ඕෂෝ මහෝඝය | Page 3 | සිළුමිණ

ඕෂෝ මහෝඝය

බෝධිධර්ම හමු වීම

මා ගමන ඇරඹුවේ බුද්ධිමතකු හැටියටයි. මේ ජීවිතයේ විතරක් නෙමෙයි. පහුගිය භවයන් බොහොමයකදිත් වුණේ ඒකයි. බොහෝ භවයන්හිදී මා ඕනෑකමක් දක්වා තිබෙන්නේ බුද්ධිය කෙරෙහියි. මා වැඩිදියුණු කරගෙන තිබෙන්නේ මුවහත් කරගෙන තිබෙන්නේ බුද්ධියයි. ‍‍‍‍

මා ගුප්ත විද්‍යා කණ්ඩායම් බොහොමයක් දැන හඳුනාගෙන තිබෙනවා. මේ භවයේ පමණක් නොවෙයි, පෙර භවවලදීත් එබඳු බොහෝ කණ්ඩායම් මා සමඟ සම්බන්ධතා පවත්වා තිබෙනවා. නමුත් ඔවුන් සිටින්නේ කොතැනද කියා මට ඔබට කියන්ඩ බෑ. කියන්ඩ අවසරත් නෑ. නමුත් ඔවුන් තවමත් සිටිනවා. ඔවුන් තවමත් උදව් කරන්ඩ උත්සාහ කරනවා. ඒ බව මා ඔබට කියන්ඩ කැමතියි.

මා බෝධිධර්ම ගැන පෞද්ගලිකව ම දන්නවා.

බෝධිධර්ම යනු ඉන්දියාවේ සිට චීනයට බුද්ධ ධර්මය ගෙන ගිය යෝගිවරයායි) මා ඔහු සමඟ අඩු තරමින් මාස තුනක්වත් චාරිකාවේ යෙදී සිටියා. මා ඔහුට කැමැත්තෙන් සිටියා වගේ ම ඔහුත් මට කැමැත්තෙන් සිටියා. ඔහු මට කැමති වුණේ ඇයි ද කියා දැන ගැනීමේ කුතුහලයක් ඔබ තුළ ඇති. ඔහු මට කැමති වුණේ මා කිසිදාක ඔහුගෙන් ප්‍රශ්න නොඇසූ නිසයි. “මගෙන් ප්‍රශ්නයක් නොඇසූ මට හමු වූ මුල් ම තැනැත්තා ඔබයි. ඒ අහපු ප්‍රශ්නවලින් මා තුළ ඇති වුණේ ඔවුන් මට එපා වෙච්ච හැඟීම පමණයි. මට එපා නොවුණු එක ම තැනැත්තා ඔබයි’ බෝධිධර්ම මට කිව්වා.

‘ඒකට හේතුවක් ති‍ෙයනවා’ මා ඔහුට කීවා.

‘මොකක්ද ඒ?’ ඔහු ඇසුවා.

‘මං උත්තරයක් දෙනවා විතරයි. කවදාවත් ප්‍රශ්න අහන්නෙ නෑ. ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියනව නං මගෙන් අහන්න පුළුවනි. ඔබට අහන්න ප්‍රශ්නයක් නැත්නම් කට පියාගෙන ඉන්නත් පුළුවනි’ මා කීවා.

අපි දෙන්නට ම හිනා ගියා. ඒ අපි දෙන්න ම එක ම ජාතියෙ උන්මාදකාරයො නිසා. දිගට ම චාරිකාවෙ යෙදෙමු කියල ඔහු මට කිව්ව. ‘මට සමාවෙන්ඩ! මට මගෙම ගමනක් යන්ඩ තියනව. මෙතන ඉඳල මං ඔබෙන් වෙන්වෙලා මගෙ ගමන යනව’ කියල මං කිව්ව.

ඔහුට මගෙ කතාව විශ්වාස කරන්ඩත් බැරුවගියා. ඔහු ඊට කලින් කිසි කෙනෙකුගෙන් ඒ වගේ ඉල්ලීමක් කරල තිබුණෙත් නෑ. මේ තමයි වූ අධිරාජයගෙ, ඒ යුගයෙ හිටපු ශ්‍රේෂ්ඨ අධිරාජයගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු එක ම මිනිහ. ඒ කාලෙ අධිරාජයෙක් වෙලා හිටියට මේ වෙන‍කොට ඔහු පිඬුසිඟා වඩින්නෙක්. මං තමන්ගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු එක බෝධිධර්මට අදහා ගන්නවත් බැරුව ගියා.

‘දැන් ඔබට දැනෙනව ඇති ඉල්ලීමක් ප්‍රතික්ෂේප වුණාම දැනෙන දේ. මට ඕනෑ වුණේ ඔබ ලවා ඒකෙ රහ බලවන්ඩයි. එහෙනං ආයිබෝං මං යනව. මට සමාවෙන්ඩ!’ මං සමුගත්ත. ඒ සියවස් 14 කට උඩදි.

