
රටේ සියලුම වැසියන් එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එකට හඬනවා සේම එකට සතුටු වීම එකමුතුකමේ ජයග්‍රහණය බවත් එසේ සිටිනතාක් කල් වෙනත් කිසිදු රටකින් එන බලවේගයකට අපිව විනාශ කළ නොහැකි බව පවසා සිටියේ ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ ජාතික සංවිධායක මෙන්ම සෞදි අරාබියාවේ රියාද්හි ප්‍රින්සස්නූරා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනියක් ලෙස කටයුතු කරන ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මියයි.
රටේ වත්මන් තත්ත්වය, මානව හිමිකම් මෙන්ම මෙරට කාන්තාවගේ ජීවනාලිය ගැන ඇය පසුගිය දිනෙක අප සමඟ මෙසේ අදහස් ප්‍රකාශ කළාය.
“ඇත්තටම අපේ රටේ මානව හිමිකම් කියලා ලේබලයක් තිබුණට මේ රටේ තිබෙන මානව හිමිකම් ගැන නිසි විශ්ලේෂණාත්මක අවබෝධයක් මිනිසුන් අතර නැහැ. මිනිස්සු අතර ඒ ගැන තියෙන අවබෝධය හරිම ඍණාත්මකයි. බලන්න අද අපේ රටේ පුංචි ප්‍රශ්නයකදී වුවත් ගහමරා ගන්නවා. සෑම තැනකදීම එකිනෙකා අවිශ්වාසයෙන්, සැකයෙන් බලන ජනතාවක් වර්තමානයේ බිහිවෙලා සිටින්නෙ. අපේ රටට තනිව නැගිටිය නොහැකි බව අපි අවබෝධ කරගත යුතුයි. ජාත්‍යන්තර ප්‍රජාවගේ උදවු අත්‍යවශයි කියන දේ මේ රටේ ජනතාව ඔළුවට ගත යුතුයි. අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකමය අතින් පහළ තත්ත්වයක සිටින රටක්. නිදහස ලැබි අවුරුදු 70ක් වුණාට අපි සමරන නිදහස නියම අර්ථාන්විත වීමටනම් අපේ රට දියුණු කරගෙන අපිටම කියා දෙපයින් නැඟී සිටිමට හැකියාවක් තිබිය යුතුයි. අද රටේ ඇතැම් අවස්ථාවලදී දරුවන්ට කාන්තාවන්ට සිදුවන වධහිංසා හරිම කනගාටුයි.”
මෙරට කාන්තාවන්ගේ ජීවන අරගලය ගැන විටෙක සංවේදී ස්වරයෙන් මෙන්ම බලධාරීන්ගේ අවධානය වෙනුවෙන් දැඩි ස්වරයෙන්ද ආචාර්ය චන්දිමා,
“හිතලා බලන්න, අද අපේ රටේ ගම්වල සිටින කාන්තාවන් මොන තරම් දුක් විඳිනවා ද? ඔවුන්ගේ ශක්තිය, ධෛර්යය, ඥානය මේ රටේ සංවර්ධනයට යොදාගන්නවා ද? නැහැ. අපි තමයි ලෝකයට ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කළේ. ඉතින් අපි කාන්තා අයිතීන් ගැන කතා කරනවා, තවමත් කාන්තාවන්ට 25%ක දේශපාලන නියෝජනය ලබා දෙනවාද කියා ස්ථිර තත්ත්වයක නැහැ.
මේ රටේ දේශපාලනය කරන්න කාන්තාවන් නැහැ කියන මතයක් ඉදිරිපත් කරනවා, එය කිසිම විටෙක පිළිගත හැකි කරුණක් නොවේ. අපේ රට තුළ වෙනත් සෑම අංශයකින්ම කාන්තාවට සම්බන්ධ වීමට හැකිනම් ඇයි දේශපාලනයට සම්බන්ධ වෙන්න බැරි? මම හිතන්නෙ කාන්තාවගේ ඥානය රටේ සංවර්ධනයට වැඩිපුර යොදාගත යුතු කාලයක් මේ. ජර්මනිය වැටිලා තිබුණ රටක්. නමුත් අද යුරෝපයේ පමණක් නොවේ මුළු ලෝකයේම ස්ථිරසාර ආර්ථිකයක් සහිත බලවත් රාජ්‍යයක් බවට පත්වෙලා තියෙන්නෙ ජර්මන් රාජ්‍ය නායිකා ඇන්ජලා මාකල් හරහා. බලන්න ජර්මනිය බලවත් කිරීමට මූලික වුණේ කාන්තාවක්. ඒ වගේම නයිජිරියාවේ ආර්ථිකය ඉහළ තත්ත්වයකට ගෙනඒමට කාන්තාවන් විශාල දායකත්වයක් සපයා තියෙනවා.
ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කරමින් මෙරට කාන්තාවගෙ හැකියාව අපි ලෝකයාටම පෙන්වූවත් තවමත් බොහෝ කාන්තා ප්‍රශ්නවලට විසඳුම් ලැබිලා නැහැ. කාන්තාවන්ට ඉදිරියට ඒමට අවස්ථාව ලැබිලා තියෙනවා අඩුයි. නමුත් සෑම වර්ෂයකම කාන්තා දින සමරමින් ඒ ගැන කතා කරනවා. ඔය කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින එන්ජීඕත් නිසි පරිදි කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නෙ නැහැ.
මම කියන්නෙ අපි කාන්තාවන් හැටියට සම අයිතිවාසිකම් ඉල්ලන්නෙ නැහැ. කිසිම ලෙසකින්වත් තාත්තා කියන චරිතය ගෙදරකට ලබා දෙන ආරක්ෂාව, වගකීම, ආර්ථික පෝෂණ දායකත්වය කාන්තාවකට දෙන්න බැහැ.
මම කියන කාන්තා අයිතිවාසිකම් පුරුෂයෙක් සමඟ එකට සිට ගැනීමේ සමානාත්මතාව නොවෙයි. අපිට අවශ්‍ය සුදුසු තැන සහ කාන්තාවන්ට ලැබිය යුතු තැන පමණයි. අපි කියන්නෙ නෑ කාන්තාවන් වුවත් නුසුදුසුනම්, සුදුසු තැන දිය යුතුයි කියා. අපේ රටේ ආරම්භය ගත්තොත් සිදුවුණේ කුවේණියගෙන්.
මේ මහ පොළොව අයිති කුවේණිට. ඇය පිටරැටියෙක් සරණපාවාගෙනයි මේ සිංහල ජාතිය ඇතිවුණේ. ඒ අනුව බැලුවත් මෙරට කාන්තාවට තිබෙන අයිතිවාසිකම ඉතාම ඉහළයි. හැබැයි, තවමත් ඒ අයිතිය නිසි පරිදි කාන්තාවට ලැබිලා නැහැ.
මේ රටේ බොහෝ දෙනෙක් කාන්තා ගැටලු තේරුම්ගෙන තියෙන්නෙ සුළු ප්‍රශ්න ලෙසයි. නමුත් එය සම්පූර්ණ වැරැදි වැටහීමක්. කාන්තා ගැටලු ප්‍රසිද්ධියේ කතාකොට විසඳුම් ලබාදීම සියලුම වගකිවයුත්තන්ගේ යුතුකමක්.
කාන්තා දිනවලදී බැනර් අල්ලගෙන පිකටින් යෑමෙන් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. බලන්න ගම්වලට ගිහින් මේ රටේ කාන්තාව ජීවන අරගලය වෙනුවෙන් මොනතරම් දහදුක් විඳිනවාද කියා. සමහර කාන්තාවන් රෑ දෙකට තුනට නැගිටගෙන එක දිගට යන්ත්‍ර වගේ වැඩ. රෑ දෙගොඩ ජාමේ නින්දට යන්නෙ. අන්න එවැනි කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු වරප්‍රසාද ගැන වගකිවයුත්තන් මීට වඩා ඇස් හැර බැලිය යුතුයි. අද සිංහල ජාතිය දරුවන් බිහිකරන්නෙ නෑ, වඳ බෙහෙත් දෙනවා කියමින් බොරු ප්‍රචාර යවනවා. නමුත් ඇත්තම තත්ත්වයනම් වර්තමාන කාන්තාවට දරුවන් දෙතුන් දෙනෙකු තියා එක දරුවෙකුටවත් නිසි පෝෂණයක් දෙන්න වත්කමක් නැහැ. අද තිබෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගෙදර