
එදා ගම්සභාවට පත්වූයේ වර්තමානයේ මෙන් මන්ත්‍රීවරුන් නොවන අතර ඔවුන් මැම්බර්ලා නමින් හඳුන්වනු ලැබීය. ඔවුනට වැටුප් ලැබුණේ නැත. ගමට සේවය කළේ කිසිම වරප්‍රසාදයක් නොමැතිවය. එදා පැවති ගම්සභා ඡන්දයේදී සිදුවූ රසවත් දේ බොහෝ ඇත. මේ එවැනි සිද්ධියකි. කවුරු කෙසේ කීවත් ගැමියන් තමන්ගේ මැම්බර් වශයෙන් තෝරා ගනු ලැබූයේ ඔවුන් සමඟ එකට කාබී සිටින අයකු බව ඉන් තහවුරුවේ.
පාත හේවාහැට ප්‍රාදේශීය සභාව එදා හැඳින්වූයේ පාතහේවාහැට ගම්දහය දකුණ ගම්සභාව යනුවෙනි. එයට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා පැවති මැතිවරණයකදී අපේක්ෂකයෝ තිදෙනෙක් එක්තරා කොටසකට තරග වැදුණහ. එක් අයකු විශ්‍රාමික ගුරුවරයෙකි. ගමේ ජනතාවට ඔහු ඉස්කෝලේ මහත්තයා විය. අනෙක් අපේක්ෂකයා මහනුවර කච්චේරියේ සේවය කළ විශ්‍රාමික ලිපිකරුවෙකි. ගැමියෝ ඔහු ලියන මහත්තයා ලෙස හැඳින්වූහ. තුන්වැනි අපේක්ෂකයා ඒ දෙදෙනාට ම වෙනස් වූ එතරම් උගත්කමක් නොතිබූ කොණ්ඩය බැඳි අයෙකි. ඔහු නමින් සෝමපාලය. ඔහුගේ රැකියාව වූයේ නීති විරෝධි ලෙස රා විකිණීමය. ඔහුගේ රා ප්‍රදේශවාසීන් විසින් හැඳින්වූයේ ‘සඟටොප්’ යනුවෙනි.
සෝමාල කලක් මහනවී සිට සිවුරු හළ අයකු වීම නිසා ඔහුගේ රාවලට එම නම පටබැඳ තිබුණි. කිතුල් තෙලිජ්ජ, තැම්බූඅර්තාපල් අල සහ සීනි මිශ්‍රකර සඟටොප් සාදන ලදී. එකල වර්තමානයේ මෙන් ගමින් ගමට බාර් හෝ බියර් සාප්පු නොතිබූ හෙයින් හැමගමකම පාහේ හොරසුරා නිෂ්පාදනය පැවතිණි. සීනිකරිඤ්ඤං, කසිප්පු, අලහොදි, බලුකෙඳිරිය, ගහපන් මච, ගල්බමුණා, ඩඩ්ලි, මැතිනිය, දෙහිසුදිය ඉන් කීපයකි. දිනපතා හවස හතරපහ වනවිට සුරාසොඩූහු සෝමපාලගේ සඟටොප් බෝතලයක් ගැසීම සඳහා ඔහුගේ නිවෙසට එපිටින් වූ වත්තකට ඇදී ගියහ. එය එකල හැඳින්වූයේ සුද්දගේ වත්ත නමිනි. අයිතිකාරයා සුද්දකු වීම එම නම පැටබැඳීමට හේතුවිය.
සඟටොප් බෝතලයක මිල ශත පනහකි. එය එකල සෑහෙන වටිනාකමක් තිබූ මුදලකි. ඡන්දයට ඉදිරිපත්වූ ලියන මහත්තයා සහ ඉස්කෝලේ මහත්තයා රාත්‍රී කාලයේ බුලත් හුරුලු රැගෙන ගැමියන් හමුවී තම සුදුසුකම් කියා තමන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලුවත් සෝමපාල එසේ කළේ නැත. ඔහු කළේ හවස් කාලයේ රා බීමට එන ගනුදෙනුකරුවන්ට තමනුත් ගම්සභාවට තරග කරන බව පැවසීම පමණි. ඔහු රා විකුණුවත් නීතියට කොටුවූවේ ඉඳහිටය. පොලිසියේ ඇතැම් නිලධාරීන් ඔහුගෙන් සන්තෝෂම් ලබා ගැනීම එයට හේතුවිය. නීතියට කොටුවුවත් ඔහු කිසිදා චුදිතයකු වශයෙන් උසාවි ගියේ නැත. ඒ ඔහු වෙනුවට පොලිසියේ ද අනුදැනුම ඇතුව ඔහුගේ ගෝලයකු උසාවි යෑම සිදු විය.
