
අලුත් ඉරක්, අලුත් දවසක්. ජීවිතය අලුත් විදිහට ගෙවන්න ඔබත් ආසා ඇති. අපි බොහෝ දෙනෙක් සතියේ දවස් පහට අමතරව හය වැනි දිනටත් වැඩ රාජකාරි කරලා, වාහන තදබදයේ පැය ගණන් සෙයිලමේ, පාරේ රස්තියාදු වෙලා ඩිංගක් නිදහසේ ඉන්න ඉරිදා දවස අද. ඉතින් විනාඩි පහක් වැය කරලා පුංචි දෙයක් කරමු. ජීවිතේ ලොකු සතුටක් දැනෙන්න ගනීවි. හැමදාම පේන ඇහෙන දේවල් ඔහේ තිබියදී, ඇස් දෙක පියාගෙන පරිසරයේ ඇහෙන ශබ්දවලට හොඳට කන් යොමන්න. ළඟින් වගේම ඈතින් ඉමිහිරි නාද පෙළක් ඇහෙන බව ඔබට දැනේවි. මේවා ඊයෙත්, පෙරේදාත්, හැමදාමත් තිබෙන්න ඇති. ඒත් වැඩ වැඩි නිසා ඇහෙන්න නැතුව ඇති. අපේ ජීවිතයේ සතුට වෙනුවෙන්, අපේ සිතේ මෙන්ම ගතේ සනීපය, සහනය වෙනුවෙන් මොහොතක් වැය කළාට පාඩුවක් නෑ. අහන් ඉන්න කොයි තරම් දේවල් ඒ ශබ්ද අතර තිබෙනවාද?
කීචි-බීචි ගාන පොල්කිච්චන්, බට්ටිත්තන්, දෙමළිච්චන්, සූටික්කන්, කොණ්ඩ කුරුල්ලන්, ගස්වලට කොටන කොට්ටෝරුවන්, මයිනන්, ගිරවුන්, කහ කුරුල්ලන්, පිළිහුඩුවන්, අවුරුද්දට කලින් කොහෝ කියන කොවුලන්, නිල් මහ ගොයන් කී දෙනකුගේ මිහිරි ගීත, උරුවම් නාද අප වෙනුවෙන් උදේ පාන්දර මේ සොබා දහම අපට දායාද කර තිබෙනවාද කියා ඔබට මතක් වේවි.
ඇත්තම කීවොත්: වෙල් යායක් අද්දර තිබෙන අපේ ගෙවත්තේ නම් විවිධ කුරුල්ලන් වර්ග තිහක් පමණ දැකගන්න පුළුවන්. පීත්ත හොරුන්, මැසිමාරාවන් පිටරටවලින් පැමිණෙන කොකුන් වර්ග වැනි සංචාරක කුරුල්ලන්ගේ රැඟුම් අතින් මේ කාලේ විශේෂයි.
සොබාදහමට අයිති අප සොබාදහමෙන් වියුක්තව තාක්ෂණය කරපින්නාගෙන මුහුණු පොතේ එබීගෙන ජීවත් වන කාලයෙන් මොහොතක් ඇසැ'ර අවට බැලුවොත් ඔබේ වට-පිටාවෙත් මේ සොඳුරු-මිහිරි ගීත, නැටුම් පිරිලා ඇති. ඔබේ මුහුණු පොතට වුණත් හුරතල් කුරුලු මුහුණු එක් කර, ඒ ගීතයක්, රැඟුමක් සමඟ වෙනස් අයුරකින් සුබ පැතුමක් යහළුවන්ට 'ෂෙයා කරන්න' කිසිම කුරුල්ලෙකුගෙන් බාධාවක් නෑ.
මෙහෙම කියද්දී මට තවත් දෙයක් මතක් වුණා. ඔබ සැබැවින්ම කුරුල්ලන් ගැන අධ්‍යයනය කරන්න කැමැති කෙනකු නම්, ඔබේ දූ-දරුවන්ට කුරුල්ලන් ගැන දැනුමක් අවබෝධයක් මෙන්ම වින්දනයක් ලබා දෙන්න කැමැති කෙනකු නම් කුරුලු කයියට එක් වන්න. ඒ ගැන මට මතක් කළේ මාලක රොද්‍රිගු මිතුරා.
'කයියක්' - ඒ කියන්නේ 'කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩක්' - කියන අර්ථයෙන් තමයි 'කුරුලු කයිය' සංවිධානය වෙන්නේ. කුරුල්ලන් සහ උන්ගේ ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීමේ අරමුණින් ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය මඟින් මෙය සංවිධානය කර තිබෙනවා. තලවතුගොඩ තෙත් බිම් ආශ්‍රිතව තමයි කුරුල්ලන් නැරැඹීමේ ක්‍රියාකාරකම් රැසක් සිදු වන්නේ. ලබන සෙනසුරාදා හා ඉරිදා - ඒ කියන්නේ 16-17 උදේ 7.00 සිට 5.00 දක්වා කුරුලු කයියේදී කුරුල්ලන් හඳුනාගැනීම, ලංකාවේ ආවේණික කුරුල්ලන් සහ නිහැරි කුරුල්ලන්ගේ ලක්ෂණ, උන් අපේ රටට පැමිණෙන කාල, උන්ගේ චර්යා රටා ආදිය පිළිබඳ දේශන වගේම, වනජීවි ඡායාරූපකරණය පිළිබඳවත් කතා-බහ රැසකට මේ දින දෙකේදී සහභාගී වන්න පුළුවන්.
