නර්තනයෙන් ගිලනුන් සුවපත් කරන වෛද්‍යවරිය | Page 2 | සිළුමිණ

නර්තනයෙන් ගිලනුන් සුවපත් කරන වෛද්‍යවරිය

කුමනාකාරයේ වෘත්තියක නිරත වුවත් කෙනෙකුගේ සහජ හැකියාව ඉස්මතුවීමනම් වැළැක්විය නොහැක්කේය. වෛද්‍ය වෘත්තියෙන් සුවහසක් ජීවිත සුවපත් කිරීමට වෙහෙසෙද්දී තමට සහජයෙන් උරුම වූ නර්තන හැකියාවෙන්ද සමාජය සුවපත් කිරීමට වෙර දරන්නියක ලෙස උදුම්බරා සෙව්වන්දි කුමාරි නමැති තරුණ වෛද්‍යවරිය හැඳින්විය හැකිය.

ඇල්පිටිය මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකය මේ වෛද්‍යවරියගේ රාජකාරි ස්ථානයයි. සහජයෙන් උරුම වූ නර්තනය විශිෂ්ට ලෙස ප්‍රගුණ කොට ඇති ඇය 2012 වර්ෂයේදී භාත්කණ්ඩ සංගීත විද්‍යා පීඨයේ භරත නාට්‍යම් නර්තන විශාරද ශිල්පිනියක ලෙස අභිෂේක ලබා ඇත. එසේම කථක්, බෝල්රූම්, උඩරට සහ බැලේ නර්තන සම්ප්‍රදායන්ද ප්‍රගුණකොට ඇත්තේය.

“බැලු බැල්මට ඕනෑම කෙනෙකුට පේන්නෙ මම කරන්නෙ එකිනෙකට හාත්පසින්ම වෙනස් කාර්යයන් දෙකක් වග. නමුත් මම එහෙම හිතන්නෙ නැහැ. නර්තනය කියන්නෙත් සුවහසක් ජීවිත සුවපත් කිරීමට හොඳම මාර්ගයක්. මම නර්තනයට පුදුමාකාර විදිහට ඇලුම් කරනවා. ” ඇය පැවසුවාය.

නුදුරේදීම ‘නූපුර ඉඳුවර’ නමින් නර්තන ප්‍රසංගයක් වෛද්‍ය සිසුවියක ලෙස ඇය ඉගෙන ගත් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඇගේ එම ප්‍රසංගයේ අරමුණ ඉන් ලැබෙන ආදායමෙන් කරාපිටිය රෝහලට පැමිණෙන පිළිකා රෝගීන් වෙනුවෙන් අතරමැදි නිවහනක් ඉදිකිරීමය.

මෙවන් කර්තව්‍යයකට මුල් වූ හේතුව වෛද්‍ය සෙව්වන්දි කුමාරි මෙසේ පැහැදිලි කළාය.

“සාමාන්‍යයෙන් කරාපිටිය රෝහලට ප්‍රතිකාර ගන්න වැල්ලවාය, හම්බන්තොට, මොනරාගල වගේ අති දුෂ්කර පෙදෙස්වලින් අන්ත අසරණ වූ දුගී රෝගීන් බොහෝ දෙනෙක් පැමිණෙනවා. කරාපිටියේ පිළිකා රෝගී වාට්ටුවක් සහිත ඒකකයක් තිබුණත් ඇතැම් රෝගීන්ට නේවාසික ප්‍රතිකාර දෙන්නෙ නැහැ. ඔවුන්ට ප්‍රතිකාර කොට නැවත පැමි‍ණීමට දිනයක් දී ගෙදර යවනවා. සමහරුන්ට එක ළඟ දවස් වැටෙනවා. ඒ අවස්ථාවලදී ඈත පිටිසර සිට පැමිණෙන ඒ රෝගීන්ට නිවෙස්වලට ගොස් නැවත පැමිණීමට තරම් වත්කමක් නැහැ. එවිට සිදුවන්නේ ඔවුන් නියමිත පරිදි ප්‍රතිකාර සඳහා යොමු නොවීමයි. සමහරු යන්න-එන්න තැනක් නැතිව බස් නැවතුම්පොළවල නිදාගත් බවටත් අපට වාර්තා වුණා. අන්න එවැනි රෝගීන්ට නතර වීමටයි අපි මේ නිවහන ගොඩනඟන්නෙ.”

වෛද්‍ය සෙව්වන්දි කුමාරි කුඩා කල සිටම නර්තනයට හපන්කම් පෑවාය. ඒ සහජ දක්ෂතාව ඔප­් නැංවූයේ වෛද්‍ය සිසුවියක ලෙස ඉගෙනීම ලබන කාලයේය.

“චූටි කාලේ ඉඳන්ම නැටුම්වලට දක්ෂතාවක් තිබුණා. නමුත් විෂයක් ලෙස හදාරලා තිබුණේ නැහැ. මට තියෙන්නෙ සහජ දක්ෂතාවක්. කරාපිටිය වෛද්‍ය පීඨයට පැමිණියාට පස්සෙ ‘සිතුම් සියවැල්’ කියන සරසවි කලා උලෙළ තමයි මාව නර්තන ශිල්පිනියක් කිරීමේ අත්තිවාරම දැම්මෙ. එම කලා උලෙළේදී නර්තනයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තෙ මම. හැබැයි ඒ වෙද්දි මම නර්තනය හොඳින් ප්‍රගුණ කරලා තිබුණේ නැහැ.”

