අලුත් ගැටුමක පෙරනිමිති | සිළුමිණ

අලුත් ගැටුමක පෙරනිමිති

‘බ්ලඩ් හවුන්ඩ් ඇන්ඩ් රයිෆල් ඉන් සිලෝන්’ පොතේ හැටියට සුදු ජාතිකයෝ කිඹුල් දඩයමටත් බොහෝම රුසියෝ.’

වෛද්‍ය නන්දන අතපත්තු, හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කතාව ආරම්භ කළේය.

“මීට අවුරුදු දෙතුන්සීයකට ඉහතදී සුද්දෝ කිඹුලන් මරා දැමීම ගැමියන්ට සහනයක් වෙලා තිබෙනවා. ඒ එක්කම මම නම් කවදාවත් නොපිළිගන්නා කාරණයක් ඒ පොතේ ලිඛිත වාර්තාවක් ලෙස තිබෙනවා. ඒ කාලේ අතුරුදන් වුණු මනුස්සයෙක් ගැන ගමම සොයන්න ගත්තලු. පස්සේ දැනගෙන තියෙනවා කිඹුලෙක්ට ගොදුරු වෙලා තමයි කියලා. පස්සේ ඒ අහල පහල ගැවසෙන කිඹුලා හොයලා බලලා වෙඩික්කාරයා වෙඩි තියලා. ඊළඟට බඩ කපලා බැලුවම කිසිම අඩු පාඩුවක් නැතිව මනුස්සයා කිඹුලගේ බඩ ඇතුළේ ඉන්නවලු. ටිකක් තැළුණු ගතියක් තිබුණලු.

“හැබැයි මම නම් කවදාවත් විශ්වාස කරන්නේ නෑ කිඹුලකුගේ ආමාශය මිනිහෙක් තරම් ලොකුයි කියලා. ඒත් ඒ කාලේ හිටිය කිඹුල්ලු නම් අඩි විසි දෙකක් තුනක් විතර වුණා. පරිනාමය නිසා දැන් කිඹුල්ලු ඒ තරම් ලොකු නෑ. අපි දැකපු ලොකුම කිඹුලා අඩි 15ක් විතර තමයි විශාල. ඒත් මාධ්‍යවල සමහර වෙලාවට වාර්තා වෙනවා දිගින් අඩි අච්චරයි මෙච්චරයි කියලා. ඒ කියන අය කිඹුලගේ හොම්බ මුල ඉඳන් වලගේ අගිස්සටම මනින නිසා තමයි ඒ වගේ වැරැදි මිනුම් කියන්නේ.”

මෙසේ කියූ වෛද්‍ය අතපත්තු ඉන් පසු අද පවතින තත්ත්වය පිළිබඳව අවධාරණය කළේ අවදානම පිළිබඳ සැලකිලිමත් නොවුව හොත් අලි මිනිස් ගැටුම මෙන්ම කිඹුල් මිනිස් ගැටුමකට මඟ පෑදිය හැකි බවට සැක පළ කරමිනි.

“පසුගිය කාලේ පුරාම වරින් වර පුවත්පත්වලින් වගේම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වූ ප්‍රවෘත්ති අනුව කිඹුල් ගහනයේ වැඩි වීමක් ඇති වී ඇති බව පෙනෙන්න තිබෙනවා. ගංවතුර නිසා ගොඩට ආව කිඹුල්ලුන් පාළු ළිංවලින් මතුවෙලා තිබුණා. සමහර වෙලාවට ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන් එකතු වෙලා අල්ලා ගත් නිසා ඒවා වාර්තා වුණා. ඒත් වාර්තා නොවූ ඒවාත් ඒ වගේම ඇති. සමහර වෙලාවට කිඹුලන් මරා මසට ගන්නා අවස්ථාත් තිබෙනවා. බොහෝ ගම්මුන්ගේ මිථ්‍යා විශ්වාසයක් තිබෙනවා කිඹුල් මස් කෑවාම ඇදුම හොඳ වෙනවා කියලා. ඒවා පට්ටපල් බොරු.

මේ කතා කොහොම වුණත් තත්ත්වය බරපතළ කාරණාව වන්නේ ඇතැම් ප්‍රදේශවල නාන තොටවලදී කාන්තාවන් සහ ළමයින් ඇදගෙන යෑමයි. විශේෂත්වය පිරිමි අය ගොදුරු බවට පත්වන අවස්ථා අඩු වීම. ඒ කිඹුලන් ගංගාවල වක්කලම්, ගල්පර අස්සේ වාසය කරන්නේ. ඒ නිසා ගොදුරු වන අයගේ සිරුරු මතු වන්නේ ගල් පර අස්සෙන්.

මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ සංවර්ධනයේ නාමයෙන් ගංවතුර පාලනය සඳහා කිරීමේ අදහසින් ඇතැම් ප්‍රදේශවල වාරි ව්‍යාපෘති ඇති කිරීම. කිඹුල් උවදුර දැඩි පෙදෙසක් හැටියට නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශය සලකන්න පුළුවන්. මේ ස්ථානය දැඩි ප්‍රහාරයකට ලක් වන්න හේතුව නිල්වලා ගඟේ ස්ථාන කීපයකම ඇළවේලි ව්‍යාපෘති මඟින් ජල කළමනාකරණය කිරීමයි. විශේෂයෙන් මාතර නගරයට ආසන්න බණ්ඩත්තර ප්‍රදේශයේ ඉදි කර ඇති ජල ගැලීම් පාලනය කළ හැකි විශාල වේලි පද්ධතිය සුළු ගංදියක් ආවත් පිටාර ගලමින් තිබුණේ. එය වළක්වන්න ඉවුරු විශාල වශයෙන් උස්සලා යාන්ත්‍රික මෙවලම්වලින් ජල පාලනය වන ආකාරයට කටයුතු කර තිබෙනවා. අවාසනාවකට මේ ව්‍යාපෘතිය ආරම්භයේදී ඒ අවට පුරන් කුඹුරු, කෙතල ගාල් ආදිය තිබුණු වගුරු බිම්වල ජල පෝෂක ප්‍රදේශ නිරන්තරයෙන් වතුර රැඳුණු ස්ථාන දැන් වියළිලා. අවට ජනතාවට හොඳක් සේ පෙනුණත් එය කිඹුලන්ටත් උදව්වක් වුණා. ජලය රැස්වන තැන්වල මාළුන්, ඉබ්බන් බෝ වෙන්න ගත්තාම කිඹුලන්ටත් ආහාර යහමින් ලැබෙන නිසා පැටව් බෝ කරන්න ගත්තා. බෝවීම වැඩි වුණාම තරගකාරීත්වය වැඩි නිසා කවදාවත් නැතිව මේ කිඹුලන් උඩුගං බලා ගොස් දෙණියාය, කොටගල දක්වාම පැතිරුණා. මෙයට හේතුව නිවැරැදි පරිසර අධ්‍යයනයක් නොකර මේ දේවල් සිදු කිරීමයි.

“නිශාචර කිඹුලන් රෑට ගොඩට ඇවිත් නිවෙස්වල සිටි බල්ලන්, වහු පැටවුන් ඇදගෙන ගියා. උන්ට ආරක්ෂාව තර කරන්න වුණාම මිනිසුන්ටත් කිඹුල්ලු පහරදෙන්න ගත්තා. අලි- මිනිස් ගැටුම තරමට තවම දැඩි වී නැතත්, කිඹුල් මිනිස් ගැටුමක් මාතර නිල්වලා ගඟ අසල පවතින බව රටම දන්නවා.”

වෛද්‍ය අතපත්තු දිගින් දිගටම විස්තර කළේය. ඔහු පෙන්වා දෙන ආකාරයට මෙරට ඇත්තේ ගැට කිඹුලන් සහ හැල කිඹුලන් යන වර්ග දෙක පමණි. හැල කිඹුලන් තරමක් සුදට හුරු පැහැයක් පෙන්වන අතර ගැටකිඹුලන්ගේ තද පැහැති පෙනුමක් පවතී. හැල කිඹුලාට මිරිදියේ මෙන්ම කරදියේද වාසය කළ හැකි නිසා කලපු ආශ්‍රිතවද දැකිය හැකි වුවත් ගැට කිඹුලන් ජීවත් වන්නේ මිරිදියේ පමණි. එසේම උන් ප්‍රමාණයෙන්ද කුඩාය. මේ විස්තරයෙන් පසු වෛද්‍ය අතපත්තු පෙන්වා දුන්නේ ඉදිරියේදී දැඩි තර්ජනයක් බවට පත්විය හැකි කිඹුල් ප්‍රශ්නය විසඳීම සඳහා ගත යුතු පියවර පිළිබඳවය.

“ආදි කාලේ ඉඳන් කිඹුලන් ඇල්ලීම සිදු කළේ නැංගුරමක් වගේ කොකු තුනක් සහිත බිලී කොක්කට පණ තිබෙන බල්ලෙක් වගේ ඇමක් තියලා එය කිඹුලන් ඉන්න ජලාශය ආසන්නයේ රඳවලායි. ඇම ගිලින්න උත්සාහ කරන කිඹුලාගේ කටේ කොක්ක පැටලිලා යම් වෙලාවකදී කිඹුලාත් මිය යනවා. මෙය දකින්න තරමක් අපහසු දර්ශනයක්. මේ කිඹුල් ඇම තියන්න නම ගිය පුද්ගලයෙක් ඉස්සර හිටියා මහ අම්බලන්ගොඩ ‘කිඹුල් සිල්වා’ කියලා. ඔහු මට හමුවෙද්දී කිඹුලන් 20ක් පමණ අල්ලා තිබුණා. කිඹුල් මස් ගමටම බෙදලා හම කුණු කොල්ලෙට මුස්ලිම් මුදලාලි කෙනෙක්ට විකුණනවා. දැන් ඔහු ජීවතුන් අතර නෑ.

