
මීගම්මන වූ කලී පාතදුම්බරට අයත් සුවිශේෂි භූ රූපණ කලාපයකි. එහි ඉපැරණි රජමහා විහාරයකි. මෙහි නායක හිමි වූ උඩුරාවණ සුමන ජෝති හිමි සැබෑ බුද්ධ පුත්‍රයෙකි. උන්වහන්සේට ඇබිත්තකං කොරන ගුණපාල පංසලටම දිරා කාස්ටුවීම නිසා පණ ගුණ ඇති ගොබිලෙකු හොයද්දී රංකිරා පංසලට පැමිණියේ අහම්බෙනි. රංකිරා ශූර මිනිහෙකු වීම නිසා නායක හාමුදුරුවෝ වැඩිය වංහුං හොයන්ට ගියේ නැත. ගුණපාල බොහෝ විට නායක හාමුදුරුවන් උලුප්පන්නේ රංකිරා කාගේ කවුදැයි ආගිය තොරතුරු සෙවීම ගැමිකමේ උපන් ගුණයක් බැවිනි. එබඳු අවස්ථාවල ගුණපාලට ගෝලුගන්නා නායක හාමුදුරුවෝ, “උඹේ හතර ගාතේ වාරු නැති කොට, මේ කඩාපාත් වුණ එකාගෙ කිරි පල්ල අතගාන්නේ අහවල් කාරියකටදෑ .....හ්ම් ....ඒකා මෙතන සුමේ හරියට කොරනවා නං මොනවදෑ ගුණයා උඹට අවස්ස” කියමින් ගුණපාල නිහඬ කරයි.
“ඔහොම හද්දික්කරාවෙං ආතක් පාතක් නැතිව කඩාපාත් වෙන එවුං ස්ථානෙට රහ වැටෙනකල් ටැග් ගැහෙනවා. පස්සෙං පහු මෙතන තියෙන දෙයක් කැටි වැටි කොරාන පැදුරටත් නොකියා අන්තරස්දාන වෙනවා” ගුණපාල නායක හමුදුරුවන්ට කාරණා කාරණා ඔප්පු කොරන්ට වීරිය ගන්නවා.
“උඹ කිලිච්චි නොවී හිටපං. මං ආරච්චිලට කියල මේකගෙ වංහුං උන්දැගෙ පොතේ ලියා තියැව්වා.” නායක හාමුදුරුවෝ මෙහෙම කියන්නේ ගුණපාලයා නිහඬ කරන්නම නොවේ. හිතේෂිවත්ත ගැමියාගේ අත්දැකීම් ප්‍රත්‍යක්ෂ බැවිනි.
“ඒත් අපෙ හාදුන්නේ මේකා දවාලට ෙකාටා බානවා. දං ගේ අස්පස් කොර දානවා. උඩිං පල්ලෙං මේං එහෙ බලල, මෙහෙ බලන මෝසමට අන්තරස්දාන වෙලා. මාගං සෝලියකටවත් මාට්ටු වෙලාද කවුදෑ දන්නේ. එහෙම වුණොත් මේකේ ඉසකේ කොළයක්වත් නොතියා, ගෑනුන්ට පහිදින්ට තියාගනියි.” ගුණපාල වක්කඩ කඩා ඇරියා හේ, පට්ටංතරේ ඇදබාන්ට තියා ගත්තා.
“උඹ විස්සෝප නොවී හිටපං. මං නොහොල්මනාම හොයා බලඤ්ඤං. හැම තිස්සෙම ඕකා පහුරුගාන්ට එපා. උන් හිටිතැං අප්පිරියා වුණොත්, දිවිය විමානෙත් අතඇරල යනවා..... හ්ම් ...” කියමින් නායක හාමුදුරුවෝ සැතපෙන කුටියට වැඩියේ සැලසුමක් හිතේ ගොඩ නහගෙනයි.”
ගුණපාලට යාංතං ඉස්පාසුවක් දැනුණේ මේ පට්ටංතරේ සහසුද්දෙම්ම නායක හාමුදුරුවන්ගේ කණේ පට්ටල් කොන්නකල් තිබ්බ තදියමට.
ගුණපාලත් රංකිරත් රාත්‍රියට නිදාගන්නේ දං ගේ ඇතුළේ බුරු ඇඳං දෙකකයි. උදේට මේ බුරු ඇඳං අකුලා දාලා එළියෙං තියල ආයෙම රාත්‍රියට ගසා බසාදාලා ගන්නවා බුදියන්ට. රාත්තිරියේ දෙගොඩ හරියක් වෙනකල් මේ දෙන්නාගෙ කථා පහය්ය කම්මුතු වෙන්නේ නෑ. දෙන්නම අවිවාහක නිසා දරු මල්ලං ගැන අහවල් දෙයක් ඇඳබාන්ටයැ . ඒ නිසා ගුණපාල කාලයක් හිතේ පැහැව පැහැව තිබිච්ච හැකේ එළියට දැම්මා.
