දෑස් අඳ වුණත් අැෙග් සිතේ සවිය දැඩි වෙතේ | සිළුමිණ

දෑස් අඳ වුණත් අැෙග් සිතේ සවිය දැඩි වෙතේ

ජීවිතයේ අනේක දුක් විඳි ඇය තනිය ම නැඟී සිටින්නට උත්සාහ දැරුවාය. කාෂ්ටක පොළොවත් අනුකම්පා විරහිත අවු රශ්මියත් සාපයක් කර නොගත් ඇය තමාට උරුම වූ බොහෝ දේ ආශිර්වාදයක් කොට ගත්තාය. නොයෙකුත් ශාරීරික ආබාධ පරදවා සිත පුරා දිවෙන ශක්තිය පන්නරයක් කොට ගත් ඇගේ එකම බලා‍පොරොත්තුව තම එක ම පුතු රජෙකු කරන්නටය. ඇය නමින් කේ. කේ. කුසුමාවතී මැණිකේය.

මේ දිරිය මාතාව අපට හමුවන්නේ අඹන්පොළ ඇහැටුවැව මාර්ගයේ අබකොළවැව මංසන්ධියේ දී ය. “කුසුමක්කා” ලෙස ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ ඇයගෙන් ප්‍රදේශයේ ගනුදෙනු නොකළ අයෙකු නැති තරම්ය.

අංක 114/බී, වෙලේ නිවස, අබකොළවැව ලිපිනයේ පදිංචි 51 වියැති කුසුමක්කා තම ජීවනෝපා ලෙස එළවළු විකිණීම සිදු කරයි. ඒ තම නිවෙසට කි‍ලෝමීටර බාගයක් දුරිනි. පොල්අතු සෙවිලිකර සාද ගත් තාවකාලික මඩුවක තම වෙළෙඳසල පවත්වාගෙන යන්නේ වසර දහයක් තරම් කාලය සිට බව ඇය පැවසුවාය. කතා කිරී‍මේ අපහසුතාවෙන් පෙළෙන ඇයගේ දෑස් පෙනෙන්නේ ද නැත.

ඇය ජීවත් වන්නේ එළවළු වෙළෙඳාමෙනි. දෑස් නොපෙනුණත් ඇය නූලට ගනුදෙනු බේරන්නීය.

“අවුරුදු ගාණක් සල්ලි අතගාලා මට ඉව තියෙනවා. අනික මගෙ අසරණකම දකින කිසි මිනිහෙක් මට වංචා කරන්නෙ නෑ, මට යන්තම් ඡායාව පේනවා.”

“මට අවුරුදු 26 දී මොළේ ගෙඩියක් කියලා ඔපරේෂන් කරන්න සිදුවුණා. එතැන ඉඳලා තමයි මට මේ වින්නැහිය වුණේ. මම විවාහකයි. මගෙ මහත්තයා යුද හමුදා සෙබළෙක්. ඔහු අසනීප තත්වයෙන් ඉඳල මිය ගියා.”

සැමියා මිය ගිය ඇයට දැන් ඇත්තේ ඇගේ දෑතේ පිහිට පමණි.

“මම විවාහ වෙද්දි එයා විශ්‍රාම අරන්. ඒ නිසා මට එයාගෙ කියලා කිසිම දෙයක් ලැබුණේ නෑ. මට ඒ ගැන දුකක් නෑ... පුතා මේ ස‍ැරේ උසස් පෙළ ලිව්වා. එයත් මගෙ වැඩවලට දැන් සහයෝගය දෙනවා. අපේ දෙමවුපියො ගොවිතැන් කරපු අහිංසක මිනිස්සු. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. නමුත් උසස් පෙළ කරන්න තරම් මිල මුදල් තිබුණේ නෑ. ඒ නිසා පාසල් ගමන එතැනින් නතර වුණා. ජීවිතේ හැටි ඔහොම තමයි... මම පුළුවන් කාලයක් මේ රැකියාව කරනවා.. මට මේ පොල් අතු මඩුව වෙනුවට ස්ථිර කඩකාමරයක් හදාගන්න උදව්වෙන්න පුළුවන් නම් හොඳයි.”

ඇය දෑසේ නැඟි කඳුළු කැට කීපයක් පිස දමමින් කීවාය.

ජීවිතයේ විවිධ අභියෝග ඉදිරියේ කඩා වැටෙන මිනිසුන් අතර කුසුමාවතී දිරිය කාන්තාවකි.

අඹන්පොළ සමූහ
ගාමිණී විජේරත්න 

Comments