“කොහොම වුණත් දැන් ඊට වඩා දියුණු ක්‍රම තිබෙනවා කිඹුලන් අල්ලන්න. ජලයේ ජීවත්වන සතෙක් නිසා එකවර නිර්වින්දනය කරන්න බෑ. මොකද ජලයේ හිටියත් කිඹුලා පෙනහලු සහිත නාසයෙන් හුස්ම ගන්න සත්ත්වයෙක්. නිර්වින්දනය කර ජලය තුළට ගියොත් උන් දියේ ගිලී මිය යන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා කිඹුලන් රවටා අල්ලා ගැනීමයි සංරක්ෂණය සඳහා කළ යුත්තේ. මේ සඳහා කේතු ආකාරයට අග සිහින් වන හතරැස් කොටුවක් දැල්වලින් සදන්න අවශ්‍යයි. ඉන් පසු මස් සඳහා මරන කුකුලන් ආදී සතුන්ගේ අතුණුබහන් ඒ කූඩුවේ සිහින් කෙළවර තැන්පත් කළ යුතුයි. එයින් පණ තිබෙන සතෙකු යොදා ගැනීමත් වලකිනවා. අර අතුණුබහන් ඉවට කිඹුලා කොටුවට ඇතුළු වනවා. සිහින් කොටසේ ඇති ආහාරය සඳහා ඇදී යන කිඹුලාට ආපසු හැරෙන්න බෑ. එවිට අවශ්‍ය නම් නිර්වින්දන බෙහෙත් යොදා සුදුසු තැනකට ගෙන යා හැකියි.

“සාමාන්‍යයෙන් කිඹුලෙක්ගේ ජීවිත කාලය අවුරුදු සියයක් ඉක්මවන බව වගේම සමහර කිඹුලන් අවුරුදු 150 ක් පමණ ජීවත් වූ බවටත් වාර්තා තිබෙනවා. ඒත් ඒ මුළු කාලය පුරාම උන්ට පැටවුන් බිහි කිරීමේ හැකියාව පවතින්නේ නෑ. යම් කාලයකදී එය හීන වෙලා යනවා. ඒ නිසා අල්ලා ගන්නා කිඹුලන් සංරක්ෂණය සඳහා බූන්දල, උඩවළව, යාල වගේ ස්ථානවලට ගිහින් දැමීම සුදුසුයි. ඒ ගිය ගමන් උන් අනෙක් කිඹුල් සංගම් සමඟ සමාගමේ යෙදී පැටවුන් බිහි කරන්නේ නැති නිසා එහිදී කිඹුලන් වැඩි වේ යැයි අමුතු බියක් ඇති කර ගත යුතු නෑ. අලින්ට වගේම කිඹුලන්ටත් මද ග්‍රන්ථි තිබෙනවා. ඒවායෙන් වහනය වන හොමෝනවල ඉව උන්ගේ ලිංගික උත්තේජනයට වැදගත්. සුඩානයේ ගෝත්‍රික ගැහැනුන් මේ ග්‍රන්ථි ගලවා වේලාගෙන ඇටමාලයක් වගේ තනාගෙන පලඳිනවා ඔවුන්ගේ සම්භෝගයෙදී එය වඩා සතුටක් ගෙන දෙන්නට හේතු වන බවට තිබෙන විශ්වාසය නිසා.

“ඉන්දියාව, මැලේසියාව, සිංගප්පුරුව, තායිලන්තය වැනි රටවල කිඹුල් ගොවිපොළ තිබෙනවා. එය ඒ රටවල සංචාරක ආකර්ශනයටත් හේතුවක් වෙලා. කොහොම වුණත් ඒ රටවල සංරක්ෂණ ක්‍රම අපේ රටට, සංස්කෘතියට වගේම අපේ ප්‍රශ්නවලට ගැලපෙන්නේ නෑ. ඒ නිසා අපට ගැලපෙන විදිහට මේ ගැටලුව නියපොත්තෙන් කැඩිය හැකි මොහොතේ නිසි පියවර ගැනීම අනාගතයට හොඳයි.”

වෛද්‍ය අතපත්තු අණතුරු ඇඟවීමක් සේම අවදානමට පෙර සූදානම ගැන අවවාදාත්මක ස්වරයෙන් පැවසීය.

Comments