තාත්තට පමණක් හම්බ කරලා විසඳන්න බැහැ. ඒ නිසා මේ ජීවන අරගලයට අම්මටත් උරදෙන්න වෙලා. ඒ වගේම කාන්තාවන්ට දරුවන් හදන්න වර්තමානයේ ආර්ථික ශක්තිය වගේම වෙලාවකුත් නැහැ. අතීත පවුල් සංස්ථාව ගොඩනැඟිලා තිබුණේ ගොවිතැන මූලික ආර්ථිකයකින්. එදා ගමේ පවුලකට ආර්ථික ශක්තිය හොඳින් තිබුණා. ඉතින් දරුවන්ගේ පෝෂණය ගැන ලොකු ගැටලු තිබුණේ නෑ. ආර්ථිකය ශක්තිමත් නිසා දරුවන් වෙනුවෙන් වෙන්කරන්න කාලය තිබුණා. එදා දරුවාගේ අවශ්‍යතා වුණත් හරිම සරලයි. අද වගේ, සපත්තු මේස් දෙකේ සිට පෝන් එක දක්වා කිසිම අවශ්‍යතාවක් එදා දරුවාට තිබුණේ නෑ. ඒ වගේම ලෝකය පුරා විසිරී සිටින අපේ රටේ කාන්තා ඥානය රට ගොඩනැගීමට යොදාගැනීමට වැඩපිළිවෙළක් බලධාරින් යෙදිය යුතුයි. එසේම පැරැණි කාන්තාවගේ ඥානය මෙන්ම වර්තමාන දියුණු කාන්තාවගේ ඥානය ද එකසේ රටේ ආර්ථිකය මෙන්ම දේශපාලනය ගොඩනැඟීමට යොදාගත යුතු බවත් කාන්තාවන් නොමැති බව කියමින් ඉදිරියටත් කාන්තාව සමාජයෙන් කොන් නොකළ යුතු බව” ඇය අවධාරණය කොට සිටියාය.
වර්තමාන සමාජ වෙනසත් සමඟ සියලු දේම කනපිට හැරි ඇති බව පවසන ඇය ඒ හේතුවෙන් රටක්, සමාජයක් ලෙස විශාල ගැටලු රාශියකට මුහුණ දී ඇති බවයි. එසේම වත්මන් කාන්තාවගෙන් ගෙදර සිට කරන ස්වයං රැකියාවකින් ආර්ථිකයට පණ දීමට වඩා විශාල වැඩ කොටසක් රටේ ආර්ථිකයට ලබාගැනීමට හැකියාව තිබෙන බවයි. ඒ අනුව ලෝක ආර්ථික තත්ත්වයද තේරුම්ගෙන අපේ රටද ඒ හරහා ගමන් කළ යුතු බව පවසන ආචාර්යවරිය මෙරට කෘෂි ආර්ථිකයේ දිශානතිය ගමන් කළ යුතු ආකාරයද මෙසේ පැහැදිලි කළාය.
“බලන්න අපේ රටේ කෘෂිකර්මය. යල්පැන ගිය ක්‍රමයක්. එක් එක් කන්නවලට පමණක් පලදාව ලැබිලා වැඩක් නෑ. අඛණ්ඩව පලදාව ලබාගැනීමේ නිෂ්පාදන ක්‍රමයකට අපි යා යුතුයි. එළවළු, පලතුරු අඛණ්ඩව විදේශීය වෙළෙඳපොළට යවන්න සැලැසුම් සැදිය යුතුයි. මොකද විදේශීය වෙළෙඳපොළෙන් සෑම විටම අඛණ්ඩ සැපයුමක් බලාපොරොත්තු වෙනවා. තියෙන කාලෙට වැටිලා කුණුවෙලා යනවා. නැති කාලෙට බේතකට සොයාගන්න නැහැ. අඩුම තරමේ කල්තබා ගැනීමේ දියුණු ක්‍රමවත් අපිට නැහැ. මෙන්න මෙවැනි දේවලට කාන්තාවගේ ඥානය යොදාගත යුතුයි. මොකද කාන්තාව කියන්නෙ නියම සකසුරුවමින් යුත් චරිතයක්.”
එසේම ඇය මෙරට ආර්ථිකයට පිටරැටියන්ගෙන් වන කූට උපායන්ද හෙළි කළාය.
