
මෙරට ප්‍රථම වරට ඉදි වන ප්‍රතිමා 1031ක විහාර කර්මාන්තය
තුරු මුදුන්වල හා ලිය ගොමු අතරේ සිට හඬ නඟන ගිරා මයින මලිති කොබෙයි ආදි සියොතුන්ගේ කන්කලු ගී රාවය දසත ඇසේ. ලේනුන් රිළවුන් වඳුරන් තුරු මත සරන්නේ නිස්කලංක පරිසරයේ නිදහස් සුව නොමදව විඳිමිනි. අභය දානය ලැබ මේ තපෝ වනයේ සරන සියොත් රෑන් හා නේක සිවුපාවුන්ගේ දසුනින් නෙත් පිනවෙද්දී අසබඩින් ගලා බසින කලා ඔය පිස හමන සිහිල් මදනල ගත විඩා සන්සිදුවන්නේ සිත ද සුවපත් කරමිනි. තඹුත්තේගම, අධිරාණිගම පුරාණ වෙහෙරගල රාජමහා විහාරස්ථානයේ ප්‍රවේශ දොරටුව මම මොහොතක් නැවතී හිඳිමි. එතෙක් මෙතෙක් මෙසිරිලක සිදුනොවූ විහාර කර්මාන්තයක ඉදිකිරීම් මෙපින් බිමේ ආරම්භ වී තිබේ. ඒ වග සියැසින් දැක ඇති තතු විමසීම අපගේ අරමුණ විය.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී තෙමසක් ගතවූ කල්හි තව්තිසා දිව්‍ය ලෝකයේ වැඩ සිටින මාතෘ දිව්‍ය පුත්‍රයාට විජම් පිටකය දේශනා කර, රන් ඉණිමගකින් දඹදිව සංකස්ස පුරයට වඩින අවස්ථාව සිහියට නැගෙන අන්දමින් 27 රියන් චෛත්‍ය රාජයාණන් සමග 18 රියන් සම්බුද්ධ ප්‍රතිමාව, හතර රියන් රහතුන් වහන්සේ දහස් නමකගේ ප්‍රතිමා සහ හත් රියන් දේව ප්‍රතිමා තිහක් යනාදි වශයෙන් ප්‍රතිමා 1031 කින් සමන්විත වන සේ දම් සභා මණ්ඩපය නිර්මාණය කිරීම මේ විහාරස්ථානයේ සිදුවන අලුත්ම විහාර කර්මාන්තය වෙයි.
මේ සා ප්‍රතිමා වහන්සේ ප්‍රමාණයක් සහිතව විහාර කර්මාන්තයක් මෙසිරිලක සිදුවන ප්‍රථම අවස්ථාව මෙය බව විහාරාධිපති ප්‍රියංකරගම සුමනවංශ හිමියෝ සඳහන් කළහ.
පුෂ්පාසන, ප්‍රධාන දොරටුව, බෝධි බැම්ම, සාංචි තොරණ, ඇත් පවුර සමග වලාකුළු බැම්ම, විහාර උද්‍යානය, ආලෝක පද්ධතිය, ජල නළ පද්ධතිය, වැසිකිළි කැසිකිළි පද්ධතිය, විවේක ස්ථාන, රථගාල මෙන්ම පිරිසුදු කිරීමේ සැලැස්මක් ද සහිතව මෙම විහාර කර්මාන්තය සිදුවෙමින් පවතී. විහාරාධිපති සුමනවංශ හිමියන් පැවසුයේ මේ සියලු ඉදිකිරීම් සදහා රුපියල් ලක්ෂ 750 ක ඇස්තමේන්තුගත වියදමක් දැරීමට සිදුවෙතැයි ගණන් බලා ඇති බවය. මෙම සියලු වියදම් දෙස් විදෙස් සංවිධාන සහ දානපතීන්ගේ පරිත්‍යාග මගින් පියවා ගැනීමට අපේක්ෂිත බව ද සුමනවංශ හිමියෝ පැවසූහ.
මේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ ඉකුත් 2016 වර්ෂයේ අගෝස්තු මාසයේදීය. ඉදිකිරීම් දෙවසරකදී නිමවා සැදැහතුන්ගේ වන්දනාමානය සඳහා ඉඩහසර සැලසීම අපේක්ෂාව බව විහාරාධිපති හිමියෝ පවසති.
මෙම විහාර බිමේ ඓතිහාසික පසුබිම පිළිබඳ උන්වහන්සේ අප හා කරුණු පැහැදිලි කළහ.
