
වෙසක් කියා නැත. අප ජීවන සටනට උරදිය යුතු ය. මේ වෙසක් සමය වෙනුවෙන් කූඩ සාදා අෙලවි කරන මිනිසුන් අපට මඟතොට අනේක හමුවෙති. ඒ අතරින් චන්ද්‍රබොස් ශිවකුමාර්ගේ විශේෂත්වය අපට ඔහුගේ නමින් ම පසක් වේ.
කොවුල් ගී හඬ අතරින් ම වෙසක් සඳ මෝදුවෙමින් තිබේ. සිත් සතන් බොදු බැතියෙන් ඇලළෙමින් ඇත. අද දින සැමරෙන වෙසක් මංගල්‍යයට ලක්වැසියන් සූදානම් වන්නේ දවසක දෙකක සිට නො වේ. සමහරු සති ගණනිනි. සමහරු මාස ගණනිනි. තවත් සමහරුන් නම් වසර ගණන්වලිනි.
මේ සියල්ල අතරේ තම ජීවන වෘත්තියේ නියැළෙමින් වෙසක් මිහිර විඳින මිනිසුන් ද රටපුරා දක්නට ඇත. මෙලෙස හමුවන දහස් ගණනක් මිනිසුන් අතරේ අද අපේ අවධානය යොමුවන්නේ කිරුළපන බෞද්ධ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවය ය.
මෙහි වෙළෙඳාම පිණිස තබා ඇති දහස් ගණනක් කූඩු, සිය ගණනක් බුද්ධ ප්‍රතිමා අතර ඇසට නුහුරු මෙන් ම බලාපොරොත්තු නොවූ දසුනක නෙත නතර වුණි. එනම් පහන් දල්වා ඇති ගනේශ්වරි දේව ප්‍රතිමාවකි. ඔද වැඩුණු කුහුලින් සමීප වූ අපට බුදු පුදට පහන් කූඩු සදන ගනේශ්වරි දේව භක්තිකයා හමු විය. හේ නමින් චන්ද්‍රබොස් ශිවකුමාර් විය. අප එහි යන විටත් ශිවකුමාර් ඔහුගේ අනෙක් පස කුටියෙහි ගැලවී ගිය ඉටිකවර ආවරණයක් සවිකර දෙමින් සිටියේ ය. ඒ චමින්ද විසිනි. ඒ අතරේ ශිවකුමාර් අප දෙසට යොමුවේ.
“දැන් වයස 42 යි. අවුරුදු දොළහ, දහතුන කාලේ ඉඳන් ම කූඩු තමයි. දෙක වසරට විතරයි ඉස්කෝලේ ගියේ. තාත්තා මුලින් ම කූඩු හදලා මෙතන විකුණුවා. එයා කැමැති වුණේ නෑ මං කූඩු හදනවට. තාත්තට හොරෙන් කූඩු හැදුවා. තාත්තට අහුවෙලා අනන්තවත් ගුටිකාලා තියෙනවා . විනෝදෙට කරපු දේ පස්සෙ කාලෙක රස්සාව උණා ‘නොකැඩුණු සිංහලෙන් සංවාදයට අවතීර්ණ වූ ශිවකුමාර්, ගැටයා අවධියේ දී ගෙදරට හොරා කූඩු තනා පාරේ තබා විකුණා ඉන් ලැබෙන මුදලින් සිංහල චිත්‍රපට නැරඹූ අයුරු විස්තර කරද්දී ඔහුගේ දෙතොලතර ජීවිතයේ එක් අවධියක ගත කළ අව්‍යාජ මතක පිළිබඳ සිනා රොදක් මතු වී තිබිණ. එය ජාති, වත් පොහොසත්කම් ආදී වර්ග කිරීම්වලට වඩා බොහෝ සෙයින් පොහොසත් සර්ව සාධාරණ මනුෂ්‍යත්වය මූර්තිමත් කළ සිනාවකි. ඔහුගේ ප්‍රියතම නළුවා විජය කුමාරතුංගයි.
“අට පට්ටමේ ඉඳලා කැරකෙන කූඩු දක්වා ඕන කූඩුවක් හදන්න දන්නවා. ඉස්සර කැරකෙන කූඩු හදන්න තැන් තැන්වලට යනවා. කූඩුව හදන්න කලින් බාගයක් මුදල් දෙනවා. ඉතිරිය පස්සේ. ඒත් ඒ මුදල් ගන්න අමාරුයි. ඒ නිසා දැන් ඒවට යන්නෙ නෑ. ගෙදර කූඩු හදලා මෙතන විකුණනවා, මගේ බිරිය තමයි හැම දේට ම උදව් කරන්නේ. මට දුවලා තුන් දෙනෙක් ඉන්නවා. ලොකු ළමයා ඉස්කෝලේ යනවා. අනිත් දෙන්නා පොඩියි. හැමදාම නත්තල් නෑ වගේ හැමදාම වෙසක් නෑ. ඒ කාලෙට හම්බවෙන කුලී වැඩක් කරනවා. මේවා හොඳට දුක් මහන්සියෙන් හම්බ කරන අත් “ශිව කුමාර් බට පතුරුවලට කැපී, සවලට, උදැල්ලට, අලවංගුවට බුහුටි යදම් වැනි දෑත් පාමින් කියයි.
“ඕඩර්වලට කූඩු හදනවා. එහෙම වුණාම ලේසියි. ගිය අවුරුද්දේ කුරුඳුවත්ත පොලිසියට කූඩු 100 ක් හැදුවා. වෙසක් කලාපවලින් එහෙමත් එනවා. දැන් වයිෆ්ගේ රත්නපුරේ ගෙදරත් කූඩු විකුණනවා. එහෙට කූඩු ගෙනියන්නෙත් මගෙන්. මේ පාර අවුරුදුත් එක්කම වෙසක් ආපු නිසා කූඩු හැදුවේ අඩුවෙන්” හේ තම ප්‍රායෝගික ව්‍යාපාරික ඥානය පෙන්වමින් කියයි.
ලාභ මෙන් ම අලාභයන්ට ද සූදානම් විය යුතු බවත් 2016 වසරේ සුළඟට හා මහ වැස්ස හේතුවෙන් දියබත් වූ කූඩු 300 කට ආසන්න ප්‍රමාණයක් සියතින් ම පුලුස්සා දැමූ ආකාරයත් ඔහු විස්තර කළේ ය.
කිරුළපන ‘සමරවික්‍රම මාවත’ කුඩා නිවාස තුළට ඉහළ අහස රත් පැහැයට හැරී ඇත්තේ හිරුගේ මිලාන වීමටයි. වෙසක් දෝ, අවුරුදු දෝ කියා නැත. සිහිල් පවන් රොදක් ගත පිනවයි. සුඛෝපභෝගී කාර් රථයකින් බැස ගත් තරු පන්තියේ නෝනාවරු දෙදෙනෙක් අව් කණ්ණාඩි පැලඳ කූඩු කිහිපයක් මිලට ගෙන යන්නට වූහ. ගත් කූඩුවල මිල දුන්නා මිස ඔවුන්ට නම් ශිවකුමාර් ගැන වගේ වගක් නැති ගාන ය. හිතට ආ ඒ හැඟීමෙන් ම අපි ශිවකුමාර්ට සමු දුන්නෙමු.
චාමක වීරසිංහ