ඡන්දය විමසන දිනය එළැඹිණි. ඡන්ද මධ්‍යස්ථානය වූයේ තලාතුඔය මධ්‍ය විද්‍යාලයයි.
එදින උදේ සිට ඡන්ද පොළට පැමිණි ජනතාවට ඒ අසල සිටි අපේක්ෂකයින් තිදෙනා වැඳ ආචාර කරනු දක්නට ලැබුණි. ඡන්දය පැවතෙන අතරතුර ඡන්දපොළ අසල රැඳී සිටි ඇතැම් ආධාරකරුවෝ එකිනෙකා සමඟ ඔට්ටු ඇල්ලීමද සිදුකළහ. රුපියල් පහ, දෙක, රුපියල බැගින් තමතමන්ගේ වත්කම් අනුව ඔට්ටු ඇල්ලීම සිදුවිය. ඔට්ටු වැඩිපුර ම වැටුණේ ඉස්කෝලේ මහතා සහ ලියන මහතා වෙනුවෙනි. සෝමපාල වෙනුවෙන් කිසිවකු ඔට්ටු නොඇල්ලුවේ ඔහු නීති විරෝධි රා විකිණීම සිදුකළ නිසාය.
හවස හතරට ඡන්දය දැමීම අවසන් විය. කච්චේරියෙන් පැමිණ සිටි නිලධාරීහු ඡන්දය ගණන් කිරීම ආරම්භ කළහ. පැයක පමණ කාලයකින් පසු ජයග්‍රාහකයා ප්‍රකාශ කිරීමට සූදානම් වීය. පොලිස් නිලධාරියෙක් පැමිණ අපේක්ෂකයන් හැර ඉතිරි සියලු දෙනාම ඡන්දපොළෙන් ඉවත්වී මහපාරට ය නමෙන් නියෝග කළේය. ඉන්පසු ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරිණි. සෝමපාල වැඩි ඡන්ද අසූහතරකින් කොට්ඨාසයේ නියෝජිතයා වශයෙන් තේරී පත්විය. ඒ සමඟම රැස්වූවන්ගේ මුවින් විස්මය දනවන ‘ෂූ’ හඬක් නිකුත් විය. ලියන මහත්තයාත්, ඉස්කෝලේ මහත්තයාත් මැලවුණු මුහුණින් මොහොතක් එකිනෙකා දෙස බලා සිට බිම බලාගත් වනම ඡන්ද පොළෙන් නික්ම ගියහ. ඔවුන්ගේ ආධාරකරුවෝ පත්තු කිරීම සඳහා රැගෙනවිත් තිබූ රතිඤ්ඤා වැල් ද හකුළාගෙන පාසල් භූමියෙන් නික්මුණහ.
ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වනවාත් සමඟ ම සෝමපාල ඔසවා කරමත තබාගත් ඔහුගේ ආධාරකරුවෝ හූ කියමින් ජයඝෝෂා නඟමින් ඡන්ද පොළේ සිට සැතපුමක් පමණ ඈතින් පිහිටි ඔහුගේ නිවෙස කරා සෝමපාල රැගෙන ගියහ.
පසුවදා ප්‍රදේශයේ ජනතාවගේ කථාබහට ලක්වූයේ සෝමපාලගේ ජයග්‍රහණයයි. යනයන තැන දක්නට ලැබුණේ මිනිසුන් කට්ටි ගැසී සෝමපාලගේ ජයග්‍රහණය ගැන කථාකරන අයුරුය. මේ අතර පැතිර ගිය තවත් ආරංචියක් වූයේ සෝමපාල තම ජයග්‍රහණය සමරනු සඳහා ප්‍රදේශවාසීන් අතර රා නොමිලේ බෙදා දුන් බවයි.
පී. ඒ. කපුරුබණ්ඩාර ආරච්චි
තලාතුඔය විශේෂ