
සුනඛ මිතුරෝ
ඇය අලුත් නිවෙසක් ඉදි කර එහි පදිංචි වූයේ සැනසිල්ලේ ජීවත්වීමට ය. එහෙත් වැඩි කාලයක් එහි යහතින් විසීමට බැරි තරමට අවට පරිසරය රළු වීමට පටන් ගත්තේ ය. ඉවසිය නොහැකි වූයේ තම ඥාතීන්ගෙන් ම පැමිණෙන කරදරය.
ඒ බැරි ම තැන නිවෙස විකුණා දැමූ ඇය වෙනත් තැනකින් ඉඩම් කෑල්ලක් මිල දී ගත්තා ය. එහි ගෙයක් හදන තුරු කුලී නිවෙසක පදිංචි වූවා ය.
විකුණා දමන ලද නිවෙසෙහි තිබූ හැම බඩුවක් මුට්ටුවක් ම කුලී නිවෙසට ගෙන යනු ලැබීමෙන් පසු අමුත්තෝ දෙදෙනෙක් එහි ඉතිරි වූහ.
ඒ වියපත් සුනඛයෝ දෙදෙනෙකි. පාරට වැටී සිටි ඔවුහු මීට වසරකට පමණ පෙර ඇගේ ගෙදරට පංගාර්තු වී සිටිය හ.
ජීවිතයට වාහනයක ගමන් කොට නැති සුනඛයන් දෙදෙනා ත්‍රීවීලරයට නංවා ගැනීමට මහත් උත්සාහයක් දැරිය යුතු විය. එහෙත් ටික දුරක් ගිය තැන එකෙක් රියෙන් බිමට පැන ආපසු දිව ගියේ ය. ඇය දෙවැන්නාට පැන යන්නට නොදී කුලී ගෙදරට ගෙන ගොස් සත්කාර කොට රඳවා ගත්තා ය.
පසු දා පහන් වන විට ම ඇයට ඥාති සොයුරියක ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.
‘නංගි, මේං බල්ලො දෙන්න ම ඇවිල්ල පාරෙ ඉන්නව!’
පසු දා බනිස් ගෙඩි දෙකක් ද ගෙන ඇය උන් සොයා ගෙන ගියා ය.
ඇය දුටු දෙදෙන වල්ගා වනමින් ඉදිරියට ආහ.
ඇය දෙදෙනාට බනිස් දුන්නා ය. බනිස් කෑ සුනඛයෝ ඈ දෙස බලා කළ ගුණ පාන්නට වූ හ.
‘හා දැං යං! එන්ඩ යන්ඩ!’ ඇය ඉස්සර වූවා ය.
සුනඛයෝ දෙදෙනා ඇය පස්සෙන් වැටුණ හ.
ඔවුන්ගේ ගමන බාල වන විට ඇය ආපසු හැරී ඔවුන් දිරිමත් කළා ය.
‘යං යං ඉක්මනට යං!’
දැන් යා යුත්තේ නගරය මැදිනි. නගරයේ කලබලය නිසා සුනඛයන් බිය වී ආපසු යතැ යි සිතූ ඇය නගරය මග හැර යන විකල්ප මඟක් තෝරා ගත්තා ය.
ඈ ටික දුරක් යන්නී ය. පසු පස බලන්නී ය. සුනඛයන් දිරිමත් කරන්නී ය. යළි ටික දුරක් යන්නී ය. පසුපස බලන්නී ය.
එකකු ආපසු හැරී ගොස් ඇති බව ඇය තේරුම් ගත්තේ මෙසේ ටික දුරක් ගොස් ආපසු බලද්දීය.
‘කමක් නෑ. ඔයාවත් යං කො’ ඇය ඉතිරි වූ සුනඛයා කැඳවාගෙන කිලෝ මීටර දෙකකට වැඩි දුරක් පයින් ම ගියා ය.
‘ඉස්කෝලෙ යද්දිවත් එච්චර දුරක් පයින් ගිහිං නෑ’ ඇය සිනාසෙන්නී ය.
