විල්සන් කුලුනේ නොනිමෙන අපලය | Page 3 | සිළුමිණ

විල්සන් කුලුනේ නොනිමෙන අපලය

ඊතණවත්ත ෙද්වාල බිම

1818 ඌව වෙල්ලස්ස පෙදෙසින් ඇරැඹෙන නිදහස් අරගලය බොහෝ දෙනා හඳුන්වන්නේ සිංහලේ සැබෑ ජාතික සටන ලෙස ය. මේ වන විට වසර 200 සපිරෙන මේ අරගලයේ තීරණාත්මක තැන් සොයා සිළුමිණ කළ සංචාරයක පළමු කොටස උණ්ඩයට කලින් ඊතලය පෙරට ලෙසින් පසුගිය සතියේ පළවිය‍. මේ එම ලිපි මාලාවේ දෙවැන්නයි.

මෙතෙක් වේලා දොරපොත කඳු සිරස සමඟ සටනක යෙදී සිටි හිරු ඉන් ජයගත්තේ මේ මොහොතේ ය‍. දැන් හිරුට අභියෝගයක් නැත. එය නිදහසේ අහස මුඳුනට පැමිණෙමින් තිබේ. ප්‍රශ්නය අපට ය. මෙතෙක් වෙලා දොරපොත කන්දට මුවාවී හිරු රශ්මියෙන් බේරී උන් අපට තවත් සෙවණක් සොයා යාමට සිදුව තිබේ. අපි විපුලසේනගේ කඩයට ගොඩ වැදුණෙමු. වයස අවුරුදු 60ක් පමණ ඉක්මවන්නට ඇතැයි සිතිය හැකි විපුලසේන ජීවත්වෙන්නේ, බිබිල - මඩකලපුව මාර්ගයේ උණගොල්ල රාජමහා විහාරය ඉදිරිපස තේ කඩයක් කරමිනි. ආගිය කතා මැද අපි ඌවේ විස්තර ටිකක් ද විපුලසේන ගෙන් අහන්නට අමතක කළේ නැත. විපුලසේන කතාවට හොඳ රුසියෙක් බව ඒ කතාබහ අපට සනාථ කළේය.

"මහත්තයා ඔය විල්සන් ඒජන්ත මැරුවට පස්සේ අන්න අතන තමයි වැටිලා ඉඳලා තියෙනවා කියන්නේ. ඒ හින්දා එතැන එතුමාව සිහිවෙන්න කුලුනක් හදලා තියෙනවා"

තම කඩකාමරයේ සිට යාර සියයක් දෙසීයක් පමණ ඈතින් පිහිටි අඩි තුනක් පමණ උස සුදුපැහැ කුලුනක් විපුලසේන පෙන්වයි. බිබිල - මඩකලපුව මාර්ගයේ ලුණුගල පසුවනවාත් සමඟ ම, පාරේ එක් පසක උණගොල්ල රාජමහා විහාරය පිහිටා තිබේ. අනෙක් පස ඊතණවත්ත කුඹුරුයාය ය. කුඹුරු යායේ පැත්තකට වන්නට තාරපාරට අයිනේ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් සිහිවීමට ඉදිකළ මේ කුලුන දක්නට තිබේ. එයින් ඔබ්බෙහි පිහිටි උණගොල්ල රජමහා විහාරයට පිවිසෙන ස්ථානයේ ඌවේ උප ඒජන්ත‍ ඝාතනය කළ පුද්ගලයා ලෙස සැලකෙන හිටිහාමි රටේරාලගේ පිළිමය පිහිටා තිබේ. මෑත කාලීනව එය ඉදිකර තිබුණ ද ප්‍රදේශයට එයින් ලැබී තිබෙන්නේ තේජාන්විත පෙනුමකි. කෙසේ වෙතත් මේ ස්ථාන දෙක පිළිබඳ නිශ්චිත අදහසක් ප්‍රදේශවාසීන් අතර නැත. සිල්වෙස්ටර් ඩග්ලස් මරා දමන්නේ 1818 දී ය.