“අපේ රටට නොයෙක් ජාතීන් ඇවිත් ඒ අයට ඕනෑ විදිහට මේ රටේ හැසිරෙමින් හම්බ කරගෙන යනවා. ඉන් අපේ රටේ මිනිසුන්ගේ ආර්ථිකයට බලපෑමක් වෙනවා. ඒ ගැන බලධාරින් ඉතාම හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි. අපේ රටේ ආර්ථිකය මෙරට තුළම රඳවා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මෙරට ආර්ථිකය ගැන නිසි විශ්ලේෂණයක් වර්ෂයක් පාසා සිදුකළ යුතුමයි. මේ මොහොතේ රටේ මිනිසුන් ගහ-මරා ගැනීම නොවේ කළ යුත්තෙ රටට විනකරන පිටරැටියන්ට එරෙහිව සටන් කිරීමයි.”
නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් සිප්සතර හදාරා මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස ලෝ පුරා සැරිසරන ආචාර්ය චන්දිමා වාර්ගික ගැටුම් ඇති කිරීමට වෙර දරන අයවලුන් හට දැඩි දෝෂාරෝපණයක්ද එල්ල කළාය.
“අපේ රටේ විශාල ලෙස උගත් බුද්ධිමත් තරුණ පරම්පරාව මේ රටෙන් ඈත්වෙලා යනවා. හේතුව ඔවුන්ට නිසි තැනක් නැහැ. දේශපාලන බලාධිකාරයෙන් තමයි හැම දෙයක්ම තීන්දු වෙන්නෙ. අපේ රටේ අලියෙක් මැරුණොත් එය ජාතික ව්‍යසනයක් ලෙස කතා කරනවා. නමුත් මනුෂ්‍යයෙක් මැරුණොත් එහෙම කතා වෙනව ද? එය වඩාත්ම පිළිබිඹු වන්නෙ මුස්ලිම්, දෙමළ හෝ වෙනත් සුළු ජනකොට්ඨාසයක කෙනෙක් මැරුණොත් සිංහල ජනයාට දැනෙන්නෙ නැහැ ඔහු මේ රටේ උපන් කෙනෙක් කියා. එහි අනෙත් පැත්තත් එහෙමයි. එයට හේතුව, සමාජය සෑහෙන කුහකකමින් නැහැවිලා. එය රටක් වශයෙන් විශාල ව්‍යසනයක්. මේ චින්තනය මෙරට ජනයාගෙන් ඉක්මනින්ම ඈත්විය යුතුයි. මේ රට වර්ගවාදය, ජතිවාදය, ආගම්වාදය කොහෙත්ම ඇතිවිය යුතු රටක් නොවේ. මේ රටේ ජනයා බොහෝම හොඳින් සාමකාමීව අන්‍යොන්‍ය අවබෝධයෙන් ජීවත්විය යුතු රටක්. එසේ නොවුණොත් අපේ රට ගැන ජාත්‍යන්තර ප්‍රජාව හෙළන්නෙ නරක බැල්මක්. සුළු ජාතීන් ඇතුළු සියලු මනුෂ්‍ය සත්ත්වයා කෙරෙහි වෛරී ස්වභාවයෙන් බලන ජාතියක් වෙසෙන රටක් ලෙසයි ඔවුන් තේරුම් ගන්නෙ. අපේ රටේ සියලු දෙනාම එක්වී අත්වැල් බැඳගත යුත්තෙ මේ රට ලෝකයේ සුන්දර රාජ්‍යයක් කරමින් දියුණුව කරා රැගෙන යාමටයි.
සිංහල බෞද්ධයෙක් වන මම මුස්ලිම් හෝ හින්දු ගෙදරක මරණයක් වෙලා කඳුළු සලනවට කොහෙත්ම කැමැති නැහැ. එලෙස සෑම සිංහල බෞද්ධයෙක් වගේම අනෙත් අතට හින්දු, මුස්ලිම් ජාතිකයොත් සිතිය යුතුයි. නමුත් අද වන විට තිබෙන තත්ත්වය, අපි විසින්ම අපේ වළ කපා ගැනීමක්.”
වර්තමානයේ රට තුළ ගොඩනැඟී තිබෙන තත්ත්වය අනුව ජාතිවාදයට, අන්තවාදයට එරෙහි ලොකු-පොඩි සියලු දෙනා නැඟී සිටිය යුතු කාලය එළැඹ ඇතැයි ඇය පවසා සිටියාය.