
වැවිලි බෝග අතුරින් මෙරට වැඩිම විදේශ විනිමයක් ගෙන එන වැවිලි බෝගය ලෙස සැලැකෙන තේ දල්ල වෙනුවෙන් බොහෝ සේ දහඩිය මහන්සිය වගුරුවන්නෙ තේ දලු නෙළන කාන්තාවන්ය. වසර 150ක මෙරට තේ කර්මාන්තයේ වර්තමානයේ නියැළි සිටින සියලුම දෙනා නියෝජනය වන පරිදි සියලු අංශ වෙනුවෙන්ම සංවිධානය කළ තේ සම්මාන උලෙළක් පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පවත්වනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති එම සම්මාන උලෙළේදී හොඳම තේ දලු නෙළන්නියන් අතර දෙවන ස්ථානයට පත්වූයේ පෙරුමාල් ඉන්ද්‍රාණි නමැති දෙනියායේ කාන්තාවකි. පසුගියදා වැවිලි අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදීද මහත් ඉහළින් ඇය ගැන තේ මණ්ඩල බලධාරීන් වර්ණනා කළාය. දෙනියායේ මොරගල පිහිටි තලවකැලේ වැවිලි සමාගමට අයත් කිරුවානගඟ වතු යායේ සේවයෙහි නියුතු 55 හැවිරිදි ඉන්ද්‍රාණි මහත්මිය තේ නෙළීමට හපනියක බව පිළිබිඹු කරමින් ලැබුණු සම්මානය ඊට හොඳම සාක්ෂියයි.
පසුගියදා හොඳම තේ නෙළන්නිය තෝරා ගැනීම සඳහා නුවරඑළිය පීඩෘ වතු යායේ පැවැති අවසන් තරගයේදී පැයට තේ දලු කිලෝ 16ක් නෙළු ඉන්ද්‍රාණිට එදින පැවැති වර්ෂාව සහ ඇයට නුපුරුදු නුවරඑළියේ අධික ශීතල නොවන්නට ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව තිබූ බව පවසමින් ඇය මෙසේ අප සමඟ කතාබහට එක්වූවාය.
“ඇත්තටම අපි වගේ අය මෙවැනි සම්මාන උලෙළ පවත්වමින් ඇගැයීමට ලක්කිරීම ගැන හරිම සතුටුයි. අපේ මුළු ජීවිතයම දැන් තේ දලු කඩන්න කැප කරලා අවසාන” යැයි පවසමින් 1976 දී දලු නෙළීම ආරම්භ කළ අතීතය ද ඇය ආවර්ජනය කිරීමට සැරැසුණාය.
“මං අවුරුදු 13දියි දලු කඩන්න පටන්ගත්තෙ. අපේ අම්මා දලු කඩන දිහා බලාගෙන ඉඳලා තමයි මමත් මේක ඉගෙන ගත්තෙ.” කාර්යක්ෂම අතින් සේම ගුණාත්මක බවෙන් යුත් තේ දලු ගසේ ඉදිරි පැවැත්මද ආරක්ෂා කරගනිමින් ඉතාම වේගයෙන් නෙළීමේ රහස කුමක්දැයි මා විමසූ විට ඇය දුන් ක්ෂණික පිළිතුර වූයේ,
“ඒක මහත්තයෝ... හිතේ ධෛර්යය සහ කැපවීම... මොකද අපි දහඩිය මහන්සිය හෙළන්නෙ අපේ ජීවන බරට වගේම මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්නයි.” තම ස්වාමියාද ඔත්පළව දූදරුවන් තිදෙනාද උස්මහත් කිරීමට වෙර දරන ඉන්ද්රාණිව මේ සම්මානය ලබා ගැනීමට යොමු කළේ කිරුවානගඟ වතුයායේ පරිපාලන නිලධාරිනී නයනා දමයන්ති මහත්මියයි.
