තාර්කා නෞකාව උපසම්පදාව සොයා යයි | සිළුමිණ

තාර්කා නෞකාව උපසම්පදාව සොයා යයි

මෙතෙක් කතාව...

අපි හැල් වී බහුලව වැඩුණු නිසා කට වහරට 'වේහැල්ල' වූ පෙදෙසට ගියෙමු. එම ග්‍රාමයේ ප්‍රභූ පවුලක් වූ බෙත්මේ වලව්වේ දෙටුපුත් 'අප්පුහාමි' 1693දී පැවිදිබිමට ඇතුළත් වූයේ 'වේහැල්ලේ ධම්මදින්න' සාමණේර නමිනි. වැලිවිට සරණංකර හිමිගේ ඇසුරට පත් උන් වහන්සේගේ චතුර ධර්මදේශනය සහ පුස්කොළ පොත් ලිවීමේ හැකියාව හඳුනාගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු තඹ සන්නසකින් සමනොළගිර විහාරය බාර දීම ඓතිහාසික සිදුවීමකි. ධම්මදින්න හිමිගේ කඩවසම් සොහෙ‍ායුරු කෙරෙහි පැහැදුණු රජු ඔහුට 'මුලමොර' නම් ගම්වරය දුන්නේය. අපේ පළමුවැනි පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවර‍යාද වූ ශ්‍රීමත් ෆ්රැන්සිස් මොලමුරේ මහතාගේ පෙළපත පවා ඇරැඹෙන්නේ එවක් සිටය. රට මැද්ද ආක්‍රමණයට ආ ලන්දේසීන් වැළැක්වීමට හා කටුවන සටනටද වේහැල්ලේ පරපුරේ දායකත්වය ලැබිණි. 1707දී බලයට පත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වැලිවිට ශ්‍රී සරණංකර සාමණේරයන් වහන්සේ වෙත අලි-ඇතුන් පිදුවේ උන් වහන්සේ සිංහලෙන් සහ පාලි බසින් මධුර මනෝහර ධර්මදේශනාවක් පවත්වා මිසදිටු බමුණා සෑහීමකට පත් කිරීමත්, 'සාරාර්ථ සංග්‍රහය' මෙන්ම 'භෙසජ්ජ මංජුසා' නමැති පාලි පද්‍ය ග්‍රන්ථයට සිංහල සන්නයක් ලිවීමේ ශාස්ත්‍රීය සේවාවටත් ප්‍රසාදයක් වශයෙනි.

 

සරණංකර සාමණේරයන් වහන්සේ විසින් කරන ලද ශාස්ත්‍රීය සේවය මෙන්ම රජු අවමානයෙන් ගලවාගැනීම සඳහා කළ සුමධුර ධර්ම දේශනයට තිළිණ වශයෙන් අැතකු පූජා කිරීමෙන් පෙනීගියේ රජු බුදු දහම පිළිබඳ දැන සිටි තරමය. එය අකැප යැයි ප්‍රතික්ෂේප කළ පසු ඒ හා සරිලන ත්‍යාගයක් ලෙස අලි-සමක්කට්ටුවක් පූජා කිරීමට රජු කටයුතු සූදානම් කළේය. එයද නොඉවසූ සාමණේර හිමියන් වෙත පැමිණි රජ “ඔබ වහන්සේ කළ සේවයට මා දෙන රාජකීය තිළිණ බාර නොගන්නේ නම් කුමන පඬුරකින් මා ඔබ වහන්සේ පුද කළ යුතු වන්නේද?” කියා විමසුවේය. එවිට සරණංකර හිමියන් වදාළේ “පෞද්ගලික ලාභ ප්‍රශංසා නොව, මේ රටේ පරිහානියට පත් බුද්ධ ශාසනය නැවත පිහිටුවීමටත්, නටබුන්ව ගිය බෞද්ධ පූජනීයස්ථාන ප්‍රතිසංස්කරණයටත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව කටයුතු කරන්නේ නම් එය මට ලබා දෙන වටිනාම ත්‍යාගයයි” යනුවෙනි.

