මරුවාට කප්පම් දීම! | Page 8 | සිළුමිණ

මරුවාට කප්පම් දීම!

යාල කලාප 3, 4 සහ 5 මැදින් වැටී ඇති රජ මාවත යා කරන්නේ සෙල්ලකතරගම සහ බුත්තල නගරයි. මහවනය දෙපසින් ඇති නිසා මේ ම‍ඟෙහි වාහනයක යන විට ගස් අතු අතුරින් අලියකු-දෙන්නකු දක්නට ලැබීම මහ අරුමයක් නොවේ. එහෙත් හදිසියේ කැලයෙන් මතු වනඅලියකු පාර හරස් කර වාහන නවත්වා කප්පම් ගන්නට සූදානම් වීම විස්මයජනක කරුණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. 'බදුකාරයා' රජ මාවතේ යන වාහන එසේ නවත්වා කප්පම් ඉල්ලයි. පළමුවෙන්ම නවත්වන 

වාහනය කප්පමක් දුන්නොත් පසුපස වාහනවලටද ඒ මානෙන් පැනගත හැකි වෙයි. කප්පම දීමේ ක්‍රමයක්ද තිබේ. කෙසෙල් ඇවරියක්, අන්නාසි ගෙඩියක්, ගස්ලබු ගෙඩියක් වීසි කිරීම ක්‍රමය නොවේ. ඒවා බිම වැටුණොත් වච්චිල්ය. ඒ නිසා කප්පම හොඬයටම බාර දිය යුතුය. නැත් නම් ඉදිරියට යන්නට ඉඩ ලැබෙන්නේ නැත. මේ, අලින් කප්පම් ගන්නා එක් ස්ථානයක් පමණි. තවත් බොහෝ තැන්වල මිනිස්සු කැමැත්තෙන්ම අලින්ට කප්පම් දෙති. එහෙත් මෙය මරුවා සමඟ කරන සෙල්ලමක් බව බොහෝ දෙනාට එ් මොහොතට අමතක වීම අතිශය භයානක ප්‍රතිඵල ගෙන ආ හැකි බව හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා පෙන්වා දෙයි...

“මේ අලියාගේ දර්ශනය බලාපොරොත්තු විය යුතු බව සෙල්ලකතරගම වෙළෙන්දන් මඟීන්ට දැනුම් දෙනවා. ඒක ඒ අයගේ වෙළෙඳ උපක්‍රමයක්ද දන්නෙ නෑ. ඒත් අලියා මඟ හරස් කළාම පලතුරක් දෙන්න කියලා දඩයට ලෑස්ති කරවා තමයි ඒ පාරේ යන අය එවන්නේ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ අලියා මීට කාලෙකට කලින් මමම හලාවත මුන්නේශ්වරම් පැත්තෙන් නිර්වින්දනය කර අල්ලා ගෙනත් අතහැරපු වල්අලියෙක්. ඒ කාලෙත් වැඩි කලබලයක් පෙන්නුවේ නෑ. තමන්ගේ මංකඩ හරහා කවුරු හරි වගා කරපු දෙයක් කාලා බඩ පුරවාගත්ත නිසා වගා පාළු කළා කියනවා හැරෙන්න මිනීමැරුම් චෝදනා මෙයාට තිබුණේ නෑ. ඒ කාපු ගෘහාශ්‍රිත කෑමවල රස අමතක නැති නිසා තමයි තවමත් ඒ දේවල්ම හොයන්නේ. මෙයාගෙන් හානියක් නෑ කියලා හිතෙන නිසා සමහරු වාහනේ ඉඳන්ම කෑම දෙනවා වෙනුවට වාහනෙන් බැහැලා කෑම කවන්න හදනවා. ඒ විතරක් නම් කමක් නෑ. ඔය අතර මේ වල් අලියත් එක්ක සෙල්ෆි ගහන්නත් සමහරු හිතනවා. හැබැයි මේ වල් අලියෙක්!”

වෛද්‍ය අතපත්තු දැඩි අනතුරු ඇඟවීමක් කළේය. පසුව ඒ හා සම්බන්ධ තවත් කතා කීපයක් ම ඔහුගේ මතකයට ආවේ එක දිගටය...

“මම නිදහස් කරපු අලි සීයකට වඩා මේ කැලෑවල ඉන්නවා. ඒත් අපි වත් උන් ගාවට ඔය විදිහට කිට්ටු වෙන්නේ නෑ, සැබෑ තත්ත්වය දන්න නිසා. සමහරු කොට කලිසම ගහගෙන වනලෝලීන්, අලිලෝලීන් කියාගෙන කැලේ ඇවිදින්න යන ගමන් අමු මෝඩ වැඩ කරනවා. ලංකාවේ දිගම වේල්ල උඩ වලවේ ජලාශයෙන් අලින් ගොඩට එන්න හදනවා. මොකද: අනෙක් හැම තැනම විදුලි වැට තිබුණට ඒ දවස්වල එතැන විදුලි වැට නෑ. පස්සේ වේල්ල දිගටත් විදුලි වැටක් ගැහුවා. එක වතාවක් මම දැක්කා ඒ විදුලි වැටෙන් තරුණයෙක් රිංගලා යාළුවන්ට පේන්න බිම දිගා වෙනවා. ඒක කොයි තරම් අමන වැඩක්ද කියලා තේරෙන්නේ අලියා 