වර්තමානයේ පවා දක්නට ඇති ඔහුගේ සිහිවටනය ඉදිකර ඇත්තේ 1912දී ය. ඒ අනුව එය ඉදිකර ඇත්තේ සිල්වෙස්ටර් ඩග්ලස් මරා දැමූ ස්ථානයේ ද, එම සිදුවීම සම්බන්ධ වෙනත් ස්ථානයක ද යන්න තවමත් නො විසුඳුණු ගැටලුවකි. එමෙන් ම සිල්වෙස්ටර් ඩග්ලස්ට ඊය විද්දේ කවුද යන්න ද විවාද සම්පන්න වන අතර, ඊය විදි ස්ථානය උණගොල්ල රජමහා විහාර‍යේ පිවිසුම් ස්ථානයේ පවතින පර්වතයේ සිට නො වන බවට ද මතයක් පවතී.

විපුලසේන සමඟ කළ කතාබහේදී ඔහු එක්කළ ජනප්‍රවාදයක් අප මතකයට නැගේ.

"ඊතණවත්ත දේවාලයේ නැඟෙනහිර දිග් බාගයේ දකුණ දිසාවේ ඔය අයිනේ ඩෝබිගල කියලා ගලක් තියෙනවා. එතැන ඉඳන් තමයි විල්සන් ඒජන්තට විද්දේ කියලා විශ්වාස කරන්නේ"

මේ වන විට බදුල්ල- මඩකලපුව මාර්ගය සංවර්ධනය කරමින් පවතී. ඒ අනුව මෙතෙක්කල් අබලන් තත්ත්වයේ තිබූ මේ මාර්ගය නවීකරණය වෙමින් පවතී. එහි අදියර කිහිපයක් නිමවී පවතින අතර ඊළඟ අදියර ඇරඹෙන්නේ ලුණුගල සිටය. එවිට මේ මාර්ගය පුළුල් වේ. එයින් අපලය උදාවන්නේ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්ගේ කුලුනට ය. ඒ එම කුලුන මාර්ගය නිසා විනාශයට පත්වීමට තිබෙන ඉඩ කඩ නිසා ය. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගණනාවක් පැවැති බව උණගොල්ල රාජමහා විහාරාධිපති හිමියන් අප සමඟ පවසයි‍.

"දැන් මේ පාර හදන නිසා විල්සන් කුලුන විනාශ වෙනවා. එහෙම කියලා පාර හදන අය පන්සලෙන් ඉඩම් ඉල්ලනවා කුලුන බේරලා පාර පන්සල පැත්තෙන් දාන්න කියලා. මම ඒකට කැමැති නෑ. ඒ අයට ඔන්නම් විල්සන් කුලුන මැදිකරලා පාර හදන්න පුළුවන්. ඇයි එහෙම නොකර පන්සලේ ඉඩම් මේ සඳහා යොදා ගන්න හදන්නේ"

මේ නොවිසුඳුණු ගැටලුවට පිළිතුරක් බොහෝ දෙනා බලාපොරොත්තු වන ගම් වැසියන් සමඟ කළ කතා බහෙන් පැහැදිලි විය. පත්තිනි දේවාලය පිහිටා ඇත්තේ විල්සන් කුලුන පිහිටි ඊතණවත්ත වෙල්යායේ ඈත කෙළවරට වන්නට ය. ඊතණවත්ත පත්තිනි දේවාල‍යේ ඉතිහාසය දෙවැනි රාජසිංහ රජ දවස දක්වා දිව යන්නක් බව ටැම්ගොඩ රජමහා විහාරාධිපති ඊතණවත්තේ අත්ථදස්සි නා හිමියෝ පවසති. එහි ඉතිහාසය රාජාවලියේ පවා සඳහන්ව ඇති බව උන්වහන්සේ පවසති.

ඊතණවත්ත පත්තිනි දේවාලය මේ වන විට ඉතිරි ව තිබෙන්නේ පදනම පමණි. සියල්ල කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ගොස් ය. එහෙත් එහි පත්තිනි දේව මෑණියන්ගේ රන්සලඹ තවමත් සුරක්ෂිතව තිබේ. ඒ උණ‍ගොල්ල රජමහා විහාරයේ ය. එහි විහාරාධිපති හෙවෙල්වෙල සුනන්ද නාහිමියන් අප සමඟ කියා සිටියේ රන්සලඹ තමාට ලැබුණේ දේවාලයේ සිටි කපුමහතාගෙන් බව ය.

