
ඇසළ පෙරහර අලංකාර කරන්නට පවා අලි-ඇතුන් සොයාගැනීමට අපහසු තත්ත්වයක් පසුගිය කාලයේ ඇති වූයේ හීලෑ අලින් සංඛ්‍යාව එන්න එන්නම අඩු වූ බැවිනි. ඇතැම් පිරිස් ළඟ සිටි හීලෑ අලි-ඇතුන් පවා හොර අලින් බවට පත් වීම හේතුවෙන් උන් රැඳවුම් මධ්‍යස්ථානවලට යොමු කිරීමට රජයද තීරණය කළේය. මේ වන විට යළි හීලෑ අලි අවශ්‍යතාව පිරිමසාගැනීම සඳහා විවිධ ඉල්ලීම් යොමු වන බවට ආරංචි පැතිරේ. ඒ පිළිබඳ හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා මෙසේ සිය අදහස් පළ කළේය...
පුවත්පත් වාර්තා අනුව හීලෑ අලි ඇතුන් සඳහා පවතින ඉල්ලුම උග්‍ර වී තිබෙන බව පේනවා. අද මුළු ලංකාව පුරාම සිටින හීලෑ අලින් සංඛ්‍යාව 100ටත් අඩුයි. ඒ නිසා සමහරු කියනවා උඩවළවෙන් හෝ ඇත් අතුරු සෙවණෙන් පන්සල්, දේවාල, ප්‍රභූන් සහ ව්‍යාපාරිකයන්ට ඒ කියන්නේ අලියෙක් නඩත්තු කරන්න පුළුවන් ආර්ථික මට්ටමක් ඇති අය හැත්තෑ දෙනකු පමණ සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරාගෙන කැබිනට් අනුමැතිය සහිතව අලි පැටවුන් ලබා දීමේ අදහසක් යෝජනා වී තිබෙන බව. එවැනි යෝජනාවක් කර තිබෙනවා නම් ඊට පෙර ඒ යෝජනා ගෙනෙන අය දැනගත යුතු කරුණු කීපයක් පිළිබඳ මතක් කර දීමට උඩවළව ඇත් අතුරු සෙවණ ගොඩනැඟූ පුද්ගලයා හැටියට මම කැමතියි."
1994 නොවැම්බර් මාසයේ උඩවළව ඇත් අතුරු සෙවණ පිහිටුවීම සඳහා සංකල්පය ඉදිරිපත් කළේත්, ඒ ව්‍යාපෘතිය පිළිබඳ බොහෝ මතවාද ඉදිරිපත් වද්දී ඒවා උපේක්ෂාවෙන් දරාගෙන මේ දිවයින තුළ කොතැනක හෝ අසරණ වන අනාථව අතරමං වන අලි ඇත් පැටවුන් ආපසු කැලයට මුදාහැරීමට නිසි වයස සහ තත්ත්වයන් සම්පූර්ණ වන තුරු රැකබලාගැනීමේ අරමුණ පෙරදැරිව කටයුතු කළේත් වෛද්‍ය නන්දන අතපත්තුය. එනිසා එහි නිර්මාතෘ ලෙස වෛද්‍ය අතපත්තු ඇත් අතුරු සෙවණේ නෛතික පසුබිම විස්තර කළේය...
"ඇත් අතුරු සෙවණෙන් අලි පැටවුන් ඇති කිරීම සඳහා ලබා දෙන්න කොයි මොහොතක හෝ කවුරුන් හෝ යෝජනා කළොත් ඒ ව්‍යාපෘතියේ අරමුණ ඒ මොහොතේ සිටම අමුඅමුවේ ඝාතනය කළා හා සමාන වෙනවා. දහසකුත් එකක් බාධක මැද මීට අවුරුදු 25කට පෙර උඩවළව ඇත් අතුරු සෙවණ ස්ථාපනය කළේ රත්නසිරි වික්‍රමනායක හිටපු ඇමැතිවරයාගේ මූලිකත්වයෙන්. අලි පැටවුන් සම්බන්ධව එහිදී ගත් තීරණය තමයි කම්පනයට පත් වුණු, රෝගි වුණු හෝ අකරතැබ්බයන්ට මුහුණ පා සිටින අලි පැටවුන් තාවකාලිකව රැකබලාගැනීම. ඔවුන් අතුරින් අඩි 5-6ක් උසට වැඩුණු, අවුරුදු 5ට වැඩි, කිරෙන් මිදිලා කොළඅතු කන්න පුරුදු ඇති අය නැවත වනයට මුදාහරිනවා. එහෙම රැකවරණය දුන් පැටවුන් 110ක් පමණ අපි ඇත් අතුරු සෙවණ පටන් ගත් දා සිට වනයට මුදාහැර තිබෙනවා.
