‘චේ’ට පෙම්බැඳි යහල කැලේ | Page 2 | සිළුමිණ

‘චේ’ට පෙම්බැඳි යහල කැලේ

 

හොරණ යනු භාෂා වියතුන්ගේ මෙන්ම විවිධ කලාකරුවන්ගේ නිජබිමක් ලෙස ප්‍රකට ප්‍රදේශයකි. ‘හොර’ ගස් බහුල වූ නිසා ‘හොර+අරණ’ යනුවෙන් ව්‍යවහාර වූ බවත් පසුව ක්‍රම-ක්‍රමයෙන් ‘හොරණ’ යනුවෙන් ව්‍යවහාර වූ බවත් සිතිය හැකිය.

හොරණ ප්‍රදේශයේ බහුල වගාවක් ලෙස රබර් මුල් තැන ගනී. ඒ සඳහා යෝග්‍ය පරිසරයක්ද කාලගුණික තත්ත්වයක්ද එහි ඇත. කියුබානු විප්ලවයේ නායකයා ලෙස ලෝක ප්‍රකට වූ අර්නස්ටෝ චේ ගුවේරාගේ සම්ප්‍රාප්තියද සිදු වන්නේ මේ රබර් වගාවේ ඈඳුණු කථාවත් සමඟය. චේ ගුවේරාගේ ලංකාගමනය සිදු වූයේ හොරණ පිහිටි කුඩා තේ වත්තකට බව විශ්වාස කළ හැකිද?

මෙතරම් ලෝකප්‍රකට විප්ලවීය නායකයකු අප රටේ කුඩා නගරයක කුඩා රබර් වත්තකට පැමිණියායැයි සිතන්නට අපහසු වුවත් එය සැබැවින්ම සිදු වූයේ එසේය. ඒ 1959 අගෝස්තු 8 වැනිදාවකය. එච්සී පීරිස් මහතාගේ ආරාධනය මතය. පීරිස් මහතාට අයත් හොරණ මොරගහහේන ප්‍රදේශයේ පිහිටි ඉතා මනරම් ලෙස නඩත්තු කළ රබර් වත්ත සහ බංගලාවට කෙටි වේලාවකට හෝ ගොඩ වීමට චේ කටයුතු කළේය. කාලය නිච්චියටම කීවොත් ඉන් හරියටම මසකට පසුව එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සිදු විය.

චේ ලංකාවට, හොරණට පැමිණීමට විශේෂ හේතුවක් විය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති වූ මතභේදයක් නිසා විශේෂයෙන්ම කියුබාවට එරෙහිව පනවා තිබූ වෙළෙඳ තහනමය. තම රටේ අවශ්‍යතාවලට සරිලන පරිදි රබර් වැවීමට කියුබාව උනන්දුවක් දැක්වූයේ මේ සමයේදීය. එනිසා මිතුරු රටකින් අලුතින් දියුණු කළ රබර් ඇට ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් විය. හොරණ ප්‍රදේශයේ ජයටම පවත්වාගෙන ගිය ගිය මේ රබර් වත්තෙන් චේගේ ඒ අවශ්‍යතාව පිරිමසාගත හැකි බව ඔහු දැන සිටියේය. කෙසේ වෙතත් එය ඉතා අප්‍රසිද්ධියේ සිදු වූ ගනුදෙනුවක් ලෙස සැලකේ. එය මිත්‍ර රටක මිතුරු ක්‍රියාවක් ලෙස මේ දායකත්වය සැලකුණි. කියුබාවට එරෙහිව පනවා තිබූ ආර්ථික සම්බාධකවල එක් හිඩැසකින් රිංගා යෑම සඳහා ගත් තවත් උත්සායක් ලෙස එය රඟ දැක්විණි.