‘මේකගෙ පිටේ තියන කුෂ්ටෙට වෙදකම් කරන එක තමයි ඊළඟ ප්‍රශ්නෙ’ ඇය කියයි.
එහෙත් ඇය හෙද නිලධාරිනියක් නිසා එය එතරම් ප්‍රශ්නයක් නොවනු ඇතැයි මට සිතේ.
බළන්ගොඩ, අමුපිටියේ,
චන්ද්‍රපාල ලේකම්ගේ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුෙරනි.
‘සැඟවුණු දෙවොල’ ප්‍රතිචාර
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍යවරියක්මි. නෙළුම්විලෙහි ‘සැඟවුණු දෙවොල’ නමින් පළවූ විශේෂාංග ලිපියට අදාළව මගේ පෞද්ගලික අදහස මෙසේ ලියමි.
පොදු වැසිකිළියක නොයෙක් පුද්ගලයන් ලියා ඇති දුරකථන අංක ආරක්ෂා කරන පුද්ගලයකු ගැනත්, ඔහු කී දේ ගැනත් එහි සටහන්ව තිබිණි.
පොදු වැසිකිළියේ ලියැවී ඇති දුරකථන අංක මඟින් විවිධ පුද්ගලයන් සම්බන්ධතා ඇති කර ගන්නා බවත්, ඔවුන් අතර මිතුරුකමට අමතරව තවත් දේවල් සිදුවිය හැකි බවත්, ඒ නිසා අදාළ සම්බන්ධතා සොයන කෙනෙකුට දෙවොලක් බඳු බවත්, ඉන් ඔවුනට ජීවිතය හා සැනසිල්ල ලැබෙන බවත් එහි සඳහන් විණි.
ශ්‍රී ලංකාව ද ඇතුළු ලෝකයේ බොහෝ රටවල ලිංගාශ්‍රිත රෝග බෝවීම ඉහළ යමින් තිබේ. මෙබඳු සබඳතා සඳහා යොදා ගැනෙන එක් මාර්ගයක් වන්නේ පොදු වැසිකිළි බව සොයාගෙන තිබේ. විවිධ ලිංගාශ්‍රිත රෝග ආසාදනය වී අපගේ සායනවලට එන රෝගීන්ගේ ප්‍රකාශවලින් ද එය ඔප්පු වේ.
එච්.අයි.වී. වැනි රෝගයකින් අදාළ පුද්ගලයාගේ ජීවිතය, ඔහුගේ පවුලේ ජීවිත පමණක් නොව ඔහු ලිංගික සබඳතා පවත්වන අනෙක් සහකරුවන්ගේ ජීවිත ද විනාශ විය හැකිය. අවසානයේ එය මුළු මහත් සමාජයට ම ප්‍රශ්නයක් විය හැකිය. එනිසා මෙබඳු ස්ථාන එවැනි පුද්ගලයනට ජීවිතය දෙන තැනක් නොව ඔවුන්ගේ ජීවිත නසන තැනක් බවට පත්වීමේ ඉඩකඩ බොහෝ ය.
අහඹු ලෙස පුද්ගලයන් සොයා ගෙන රහසිගතව අනාරක්ෂිත ලෙස සබඳතා පැවැත්වීමෙන් හට ගන්නා එච්.අයි.වී. වැනි රෝග වලින් තරුණ ජීවිත බේරා ගැනීම සඳහා අප ආයතනය බොහෝ කාලයක සිට ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටියි. එවැනි සබඳතා සඳහා පුද්ගලයන් යොමු කෙරෙන මෙබඳු ස්ථානවලට වැදගත්කමක් ලබා දෙන අයුරේ ලිපි පළවීම තරුණ පරපුරට හානිදායක බව මෙග් අදහසයි.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන
වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය
එල්.අයි. රාජපක්ෂ මහත්මිය විසින් යොමු කරන ලද ලිපියකි.