සම්මානය කරා ගිය ගමනේදී පැවැති තරගවලදී මුලින් දෙනියාය කලාපයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ඉන්ද්‍රාණි මාතර දිස්ත්‍රික් තරගයෙන්ද පළමුවැන්නියයි. අනතුරුව ලංකාවම නියෝජනය වන පරිදි තරගකරුවන් පනස්දෙනෙක් පමණ තරග වැදුණු මෙරට හොඳම තේ දලු නෙළන්නිය තරගයට ඇයද තේරී පත් වූවාය. දහසක පමණ සේවක පිරිසකගෙන් සමන්විත කිරුවානගඟ වතුයාය සතු සම්පතක් ලෙස සලකන ඉන්ද්‍රාණි ගැන පරිපාලන නිලධාරිනී නයනා මෙසේ අදහස් ප්‍රකාශ කළාය.
“ඇයට තියෙන්නෙ දලු නෙළීමට අසාමාන්‍ය හැකියාවක්. සාමාන්‍යයෙන් කෙනෙක් පැයකට දලු කඩන්නෙ කිලෝ හත, අටක්. ඒත් ඉන්ද්‍රාණි පැයකට කිලෝ 16ක් කඩනවා. ඉන්ද්‍රාණි තමයි අවුරුදු ගණනාවක් තිස්සේම වත්තෙ හොඳම දලු කඩන්නිය ලෙස සම්මාන ලබන්නෙ. අපට හිතුණා ඇයට තිබෙන ඒ හැකියාව නිසාම මේ සම්මාන උලෙළට යොමු කරන්න. හොඳම තේ දලු කඩන්නිය තේරීමේදී අවධානය යොමු කරනවා වේගවත් බව නැතිනම් කාර්යක්ෂම බව, එලෙසම තේ දල්ලේ හොඳම කොටස ලෙස සැලැකෙන ගුණාත්මක අතින් වැඩිම තේ දල්ල නෙළීම වගේම තේ ගසේ ඉදිරි පැවැත්ම ගැනත් අවධානය යොමු කරමින් දලු කැඩීම ගැන විනිසුරුවන් සොයා බලනවා. අන්න එවැනි කරුණු තමයි මේ සඳහා සැලැකිල්ලට ගත්තේ. ඒ සියලු දේ ගැනම ඉන්ද්‍රාණි මනා පළපුරුද්දක් සහ හැකියාවක් පෙන්නුම් කරනවා. ඔය දලු කඩන රස්සාව එක දිගට කරන්න අමාරු දෙයක්. නමුත් ඉන්ද්රාණිලා වැනි අය වත්තට පමණක් නොවෙයි සමස්ත රටේ ආර්ථිකයට පුදුම කැපකිරීමක් කරන්නෙ.”
අවුරුදු 55ක් වුවද තරුණ ලඳුන් සමඟද හරි හරියට ඔට්ටු වී ලැබුණ සම්මානයෙන් නිහතමානී සතුටක් ලබන අතරේ ඉන්ද්‍රාණි මෙවැනි සම්මාන උලෙළක් සංවිධානය කිරීමට ඇප-කැප වූ පිරිසට සේම සම්මානය ලබා ගැනීමට තමාව යොමුකළ වතුයායේ සියලු දෙනා වෙනුවෙන් ගෞරව පූර්වක ස්තූතියද පුද කළාය.
“අපේ දහඩිය මහන්සිය හෙළන්නෙ අපේ ජීවන බරට වගේම මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්නයි. ජීවිතයේ ඉදිරි කාලයත් තේ දල්ලටම කැප කිරීමට බලාපොරොත්තු වන බව”ද ඇය පවසා සිටියාය. රටේ සෑම තරාතිරමකම අයවලුන් සම්මාන ගරු බුහුමන් පිරිනමමින් සම්මානයට, ගෞරවයට පාත්‍ර වෙද්දී මෙලෙස රටේ ආර්ථිකයට ඍජුවම දායක වන පිරිසක් සම්මාන බුහුමන් දක්වමින් ඇගැයීම ඉතාම කාලෝචිත ක්‍රියාදාමයක් ලෙස අපද සලකන්නෙමු.