තමාට නර්තන විශාරද උපාධිය දක්වා ඉදිරියට පැමිණීමට හැකියාව සැලැසුණේ ප්‍රවීණ නර්තනවේදිනි ආචාර්ය මිරැන්ඩා හේමලතා ගුරු මෑණියන් නිසා බව ඇය පවසයි.

“භරත නාට්‍යම් අරන්ගේත්‍රම් කලඑළි මංගල්‍යය පැවැත්වුණේ 2014දී. නමුත් විශාරද උපාධිය ගත්තෙ 2012 වසරේදී.”

2012 වර්ෂයේදී ඇය නර්තන විශාරද උපාධිය සේම වෛද්‍ය උපාධිය යන හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර දෙකකින්ම උපාධි හිමිකර ගැනීමට තරම් හපනියක් වීය. ඇය උපන්නේ නුගතලාවේය. සිප් සතර හැදෑරුවේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයෙනි.

“මම සීමාවාසික වෛද්‍යවරියක ලෙස 2013 වර්ෂයේදී වෛද්‍ය වෘත්තිය ආරම්භ කළේ ජාතික රෝහලෙන්. පස්සෙ රිජ්වේ ළමා රෝහලේ හදවත් රෝගී ඒකකයට පැමිණියා. මගේ වෛද්‍ය වෘත්තියේ සියලුම සංවේදී මතක සටහන් බැඳිලා තියෙන්නෙ ළමා හදවත් රෝග ඒකකයත් සමඟ. ඇත්තටම මට එතැනදී මුළු ලංකාවෙන්ම පැමිණෙන හදවත් රෝගී චූටි පැටවුන්ට ප්‍රතිකාර කරන්න වුණා. ඒ කාලසමය ඉතාම සංවේදීයි.”

රිජ්වේ ළමා රෝහලේ ගතකළ 2016 වර්ෂයේදී ඇය ප්‍රථම වතාවට ‘නර්තන සෙව්වන්දි’ නමින් ළමා හදවත් රෝග අරමුදල වෙනුවෙන් මරදාන ටවර් රඟහලේදී ඒක පුද්ගල නර්තන ප්‍රසංගයක් පැවැත්වීය.

“මෙරට සුවහසක් ළමා හදවත් රෝගී දරුවන් වෙනුවෙන් මුලින්ම ලෝකයට හඬක් නැඟුවේ මගේ මේ ප්‍රසංගය හරහායි. ඇත්තටම මගේ නර්තන ප්‍රසංගයෙන් මුල පිරූ ළමා රෝහලේ ළමා හදවත් රෝගී ඒකකයට අවශ්‍ය ගොඩනැඟිල්ල දැන් ඉදිවෙනවා. එම ගොඩනැගිල්ල ඉදිකිරීමට “ලිට්ල් හාට්” අරමුදල ආරම්භ කිරීමටත් කලින් මගේ නර්තන ප්‍රසංගයෙන් ඊට මූලාරම්භය ගත්තෙ.”

ළමා රෝහලෙන් ඇල්පිටිය මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයට පැමිණි වෛද්‍යවරිය 2017 නොවැම්බර්වලදී මුල් වතාවට ‘නූපුර ඉඳුවර’ නර්තන ප්‍රසංගය පවත්වමින් අතරමැදි නිවහන ගොඩනැඟීමට දායක විණි. එම නිවහන ගොඩනැඟීමට මූලික වනුයේ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාවයි. එහෙත් ඊට අවැසි ආධාර, උපකාර සොයා ගැනීමට වෛද්‍යවරියක හා නර්තන ශිල්පිනියක ලෙස වෛද්‍ය උදුම්බරා උදව් කරන්නීය.

“මා අවසන් වසරේ ශිෂ්‍යාවක ලෙස වෛද්‍ය පීඨයේ සිටි 2011 අවදියේදී මෑණියන් මියගියේ පිළිකා රෝගයෙන්. මම පුදුම විදිහට අත්දැකීම් වින්දා පිළිකාව නිසා මිනිස්සු කොතරම් දුක් විඳිනවාද කියා. මම එක දිගට මාස අටක් මහරගම පිළිකා රෝහලේ අම්මා ළඟ නතර වෙලා හිටියා.”

බන්ධනාගාර නිලධාරියෙක් ලෙස සේවය කරන පුලින මහතා විසින් කරාපිටිය රෝහලට යාබද ලක්ෂ ගණනාවක් වටිනා ඉඩම් කැබැල්ලක් අතරමැදි නිවහන ඉදිකිරීමට මේ වන විටත් පරිත්‍යාගකොට ඇත්තේය. ඒ මහතාගේ නිහඬ පරිත්‍යාගයෙන් හිමිවූ ඉඩමේ රටේ සුවහසක් අසරණ රෝගීන් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නිවහන වෙනුවෙන් ඇති-හැකි සෑම දෙනාටම දායක වන්නැයි වෛද්‍යවරිය ඉල්ලා සිටින්නීය.

 

Comments