නෙළුම් විල | Page 2 | සිළුමිණ

නෙළුම් විල

 සොඳුරු දඬුවම

කාමරයට ඇතුළු වූ හැටියේ ම මගෙ ඇස් උඩ ගියේ ය.

මුනුබුරන් තුන්දෙනා මහා ආරාවුලක ය.

ඇඳේ දිගෑදී සිටි බාල මුනුබුරාගේ දෙපා කඹයකින් ගැට ගසා තිබේ. කඹයේ දෙකෙළවර ලොකු මුනුබුරාගේත්, දෙවැනියාගේත් අත්වලය.

‘අනේ ආච්චියේ, මාව බේර ගන්න!’ බාල මුනුබුරා මා දුටු හැටියේ ම කෑගෑවේ ය.

මම ලණුව ලෙහන්නට හැදුවෙමි. ඒත් ලොකු දෙදෙනා ඊට ඉඩ නොදුන් හ.

මම පිට වී ගොස් පිහියක් ‍ගෙනැවිත් කඹය කපන්නට හැදුවෙමි. ලොකු දෙදෙනා පිහිය ද උදුරා ගත් හ.

මම කේන්තියෙන් කඹය ලිහන්නට හැදුවෙමි. එවිට දෙදෙනා කඹ දෙපොට අත හැර මලයා නිදහස් කළ හ.

මම නඩුව විසඳන්නට වීමි.

‘මොන වරදක් කළාට ද ඔය දෙන්න මේ ළමයව කඹේකින් ගැට ගැහුවෙ?’

‘එයා කෝප්පෙ බින්ද!’

‘කාගෙ කෝප්පෙද?’

‘ආච්චි අම්මගෙ’

‘මගෙ?’

‘ඔව්’

මම සොයා බැලුවෙමි. එය බොරු චෝදනාවකි. කිසිම කෝප්පයක් බිඳ නැත.

දැන් ඉතින් පැහැදිලිව ම දඬුවම් නිය ම කළ හැකි ය.

‘කෝප්පයක් බිඳල නෑ. ඒක ‍බොරු චෝදනාවක්. ඒ තියා ඔය ළමයි දෙන්න මෙයාට දඬුවම් දෙනව මං දෑහින් ම දැක්ක. කෙනෙක් වරදක් කළොත් ඒ ගැන කරන්න තියෙන්නෙ ඉහළට පැමිණිලි කරන එකයි. ගෙදරක නම් වැඩිහිටියන්ට. සමාජයෙදි නම් නීතිය ක්‍රියාත්මක කරන අයට. එහෙම නැතුව තම තමන්ට ඕනැ විදියට කාටවත් දඬුවම් දෙන්න බෑ. එහෙම කරන එක වරදක්’

මුනුබුරෝ ‍තිදෙනා ගල් ගැසී බලාගෙන සිටියහ.

‘දැන් දඬුවම් නියම කරන වෙලාව. මල්ලිට හිරි හැර කිරීමේ වරදට අයියලා දෙන්නට රුපියල් 50 ගානෙ රුපියල් 100 ක් දඩ නියම කරනව. ඔප්පු නූනත් මල්ලිත් වරදක් කරල තියන බව පේන නිසා දඬුවම් ලැබිය යුතු යි. ඒත් එයා දැනටමත් දඬුවම් ලබල තියන නිසා දඬුවම අඩු කරනව. ඒ නිසා එයාට මේ මාසෙ ගෙදරින් වියදමට දෙන ‘පොකට් මනි’ නැති වෙයි. අනිත් දෙන්න තමන්ගෙ දඩ මුදල වැඩිහිටි නිවාසෙකට දෙන්න ඕනැ’

මුනුබුරෝ නිහඬව අසාගෙන සිටිය හ.

‘මේකත් මතක තියා ගන්න! කිසි ම කෙනෙකුට තියා තිරිසන් සතෙකුට වුණත් දඬුවම් දෙන්න බෑ. එහෙම කරල නීතියෙන් බේරුණත් ධර්මයෙන් ‍නම් බේරෙන්න බෑ!’

 

හිඳගොල්ලේ විජිතා මල්පාත මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


කඳුළු කතාව

ඒ දහම් පාසල් දිනයකි‍.

අපේ දහම් පාසල ආරම්භයේ සුපුරුදු මල් පහන් පූජාව ඇරඹිණි.

සිසු දරු දැරියෝ ද ගුරු දෙගුරු ද පෙළ ගැසී සිටියහ.

සිසුවෙක් ඝාණ්ටාව නාද කරමින් සිටියේ ය.

දරු දැරියෝ මල් පහන් සුවඳ දුම් අත ගස්වමින් බුදුන් පිදූහ.

පූජාව අවසන් වෙත් ම ඝණ්ටා නාදය ද නිමා විය.

පිරිස ගාථා කියා ඒ අවසානයේ මෙත් වැඩූහ.

ඉක්බිති එළැඹියේ දරු දැරියන්ගේ කතා වාරය ය. සිසුවකු සහ සිසුවියක කෙටි කතාව බැගින් කළ යුතු විය.

සිසුවා සිය කතාව කළේ ය. ඊට අත්පොළසන් ලැබිණ.

ඊළඟ කතාව කිරීමට කුඩා දැරියක් ඉදිරිපත් වූවා ය. ඇගේ මාතෘකාව වූයේ ‘දෙමාපියන්ට සැලකීම’ යි.

ඇය කතාව පටන් ගත්තා ය. එහෙත් ඉක්මනින් ම ගොළු වූවා ය. යළි වචන ගැට ගැසුවා ය.

“අම්මව තාත්තව බලු කූඩුවෙ දාන දරුවොත් අපේ රටේ ඉන්නව...”

ඇයට ඇඩිණ.

අපි සංවේගයට පත්වීමු.

ඇය දිගටම හඬන්නට වූවා ය.

ගුරුවරියක් ඇය පසෙකට කැඳවා ගෙන ගොස් සැනසුවා ය.

දහම් පාසල ඇරඹිණ. හිමි නම ද ලැගුම් ගෙට වැඩියහ‍.

මම අර දැරිය වෙත ගියෙමි.

“මොකද දුවේ ඔයාට වුණේ?” මම ඇසීමි.‍

ඇය මදෙස බලා තොල් මතුළා ය.

“මට අපේ ගෙදර අම්මවයි, තාත්තවයි, සීයවයි, ආච්චිවයි මතක් වුණා... ඒකයි මට කතා කරගන්ඩ බැරි වුණේ.”

වීණාවක සියුම් තතක් මෙන් සියුම් හැඟීම් ඇති ඒ දැරිය මුහුණ බිමට හරවා ගත්තා ය. අප හෙට දිනට දායාද කළ යුත්තේ මෙබඳු සංවේදී දරුවන් නොවේද?

මම ඇගේ හිස පිරිමැද්දෙමි.

මොරටුවේ, කටුබැද්දේ බෝධිරාජ ඉරුදින දහම් පාසලේ ආචාර්ය ඩඩ්ලි ගෝමස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල

සිළුමිණ,

ලේක්හවුස්,

කොළඹ 10.

Comments