එයට කටයුතු සූදානම් කිරීමට සිතේ තිබුණද රෝගාතුරව සිටි රජු ඊට පෙර කාලක්‍රියා කළේය. පසුව රජුගේ බිසවගේ බාල සොහොයුරා 1739 මහනුවරදී රජ වූයේ ශ්‍රී විජය රාජසිංහ නමිනි. ඔහුද ඉන්දීය ජාතිකයකු වුවද බුදු දහම වැලඳගෙන මිසදිටු පරංගීන් පලවා-හරිමින් සාමකාමී ලෙස රට පාලනය කළේය. ඒ රජු සරණංකර හිමියන්ගෙන් ඉල්ලා සිටියේ සතර බණවර හෙවත් පිරිත් පොතට සිංහල භාව සන්නයක් ලියන ලෙසයි. එමඟින් ඒ වන විට ගිහියන් මෙන්ම පැවිද්දන් බොහෝ දෙනා අතර ප්‍රචලිතව තිබූ බලි- තොවිල්, යාග-හෝම, දොළ-පිදේනි, පෙරේත තටු ආදි දෑ පිළිබඳවත් යක්ෂ, ප්‍රේත, භූතාදීන් පිළිබඳවත් තිබූ විශ්වාසය වෙනස් කර පිරිත් දේශනා ක්‍රම දිවයිනේ සතර දෙස පතළ කිරීම එහි අරමුණ විය. පිරිසුදු බුදුදහම ප්‍රතිස්ථාපනය සඳහා අයෝධ්‍යාවෙන් උපපසම්පදාව රැගෙන ඒමට දෙවරක් දූතයන් යැවුවද ඒ බොහෝ දෙනකු මුහුදුබත් වූ අතර, සමහරු සතුරු උවදුරුවලට ලක් වූහ. ඒ රජුගේ මරණමංචකය තෙක් උත්සාහය සාර්ථක වූයේ ද නැත.

විජය රාජසිංහ රජු කාලක්‍රියා කළ පසු 1747දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලෙස අභිෂේක ලැබු‍වේ හිටපු රජ බිසවගේ සොහොයුරාය. ඔහු අබෞද්ධයෙකැයි කීමට නොහැකි තරම් ශාසනික සේවයක් කළ අතර අවසානයේ සිංහල බෞද්ධයකු බවටද පත් විය. වැලිවිට සරණංකර සාමණේර හිමියන්ගේ උපදේශයෙන් බොහෝ වෙහෙර විහාර පිළිසකර කිරීම පමණක් නොව සියලු පැවිදි උතුමන්ගේ අවශ්‍යතා සොයා බලන මට්ටමේ කටයුතු පවා ඔහු කළේය.

මේ අතර යළිත් අයෝධ්‍යාපුර ධාර්මික නම් අගරජු වෙත දූතයන් පිරිසක් යළි පිටත් කිරීමේ තීරණයටද පැමිණියේය. ඒ සඳහා සුදුසුකම් ඇති පිරිසක් තෝරාගැනීම පළමු කටයුත්ත විය. විල්බාගෙදර මුහන්දිරම් සහ ආයිත්තා ලියැද්දේ මුහන්දිරම් ඇතුළු පස් දෙනාට අයත් වූ අන් පිරිස වන්නේ පට්ටිපොළ රටේ මහතා, ඇල්ලේ පොළ මොහොට්ටාල සහ ඊරියගම නිලමේය. භාෂා ඥානය සහිත මොවුන් අත යැවීම සඳහා රාජකීය මට්ටමේ හසුන් පත් හා පුදපඬුරු සූදානම් කිරීම රජතුමාගේ අනුග්‍රහයෙන්ම සිදු කෙරිණි. ඊළඟට අවධානය යොමු කළ යුත්තේ සුදුසු නැවකින් ගමන පිටත් වීමයි. සැප පහසුකම්වලින් අනූන මෙන්ම ගමන සුරක්ෂිත තාර්කා නැව ඒ සඳහා ලන්දේසි ආණ්ඩුකාරයාගෙන් ලබා ගැනීමට රජ, ඇමති මෙන්ම සරණංකර හිමි ඇතුළු උභය පාර්ශ්වීය සාමණේරවරුන්ගෙන් සැදුම්ලත් කමිටුව සමත් විය.

මහ සාගරය කෝප නොවන කාලගුණික තත්ත්වයක් බලා නැව දියත් විය. දින කීපයකින් අයෝධ්‍යාව බලා යන පිරිස නිරුපද්‍රැතව සියමට ගොඩබටහ. රාජකීය පුද-පඬුරු දැක මහත් සතුටට පත් ධාර්මික රජ සහ සියමේ සඟරජු හසුන්පත්වල සඳහන් කරුණ දැක තවතවත් ප්‍රීතියෙන් උද්දාමයට පත්විය. වහවහා සිංහල ද්වීපයට උපසම්පදාව ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර එයට සුදුසුම භික්ෂුව වූ උපාලි තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් තවත් භික්ෂූන් විසි එක් නමක් සහ පරිවාර සාමණේර අටනමක්ද කැපකරුකමට ඇමතිවරු දෙදෙනකුද සියමේ සිට නැව් නැංවීමට කටයුතු යෙදිණි. ඒ බුද්ධ වර්ෂයෙන් 2295ක් වූ ඉල්මස පුර පෑළවිය ලත් ගුරුදාය.

මතු සබැඳේ...

 අරුණි මුතුමලී

 

 

 

Comments