මීට වසර පනස් අටකට පෙර ඒ ඓතිහාසික අවස්ථාව අපට උදා වූයේ ඒ අයුරිනි. අදටත් ඒ ඉතිහාසගත ගමනේ නොමැකෙන සටහන් මේ වතු බංගලා ද්වාරයේ දක්නට ඇත. වසරකට වරක් මේ සැමරුම සිදු කෙරෙයි. චේ ගුවේරා අතින් රෝපණය කළ මහෝගනී පැළය අද මහා වෘක්ෂයක්ව වැඩී හුදෙකලාව මඟ බලා සිටිනු අපට දැකිය හැකිය. ඒ ඓතිහාසික අවස්ථාවේ ගත් ඡායාරූප සුරැකිව මහෝගනී වෘක්ෂය සමීපයේ සිට එයට තනි රකී. මේ ස්ථානය හඳුන්වන්නේ ‘චේ උයන’ නමිනි. මෙහි ඇති සුවිශේෂ ලක්ෂණය නම් ඉතා සුන්දර භූමි නිර්මාණවලින් මේ බංගලාව ආශ්‍රිත මිදුල සකසා තිබීමයි. ලෝකප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පීන් වන බෙවිස් බාවා සහ ජෙෆ්රි බාවා අතින් මේ භූමි අලංකරණ සිදු කෙරී ඇත.

එහෙත් මේ වන විට ජරාවාස වී ඇති මේ බිමෙහි කැලෑව ගණය; පිහිණුම් තටාකයක්ද දැකිය හැකිය. විශාල ගස් කොළන් මෙන්ම මල් ගසින් අලංකාර වූ ගෙවුයනේ දක්නට ඇත්තේ බොහෝ කලකට පෙර ඉතා මනරම් උයනක් ලෙස මෙය පැවැති බවට පෙනෙන සාක්ෂිය. පලතුරු ගස්වල අතු නම් තවමත් පලබරය.

දශක හයකට ආසන්න අතීත කතාවක් මතකයේ රඳවාගෙන වියපත් වූවෙක් අදටත් මෙහි සිටී. ඔහු මුළු ආත්මයම මේ ‘යහල, බංගලා භූමිය වෙනුවෙන් දිය කරහැර ඇත්තෙකි. නමින් ඩබ්ලිව්ඒ ඩිංගි මහත්තයාය. චේ මෙහි එන කාලයේ ඔහු භද්‍ර යෞවනයේ පසු වූ තරුණයෙකි. චේ ගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් උදෑසන තේ පැන් සංග්‍රහය සූදානම් කළේද ඩිංගිරි මහත්තයාය. ඉන් පසු මතක සටහනක් ලෙස සිට වූ මහෝගනී පැළය සිටුවීමට වළක් කපා දීමේ මහා කටයුත්ත කළේද ඔහුමය. සියල්ලන් විසිර ගිය පසු චේගේ මතක පැළය වටේ වැටක් සිටුවා, එය අනතුරු උවදුරුවලින් ආරක්ෂා කොට දරුවකු මෙන් රැක බලාගත්තේද ඔහුය. අද වන විට ඔහු ජීවිතයේ 86 වසරක් ගෙවා සැඳෑ සමය ගත කරයි. එහෙත් ඔහු තවමත් මේ පැරැණි මතකයන්ට ආදරය කරයි. මෙහි වැලි කැටයක් -කැටයක් පාසා රැඳුණු මතකයන් ඔහු සතුය. හාම්පුතුන්ගේ සැලකිල්ලක් ඇතත් නැතත් ඔහු තම වගකීම අකුරටම ඉටු කරයි.

“බංගලාවේ මහත්තුරු අවුරුදු පහළොවකින් විතර මේ පැත්තේ ආවෙ නෑ. කොළඹ ඉන්නේ...” ඩිංගිරි මහත්තයා පවසන්නේ නෙතට ඉනූ කඳුළක්ද සමඟය.

චේ උයනට උපහාර පිදීමට රතු සහෝදරයන් වසරකට වරක් මෙහි රැස් වන බව කියැවේ. එහෙත් චේ වෙනුවෙන් මේ උයන රැකගන්නා වියපත් මිනිසා පිළිබඳ වගක් ඔවුන්ට නැතුවා සේය. ඩිංගිරි මහත්තයා නොවන්නට ‘චේ’ සිටුවූ ‘මහෝගනී’ ගසක්ද මෙහි ඉතිරි නොවන්න හෝ හරකුන් කෑ තවත් ගසක් පමණක් බවට එය පත් වන්නටද ඉඩ තිබිණි. අප එහි යන විට වතු බංගලාව ඈතට දිස් වූයේ කැලෑවක් මැද නටබුන්ව ගිය සෙයකිනි. මෙවැනි ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන රැකගෙන ඉදිරි පරම්පරාවලට උරුම කර දීමට පෞද්ගලික අයිතිකරුවන්ගේ මෙන්ම බලවතුන්ගේ අවධානය යොමු විය යුතු බවද සටහන් තබමි.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

Comments