කොල්ලා ඔය උප්ප­ර­වැ­ට්ටි­ව­ලට අහු­වෙන්නේ නෑ | සිළුමිණ

කොල්ලා ඔය උප්ප­ර­වැ­ට්ටි­ව­ලට අහු­වෙන්නේ නෑ

“අප්පේ දැක්මත් සන්තෝෂයි... දැක්මත් සන්තෝෂයි... එන්න එන්න ඈඳිගනිමුකො තුන්හතර පොළකින්...!”

විල්ප්‍රඩ් හාමු කෑගෑවේ සතුටින්ය.

වාහනය මිදුලේ නතර කර ආලින්දයට ගොඩවුණේ බො‍හොම බලගතු බරසාර කාණ්ඩයක් බව මුලින් ම දුටුවේ ජන්තුය.

“අප්පේ.. මේ අපේ ජයසුන්දර මලයලා‍ නෙවැ... එන්න එන්න වාඩිවෙන්න කුසුම් නංගී.. එන්න නැන්දේ... හා.. ‍ෙම් චූටි දූ නේද... දැන් බලන්න එපායැ අම්මගෙ කරටත් උහයි.. නෙවැ..!”

“ආයුබෝං.. ආයුබෝං...”

පරිසරයම ප්‍රීති ප්‍රමෝදයකින් ඇලළී ගියාක් බඳුය. පිරිස් ඇතුළු ගෙට කැඳවා අසුන් ගන්වා නිර්මලා මැණිකේ මුළුතැන්ගෙට ඇදුණේ ඔවුන්ට කැවිලි තේ පිළියෙල කිරීමටය. ඇගේ උනන්දුව සිරියාට ද ජන්තුට ද පුදුමයක් නොවීය.

“හදිසියෙමයි ඒ ඇත්තො ඇවිත් තීන්නෙ...”

නැවත මැණිකේ හාමු තකහනියක් ම දුව ගියේ අමුත්තන් ළඟටය.

“කෝ.. ලොකු පුතණ්ඩියා ‘හේම.. විශ්වවිද්‍යාලෙට පාස් වුණා කියලා ආරංචියි. පොඩි පුතණ්ඩියා හේම කොයි අයියණ්ඩි...”

“එයැයි ඉන්නවා නංගි ඔය හිටියෙ පාඩම් කොර කොරා.. මේ දූත් මේ සැරේ විභාගෙට හිටියා වෙන්ඩැ නේද?..”

“නෑ නෑ එයැයිත් මේ අවුරුද්දෙනෙ විභාගෙ ගන්නෙ.. අනේ මන්දා.. මට නං ඔය විභාග පාස් කොරවන්න උවමනාවක් ඇත්තා නෑ.. හහ් හා..”

බුලත්විට හපන ගමන් ජයසුන්දර උන්නැහේ පෑවේ අමුතු හිනාවකි. කටහඬවල් කීපයක් ඇසුණු නිසා ජයමාල් කාමරයේ සිට සාලය පැත්තට හිස පෙව්වේ කුතුහලයෙන්.

“හා.. හා.. මේ බාල පුතණ්ඩියා නේ.. එමුකො.. එමුකො... හා.. දැන් ගජ ඉලන්දාරියා නෙවැ. දැන් අවුරුදු හතරපහකට කලින් මෙයාලා එකට වැටිලා සෙල්ලම් කරපු උදවිය නෙවැ”

“චූටි දූට මතකද මේ අයියා..!”

ජයමාල් ඇය දිහා බලා හිස වනයි. ඇය සෑහෙන්න වෙනස් වෙලාය. ඒ වෙනස්කම් ගැන හොඳට ම පැහැදිලිය. ඉස්සර හිටපු දිග ක්‍රේල් කොණ්ඩයක් ඇති ආශා වෙනුවට දැන් ඉන්නේ කොණ්ඩේ ඉත්තෑකූරු වගේ දිගෑරලා කොටට කපලා දුඹුරු පාට කරපු අමුතුම ආශා කෙනෙකි!

ජයමාල් කට කොණකට හිනාවක් නගාගත්තේ ඒ ඔස්සේය. “හා.. ආශා.. නංගි අඳුනගන්නත් බැරි තරම් වෙනස් නේ..!”