“ඈ රංකිරා උඹ මද්දහනේ කොහේටදෑ ඔය මකබෑ වෙන්නේ. නොවරද්දාම ෙකාන්න රාජකාරියක් උඹට තියේද? අඩා මාගං සෝලියකටවත් මාට්ටු වෙලාද? එහෙම වුනොත් නං රජෝ පන්සල් බත කාලා කම්මුතු යි. නායක හාමුදුරුවෝ මනාප නෑ ඔය විච්චුරණ කථා පන්සලට හාමු වෙනවට” ගුණපාල හිතේ තිබුණ බර බිමිං තිබ්බා.
“අනේ ගුණයා මේ හෙට අනින්දා වලකඡ්ජ ගහන්ට ඉන්ට උඹට මට මොන ගෑනුද අඩා. ගෑනු මතක් කොරන්ට එපා. ඔවුං නරකාදියට තියාපු හැර ෙපාටවල් හේමා.” (කිතුලට ෙගාඩවෙන්ට ලී කෑලි බැඳ සකස් කරන්ගන්නා උණ ගහ ඉණිමඟක් වැනි)
“මට මද්දහනේ කොටාබාලා හමාර වෙනකොට මහ සෝමාරි කොමක් පාත්වෙනවා. මං ඉතිං ඔය කඩවල් දිහෑවෙ ගෙහුං ඩිංගිත්තක් ඉසුඹුලනවා.” රංකිරා තමා නිවැරැදි බව කියා පාන්නේය.
“අඩා පංසලෙං කාල මුසාවාද දෙසාබාන්ට නාකයි. අපි කන්නේ බුදුන්ට කැප කොරාපු දේ. ඒකාට හරිහමං සුමෙයක් ෙකාරන්ට අවස්සයි. තෝ යන ගමන මං නොදන්නවායැ.” ගුණපාලයා කියයි.
“ගුණේ අය්යා මං ආයෙ නොසන්ඩාල ගමනක් යන එකක්යැ. මං දීපංකරේ ගියත්, හීල්මනේ ගිලංපස ජාමෙට උයනගේ ඇති. උඹ ඔය පට්ටංතර නායක හාමුදුරුවන්ගේ කනේ පට්ටල් කොන්නවා එහෙම නෙවෙයි. උඹටත් මරක්කලයෑ කඩෙන් යාපනේ දුංෙකාළ සිප්පමං ගෙනත් දෙඤ්ඤං.” රංකිරා කියනවා.
“උඹෙ හිතේ නායක හාමුදුරුවෝ ඇස් කං පියාගෙන ගොළුවෝ බීරෝ වාගේ මේකේ ඉන්නවා කියලද ? මේ පංසල් මායිමේ සියඹලා කොළයක් බිම වැටුනත් උන්නාන්සේ කන්දීගෙන”
“ඈ රංකිරා තවත් මුසාවාදාම තෙපරබාන්නේ නැතුව කිය තෝ යන්නේ වල් අරඹේ සිංදුවගෙ හුදු තිප්පොළට නේද? තෝ යන්නේ කාසිඔලට බේබි කපන්ට නොවැ?” ගුණපාල රංකිරා කොටු කොරාගන්ට දන්න උප්පරවැට්ටි ඔක්කොම දාපි.
“ඈ ගුණෙය්යා මොකවදෑ ඔය බේබි කපනවා කියන්නේ. ඔය එළුවෝ, කුකුළෝ කපනවා වගේ සුරුක්කමක්ද?”රංකිරා අහනවා.
“නැතුවා නැතුවා මේ සාවියෙ හුදු කෙළිනවට කියන්නේ බේබි කපනවා කියල නෙවැ” ගුණපාල තම සගයාට මේ අර්ථ නිරූපණය පැහැදිලි කර දුන්නා.
“හ්...ම්...ඒකත් යස කැපිලක් නෙවැ ගුණෙය්යේ. යස නිදිමතක් එනවා. මං ඕං එහෙනං බුදි” කියමින් රංකිරා නින්දට වැටුණේ අලුත් මානයක් පාදාගැනීමේ උද්දාමයෙනි.
