මහ රෑ දොළහටඉන්දියාවේ ඈත ඉස්ටේසමක නත්තල් දේව මෙහෙයක් | සිළුමිණ

මහ රෑ දොළහටඉන්දියාවේ ඈත ඉස්ටේසමක නත්තල් දේව මෙහෙයක්

උතුම් වූ කිතු සමිඳාණන් ලොව පහළ වූ අසිරිමත් නත්තල අද රාත්‍රියේ උදාවේ. ලොවේ දුක් විඳින පීඩිත මිනිසුන් වෙනුවෙන් සාමය, සමගිය , සංහිඳියාව රැගෙන එදා බෙත්ලෙහෙම්පුර ජෙරුසෙලමේ ගව හලක උපන් ජේසු සමිඳාණන් ලොවට රැ‍ගෙන ආ පණිවුඩය එදා මෙදා තුර මිනිසුන් විසින් පිළිපදිනු ලබන්නේද යන්න පිළිබඳ අද වන විට ඇත්තේ ප්‍රශ්නයකි. නමුදු අද ලෝකයම මහත් ඉහළින් නත්තල සමරනු ලබන්නේය. මෙවන් වූ කාලයකදී නත්තලේ සෑබෑ පණිවුඩය මේ යැයි පවසන්නට, සාමයේ සැබෑ අරුත, දහම පිළිබඳ ලොවට කියන්නට ඒ වෙනුවෙන් සිය ජීවිත කාලය කැපකළ පියතුමකු සොයා ඉකුත් දිනෙක අපි ඒ පුද බිමට ගියෙමු.

කිසිවෙක් හෝ එහි සිටින බවට හෝඩුවාවක්වත් නැති ඒ පරිසරයේ වූයේ නිහඬ බවකි. අප පුදුම කරන දෑ එහි බොහෝ විය. එක් තැනෙක වූයේ බුදු දහමේ එන සතර පෙර නිමිති විදහා දැක්වෙන අනුරුවකි. ඉන් මදක් එහාට වන්නට බිත්තියක අඹා තිබුණේ මිනිස් හිස් අත් ගණනාවකි. එහි කටු කම්බි ද ගසා තිබුණි. එක් වරම එය කුමක්දැයි යන්න නොවැටහුණු නමුදු නිතර එහි යන එන අප ඡායාරූප ශිල්පියා එහි අරුත අපට පැහැදිලි කළේය.

“ඔය මූර්තියෙන් පෙන්වන්නේ මැණික් ෆාම් කඳවුරේ ඛේදවාචකය. එතැන මියගිය මිනිසුන් සිහිපත් කරමින් එම සිද්ධිය විදහා දක්වන්නට තමයි ඔය නිර්මාණය කරලා තියෙන්නේ.”

“ආයුබෝවන්” ඒ හඬ බොහෝ කාරුණිකය.

මේ කතාව කොතැනින් පටන් ගන්න ද කියා බැරිව අපි උන්වහන්සේට සවන් දීගෙන සිටින්නට වීමු.

“මා ගැන ලියනවට නම් කැමති නැහැ.”

එය කාරුණික ඉල්ලීමකි. නමුදු ඒ ඉල්ලීම පැහැර හරින්ට සිතුණේ උන් වහන්සේ ගේ ජීවිතය පිළිබඳ දැන ගත් තොරතුරු සමඟය.

එක්දහස් නවසිය විසිතුන වසරේ අප්‍රේල් මස නව වැනිදා නුවර ඇම්පිටිවල උපන් ඇලෝසියස් පියතුමා මේ වන විට අසූ තුන්වැනි වියෙහි පසුවෙති. උන්වහන්සේ පූජකවරයට පත්වන්නේ වයස අවුරුදු 19දීය. ඒ ජේසු නිකායෙනි. ඉන්දියාවේදී පාලි සංස්කෘත ආදී භාෂා හදාරන උන් වහන්සේ යුරෝපීය රටවල මෙන්ම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල වාසය කර ඇත්තේය. උන් වහන්සේගේ බෞද්ධ දර්ශනය පිළිබඳ ඇති ගැඹුරු දැනුම විශේෂය. උන් වහන්සේ තම ආචාර්ය උපාධිය සඳහා හදාරා ඇත්තේ බෞද්ධ දර්ශනයයි.