ආශා ඊට ලජ්ජා සිනා පාන්නේ නැත. ඒ වෙනුවට ඉදිරියට ඇවිත් ඔහුගේ කණින් අදියි.

“හා.. ජයමාල් අයියත් හරිම නෝටි පාටයි..!”

නිර්මාල් මැණිකේට එකවරම බැලෙන්නේ සැමියා ‍දිහාය.

“අබුද්දස්ස කාලෙ තමා..”

ජන්තුවා සිරියාගේ කණට කොඳුරන්නේ කුස්සියට ගිහිල්ලාය.

තේපැන් සංග්‍රහයෙන් සප්පායම් වී තුටු පහටු කතා බහ අහවර කර පිරිස නික්ම ගියේ පැය එකහමාරකට විතර පස්සේය. ආලින්දයේ මහ පුටුව උඩ දිගාවුණු විල්ප්‍රඩ් හාමු අසල පුටුවේ වාඩිගත් තම බිරිය දිහා බැලුවේ කට ඇදකරගෙනය.

“දැක්කද හාමිනේ ජයසුන්දර මලයලා තකහනියක් ම මෙහේ ආවේ මොකටද කියලා තේරුණානේ..”

නිර්මලා මැණිකේ සැමියා දිහා බැලුවේ නිහඬ සිනාවෙනි.

“මැණිකෙ, එයාලා ආවා නෑකම් අලුත් කොරාගෙන අලුතින් ම නෑගමක් හදාගන්න. අපේ ලොකු පුතණ්ඩියාට එයැයිලගෙ අර තොරොම්බල්කාර දැරිවි පංගාර්තු කොරන්න නෙ..! හහ්හා හිතුවා මදි.. ඔය උඩින් වැටිච්ච අලුත් වලව්කාරයො අපට ඕන නෑ මැණිකේ.. තේරුණයි..?”

“අනේ මං දන්නෙ නෑ ගහෙන් ගෙඩි එන්නා වාගේ.. ඇවිල්ලා දැක්කද අර කෙල්ල අපේ පොඩි පුතාගෙ කරේ නැගපු හැටි..!”

“හහ්හා හා.. අපේ කොල්ලො අහුවෙයි ඔය උප්පරවැට්ටිවලට.. හා.. ඕං හාමිනේ එන පණිවිඩවලට එහෙම ගාණට මිම්මට උත්තර දෙන්ටෝනැ.. අපේ එවුන්ම අපි දැනටම තීන්දු කොරාන ඉන්නවා කීවම අහකයි නෙවැ!”

දෙන්නා දෙමාල්ලෝ දෙන්නා මඳ වෙලාවක් එක දිගටම නිහඬව මිදුල දිහා බලා හිටියේ හරියට දරුදෙදෙනාගේ අනාගතයේ දිග පළල උස මනිමින් වගේ මඳ සිනා ඇතිවය.

“මගේ දැනට ම පොඩි සැලැස්මක් තියෙනවා මැණිකෙ.. අපේ ලොකු පුතා ගැන.. මං ඒක පස්සෙ කියන්නයි හිටියෙ ඒත් දැන්ම මම ඒක කියන්නම්කො..”

විල්ප්‍රඩ් හාමු එසේ කියද්දිම ආලින්දයට ආවේ ජයමාල්ය.

“අප්පච්චි මං පොඩ්ඩක් වික්‍රම සර්ලගෙ ගෙදර ගිහිල්ලා එන්නද? වැඩි ඈතක් නෑ මේ ළඟම තියෙන්නෙ..”

“මොකටද පුතේ මේ හදිසියෙ.. අනිද්දට සර් එනවනෙ මෙහේ...”

“නෑ අප්පච්චි මේක මට හෙට ඉස්කෝලෙ යද්දි කරගෙන යන්න ඕනෑ ගණන් වගයක්...”

දැන් විල්ප්‍රඩ් හාමුගේ මූණ හොඳ නැත. ඒත් පුතාට එකවර විරුද්ධවීම කොහෙත්ම හොඳ නැත.

ඔහු පුටුවෙන් නැගිට බස්තම අතට ගෙන එහි සිංහ ඔළු මිට අතගා හෙමිහිට මෙසේ කීවේ මැණිකෙ දිහා බලමින්ය.

“හ්ම්.. යන්න.. ජන්තු එක්කම..! ගිහිල්ලා එනවා..!”

