
ඓතිහාසික මාතලේ නගරය කවදත් උදෑසනට කාර්යය බහුලය. විවිධ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන්නන් මෙන්ම වෙනත් කටයුතු සඳහා එහි යන එන්නන්ගෙන් ඒ උදෑසනත් නගරය පිරී තිබිණි. නමුදු වෙනත් සතියේ දිනවලට වඩා එදින මාතලේ නාගරික පුස්තකාල භූමි පරිශ්‍රය මෙන්ම ළමා උද්‍යානයද පාසල් දරුවන්ගෙන් හා දෙමවුපියන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. පුස්තකාල භූමි පරිශ්‍රයේ මෙන්ම ළමා උද්‍යානයේ තැනින් තැන ඇති සිතුවම් එදා මාතලේ නගරයට පැමිණි කාගේත් ඇස ගැටිණි. එහි තැනක එල්ලා ඇති සිතුවම් දෙස ඔවුන් බලා සිටින්නේ විස්මයෙනි. තවත් අයෙක් සිතුවම් ළඟ නැවතී කාලය වැය කරමින් සිතුවම් අධ්‍යයනය කරද්දී තවකෙක් බලන්නේ ඒ සිතුවම් ඇඳි දරුවන්ගේ නම් දෙසය. බොහෝ දෙනෙක් ඒ සිතුවම් දැක මවිතයට පත්වන්නේ මේ සියල්ල අප පුරවරයේ දරුවන්ගේ හා යෞවනයන්ගේ දස්කම්ය යන හැඟීම නිසා සිතේ ඇතිවූ ආඩම්බරයත් සමඟිනි.
විවිධ තේමා විවිධ හැඩතල ඔස්සේ විවිධ දර්ශන නිරූපණය කරමින් ඇඳි ඒ සිතුවම් කාගේත් නෙත් සිත් මොහොතකට බාහිර ලෝකයෙන් ඈත් කළාන් මෙනි. සිඟිති හා යොවුන් සිත්තරුන්ගේ පින්සල් පහරින් චෝක් කූරෙන් හැඩ වූ හරි අපූරු චිත්‍ර රැසක් ඒ උදෑසන අප අමුතුම ලොවකට කැන්දාගෙන ගියේය. ජීවිතය ගැන යළි යළිත් සිතන්නට මේ සිතුවම් අපට බලකර සිටියේය. කලාව රසවිදීමට ජාති ආගම් බේදයක් නැත . ඉකුත් සිකුරාදා මාතලේ නාගරික පුස්තකාල භුමියේ පැවැති චිත්‍ර ප්‍රදර්ශනයද එවැන්නකි. මෙහිදි වැදගත් වුයේ චිත්‍ර ඇඳි තැනැත්තා හෝ ඔහුගේ වයස ජාතිය ආගම හෝ වෙනත් කිසිවක් නොවේ. ඓතිහාසික මාතලේ පුරවරයේ සිංහල දෙමළ මුස්ලිම් දරු දරියන්ගේ සිතුවම් දැක්ම නෙත් පැහැර ගත්තේය.
මාතලේ දිස්ත්‍රික් සංස්කෘතික මධ්‍යස්ථානය අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා එක්ව සංවිධානය කරන ලද ‘සිතුවිලි සිත්තම් වර්ණාලෝකය -2018 ’ළමා හා යෞවන චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය පෙබරවාරි මස 22 සිට 24 දක්වා මාතලේ මහ නගර සභා පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්විණී.
මෙම කටයුත්තේ ප්‍රධාන මාධ්‍ය අනග්‍රහය දක්වන ලද්දේ පත්තර මහ ගෙදර සිළුමිණ පුවත්පත මඟිනි. ජයග්‍රාහි නිර්මාණ සඳහා ත්‍යාග සහ සහතික ප්‍රදානය ඉකුත් සිකුරාදා පෙරවරුවේදී සිදුකැරිණි. සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයට මාතලේ දිස්ත්‍රික් සංස්කෘතික මධ්‍යස්ථාන නියෝජනය කරමින් දරු දැරියෝ හා ඔවුන්ගේ දෙමවුපියෝ රැසක් සහභාගි වී සිටියහ.
“මං ආසයි චිත්‍ර අඳින්න අද මට පළමු ස්ථානය ලැබිලා තියෙනවා. මම පෙර පාසල් යන කාලේ සිළුමිණ පත්තරේට චිත්‍ර ඇන්දා. මගේ අම්මයි තාත්තයි මට උදව් කරනවා. අද මට හරිම සතුටුයි. ”අමායා සත්සරණි දැරිය පවසන්නේ ලද සහතිකය හා පදක්කම දෙස ආඩම්බරයෙන් බලමිනි.
මෙහිදි අපට තවත් පුංචි චිත්‍ර ශිල්පියෙක් මුණ ගැසිණ. ඔහු මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුර්ණ ඩිස්මාල් විජේරත්නය.
“චිත්‍ර අඳින්න ආසයි. ඉස්කෝලෙදිත් මම චිත්‍ර අඳිනවා. මම ඇඳපු චිත්‍රවලට තෑගි හා සහතික ලැබුණු එකට ගොඩාක් සතුටුයි. තවත් ඉගෙන ගෙන ඉදිරියටත් චිත්‍ර අඳින්න්නයි මට ඕනෑ.” ඩිස්මාල් පැවැසුවේය.