“මම සාම්ප්‍රදායික කතෝලික පවුලකින් පැවත එන කෙනෙක්. මම ආචාර්ය උපාධිය හදාරන්න එංගලන්තයට යන්නයි හිටියේ. ඒ යන ගමන් මම ලැමෝට් පියතුමා හමු වීමට බෙල්ජියමට ගියා. එතුමන්ට කිව්වා මම බුදු දහම හා කිතු දහම පිළිබඳ සංසන්දනාත්මකව නිබන්ධනය කරනවා කියලා. උන් වහන්සේ මගෙන් ඇහුවා නොදන්න ආගමක් එක්ක කොහොම ද දන්න දේ සංසන්දනය කරන්නේ කියලා. එතුමා තමයි මට කිව්වේ ඉස්සෙල්ලා බෞද්ධ දර්ශනය හදාරන්න කියලා. අන්න ප්‍රංසයේ ඉන්නවා වල්පොල රාහුල හාමුදුරුවෝ ගිහින් හමුවෙන්න කිව්වා. ලැමෝට් පියතුමා වල්පොල රාහුල හාමුදුරුවන් සමඟ මිතුරු ඇසුරක් තිබුණා. මම එදාම ප්‍රංසයට ගිහිල්ලා රාහුල හාමුදුරුවන්ව හමු වුණා. මට එ් ගිය ගමන කවදාවත් අමතක වන්නේ නැහැ. මම රාහුල හමුදුරුවන් හමු වී කිව්වා මට උන් වහන්සේ හමු වන්න කිව්වේ ලැමෝට් පියතුමා කියලා. උන් වහන්සේ බොහෝම සතුටු වුණා. එවලේම හඳුන්කූරු පත්තු කරලා පහන් දල්වලා මා බොහෝම ආද‍රයෙන් පිළි ගත්තා. ඉන් පසුව මට ආහාර පානවලින් සංග්‍රහ කළා. ඇත්තෙන්ම රාහුල හාමුදුරුවන්ට බොහෝම හොඳට ආහාර පිසින්න පුළුවන්. උන් වහන්සේ ආහාර පිසින්නේ රටාවකට. කොහොම හරි අප බොහෝම තද බැඳීමක් ඇති වුණා. රාහුල හාමුදුරුවෝ මට කිව්වා සෝබෝන් විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න කියලා. ඒ වෙනකොට රාහුල හාමුදුරුවෝ ලංකාවේ විශ්ව විද්‍යාලයක කුලපති වෙලා ලංකාවට එන්න නියමිත වෙලා තිබුණේ. කොහොම හරි කෙටි කලකින් රාහුල හාමුදුරුවෝ ලංකාවට වැඩම කර විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය බාර ගත්තා. මට මතක හැටියට ඒ එක්දහස් නවසිය හැට හය අවුරුද්ද. මම විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ආචාර්ය උපාධිය හැදෑරුවා. මම බෞද්ධ ධර්මය පමණක් නොවෙයි සංස්කෘතත් ඉගෙන ගත්තා. ඒ ඉ‍ගෙන ගත්තෙත් සංස්කෘත භාෂාවෙන්මයි. සංස්කෘත හෝඩියේ සිට කුමාර සම්භවය දක්වාම ඉගෙන ගත්තා. ..”

ඇලෝයි පීරීස් පියතුමා ඉගෙනුමෙහි දක්ෂයෙක් වුයේය. එමෙන්ම ඉගැන්වීමේ ද දක්ෂයෙක් වුයේය. ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ඇතුළු විදෙස් විශ්වවිද්‍යාල විස්සක පමණ උන්වහන්සේ ගුරුවරයකු ලෙස කටයුතු කර ඇත්තේය. උන්වහන්සේ තවමත් පොත පත කියවන්නාහ. විවිධ අධ්‍යයන කරන්නාහ. උන්වහන්සේ විසින් පවත්වාගෙන යනු ලබන තුලන මධ්‍යස්ථානයේ ද විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වන්නේය. බුදු දහම මෙන්ම කිතු දහම හා සංස්කෘතිය පිළිබඳත් ලංකා ඉතිහාසය පිළිබඳත් හදාරන්නවුන්ට එහි බොහෝ වටිනා පොත පත ඇත්තේය. ඒ අතර වටිනා පුස්කොළ පොත් ද ඇත්තේය. ඇලෝසියස් පියතුමා විටෙක පුස්තකාලයට වැදී පොත පත කියවන්නේය. පුස්කොළ පොත් කියවීමට මෙන්ම බුද දහම පිළිබඳ ලියැවුණ පොත් කියවීමට එස්. ජී. පෙරේරා අනුස්මරණ පුස්තකාලයේ වෙනම තැනක් වෙන්වී ඇත්තේය.

තුලන මධ්‍යස්ථානයේ දෙස් විදෙස් ඕනෑම විද්‍යාර්ථියෙකුට දේශන ශාලා හා පුස්තකාල පහසුකම් ඇත්තේය. එහි තැනින් තැන බෞද්ධ භික්ෂූ පිළිරූය. තවත් තැනෙක කිතු සමිදාණන්ගේ විවිධ අවස්ථා විදහා දැක්වෙන චිත්‍ර හා මුර්තිය. මෙහි පල්ලිය සුවිශේෂිය. එය ඉතා කුඩා කුටියකි. එහි එක් තැනෙක ඇත්තේ අල්තාරයයි. අනෙක් තැනෙක ඇත්තේ ලී කැටයමින් නිර්මාණය කළ බුදු හාමුදුරුවන්ගේ විවිධ මුද්‍රාවන්ය. ඒ ආසන්නයේම රාක්කයක ඇත්තේ බයිබලයයි, ධම්මපදයයි, කුරාණය හා භගවත් ගීතාවයි. එය හරි අපූරුය . එමෙන්ම ඇලෝසියස් පියතුමා ද හරි අපුරු පුද්ගලයෙකි. උන් වහන්සේ වෙසෙන පරිසරය අමුතු සිත් ගන්නා තැනකි. එක්තරා අයුරකින් එය කලාගාරයක් යැයි කීවාට වරදක් ද නැත....