නායක හාමුදුරුවන්ගේ රංකිරා පිළිබඳ සොයා බැලිය යුතුය යන වුමමනාව බැහැර වුයේ නැත. නොහොල්මනාම මද්දහනේ දානේ වළඳල කම්මුතු කොල්ලා රංකිරා අන්තරස්දාන වුණායිං පස්සේ මරක්කයෑ කඩේට වැඩියා. රංකිරා ගැන විපරං කෙරුවට එකෙක්වත් කීනුවක් බානුවක් නැතුවා. “කසාය බීපු ගොළුවෝ හේමා” මුක පුට්ටුවෙලා බලා ඉන්නවා. මරක්කයා ගෙයි තිබිච්ච පුටු කබල පිහිදාලා ගෙනත් තිබ්බා. කපටිකොමට දෑත එක්කොරලා වැන්දා. “වඩින්ට ශාමී. වඩින්ට” කියමින් පුටුව පෑවා.
“අඩා මං මෙතන නිදිවදින්ට ආවෙ නැතුවා. රංකිරා කොයි බලන්ට ආවා මිසක්කා. තෝ උන්ට හුදු කෙළින්ට, ගිනි වතුර බොන්ට දීල, ලේගියං කන්ට දීල මහ වින්නැහියක් ගමට කඩා පාත්කෙරුවා. දහපදුරා කම්මායං ඔලිං තෝ කාසි කඩා ගන්නවා. හිටු තොට මං කාලමක් පිඹිනවා. (ගම්මිරිස්, වඳුරු මෑ බුව වැනි දෙයක් මතුරා ආසන්නයේ සිට සතුරන් වෙත පිඹ හරින කාලම ගුරුකමකි.) තෝ එකතැං වෙන්ට.
“අය්යෝ ශාමි අපිල අයිංශක මිනිස්සු. සෙලෙව් ටිකක් තමයි විකුණනවා. රංකිරා අය්යා මේ ආවානං සුරුට්ටුවක් ගත්ත ගියා.” කියමින් මරක්කයා තමා නිර්දෝෂි බව කියා පාන්නේය.
“මට පෙන්නාපිය වල් අරඹේ හුදු කෙළින තැන. මං හොයා ගඤ්ඤං රංකිරා.”මේ වන විට මරක්කයාගේ ඔත්තුකාරයා හණිකට රංකිරාගේ කණේ තිබ්බා නායක හාමුදුරුවෝ වැඩිය බව.
“රංකිරාට හීංදාඩිය දැම්ම. හෙලත්තාඩුවක් නැතුව තුංවේල කාලා රාත්තිරියට සාංකාවක් නැතුව එළිවෙන කල් බුදියාගන්ට තිබ්බ එකත් කම්මුතු වේ දැයි හිතමින් වහාම එතැනිං නැඟිටල අකුලට වැදුණා මේකා බෝල් පනා කෝටු කැටියක් කපාගෙන සද්දන්ත කෝටු මිටියක් බැඳගත්තා. කමිසෙ ගලවල එක හුම්මෙට තියාගෙන කෝටු මිටියත් බැඳගෙන හවස් ජාමෙට පංසලට ආවා.
නායක හාමුදුරුවෝ රංකිරා හොයන්ට දුර ගියෙ නැත්තේ උන්නාන්සේ දන්නවා මරක්කයාගෙ උප්පරවැට්ටි. රංකිරාට පංසල් බත අපෝ කොරඤ්ඤං කියල හිතාගෙන ඈදී පුටුවේ දිගෑදිල ඉන්නකොට දඩාස් ගාල උයන ගේ පැත්තේ මහ සද්දෙට මොකක්දෝ වැටුණා. උන්නාන්සේ ගිහිං බැලිංනං රංකිරා දාඩිය දෙකංසෙං දාගෙන දොඩංපනා කෝටු මිටියක් ගෙනත් මිදුලේ දාල හති අරිනවා.
“ඇයි අඩා මෙව්වා. තෝ කොළදීමක් කොරන්ටද සුජානම, නැත්තං මොකොට කෙවිටි බාන්ටදෑ” අහපි.
“අවසර මට තමුන්නාන්සෙගෙ කනේ පට්ටල් කොරන්ට සිහිපරාද වුණ. මං අර අන්නාසි ගල හබඩ පොට්ටෙලුටේ කුරහං ඩිංගිත්තක් ඉහ දාන්ට කියල...වල් අරඹේ මුකලානේ යස බේබි කෝටු ලන්දක් තියෙනවා. ෙම් බේබි කොටු ටික ඒ සාවිය වටකොරා දාන්ට. අපේ ගං කොරේ කියන්නේ මෙච්වට බේබි ගස් කියලා” කියමින් පිල් කොමුවේ ඈඳි ගත්තා.
නායක හාමුදුරුවන්ගේ මුණෙ මතුවෙච්චි හිනාව කම්මුල් දිහාටතුනී වෙලා ගියේ, සමච්චලේටද රංකිරාගේ උප්පරවැට්ටියට අහුවෙලාද කියල ගුණපාල ගල් වෙලා බලා හිටියා.