුණවර්ධන
ඡායාරූප - ප්‍රභාත් වික්‍රිමසිංහ

 

Comments