*********

ආර්ථික විද්‍යාව දේශනය හමාර වී කාමරය වෙත එන මිතුරන් සිටියේ විඩාපත් බවින් හෙම්බත්වෙලාය.

“උඹලා කවුරුවත් ගමවල්වල යන්නෙ නැද්ද බං..”

ශ්‍රීමාල් අසන්නේ අනෙක් අයගෙන්ය. සිරිනාත, උදාර හා සංජය හිනානොවී මූණට මූණ බලාගන්නේ බැරෑරුම් විදියටය.

“කොහෙ යන්නද බං..! මාට්ටු කරගත්තු කෙල්ලො දාලා! හහ් හා..!”

ඒ විනෝදකාමී හිනාව යට සැඟවිච්ච දුක්බර කතන්දරය ශ්‍රීමාල්ට තේරෙයි.

“උඹට තේරෙනවනේ.. බං.. අපේ අතපය කොර කරලා තියෙන්නේ මොකක්ද.. ‘නැති බැරිකම’...! නැතිබැරි කම... ඉඩකඩම් දේපොළ උගස් තියලා අපට උගන්නන්න වැරවීරිය කරන අපේ දෙමවුපියන්ගෙ පරම හතුරා නැති බැරි කම..!”

ශ්‍රීමාල් ඒ කතාවට උත්තරයක් දෙන්න හදනවිටම ඔවුන් තිදෙනා පසුකරගෙන වේගයෙන් යන කෙල්ලන් තුන්දෙනෙක් පෙනුණි. මැදින් යන ගැහැනු ළමයා දිහා ‍ශ්‍රීමාල්ට නැවත වරක් බැලුෙණ් ඉබේටමය.

“මචං.. ඒ..!”

එසේ කියමින් සිරිනාත දෙස බැලුවද එවෙලේ සිරිනාත සිටියේ තම ෆයිල් කවරයේ යමක් පිරික්සමින්ය.

“මොකද බං උඹ අර කෙල්ලො දැකලා ගැස්සුණේ?”

එකවරම කෑ ගෑවේ උදාරය. අවට එහා මෙහා යන සිසුසිසුවියන් අතරේ දුරින් ඇදී යන තුන්දෙනාව අතරින් මැදින් යන්නිය පෙන්වා ශ්‍රීමාල් යළිත් කෑගෑවේ පොඩි එකෙක් වගේය.

“හා.. එයා මේඛලා වගේ නේද.!”

සිරිනාත එසේ කියද්දී දැන් ශ්‍රීමාල්ට කලබලය නතර කර ගන්නට බැරිවී එදෙසට දුවන්ට හදයි.

“මේ බානකඩා ගත්ත හරකෙක් වගේ නම් දුවන්න ලෑස්ති වෙන්න එපා.. බං.. කැතයි. ඉවසලා හිටපං.. මේඛලා අපට හම්බවෙයි.. එක්කො හොයාගන්න පුළුවන්වෙයි..!”

ශ්‍රීමාල් මෙල්ල වුණේ සිරිනාතගේ වාග් ප්‍රහාරයෙන් නොව ගොළු හඬින් සලිතවන ජංගම දුරකතනයේ කැලඹිල්ලෙනි.

“හෙලෝ අයියා.. ඔයා එනවද මේ පැත්තේ.. මේ කට්ටියම බලාගෙන ඉන්නේ ඔයා නැතිව පාළුවෙන්..”

මල්ලීගේ හඬින් දැන් ඔහු සන්සුන්වෙයි. හෙමින් හෙමින් ඇවිදින ගමන්ම කතා කරන්නේ උදාසීනවය.

“දිගටම ලෙක්චර්ස් මල්ලි. නිතරම ගෙදර එන්න නම් බැරිවෙයි. වැඩ ගොඩයි.”

“අප්පච්චි කියනවා වාහනේ එවන්නම්ලු කැම්පස් එකට.. ඔයා එන දවස කියන්න... එහෙනම්.. ආ.. තව එකක් ඔයාට මංගල්ලයක් කතා කරන්න කට්ටියක් ආවා..”

“මට..! මංගල්ලයක් පිස්සුද..? කවුද ඒ..”

“අර.. මතකයිනෙ ඉස්සර අපේ ටවුම කිට්ටුව හිටියෙ.. අර.. අපිත් එක්ක සෙල්ලම් කරන්න එහෙම ආවෙ.. හහ් හා..”