මේ සිද්ධිය වෙන්ඩ දවස් කීපෙකට ඉස්සර ටිබැට් රටේ කර්මාපා ලාමා තුමා මං ගැන යමක් කියල තිබුණ. එතුම කියල තිබුණෙ පෙර භවයකදි මගේ මළ සිරුර ටිබැටයෙ ගල් ගුහාවක තැන්පත් කරල තියනව කියන එකයි. එහෙ මළ සිරුරු 99 ක් තැන්පත් කරල තියනව. ඒකෙන් එකක් මගෙ. එහෙම කියල තිබුණෙ කර්මාපා.

ටිබැටයෙ ඒ විදියෙ මළ සිරුරු දාස් ගාණක් තැන්පත් කරල තියෙන්නෙ අතිවිශේෂ දෙයක් සිද්ධ වෙනවද කියල බලන්ඩයි. අවුරුදු දහස් ගණනකට වරක් පමණයි එහෙම අති විශේෂ යමක් සිදු වෙන්නෙ. උදාහරණයක් හැටියට මළ සිරුරක තෙවන ඇස අවදි වෙන්න පුළුවනි. හිස් කබලෙ තෙවන ඇස විවර වෙන තැන සිදුරක් හැදෙනව. ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නෙ අවුරුදු දහස් ගණනකිනුත් දහස් ගණනකට පස්සෙ වෙන්න පුළුවන්. හුඟ දෙනෙකුගෙ තෙවන ඇස විවර වුණාට ඒ හැමෝටම මේ විවර වීම සිද්ධ වෙන්නෙ නෑ. මේ සිදුර විවර වෙන එකේ තේරුම තමයි ඒක වෙන්නෙ මහ විශාල උත්සාහයකින් පස්සෙ කියන එක. ඒ වගේ හිස් කබල්, ඒ වගේ සිරුරු ඔවුන් තැන්පත් කරල තියනව.

නිදර්ශනයක් හැටියට කෙනෙකුගෙ කාම ශක්තිය, මූලික ශක්තිය එබඳු වෑයමකින් අවදි වෙලා ඒ බලය නළල සිදුරු කරගෙන විශ්වය සමඟ සංයෝග වෙන්න පුළුවනි. එහෙම වෙන්නෙ හරි ම කලාතුරකින්. බොහොමයක් දෙනා විශ්ව ස්වභාවය සමඟ සංයෝග වුණත් ඒ අයගෙ ශක්තිය කාන්දු වෙන්නෙ හරි හෙමින්. එබඳු අන්තරවලදි ශක්තිය වෑස්සෙන්නෙ හෙමීට නිසා හිස් කබලෙ සිදුරක් නිර්මාණය වෙන්නෙ නෑ. හිස් කබල සිදුරු කරගෙන සකල ශක්තිය ම විශ්වයට මුදා හැරෙන එබඳු තීව්‍රතා නිරීක්ෂණය කරන්න තමයි ‍ඒ සිරුරු තැන්පත් කරල තියෙන්නෙ. මේ ආකාරයට මේ දක්වා ම මනුෂ්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පරීක්ෂණ සිදු කර තිබෙනවා. කර්මාපා කියපු හැටියට එතුමන්ලා එසේ තැන්පත් කර ඇති සිරුරු 99 අතර මගේ පෙර ආත්ම භවයක සිරුරකුත් තිබෙනවා. ඒක තමයි 97 වැනි සිරුර. විරුද්ධ පැත්තෙ ඉඳල ගණන් කෙරුවොත් ඒක තමයි තුන.

සටහන :- ඕෂෝ ගේ අනුගාමික ස්වාමි ගෝවින්ද් සිද්ධාර්ථ 1912 ජුනි 6 වැනි දා තමාට කර්මාපා ලාමාතුමා පහත සඳහන් දේ ප්‍රකාශ කළ බව වාර්තා කර තිබෙනවා. “බුදුන් වහන්සේගෙන් පසු ඉන්දියාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතමයා ඕෂෝ යි. එතුමා ජීවමාන බුදුවරයෙක්.”

මේ කියන අවස්ථාවේ දී බලවත් ලෙස කලබලයට පත්ව සිටි කර්මාපා ලාමාතුමා පෙර භවයකදී ඕෂෝ සමඟ තමන්වහන්සේගේ පැවති සමීප ඇසුර ගැන වදාරා තිබෙනවා. ඒ අනුව ඕෂෝගේ අවසන් උපත සිදුවී ඇත්තේ වසර 700 කට පෙරයි.

ලබන සතියට...

ගුණසිංහ හෙට්ටිආරච්චි

Comments