"අන්තිමට දේවාලයේ හිටපු කපු මහත්තයා හිටියේ මේ ගමේ. එතුමා රෝගාතුර වෙලා අසාධ්‍යව ඉන්න ‍වෙලාවේ මට පණිවිඩයක් එවලා තිබුණා එන්න කියලා. පස්සේ මම එතුමා ගාවට ගිහින් කතා බහ කරනකොට ඔහු මට මේ පත්තිනි සලඹ පෙන්වලා කිව්වා. මේවා දේවාලයට අයිති ඒවා. දැන් දේවාලේ නැති නිසා ඒවා කවුරු හරි ‍හොරකම් කරාවි. දැනටමත් මේකෙන් දෙකක් නැතිවෙලා තියෙන්නේ. මට තවදුරටත් මේවා ආරක්ෂා කරන්න බැහැ. ඔබ වහන්සේ මේවා බාර අරගෙන ආයෙ දේවාලේ හදන දවසක මේ සලඹ දේවාලයට බාර දෙන්න කියලා. පස්සේ මම ඒවා බාර ගත්තා අදටත් මම ගාව ‍ඒ ටික සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. දේවාලය හදපු දවසක මම ඒවා බාර දෙනවා"

ඊතණවත්ත දේවාලයට අයත් ඉඩම් වල මේ වන විට පවුල් කිහිපයක් පදිංචිව සිටී. එහි එක් පදිංචිකරුවකු වන හැත්තෑ හැවිරිදි ටී. එම්. හීන්බණ්ඩා තම මතකය මෙසේ අවදි කළේ ය.

"මම පොඩිකාලේ ඉඳන්ම පදිංචිය මෙහෙයි. අපේ තාත්තා දේවාලේ අප්පුවා විදිහට වැඩ ක‍ළා. දේවාලේ තියෙනකාලේ අන්තිමට මුරුතැන් බෑවෙත් මම තමයි. 70 ගණන්වල දේවාල‍ය කඩාගෙන වැටුණා.‍ කුඹුරු පනත නිසා රාජකාරි කරපු අයට ආදායම් නැතිව ගියා. ඒනිසා ඒ අය දේවාලය අතහැරලා ගියා. අන්තිමට මෙතැන ජරාවාස වෙලා විනාශ වුණා"

දේවාල භූමියේ ඉදිරිපස වෙල්යායේ කෙළවරකට වන්නට කිසි දිනක දිය‍ නොසි­ෙඳන දිය බුබුළක් තිබේ. ඊතණවත්තේ පදිංචිකරුවන්ට අවශ්‍ය ජලය ලබා ගන්නා මේ දිය බුබුළෙනි. දේවාලය පැවැති කාලයේ මුරුතැන් සෑදීමට ජලය ලබාගත්තේ මේ ස්ථානයෙන් බව ගම්වාසීහු පවසති. ඒ සමඟ ම මේ දිය බුබුළ හා සම්බන්ධව පවතින ජන විශ්වාස රැසකි.

ඒ පිළිබඳ අදහස් දක්වන බණ්ඩාර පවසන්නේ මෙවැන්නකි.

"මෙතැන තනි පංගලමේ එන්න බෑ. විවිධ ශබ්ද ඇහෙනවා. ඊළඟට දවල් එකට දෙකට විතර ගෑනු කෙනෙක් වතුර කළයක් අරගෙන ඈතට දුවනවා පේනවා. මේ දර්ශනය හතර පස් දෙනක් ම දැකලා තියෙනවා. ඒකාලේ මේ ස්ථානයේ සෑහෙන පිරිසක් මරලා දාලා තියෙනවා ඒ නිසා මෙහෙම වෙනවා ඇති කියලයි ගමේ අය විශ්වාස කරන්නේ."

මලික් චමින්ද ධර්මවර්ධන
ඡායාරූප - සමන්ත වීරසිරි

Comments