මාතලේ යනු බහු ආගම් හා බහු ජාතීන් වෙසෙන පුරවරයකි. මේ ප්‍රදර්ශනයට මුස්ලිම් ජාතික දැරියෝ රැසක් චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කර තිබෙනු අපි දුටුවෙමු. එම චිත්‍ර බොහොමයක වූයේ බෞද්ධ තේමාවන්ය.
“අපට ගෙවල්වලින් කිසිම බලපෑමක් නෑ. චිත්‍ර අඳිනවට අම්මලා තාත්තලා කැමතියි. අපි මුස්ලිම් වුණාට අනිත් ආගම් ගැන අපේ හිතේ ගෞරවයක් තියෙනවා. මම සර්ගෙන් ඇහුවා බුදු හාමුරුවෝ ගැන. සර් අපට බොහෝ දේ කියා දුන්නා. ඒ කියපු දේවල් අනුව අපි අවිහිංසාව හා කරුණාව ගැන විවිධ දේ ඇන්දා. අද මේ විදිහට අපේ හැකියාව අගය කළාම සිතට සතුටක් දැනෙනවා.” නිෆ්ලා අප හා පැවසුවේ අසීරුවෙන් සිංහල වචන ගළපමිනි.
මාතලේ දිස්ත්‍රික් දරු දැරියන්ගේ චිත්‍ර හැකියාව වැඩි දියුණු කිරීමේ අදහසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ චිත්‍ර උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන්නේ මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ චිත්‍ර කලා උපදේශක කුමාරසිරි ලේල්වල මහතාය.
“මේ දරුවෝ බොහෝම දක්ෂයි. ඒ බව අපට පැහැදිලිව පේනවා ඔවුන්ගේ නිර්මාණ දුටුවම. ඒ වගේම මීට පෙරත් අපි මෙවැනි ප්‍රදර්ශන පවත්වා තිබෙනවා. මෙවර අපේ දරුවන්ගේ නිර්මාණ අගයමින් ඒ වගේම අපට විශාල සහායක් දක්වන්නට මාධ්‍ය අනුග්‍රහය ලබාදීමට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයනයේ සිළුමිණ පුවත්පත එක්වීම අපට විශාල ශක්තියක් වුණා. මෙවර සිතුවිලි සිත්තම් වර්ණාලෝකය චිත්‍ර ප්‍රදර්ශනයේ බොහෝ ජයග්‍රහණ ලබා තිබෙන්නේ මුස්ලිම් දරු දැරියෝ. ඒ වගේම ඒ දරුවෝ තමන්ගෙ චිත්‍ර සඳහා තේමාවන් ලෙස යොදාගෙන තිබෙන්නේ බෞද්ධ සිතුවිලි. බුද්ධ චරිතය. මෙය විශේෂයි. ඒ වගේම නොමිලේ පැවැත්වෙන මෙම චිත්‍ර පාඨමාලා සඳහා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදි සියලු ජන කොටස්වල දරුවෝ සහභාගි වෙනවා. මෙය රටෙ සංහිඳියාව විදහා දක්වන හොඳ අවස්ථාවක් . කොහොම වුණත් මේ සද්කාර්යය දිගින් දිගටම කරගෙන යෑමයි අපේ අරමුණ. මේ සඳහා අපට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලින් හොඳ සහායක් ලැබෙනවා. ඒ වගේම මෙවර ජයග්‍රාහි දරුවන්ට තෑගි ලබා දීමට කොළඹ මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් පොත් ලබා දුන්නා. ඒ ගැනත් අපගේ ස්තුතිය පිරිනමනවා.”
චිත්‍ර උපදේශක කුමාරසිරි ලේල්වල මහතා පවසන්නේය.
මෙහිදී උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්. ඩී. එස්. මල්කාන්ති, සිළුමිණ පුවත්පත නියෝජනය කරමින් විශේෂාංග කර්තෘ සේමාලි කැල්ලපත මහත්මිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ කලාකරුවෝ ඇතුළු කීපදෙනෙක් ද උත්සව සභාව ඇමැතූහ. උත්සව සභාව මෙහෙයවන ලද්දේ මාතලේ දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී නිශාන්ත ගාමිණි කරුණාරත්න මහතා විසිනි.
බහු වාර්ගික ජනතාවක් වෙසෙන මාතලේ පුරවරයේ පුරවැසියන් අතර පවතින සාමය හා සංහිඳියාව ඔප්නංවාලමින් ළමා හා තරුණ පරපුර වෙතින් සියලු බේද දුරුකර සමගිසම්පන්න ජනතාවක් අනාගතයේ බිහි කරලීමට මෙවන් කර්තව්‍ය බෙහෙවින් ඉවහල් වනු නොඅනුමානය. සංස්කෘතික මධ්‍යස්ථානයන්හි දරු දරියන් ඒකරාශි කරමින් සියලු කටයුතු සංවිධානය කරමින් සිතුවිලි සිත්තම් වර්ණාලෝක ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම සඳහා අපමණ වෙහෙසක් දැරූයේ මාතලේ දිස්ත්‍රික් සංස්කෘතික මධ්‍යස්ථාන බාර නිලධාරී අනුර සිරිසේන මහතා ප්‍රමුඛ මාතලේ මහ නගර සභා කාර්ය මණ්ඩලය, මාතලේ දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශ නිලධාරී සහ සේවක මඩුල්ලය.
ඡායාරූප - ලයනල්. පී. පෙරේරා
කැලණිය සමුහ