"එසේ මුදාහළ ඇතැම් පැටවුන් ගැබිනියන් වෙලා, සමහරු දෙතුන් වතාවක් පැටවුන් බිහි කළ පරිණත මවුවරුන් වෙලා අපට දකින්න ලැබෙනවා. එසේ ගැබ් දරන්න තරම් ශක්තියක් ඒ අයට ලැබුණේ අපේ ව්‍යාපෘතිය මඟින් යහපත් සෞඛ්‍ය තත්ත්වයට පත් වන තුරු ඔවුන් රැකබලාගත් නිසයි.
"තවත් විශේෂත්වයක් මේ සතුන් අතුරින් අපි නිරීක්ෂණය කළා. ඒකට මුල් වුණේ දළ ඇත් පැටවුන්. 1968 උඩවළව වනෝද්‍යානයක් බවට පත් කළාට පස්සේ අලි 200ක් 300ක් පමණ දකින්න ලැබුණත් දළ ඇත් පැටවුන් සිටියේ නෑ. දැන් උඩවළවේ අලි ගහණය 450ක් පමණ වනවා. ඉඳහිට හල්දුම්මුල්ල පැත්තෙන් දළ ඇතෙක් දෙන්නෙක් ආවාට එයිනුත් දළ පැටවුන් බිහි වුණේ නෑ.
ඒත් ඇත් අතුරු සෙවණින් ගිය ඇතින්නන් දෙන්නෙක් දළ පැටවුන් උඩවළවට දායාද කළා. මේ පැටවුන් රැකබලාගන්නේ පිටරටවලට පන්සල්වලට මුදලාලිලාට විකුණන්න නෙවෙයි. ඇත් අතුරු සෙවණේ පරමාර්ථය මිනිසුන්ගේ වහල්කමට නොව, තමන්ගේ නිජබිමට අලි ඇතුන් නිදහස් කිරීමයි."
විශේෂයෙන්ම වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති ආසියානු අලි ඇතුන් අපේ අනාගත දරු පරපුරට දැකබලාගැනීම සඳහා සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව දැඩිව මතු වී ඇති යුගයක, ඇත් අතුරු සෙවණ ඒ අරමුණ ඉටු කිරීම සඳහා එම ආකෘතියෙන් ලෝකයේම ඇති එකම සුරැකුම් මධ්‍යස්ථානය බවද අපි දනිමු. වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත මඟින්ද ඇත් අතුරු සෙවණ වැනි ස්ථාන ආරක්ෂා කර ඇති අයුරු වෛද්‍ය අතපත්තු සවිස්තරව අපට මෙසේ ඉදිරිපත් කළේය...
"1936 රාජ්‍ය මන්ත්‍රණ සභාව මඟින් සම්මත කළ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ වනජීවීන් හා උන්ගේ වනාන්තර වර්ග හතකට බෙදා ආරක්ෂා කර තිබෙනවා. ඒ පනතට අනුව අපේ මුළු භූමියෙන් 13%ක් වනසතුන් වෙනුවෙන් වෙන් කර තිබිය යුතුයි. එය පාලනය වන්නේ වනජිවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ. රාජ්‍ය නිලධාරියකුට බාර විශාලම භූමි ප්‍රමාණය ඇත්තේ ඔහුටයි. ඒ වනාන්තර අතුරින් ජාතික වනෝද්‍යාන තුළ කිසිම මිනිස් ක්‍රියාකාරකමක් සිදු නොවිය යුතුයි. දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ඇතිව වනයට ඇතුළු වී එහි බංගලාවල නතර වී වනසතුන්ගේ සිරි නරඹන්න අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. එවැනි වනෝද්‍යාන 18ක් රට පුරා තිබෙනවා. මේ අතර අක්‍රිය වනෝද්‍යානත් තිබෙනවා. ජල ගැලුම් නිම්න, සෝමාවතිය වැනි තැන් ගැසට් කර වසර 25ක් පමණ ගෙවී ගියත් ඒවා අක්‍රිය ලෙසම පවතිනවා.