“කියන මඟුලක් කියන්න මල්ලි.. මම මේ බිසි වෙලාවක්.. ඔය මඟුල් කෝලම්වලට මට වෙලාවක් නෑ..!”

එහා පැත්තේ ජයමාල් ඒ වදනින් තවත් ඇවිස්සෙයි.

ආ.. ශා.. නිරාශා මැවූ ඈ ස්වප්න මා .. යාවකී..//”

“මේ මල්ලි මේක මට සිංදු බයිලා අහන වෙලාවක් නෙමේ.. මං ඉන්නේ කැම්පස් එකේ..!”

“හා.. කෙටියෙන් ම කියන්නම්කො.. අයියණ්ඩිය.. උරණ නොවන්න... මා කීවේ ජයසුන්දර මාමලාගේ දුව ආශා.. ගැන.. හා..හා..”

දැන් ශ්‍රීමාල් ගේ කේන්තිය ඉහින් කණින් පිටවෙන තරම්ය.

“හෑපෝ.. මං ළඟදි දැක්කා ඒ තොරොම්බලේ.. ඔයාට නං හොඳයි.. එයා ඔන්න මං තිබ්බා.. බුදුසරණයි..!”

“මොකෝ බං.. මේඛලාව මිස් වෙච්ච එකේ පළිය උඹ වෙන අයගෙන් ගන්නෙ.. උඹ හරි අමුතුයි!”

සිරිනාත කීවේ කණට කරලාය.

“මචං ඒ ගියේ නම් මේඛලාම තමා..!”

පස්ස හැරී බලා ආයෙත් සුසුමක් හෙළන මිත්‍රයා ගැන දැන් සිරිනාතට දුකය.

“ඉවසපන්.. අපිට එයා හමුවේවි.. එයා ඉතින් උඹ ළඟින් පාස් වුණා නම් උඹව දකින්න ඇතිනේ..”

“නෑ. නෑ.. ළමයි අස්සෙ දැක්කෙ නෑ.. එයා බිම බලාගෙන වගේ ගියේ..!”

සිරිනාත ශ්‍රීමාල්ගේ පිටට තට්ටු කළේ මිතුරා ගැන අනුකම්පාව හිතිලාය.

“මචං.. මේක කැම්පස් එක.. ඉස්කෝලෙ නෙමේනෙ.. අපිට එයාව හොයාගන්න පුළුවන් වෙයි.. ආ.. ඊයෙ මට දිලුම් පණිවිඩයක් එවලා තිබුණා. කෝසල ලා ශ්‍රීමතීලා විරාජ්ලා ආයෙ ක්ලාස් යනවලු. ඒත් කෝසල නම් දැන්මම ජොබ් හොයන පිස්සුවෙන්ලු ඉන්නේ.. ඌත් මං වගේම තමා.. දුප්පත් එකා.. ඌට බාල නංගිලාම තුන්දෙනෙක්.. පවුල ගොඩදාගන්න එක තමා උගේ ඉලක්කෙ..”

ශ්‍රීමාල් සුසුමක් හෙලා පපුව සැහැල්ලු කරගත්තත්.. හිත ඇතුලේ තම මිතුරන් ගැන දුකක් ඇතිවෙයි.

හැමදෙනාටම ජීවිතවල ඉලක්ක ඇත. තමාගේ ප්‍රධානම ඉලක්කය වලව් දූපතෙන් මිදිලා නිදහස් ලෝකයක් සොයා යාමය..! තමා දැන් යමින් සිටින්නේ ඒ ඉලක්කය කරාය.

කාමර සගයන්ගේ මෙන් ම ඇසුරුකරන සරසවි මිතුරන්ගේ ද ජීවිත හරි වෙනස්ය. හරි සැහැල්ලුය. බොහෝ දෙනෙකුට පෙම්වතියක් ඇත. පෙම්වතියක් නොවන මිතුරියන්ගේ ඇසුරද බොහෝ දෙනෙකුට ඇත. කොහොම වුණත් ඔවුන් සිටින්නේ සතුටිනි.

“අනේ.. බං.. උඹ ඉතිං මිශ්‍ර ඉස්කෝලෙකටවත් ගියෙ නැති නිසා උඹට නම් මේ යාලුකම් අමුතු ඇති. උඹේ සබකෝල ගති හොඳට පැහැදිලිව පේනවා..”