“කුමක්ද මේ විශේෂත්වය... ” අපි උන්වහන්සේගෙන් විමසූවෙමු..

“සැබවින්ම කලාවයි ආගමයි පරිසරයයි මේ කියන සියල්ල එකට බැඳී පවතින්නක්. බුදු රජාණන් වහන්සේ වගේම ජේසුස් වහන්සේ ඉපදු‍ෙණ් හා ඒ සුවිශේෂි අවස්ථා ගෙවුණේ පරිසරය සමඟ. අපි පරිසරයට ආදරය කළ යුතුයි. ඒ වගේම එකිනෙකා තමන්ගේ ආගමට වගේම අනෙක් අයගේ ආගම්වලටත් ගරු කළ යුතුයි. ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි. මම මේ ස්ථානයට ආවේ එක්දහස් නවසිය අසූව අවුරුද්දේ. මම මෙහි ගහ කොළ වැව්වා. අද මෙහි විවිධ සත්තු ඉන්නවා.. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න පුළුවන් පරිසරයක් තිබෙන්නේ. ළඟ එන නත්තල වෙනුවෙන් දෙයක් කිවයුතුයි. අද අපේ ජනතාව කිතු සමිඳාණන්ගේ පණිවුඩය තේරුම් අරගෙන තිබෙන්නේ බොහෝම වෙනස් විදිහට.

මේ ගෙවුණු කාලය තුළ මට හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ අත්දෑකීම මම ලැබුවේ ඉන්දීයාවෙදි. ඒ මීට දශක කිහිපයකට පෙර. මම ඉන්දියාවේ දි සන්නාසියකු ලෙස ඇවිද්දා. බොහෝම දිගට කොණ්ඩයත් රැවුලත් වවාගෙන. බොහෝම අල්පේච්ඡ ජීවිතයක් ගත කළා ‍.

“ඒ එක්දහස් නවසිය හැත්තෑ එකේ අවුරුද්ද. ඉන්දියාවේ ගෙවුණු මගේ හොඳම නත්තල. මම හැම තැනම ගියා. කෝච්චිවලින් ගියේ. ඒ කත්ලික් ස්ටේෂම. කෝච්චිය තියෙන්නේ පාන්දර 2 ට. මම ස්ටේෂමේ නිදිය ගත්තා. රාත්‍රියේ මට එකවරම ඇහැරුණා. වෙලාව රෑ එකොළහට විතර ඇති. මම අවදි වෙලා බලන කොට එළදෙනක් හිටියා. ගොම තිබුණා. ගව මුත්‍රා තිබුණා. ජේසු බිලිඳා උපන්නේත් ගවහලක. මෙතැනත් දුප්පත් මිනිස්සු එක පොදියට එකිනෙකාට ළංවෙලා උණූසුම්ව ඉන්නවා සීතල නොදැනෙන්න. සීතලෙන් බේරෙන්න ගොම පත්තු කරන්න ඔවුන්ට වත්කමක් නැහැ. මගේ ඔලගුවේ පුජා භාණ්ඩ තිබුණා. රාත්‍රි දොළහට මම නත්තල් දේව මෙහෙය ඒ ස්ථානයේදී පැවැත්වූවා. ඔවුන් ගේ භාෂාව හින්දි. මම දේව මෙහෙය පැවැත්වූයේ හින්දි භාෂාවෙන්. දේව මෙහෙය අවසානයේ ඔවුන් මට වැඳ නමස්කාර කළා. මිනිස්සු මට සවන් දුන්නා. අපේ ජීවිතවල තියෙන්න ඔන අල්පේච්ඡතාව. නමුත් මිනිසුන් අද නත්තල කියා සමරන්නේ කුමක්ද? ආගම තිබෙන්නේ මිනිසුන් වෙනුවෙන්. අප භාවනා කළ යුත්තේ මානසික ආතතියෙන් මිදෙන්න නොවෙයි. භාවනා කළ යුත්තේ තණ්හාව ආශාව අතහරින්නයි. ආගම තියෙන්නේ මිනිසා වෙනුවෙන් මිස මිනිසා ඉන්නේ ආගම වෙනුවෙන් නොවෙයි කියන එක මේ සමාජය තේරුම් ගත යුතු සත්‍යයක්. අප අන් අයගේ ආගමට ගරු කළේ නැත්නම් එය හැදැරුවේ නැත්නම් අපට එය නිවැරැදිව වටහා ගැනීමට බැරිව යනවා...” ඇලෝයි පිරීස් පියතුමා පවසයි.

සමාජය වෙනුවෙන් කළ හැකි මෙහෙවර නිහඬව කරන, තම දැනුම බෙදාදෙන ඇලෝයි පියතුමා බොහෝම නිහඬ සරල ජීවිතයක් ගත කරන්නේය.

 

සේයාරූ - ලයනල්. පී. පෙරේරා

(කැලණිය සමූහ)

Comments