
අපේ රටේ තේ දලු නෙළන ළඳුන් ගැන ඇතැම් ගීපද රචනා කරනු ලැබ තිබෙන්නේ හරියට සුරංගනාවියන් පිළිබඳ ව ලියන්නාක් මෙනි. නමුදු වතුකරයේ තේ ගස්වලටම සින්න වූ ජීවිත ගත කරන වතු කම්කරු ගැහැනියගේ ජීවිතයේ කටුක බව දන්නේ එහිම දිවි ගෙවන්නෝ පමණි. උදේ සිට සැන්දෑ වන තුරුම තේ ගස් සමඟ හැප්පෙන ගැහැනිය තම පවුල හා දරුවන් වෙනුවෙන් අපමණ දුක් ගැහැට විඳින්නීය. චිරාත් කාලයක් තිස්සේ අපමණ දුක් වේදනා විඳින වතු කම්කරු ගැහැනියට පමණක් නොව ඇගේ දරු පවුල්වලට ද යහපත් කල දවසක් උදා වීමේ පෙරමඟ ලකුණු දැන් දකින්නට පුළුවන.
ඉංග්‍රීසීන් අපේ රට යටත් කර ගත් පසු කුරුඳු, කරාබු නැටි, ගම්මිරිස් ආදී වූ කුළු බඩු ද තේ ද ඔවුන්ට වැදගත් වැවිලි විය. එම බෝග මහා පරිමාණයෙන් වැවීම ආරම්භ කළ නමුත් ඒවායේ කම්කරුවන් ලෙස කුලියට වැඩ කරන්නට ශ්‍රී ලාංකිකයෝ අකමැති වූහ. මේ හේතුවෙන් එම වතුවල වැඩට දකුණු ඉන්දියාවෙන් දෙමළ ජනයා ගෙන්වා ගැනීමට ඔවුහු තීරණය කළහ. එතෙක් අප රටේ සාමාන්‍ය ජනයා ජීවත් වූයේ ගැමි ගොවි ආර්ථික රටාවකට අනුව ය. කුඩා ඉඩම් කෑල්ලක යම් බෝගයක් හදා වඩාගෙන කුඹුරක් හේනක් කරගෙන ඔවුහු සරල දිවි පෙවෙතක් ගෙන ගියහ. බොහෝ අයට ඔප්පු තිරප්පුවලින් ලියා දුන් ඉඩම් හෝ දේපොළ තිබුණේ නැත. හැම තැනම වාගේ අයිතිකරුවන් නැති පාළුවට ගිය ඉඩම් විය. ඉංග්‍රීසීන් කළේ මේ ඔප්පුවලින් හිමිකම් කියන්නට නො හැකි වූ සියලු ඉඩම් ඉංග්‍රීසීන්ගේ ම සල්ලිකාරයන්ට විකුණා දැමීම ය. ඒ අනුව එංගලන්තයේ පදිංචි සුද්දන් බොහෝ දෙනාගේ විශාල ඉඩම් තිබුණේ අපේ රටේ ය.
කඳුකරය තේ වගාවට ඉතා ම සුදුසු බැවින් ඔවුහු මුළු කඳුකර ප්‍රදේශය ම පාහේ ආවරණය වන ලෙස තේ වගාව ආරම්භ කළහ. පවුල් ගණනාවකට ම පදිංචි වීම සඳහා එකට ඈඳුණු ලැයිම් ගෙවල් තනා ඒ වතු කම්කරුවන් ඒවයේ පදිංචි කරන ලදී. වතු කම්කරුවන් සඳහා ලැබුණේ ප්‍රමාණවත් නැති ඉතා අඩු වැටුපක් බව කවුරුත් දනිති. පවුල් ගණනාවක් වෙසෙන 'ලැයිමක' එක් පවුලක් සඳහා වෙන්කර තිබුණේ ලැයින් කාමරයකි. ලැයිම් කාමරවලට මෑතක් වනතුරු විදුලිය ලැබුණේ ද නැත. ලැයිම් කාමර පෙළකටම වූයේ වැසිකිළි දෙක තුනකි. එය කිසිසේත් නොසෑහේ. වැඩිහිටි මහලු මැහැල්ලන් ගේ සිට තරුණ තරුණියන්, ළමා ළපටි ද වැසිකිළියට යාමට පෝලිම් ගැසිය යුතු විය.
වතු කම්කරු ජනතාවට ඔවුන්ගේ නියමිත වයසේ දී නියමිත පරිදි පාසල් යෑමට ඉගෙන ගැනීමට, ආවාහ විවාහ වීමට තිබූ පහසුකම් අවම විය. එමෙන්ම වතු කම්කරුවන්ට මඟුලකට, අවමඟුලකට ප්‍රීති සාදයකට නිවාඩුවක් ගන්නට මෑතක් වනතුරු ම පහසුකම් තිබුණේ නැත. දරුවන් ලැබීමෙන් පසු හෝ පෙර සති ගණන්, මාස ගණන් ප්‍රසූත නිවාඩු හෝ එවැනි වෙනත් නිවාඩු නො වුණි. අත දරුවා රෙදි කඩක ඔතාගෙන තේ වත්තේ වැඩට යාමට මවට සිදු විය. මව කළේ දරුවා වත්තේ සුදුසු තැනක බිම තබා තේ දලු නෙළමින් ඈතින් ඈතට ගමන් කිරීම ය. ඇතැම් විට එවිට දරුවා හැඬුවත්, කෑගැසුවත් මවට ඇසෙන්නේ නැත. ඇය එතරම් දුරක් තේ දලු කඩමින් ගොස් ඇති බැවිනි. වැඩ නවතා ඇය ආපසු දරුවා ගන්නට එනවිට සමහරවිට දරුවා කිසියම් වන සතකු ඩැහැගෙන ගොස් ය. සමහරවිට විසකුරු සර්පයකු දෂ්ට කර තිබුණි. මෙනිසා මවුවරුන්ට බොහෝ විට කිරි දරුවෝ අහිමි වූහ.
වතුකරයේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබූ මේ සිදුවීම් මාලාව ගැන කම්පාවට පත් එක්තරා මිත්තනියක් ඓතිහාසික වටිනාකමක් ඇති තීරණයක් ගත්තා ය. ඇය කළේ තමන් පදිංචිව සිටි වතුයායේ කම්කරු ළඳුන්ගේ කිරි දරුවන් ඔවුන් සේවා මුර
හමාර වී එනතුරු තමා බාරයේ තබා ගෙන දරුවන් බලා ගැනීම ය. මේ සඳහා කාමරයක් ද වෙන් කර සූදානම් කර ගත්තා ය. මේ ගැන කටින් කට යමින් කට වචනයෙන් ම එය පුණ්‍ය කාමරය ලෙස කවුරුත් හැඳින් වූහ. කෙමෙන් මේ ක්‍රමය අනෙකුත්
වතුවල ජනතාවට ද මඟ පෙන්වීමක් විය. එම වතුවල ද එවැනි ම මිත්තනිවරු පුණ්‍ය කාමර පවත්වා ගැනීමට පියවර ගත්හ. මේ පුණ්‍ය කාමරය දෙමළ බසින් හැඳින් වූයේ 'පුලෙයි මඩු' ලෙස ය. පුලෙයි මඩු පළමුවෙන් ම පටන්ගත් මිත්තනිය අද වතුකරයේ ජනතාවගේ දේවත්වයට හා පූජනීයත්වයට පත් මවකි.
වතුකරයේ ජනතාවගේ ජීවන වෘත්තියට හා සමාජ සංස්කෘතියට අලුත් වටිනාකමක් දෙමින් යහපත් ලෙස වෙනස් කරන්නට මෑත භාගයේ සිට කැපවී සිටින්නේ වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය යි. එම ආයතනය ඒ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරයි. පූර්ව ළමා සංවර්ධන ව්‍යාපෘතිය ඉන් එකකි. වයස අවුරුදු 5 දක්වා දරුවන්ගේ සෞඛ්‍යය හා පෝෂණය වැනි එම වයසේ දරුවන්ගේ සියලු අවශ්‍යතා සඳහා එමගින් පහසුකම් ලබා දේ. ළමා උද්‍යාන, සෙල්ලම් පිටි, නවීන පන්නයට තැනූ නිවාස ළමයින්ට ඔබින ලෙස සකසා අවශ්‍ය පහසුකම් සපයා තිබේ. වැවිලි මානව සම්පත් භාරයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලාල් පෙරේරා මහතා ය. පූර්ව ළමා සංවර්ධන ව්‍යාපෘතියේ ලෝක බැංකු ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කීර්තිමත් අධ්‍යාපනවේදියෙකු වන එච්.එම්.වසන්ත හේරත් මහතා කටයුතු කරයි. ළමා හා වනිතා කටයුතු අමාත්‍යාංශය හා කඳුරට නව ගම්මාන, යටිතල හා ප්‍රජා සංවර්ධන ක්‍රියාත්මක කිරීමේ ව්‍යපෘතිය සම්බන්ධ වෙයි.
නිවාස හා යටිතල, ජලය හා සනීපාරක්ෂාව, සෞඛ්‍ය හා පෝෂණය, ළමා සුරැකුම් හා සංවර්ධන වතු සේවක නිවැසි සහයෝගිතා සමාජ යන පැතිකඩ පහක් ඔස්සේ වතුකර ජන ජීවිතය නංවාලීමට මේ වනවිටත් විශාල වැඩ ප්‍රමාණයක් නිම කර තිබේ. මේ යටතේ නව නිවාස පද්ධති 1015ක් තනා ඇත. පැරැණි පුලෙයි මඩු හෙවත් පුණ්‍ය කාමරය නව පහසුකම් යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන ලෙස හැඳින් වෙයි. එදා පුණ්‍ය කාමරය බාරව සිටි මිත්තනිය වෙනුවට අද ළමා සංවර්ධන නිලධාරිනියක සේවය කරයි. සෞඛ්‍ය පහසුකම් සැලසීමට ඩිස්පෙන්සරි තිබේ. මේවායේ වතු වෛද්‍ය සහායකවරු සිටිති. මීට අමතරව සෞඛ්‍ය කළමණාකාරවරු සිටිති. වතුවල විශේෂ රැස්වීම් පවත්වමින් ඒ අය සෞඛ්‍ය සම්බන්ධව දැනුවත් කිරීම් කරමින් ප්‍රතිකාර ලබා දීම ඔවුන් අතින් සිදුවෙයි. වැඩිහිටි අයටත්, පූර්ව ළමා දරුවන්ටත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් ආහාර ලබා දෙයි. වතු 453ක ජනතාවට මේ ආකාරයට නව පහසුකම් ලබා දීමට කටයුතු කරනු ලැබේ.
විශේෂ ස්තුතිය-
පරිසර විශේෂඥ කුලනි වන්නිනායක
මෙනවියට හා පුහුණු විශේෂඥ ශාමලී මහත්මියට