කා‍මරේ සිටිනා ගමන් ද සංජය කියන්නේ ශ්‍රීමාල්ව අවුස්සන්නටය. ශ්‍රීමාල්ට තනිවම හිනාය. ඒ, කතාව ඇත්ත නිසාය. ගෙදරත් ආශ්‍රය කරන්නට සහෝදරියෙක් නැත. රත්නපුරේ සමන්ති අක්කා ඉඳහිට හමුවෙලා තිබෙනවා පමණි. නමුත් ඇය දුරකතනයෙන් නම් කතා කරයි. දහම් පාසලේදිත් මිතුරියන්ව ඇසුරු කරන්නට පෙලඹැවීමක් තිබුණේ නැත. නමුත් ‘නිල්කට්රොල්’ පලහිලව්වත් එක්කම දහම් පාසලට සමුදීමට සිදුවුණු නිසා එතැනදිත් එහෙම ඇසුරු තමාගෙන් දුරස් වුනේ ඉබේටමය. මොකක් හරි පූරුවෙ කරුම දෝෂයක්ද මන්දා.. මේක..! එහෙම හිතද්දිම හීන් හිනාවක් තම දෙතොලේ ඇදෙනවා ශ්‍රීමාල්ට දැනුණේ නැත.

“වැඩේ හරි වගේ මිනිහටත්! ඔය මනෝපාර දාගෙන හිනාවෙවී ඉන්නේ...”

අතේ තිබූ පොත වසන ගමන් උදාර සිරිනාතට කීවේ රහසිනි. එවිට ම ශ්‍රීමාල්ගේ ජංගම දුරකතනය නාද වෙයි.

“හා..! කියන්න සමන්ති අක්කේ..”

ශ්‍රීමාල් මොබයිලය කනේ ගහගෙන කාමරයෙන් එළියට යන්නේ තැතිගැන්මකින් යුතුවය. විනාඩි දහයක් පමණ දුරකතනයේ රැඳී සිටිය ඔහු නැවත කාමරයට ආවේ තෘප්තිමත් මුහුණිනි. සංජය, ශ්‍රීමාල් දිහා බලන ගන්ම පුරුදු වෙමින් සිටින නාට්‍යයක කොටසක් රඟ දක්වන්නේ උදාරට ඉඟිකරමින්ය.

“අපි යන්න යමු.. අපි යන්න යමු.. සුරලෝකෙ දිනා විගසින්..!

බෝල බූරු පුතේ..

බොල බූරු පුතේ...!”

“හා හා ඕක නවත්ත ගනිං.. මහලොකු නාට්‍යකාරයා.. ඒ කතා කළේ එයාගෙ අක්කා.. සමන්ති.. හහ්හා...”

“හා.. හා උඹට ශ්‍රීමාලයා ගාණක් ගෙවනවද මේ පුරෝහිතකම් කරනවට ආ..”

සංජය කියන්නේ ඔලොක්කුවටය.

ශ්‍රීමාල් සිරිනාතට ඇමතුවේ විස්තරය කියන්නේ සතුටු මුහුණෙනි.

“මං බය වුණා බං.. මොකක් හරි කරදරයක්ද කියලා.. දැන් තමා ඇඟට ලේ ඉනුවෙ සමන්ති අක්කලා එහේ වැලිගම පැත්තෙ ඉන්නවලු ගෙයක් නෙමෙයි කාමරයක් කුලියට අරගෙන.. ජයේන්ද්‍රගෙ තාත්තා අවුලක් නැතිව දැන් රත්නපුරේ මාමලාගෙ වතුවල වැඩ බැලිල්ලට යනවලු.. පුරුදු විදියටම..!”

“ඇත්තට..! එහෙනං.. ඉතිං.. ටික කලක් ගිහිල්ලා ෂේප් වෙයි.. ඔක්කොම.. අර කතාවක් තියෙන්නෙ ‘හොඳම බේත කාලයයි’ කියලා...!”

“මොන පිසුස්ද බං.. රත්නපුරේ කට්ටියට එහානේ අපේ අප්පච්චි.. ඒ නිසා.. සමගි සමාදාන නම් ෂුවර් නෑ..”

