යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු වැඩ අරඹයි | Page 3 | සිළුමිණ

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු වැඩ අරඹයි

 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 52 වැනි මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත්කර ඇති අතර ඒ මහතා පසුගිය බ්‍රහස්පතින්දා වැඩ ආරම්භ කෙළේය. .

මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු යුද්ධ හමුදාවේ දෙවන ඉහලම තනතුර වන මාණ්ඩලික ප්‍රධානි ධුරය සඳහා පත්වීමට ප්‍රථම යුද්ධ හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි සිදුකරන ලද අතර ගැමුණු හේවා බළඇණියේ රෙජිමේන්තු අධිපති ධුරය ද හොබවනු ලබයි.

වර්ෂ 1983 අප්‍රේල් මස 27 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳුණු නව මාණ්ඩලික ප්‍රධානී අනතුරුව, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලාව අංක 18 සාර්ථකව හදාරා දෙවන ලුතිනන් වරයකු වශයෙන් අධිකාරියට පත්වීමෙන් පසු 1984 නොවැම්බර් මස 7 වන දින ගැමුණු හේවා බළඇණියට එක්විය.

වසර 34 කට නොවැඩි සේවා කාලය තුල යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, 521 බලසේනා මුලස්ථානයේ බලසේනා මේජර්, අධ්‍යක්ෂ මනෝවිද්‍යා මෙහෙයුම්, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රියාන්විත, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරි උපදේශක, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අණදෙන නිලධාරි, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වැනි මාණ්ඩලික තනතුරු රාශීයක් ද හොබවා ඇත.

එසේම, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන්ද රාජකාරි කටයුතු කළ ඔහු, ඊට පෙර 23, 65 සහ 54 වන සේනාංකයන්හි සේනාංකාධිපති ලෙසද 533 සහ 512 බලසේනා මුලස්ථානයන්හි බලසේනාධිපතිවරයා ලෙසද 8 වන සහ 5 වන ගැමුණු හේවා බළඇණි වල අණදෙන නිලධාරි ලෙසද ක්‍රියාන්විත තනතුරු රැසක් ද හොබවා ඇත.

දක්ෂ ක්‍රිඩකයකු වන ඔහු පැසි පන්දු ක්‍රිඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ආරක්ෂක සේනා ස්කොෂ් තරඟාවලියන් ද නියෝජනය කර ඇති අතර නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු කඳාන ද මැසනඩ් විදුහලේ ආදී සිසුවෙකු ද වේ.

Comments