අක්කර 60ක් පුරා පැතිරුණු 'දියසරු උයනේ' මේ දිනවල සංචාරක කුරුල්ලන් මෙන්ම දේශීය කුරුල්ලන්ද වර්ග පනහක් පමණ දැකගන්න පුළුවන්. ඒ වගේම සමනලුන් වර්ග 25ක්, මාළුන්, බත් කූරන් වැනි සතුන්ද මේ තෙත් බිමේදි දකින්න ලැබෙනවා. පාර්ලිමේන්තුව අසල පිහිටන නිසා සොයාගන්නත් අපහසු නෑ. සංවිධායකයන් විසින් වනජීවීන් නැරඹීමට අඩි පාරවල් දිගේ යන අය සඳහා මඟ පෙන්වන්නන් යෙදීමට කටයුතු කර ඇති නිසා නවක අයටත් පහසුවෙන් සතුන් නැරඹීමට හැකියි. දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ දක්ෂතා සඳහාද අවස්ථාවක් ලබා දෙන අටියෙන් ඒ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ පක්ෂි විද්‍යා අධ්‍යයන කවයට බාර දෙන ලෙසත් සංවිධායකයන් දැනුම් දෙනවා.
පසුගිය වසර හතළිහක් පුරා ලංකාවේ විශ්වවිද්‍යාල මඟින් කුරුල්ලන් පිළිබඳ කරන ලද පර්යේෂණ ගැන උනන්දුවක් දක්වන අයටත් මෙය කදිම අවස්ථාවක්. කොළඹ විශ්වවිද්‍යාලයේ පක්ෂි අධ්‍යයන කවය ලොව වඩාත්ම පැතිරුණු කුරුලුජීව ජාත්‍යන්තරය (Bird-life International) සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජනයයි. විදෙස් කුරුලු සංරක්ෂණ සංවිධාන කිහිපයක් කුරුලු කයියේ ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරන අතර අන්තර්ජාලය ඔස්සේ විදෙස් කුරුලු සංවිධාන සහ කුරුලු විශේෂඥයන් කිහිපදෙනකු සමඟ සම්බන්ධ වීමේ හැකියාවද කුරුලු කයියට සහභාගී වන අයට ලැබෙන මහඟු අවස්ථාවක්. www.kurulukaiya.wordpress.com සහ 0112-592609/0718440144 මඟින් විස්තර දැනගන්න පුළුවන්. මේ හැමදෙයක්ම නොමිලේ නිසා අපට තිබිය යුත්තේ ආශාවත් උනන්දුවත් පමණයි.
කොහොම වුණත් මේ කාලේ කුරුල්ලන් බොහොම ජයට දකින්න ඉන්න නිසා අඩුම තරමේ තමන්ගේ වත්ත-පිටිය කුරුල්ලන්ගෙන් කොයි තරම් සරුසාරද කියා ඔබම තක්සේරු කරන්න. මුහුදු හතක් තරණය කර එන ඇතැම් කරුල්ලන් ඔබේ වත්තේ වෙහෙසට පත්ව ඉන්න අවස්ථා ඔබ හොඳින් බැලුවොත් දකින්න ලැබෙයි. ඒ නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. දුර-කතර ගෙවාගෙන එන ඒ අයගේ පුංචි තටු රිදෙනවා ඇති; හුඟක් මහන්සි ඇති; පිපාසාවෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ නිසා එහෙම අය හිටියොත් බේරාගන්න නම් ඔබ සොබාදහම ගැන තරමක් හෝ අවධානයෙන් ඉන්න වෙනවා.
උදේට වගේම රෑටත් ඇස් පියාගෙන ඇහුවොත් බස්සන්, නියං කොබෙයියන් වගේම රැහැයියන් ගැන වුණත් අලුතෙන් හිතන්න අපට පුළුවන්. ඒ නිසා තමන්ගේ ගෙදරම ඉඳන් සොබාදහම සමඟ මොහොතක් එකාත්මික වී බලන්න: කලබලකාරී දේවල් සමඟම ගැටෙමින් අප විහින් විඳවන්න පුරුදු වී ඇති ජීවිතේ කොයි තරම් සොඳුරු වින්දනීය එකක්ද කියලා.
කුරුලු සේයාරූ - තුසිත ලොකුගේ