
මෙවර වෙසක් උත්සවය ලාංකිකයන් සමරන්නේ අප්‍රේල් මාසයේදී ය. ලෝකයේ වෙනත් රටවල් එය වෙනත් දිනක සමරයි. මෙය සිදුවූ පළමු අවස්ථාව නො වේ. කෙසේ වුවත් වෙසක් මංගල්‍යයේ සුන්දරත්වය විඳින්නට කිසිවකුට එය බාධාවක් නො වේ. මේ ලෝකය වෙසක් සමරන හැටි ය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූලික කරගෙන ක්‍රි.පූ. 6 වැනි සියවසේදී පමණ ප්‍රභවය වූ බුදු දහම වත්මන් ලෝකයේ මිලියන 520කට අධික පිරිසකගේ ආගමයි. ඒ අනුව එය ලෝක ජනගහනයෙන් 7%කට ආසන්න පිරිසකගේ ආගම බැව් කිව හැකි ය. ලොව ප්‍රධානතම ආගම් අතර සිවු වැනි තැනෙහිලා සැලකෙන්නේ ද බුදු දහමයි. මහායාන, ථේරවාද, වජ්‍රයාන ආදී විවිධ සම්ප්‍රදාය බුදු දහම තුළ දැකිය හැකි ය. එකී සම්ප්‍රදායන්ගෙන් කවරක් අදහනු ලැබුව ද බෞද්ධ ආගමිකයන්ගෙන් 99%ක්ම ජීවත්වන්නේ ආසියා - පැසිපික් කලාපයේ බව සඳහන් වේ. තෙමඟුල් සැමරුම ලෝකයේ අන් කවර කලාපයකටත් වඩා ආසියා පැසිපික් කලාපයට ඒ නිසා ඉතා වැදගත් සංකෘතික උත්සවයක් වන්නේ ය.
ශ්‍රී ලංකාවේ හැරුණු විට ඉන්දියාව, නේපාලය, ටිබෙටය, බංගලිදේශය, භූතානය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, මැලේසියාව, මියැන්මාරය, මොන්ගෝලියාව, පිලිපීනය, ජපානය, චීනය, උතුරු කොරියාව, දකුණු කොරියාව, තායිවානය, වියට්නාමය ආදී රටවල බෞද්ධයෝ විශාල වශයෙන් වෙසෙති. ඒ ඒ රටවල ජනයා වෙසක් උත්සවය සමරන්නේ ඔවුන්ගේ සංස්කෘතීන්ට සාපේක්ෂ ව ය. අනෙකක් තබා වෙසඟ හඳුන්වන්නට යොදන පද ද සැමරුම් සිදු කෙරෙන දිනයන් ද ඒ ඒ රටේ සංස්කෘතික අනන්‍යතා අනුව වෙනස් වේ.
සාමාන්‍යයෙන් වෙසක් දිනය යෙදෙන්නේ වෙසක් මස පුන් සඳ දර්ශනය වන දිනට ය. එසේ වුවත් මැයි මාසයේදී දෙවරක් පුන් සඳ දර්ශනය වූ වර්ෂ තිබී ඇත. නිදසුනක් හැටියට 2007 වර්ෂය දක්වන්නට පුළුවන. 2007 වසරේ මැයි 1වැනිදාත් මැයි 31වැනිදාත් යන දෙදිනම පුන් සඳ දිස් විණ. ලොව බෞද්ධ රටවල් ඒ නිසා එකී වසරේදී තෙමඟුල සමරුවේ එක් දිනෙකදී නොවේ. ශ්‍රී ලංකාව, කාම්බෝජය, මැලේසියාව ආදී රටවල් රැසක් මැයි මස පළමුවැනිදා වෙසක් උත්සවය සමරන විට තායිලන්තය, සිංගපූරුව ප්‍රමුඛ රටවල් රැසක් මැයි මස 31වැනිදා වෙසක් උත්සවය සමරන ලදී. 2012 වසරේහිදීත් මෙවැනිම තත්ත්වයක් ඇති විණ. හොංකොං, තායිවානය, දකුණු කොරියාව ආදී රටවලට වෙසක් යෙදුණේ ඒ වසරේ අප්‍රේල් 28 වැනිදා ය. එසේ වුවත් ශ්‍රී ලංකාව මැයි මස 5 වැනිදා වෙසක් සමරන ලදී. ඉන්දියාව මැයි 6දාත්, තායිලන්තය ජුනි 4වැනිදාත් ඒ වසරේ වෙසක් දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබිණ. 2014 වසරේදී මියැන්මාරය සිංගප්පූරුව, තායිලන්තය ආදී රටවල වැසියෝ මැයි 13 වැනිදා සම්බුදු තෙමඟුල සැමරූහ. එසේ වුවත් ඉන්දුනීසියාව ඒ වසරේදී වෙසක් උත්සවය පැවැත් වූයේ ඉන් දින දෙකකට පසුවය. ශ්‍රී ලංකාව මේ වර්ෂයේදී අප්‍රේල් 29 වැනිදා වෙසක් දිනය හැටියට සලකා කටයුතු කළත් මියැන්මාරය, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය ආදී රාජ්‍ය රැසකටම වෙසක් උදා වන්නේ මැයි මස 29 වැනිදාට යි. වෙසක් දිනය යෙදීම මේ අන්දමට රටින් රටට වෙනස් වන්නේ ඒ ඒ රටවල භාවිතයට ගැනෙන දින දර්ශනය පදනම් කරගෙන ය.
