පිරිමින් රජයන දේශයක පෙරට ආ කතක් | Page 2 | සිළුමිණ

පිරිමින් රජයන දේශයක පෙරට ආ කතක්

අරාබිකරය යනු සමාජීය වශයෙන් මෙන්ම ආගමික වශයෙන් දැඩි නීතිරීති අනුගමනය කරන කලාපයක් ලෙස හැඳින්විය හැක. මේ දැඩි නීති රීති ඒ රටවල්වල කාන්තාවන්ට ඉතාමත් දැඩි බව කවුරුත් දන්නා කාරණාවකි. ඔවුන්ගේ නිදහස අතිශය සීමාකාරි වී ඇත. නමුත් වර්තමානය වන විට මේ දැඩි නීති රීති තරමක් ලිහිල් වෙමින් පවතින තත්ත්වයක් දැකගත හැකි වේ. පසුගිය දිනෙක සෞදි කාන්තාවන්ට රිය පැදවීමේ නිදහස ලබාදීම එවන් අවස්ථාවකි.

මොට්ටැක්කිලියෙන් හා බුර්කාවෙන් වැසුණු සිරුර තුළ සුන්දර ගැහැනියක් මෙන්ම කඩිසර, කාර්යශූර ගැහැනියක් සිටින බවද ඔවුන් දැන් දැන් සනාථ කරමින් සිටී. මර්වාත් බුකාරි නම් සෞදි කාන්තාව ඊට කදිම සාක්ෂියකි.

ඇය පිරිමින් හා උරෙනුර ගැටෙමින් පිරිමින්ට පමණක් නොව ගැහැනියකට ද ශක්තිය ඇති බවට දැනටමත් ඔප්පු කර හමාරය. සෞදියේ ප්‍රථම වරට කාන්තාවක් ලෙස, එරට ප්‍රධාන පෙළේ ගෑස් පිරවුම්හලක වැඩ පරීක්ෂකවරියක ලෙස සේවය කිරීමට පියවර ගෙන තිබේ. ඒ නැගෙනහිර කොබාර් ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ය.

කෙසේ නමුත් වපර ඇසින් බලන ඇතැමුන්ගෙන් ඇගේ මේ ක්‍රියාවට ගැරහුම් ලැබුණද, ඇය ඒ කිසිත් නොතකමින් සේවයේ නිරත වෙන්නේ ඉතා කඩිසරව ය. සමාජයේ ඇතැම් අය ඇයට අවලාද නගන්නේ “සෞදි කතුන් ගෑස් පිරවුම්හල්වල වැඩ කළේ කවදා ද? ‘ යැයි පවසමිනි. කිසිඳු බියකින් තොරව එයට පිළිතුරු ලබාදෙන මර්වාත් බුකාරි නම් මේ කාන්තාව කියා සිටියේ’මම ගෑස් පුරවන්නියක් නෙවෙයි. මම වැඩ පරීක්ෂකවරියක්. අද සෞදියේ ඉන්න ඕනෑම අයෙකුට ඕනෑම රැකියාවක් කිරීමට රජයෙන් අවසර දීලා තියෙන්නේ’ යනුවෙනි.

අන්තර්ජාලය ඇසුරිනි.

 

Comments