"දැඩි ආරක්ෂිත කලාපවලට සාමාන්‍ය මිනිසුන්ට තියා වනජීවී නිලධාරීන්ටවත් අහේතුකව ඇතුළු වන්න බෑ. එහෙම යනවා නම් ඒ සතෙකුට උදවුවක් සඳහාම පමණයි. රිටිගල, හග්ගල, යාල මධ්‍යම ඒ ගණයට අයත්. ඒත් හග්ගල නම් දැන් අල වවලා! ස්වාභාවික රක්ෂිත හැටිය ගැනෙන්නේ ත්‍රිකෝණ මඩු, ගිරිතලේ, සීගිරිය වැනි ස්ථාන. ඒවාට හීලෑ සතුන් ඇතුළු කිරීම පවා තහනම් වුණත් කියන්න කණගාටුයි සංචාරකයන් වෙනුවෙන් හීලෑ අලිත් ඇතුළු කරලා තියෙන්නේ දැන්...
හතරවැනි වර්ගය ජාතික අභය භූමි. වැඩිම ඉඩම් ප්‍රමාණයක් අයිති ඒවාට. ඒ බිම්වලට ඇතුළු වීම, ගෙවල් සැදීම, ළිං කැපීම, වගා කිරීම වැනි දේ කරන්න පුළුවන්. හැබැයි කිසිම වන සතකුට හිංසා කරන්න තහනම්. 1956 වසරේ මේ බිම් ඇති කළේ වනසතුන් සහ මිනිසා අතර සහජීවනය ඇති කරන්නයි. වන පිවිසුම් අයිති වන්නේ අලි මංකඩවල් වැනි තැන්වලට. වනාන්තර එකකින් එකකට සතුන්ට ඇතුළු වීමට ඉතිරි කළ මේ ප්‍රදේශ සමහර ඒවා ගැසට් කරලත් නැහැ. ගැසට් කරපු ස්ථානවල වුණත් සමහරුන් ඇවිත් පදංචි වෙලා ඔවුන් ඉවත් කරගන්නත් බෑ.
"සමුද්‍ර අභයභූමි සහ උද්‍යාන තිබෙන්නේ මුහුදේ. හික්කඩුව වැනි කොරල්පර බාධක අභයභූමි නිසා ගොඩබිමත් රැකෙනවා.
"අවසන් එක අභයස්ථාන. වඳ වී යන, තර්ජනයට ලක් වුණ ගහ කොළ පැළ කර වැඩි දියුණු කිරීමටත්, සතා සීපාවා ඇති දැඩි කර මුදාහැරීමටත් තමයි මේ ස්ථාන නම් කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ස්ථාපනය කර ඇති එකම අභයස්ථානය උඩවළව ඇත් අතුරු සෙවණ පමණයි. ඒ නිසා එයින් සතුන් ලබාගැනීම ව්‍යවස්ථානුකූලවම තහනම්.
"අපි මේ අලි පැටවුන් නිදහස් කළාට පස්සෙත් අවුරුදු දෙකක් රේඩියෝ කොලර් යොදලා ඒ අයගේ හැසිරීම් නිරීක්ෂණය කරනවා. ඒ වගේම කරදරයක් වුණොත් ගිහින් පිහිට වෙනවා. මේ ආකාරයෙන් වනයට හුරු කළ යුතු සතුන් වහල් සේවයේ යෙදවීම වැරැදි වැඩක්. ඒ නිසා එවැනි යෝජනාවක් කරන්න කවුරුන් හෝ සිතා සිටිනවා නම් ඊට පෙර මෙහි නෛතික පසුබිම වටහාගන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා."
එසේ අවධාරණය කරමින් වෛද්‍ය නන්දන අතපත්තු මහතා හීලෑ අලි පැටවුන් ලබාගන්නට අවශ්‍ය නම් එයටද ක්‍රමවේදයක් කෙටියෙන් ඉදිරිපත් කළේය...
"ඔච්චරටම හීලෑ අලි අවශ්‍ය නම් දැනට ඉන්න හීලෑ අලින්ගේ සංචිතයක් හදලා කෘත්‍රිම සිංචනය මඟින් ගැබ් ගැනීම් කරවලා පැටවුන් බිහි කළ හැකි බව මම අප්‍රමාණ වාරයක් පවසා තිබෙනවා. අප කළ යුත්තේ එවැනි විකල්පයකට යෑම මිස, මේ අහිංසක සතුන් සිරකරුවන් කිරීම නොවේ."