“වෙසක්” යන පදය ආසියාවේ බොහෝ බෞද්ධ සංස්කෘතීන්වලට ආගන්තුක හෝ නුහුරු හෝ පදයක් නො වේ. “වෙසක්” යන මූලික ප්‍රත්‍යය, විවිධ භාෂාවලින් ව්‍යවහාරයට නැඟෙන්නේ එකිනෙකට වෙනස් ස්වරූපවලිනි. ජපාන බසින් “වෙසාඛ” යනුවෙන් ද, ලාඕ බසින් “වික්සාඛා බොවුක්සා” යනුවෙන් ද, චීන බසින් “වෙයිසායි ජී” යනුවෙන්ද, හින්දි බසින් “වයිසාඛ පූර්ණිමා” යනුවෙන් ද, ඉන්දුනීසියා බසින් “හරි රියා වයිසාක්” යනුවෙන් ද, කාම්බෝජයේ භාවිතයට ගැනෙන ඛමෙර් බසින් “විසාක් බොචෙයා” යනුවෙන් ද, මැලේ බසින් “හරි වෙසක්” යනුවෙන්ද, තායි බසින් “විසාඛා බුචා” යනුවෙන්ද හැඳින්වෙන්නේ වෙසක් ය.
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පූජා කිරීම ඒ ඕනෑම බෞද්ධ සංස්කෘතියක දක්නට ලැබේ. ජපන් ජාතිකයන් වෙසක් උත්සවය “හනමත්සුරී” යනුවෙන් නම්කර තිබෙන්නේ “පුෂ්ප උලෙළ” යන අරුත මතු කරමිනි. මල් සහ සුවඳ වර්ග මිශ්‍ර කරන ලද ජලයෙන් තායිවානයේ බෞද්ධයෝ බුද්ධ ප්‍රතිමා දෝවනය කරති. ජීවිතවල නව ආරම්භයක් එමඟින් සංකේතවත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි. පහන් වැටි, විදුලි බුබුළු දැල්වීමෙන් බෞද්ධ පුදබිම් ආලෝකවත් කිරීමත්, හඳුන්කූරු ආදී සුවඳ ද්‍රව්‍යය දල්වමින් පුදබිම් සුවඳවත් කිරීමත් ඕනෑම රටක වෙසක් සැමරුම් සමඟ අඩු වැඩි වශයෙන් බද්ධව ඇත.
වෙසක් කාලයටම තැනෙන වෙසක් කූඩු සහ වෙසක් පහන් සෑම බෞද්ධ රටක ම පාහේ මේ කාලයේදී දක්නට ලැබේ. දකුණු කොරියා බෞද්ධයන් වෙසෙසින් ම තනන්නේ නෙලුම් මලක හැඩය සහිත වෙසක් පහන් ය. උපත ලද අවස්ථාවේදී සිදුහත් කුමරු නෙලුම් මල් හතක් මතින් පියමන් කළේ ය යන විශ්වාසය නිරූපණය පිණිස ඒ අන්දමේ වෙසක් පහන් තනන බව ඔවුහු පවසති. දකුණු කොරියාවේ සියෝල් නුවර පිහිටි ජොග්යේසා ආරාමය නෙලුම් මල් හැඩැති මෙම වෙසක් පහන්වලින් අලංකෘත වන ප්‍රකට තැනෙකි. දල්වන ලද වෙසක් පහන් ගුවනට මුසු කිරිම ඉන්දුනීසියාවේ ප්‍රකට ය. වෙසඟේ, බොරෝබුදූර් ආරාමය වන්දමාන කරන්නට යන අතර තුර එහි බෞද්ධයෝ මේ අන්දමට වෙසක් පහන් ගුවනට මුසු කරති. දහස් ගණනක් වෙසක් පහන්වලින් රාත්‍රී අහස ඒකාලෝකවීම විචිත්‍රවත් දසුනකි. වෙසක් පහන් දල්වා උඩු ගුවන සරසන සෙසු රටවල් අතර තායිලන්තයට මෙන් ම තායිවානයටත් සුවිශේෂ තැනක් හිමි වේ. ලොව විශාලතම බෞද්ධ ජනගහනය වෙසෙන චීනයත් වෙසක් දිනට සැරසිලි ආදියෙන් වර්ණවත් වන රටකි. මේ සෑම රටක් ම කඩදාසි භාවිතයෙන් මහා පරිමාණ වශයෙන් ඉතාමත් රමණීය වෙසක් සැරසිලි කරන රටවල් ය.
ආසියා පැසිපික් කලාපය, වෙසක් දිනට ලොව සෙසු කලාපවලට වඩා කැපී පෙනෙන බව රහසක් නො වේ. ලොව සෙසු කලාපවල වෙසක් සැමරෙන්නේ ඒ ඒ කලාපවලට ගොස් සිටින අසියාතිකයන් නිසා ය. අප්‍රිකා මහාද්වීපයේ ලිබියාව, මොරොක්කෝව වැනි ඉස්ලාමික රාජ්‍යවල පවා බෞද්ධ විහාර ඉඳහිට වුව දැකිය හැකි ය. ඒවා ඉඳි වී තිබෙන්නේ එකී රටවල සේවය පිණිස ගිය ආසියාතික ජනයා නිසයි. මේ තත්ත්වය විශේෂයෙන් ම කැපී පෙනෙන්නේ අප්‍රිකා රාජ්‍යයක් වන මුරුසි දිවයිනෙහි ය. එහි ජනගහනයෙන් 1.5%ත් 2%ත් අතර පිරිසක් බෞද්ධ බව සඳහන් වේ. මේ පිරිසෙන් වැඩිදෙනකු චීනයෙන් එරටට සංක්‍රමණය වූවන් ය. එවැනි රටවල වෙසක් උත්සවය පැවැත්වෙන්නේ එම සංක්‍රමණිකයන්ගේ ඇවතුම් පැවතුම්වලට සාපේක්ෂව ය.