“මේ පන්සල පුරාණ රජමහා විහාරයක්. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ පටන් පවතින විහාරස්ථානයක් ලෙසයි ජනප්‍රවාදයේ කියැවෙන්නේ. ඒ කාලේ ඉදි කෙරුණු චෛත්‍යයක නටබුන් අදටත් තියෙනවා. ගල්කණු, සිරිපතුල් එහෙම තවමත් ඉතුරුවෙලා තියෙනවා. කාලෙත් එක්ක වල්වැදී තිබූ පන්සල නැවත ආරම්භ කෙරුණේ මීට අවුරුදු හැත්තෑවකට විතර කලින්. ඩී.එස්. සේනානායක මහත්තයා අගමැති කාලේ මේ අධිරාණිගම ගමට මායිම් වෙලා තියෙන කටියාව ජනපදය පටන් ගත් අවදියේ මේ පන්සලත් ආපහු පටන් අරගෙන තියෙනවා. එදා පටන් මේ වනතුරු පන්සල ගැන ලොකු අවධානයක් යොමු වුණේ නෑ. දැන් මේ විහාර කර්මාන්තයේ ආරම්භයත් එක්ක මේ මුළු පළාත ගැනම විශේෂ අවධානයක් යොමු වෙලා. ”
මෙම විසල් විහාර කර්මාන්තයට පාදකව ඇති ඓතිහාසික වෙහෙරගල රජමහා විහාරය අනුරාධපුරයේ, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 397 ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ, අධිරාණිගම ගම් මායිමේ පිහිටා ඇත. තඹුත්තේගම නගරයේ රැජන හන්දියේ සිට එප්පාවල මාර්ගයේ කිලෝ මීටර් 08 ක් පමණ පැමිණි විට අධිරාණිගම ගම්මානය හමුවේ. එතැන් සිට දකුණු දෙසට යොමුව ඇති තාර අතුළ මාර්ගයේ කිලෝ මීටර් 03 ක් පමණ ගිය තැන වෙහෙරගල පුරාණ රජමහා විහාරස්ථානය හමුවේ. මෙහි විශේෂත්වය වන්නේ අක්කර 30 ක පමණ වපසරියකින් යුතු ගල් තලාවක් පුරා රජමහා විහාරස්ථානය විහිද පැතිර තිබීමයි.මෙම විහාරස්ථානයේ පුරාවිද්‍යා නටබුන් අතර සෛලමය ප්‍රතිමා, සිරිපතුල්, ඔළිඳ පෝරු, පුරාණ සෙල් ලිපි, ගරා වැටුණු චෛත්‍ය ආදිය දැකගත හැකිය.
රජමහා විහරස්ථානයේ දායක ගම්මාන හතකි. එම ගම්මානයන්හි දායක පවුල් 1000ක් පමණ දෙනා විහාරස්ථානය ඇසුරේ දන් පිංකම්වල යෙදී සිටිති. අධිරාණිගම, ප්‍රියංකරගම මෙන්ම කටියාව ගොවි ජනපදයේ ගම්මාන කිහිපයක් මෙසේ විහාරස්ථානයට දායකව පවතී.
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ කටියාව ගොවි ජනපදය දශක හතක් ඇවෑමෙන්අද ද මිහිලියට පෙම්බැන්දවුන්ට මනා තෝතැන්නක් වී ඇත්තේය. මේ ප්‍රදේශයේ ප්‍රධාන වගාව වී වගාවය.
කෙසෙල් වගාව කෙරෙහි ද ඇත්තේ යහපත් නැඹුරුවකි. එළවළු, බඩඉරිඟු, සෝයා, උඳු ආදිය ද මෙහි ගොවීන්ගේ අතමිට සරු කිරීමට හේතුවී ඇත. යහමින් ඵල බරවූ ගෙවතු ද මෙහි දුලබ නොවේ.
මේ භූමියේ ඓතිහාසික පසුබිම දුටුගැමුණු රජදවස දක්වා දිවයන්නක් බව සඳහන් වේ. ඒ සඳහා සාක්ෂි සපයන ඓතිහාසික මුලාශ්‍රය රැසකි.
කටියාව යන නම පිළිබඳ ද ජනප්‍රවාද කිහිපයකි. මෙහි හදවත ලෙස පවතින විසල් කටියාව වැව දුටුගැමුණු රජුගේ කතී නම් බිසවගේ නමින් නම් කිරීම හේතුවෙන් කතී වැව පසුකාලීනව කටියාව නමින් ව්‍යවහාරයට පැමිණි බව පැවසේ. කතී බිසව දුටුගැමුණු රජුගේ මව වන විහාරමහා දේවිය වඩාත් ඇලුම් කළ තැනැත්තියක බව ද ජනප්‍රවාදයේ කියැවේ. එසේම කඨින පින්කම් දිනකදී විහාරමහා දේවිය විසින් වැව සඟ සතු කොට පුජා කළ බැවින් කටියාව යන්න ව්‍යවහාරයට පැමිණි බව තවත් තැනෙක පැවසෙන්නකි. විහාරමහා දේවියගේ යැයි අනුමාන කෙරෙන නටබුන් වූ ඉපැරැණි සෛලමය ප්‍රතිමාවක් වෙහෙරගල රජමහා විහාර භුමියේ අද ද දැකගත හැකිය.