“මොකද බං උඹලගෙ අප්පච්චි ඔය තරම් දරුණු කෙනෙක්ද ආ...?”

සංජය එහෙම අහද්දි සිරිනාතට පුදුමය.

“ඇත්තට.. උඹේ ඔය කන්දෙක කොහෙන්ද ගත්තෙ බං..”

“ ‘කං’... දෙක.. හා මේවා මනුස්ස ‘කං’ මිසක් වෙන අහවල් ‘කං’ නෙමේ හරිද බං.. මනුස්සයෙකුට විපත්තියක් පුරස්නයක් වුණොත් මනුස්සයෙක් බලන්න ඕන.. නැත්නම් ඇහුම් ‘කං’ හරි දෙන්න ඕනෑ.. එහෙම තමා.. අපේ තාත්තලා අපිට කියලා දීලා තියෙන්නෙ.. හහ්හා..!”

“බලාගෙන ගියාම උඹ නම් හැබෑම නාට්‍යකාරයෙක් බං... ඔයවගේ පපුවෙ ‍තෙතමනය තියෙන්නෙ කලාකාරයො ළඟ තමා! මේ ඉන්නෙ තව කලාකාරයෙක් මූ.. හොඳ කවිකාරයා මෙහෙම හිටියාට..”

සිරිනාත කියන්නේ ශ්‍රීමාල්ගේ පිටට තට්ටු කරමිනි. එවෙලේ කාමරයට ආවේ උදාරය.

“උඹලා තුන්දෙනාගෙ හැම වෙලාවෙම පොත් නම් අතේ... ඒත්... පාඩම තමා නැත්තෙ.. නේද..”

“අනේ පලයං බං යන්න! අපි නිදිමරාගෙන පාඩම් කරනවා. උඹ ඉතිං ප්‍රේමවන්තයානෙ.. උඹ හීන බල බලා නිදාගන්නවා. මොකෝ අද.. නිකං.. කෙල්ල ඔරොප්පුද මූඩ් අප්සෙට්?” දැන් උදාරගේ මූණ අඳුරුවෙයි.

“ප්‍රශ්න.. ප්‍රශ්න.. බං.. පටන්ගත්ත දා ඉඳලා.. මට නම් දැන් එපා.. වෙලා තියෙන්නෙ..!”

ඒ කිවූ විලාසෙට කොල්ලන් තුන්දෙනාටම හිනා යයි.

“අපිටත්.. එ.. පා.. වෙලා.. තියෙන්නෙ..”

තුන්දෙනාම අත්වැල් ගායනයක් සේ එකට කියද්දී හතරදනොටම හිනා යයි.

“ඕං.. මචං.. මේවට තමා “හතර හිනා” කියන්නේ...”

******

ජයමාල් පාසල ඇරී වාහනයට නැග්ගේ හිත බරකරගෙනය.

“මොකෝ පුංචි හාමු.. මූණ කළු වෙලා.. බඩගිනිද..?”

ඔහු වාහනයට නගිද්දී කරුණාදාස ඇසුවේ කරුණාවෙනි.

ජයමාල් කතා නැතිව කරුණාදාස දෙස බලයි. වාහනය ක්‍රියාත්මක කළ පසුව ඔහු ආයෙත් කරුණාදාස දිහා බලන්නේ අමුතු විදියටය.

“මම කරුණාදාසගෙන් ප්‍රශ්නයක් අහනවා.. මට හරියට උත්තරයක් ඕනෑ...”

දැන් රියැදුරාට පුදුමය. පුංචි බේබි හාමු මේ විදියට කවදාවත් කතා කරලා නැත.. නමුත් කිසියම් භයානක දේක ඉවක් දැනෙයි.

“ඇයි පුංචි බේබි හාමු.. මොකෝ මේ පොලිසියෙන් හරස් ප්‍රශ්න අහනවා වගේ...?”

“මට හරියටම කියන්න.. කරුණාදාස අපේ අප්පච්චිලා ළඟ වැඩට ආවෙ කොයි කාලෙද...?”

කරුණාදාස ඒ ප්‍රශ්නයෙන් ගැස්සෙයි. ඒ එක්කම ඉදිරියට ආපු වාහනයක් ළඟටම එනකම් ඔහු දැක්කේ නැත.

“බ්රාස්..!” තිරිංග තද වුණේ මහා විලාපයක් ගානටය!

Comments