දියෙන් ගොඩට ආව නම් තමයි. හොඳ වෙලාවට සිහි කල්පනාවෙන් සිටි අනෙක් යාළුවෝ එකතු වෙලා මේ මනුස්සයාව එළියට ඇදලා ගත්තා. ටිකක් පරක්කු වෙලා අලියා ඇවිත් එක කකුලක් තියලා තද කළා නම් කුඩුපට්ටම් වනවා. අලි-මිනිස් ගැටුම නොවුණට, මේක ඊට වඩා බරපතළ තත්ත්වයක්.

“අලින්ට මද කිපෙන වෙලාව අපි දන්නේ නෑ. මද කිපුණාම නාහෙට නාහන ගතියක් පෙන්නුම් කරනවා. මොකද: මීමැස්සො, බඹරු මේ මද ගුල්වලට වහලා කරදර කරන නිසා. ඒ වෙලාවට උන් ගස් අතු අරගෙන මැස්සො එළවන්න මදගුල්වලට ඇනගන්නවා. ඒකෙන් තවත් තුවාල වුණාම වේදනාව වැඩිකමට තවත් කේන්තියෙන් ඉන්නේ. එහෙම අවස්ථාවක පාර හරස් කරද්දි වාහනෙන් බැහැලා කෑම දෙන්න ගියොත් වෙනදාට වඩා වෙනස් අත්දැකීමක් ඇති වෙන්නත් පුළුවන්. හැම වසරකම මද කිපෙන සතුන්ට ඒ කාලය සතියකින්, දින දහයකින් වගේ ඉවර වෙනවා. ඒත් සමහර සතුන්ට මද කිපෙන්නේ අවරුදු දෙකකට විතර වතාවක්. එතකොට මාසයක් පමණ ඒ කාලය පවතිනවා. තවත් සමහර සතුන් අවුරුදු හතරකට-පහකට වගේ වතාවක් මද කිපෙනවා. එතකොට මාස ගණනක් මද ගලමින් එ් සුවඳට එන මැස්සන්ට බැට දි-

දී හිටියොත් කේන්තියත් වැඩියි.

“ළඟදී යාල කැලයෙන් මතු වූ තවත් අලියෙක් රජමාවතේ අලියා වගේම කප්පම් ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. එයාට නම් හදිසියේ වත් දෙන්න කප්පමක් නැති වුණොත් වාහනය ඇතුළෙ තියෙන හට්ට්-මුට්ටි උඩින් වීසි කරනවා. මම දැක්කා එක වාහනේක සෝස්පෑන් එකක් අරගෙන තළන හැටි. අනෙක අලින්ට කෑම දෙනවා වගේ රවට්ටලා විහිළු කරන්න ගියොත් ප්‍රශ්නේ තවත් දුර-දිග යනවා. මොකද: අලින්ට කේන්ති ගියත්, අලින් අපිත් එක්ක විහිළු කරන්න ගියත් එක අපට ඔරොත්තු දෙන්නේ නෑ. මේ දේවල් නිසා එක්කෝ අලියා නැත් නම් මිනිසෙක් මරණයට පත් වන්න පුළුවන්. සිතුල්පව්වේ අලියාට වගේම හම්බන්තොට ප්‍රසිද්ධ හෝටලයක් ළඟ මෙහෙම පුරුදු වුණ අලියාටත් වුණේ තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න. ඒ වගේම මරණයක් සිදු වුණේ නැතත් අලියාට බයේ දිවීම නිසා තුවාල වීමත් හානිකරයි.”

මෙසේ කියූ වෛද්‍ය නන්දන අතපත්තු දැඩි අනතුරු ඇඟවීමක් මෙන්ම ඔවදනක්ද සංචාරකයන් වෙත ලබා දුන්නේය...

“මම දන්න තරමින් අපේ රටේ විතරයි මේ විදිහට වනඅලින්ට කෑම කවන්න උත්සාහ කරන අය ඉන්නේ. ඒ නිසා කරුණාවෙන් ඉල්ලා සිටිනවා අලින්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා, මිනිසුන් හැටියට ඒ සතුන් දැක-බලාගෙන රස විඳින්න කියලා. එහෙම නැතිව, උන් සමඟ පයිරු-පාසානම් තියාගන්න ගිහින් වැඩ වරද්දාගන්න එපා!”

Comments

Very interesting article and photos ! We must thank Dr Nandana Athapattu for giving many " inside and unheard of " information. Elephant "feeders" must be more careful in doing this risky offerings....

පිටු