වැසී යෑමට නොදී රැකගත් පුංචි අපේ රෑ ඉස්කෝලේ | සිළුමිණ

වැසී යෑමට නොදී රැකගත් පුංචි අපේ රෑ ඉස්කෝලේ

දරුවන්ගේ මනෝභාවයන් දියුණූ කිරිම වෙනුවෙන් ධනාත්මක වැඩ සටහන් රැසක් පාසලේ ක්‍රියාත්මක වෙනවා. දරුවන් පමණක් නොවෙයි මෙයට දෙමවුපියන්ද සහභාගි කර ගත්තා. පාසලේ සියලු කටයුතු කෙරෙන්නේ ගුරු දෙමවුපිය හා දරුවන්ගේ ද අදහස් විමසලා පොදු එකඟතාවකින්. පාසලේ දියුණුවේ රහස එයයි. පාසල අපිට අපේ ගෙදර වගේ. අපි උදේ 6.30 වන විට පාසලට එනවා. පාසල අවසන් වී ගෙදර ගොස් යළිත් එනවා. සවස හය වෙද්දී රාත්‍රී පාසල ආරම්භ වෙනවා. අපි රෑ පාසලේ දී ගණිතය, විද්‍යාව හා ඉංග්‍රිසි මෙන්ම වෙනත් අමාරු විෂයන් ඉගෙන ගන්නවා. රෑ පාසල අපට අලුත්ම අත්දැකීමක්. අපේ පන්තිවල ළමයි රැසක් මේ පාසලට එනවා.

උතුරේ සිටියත් දකුණේ සිටියත් පාසල් දරුවන් කොයි කවුරුත් උදේ අවදි වෙන්නේ එකම බලාපොරොත්තුවකිනි. ඒ උදෑසන පාසල් යන්නටය. උදෑසන මෙලෙස කිරිකොකුන් රෑනක් සේ පාසල් යන දරුවන් කෙතරම් සොඳුරු දසුනක්ද. පාසලේ පන්තියේ විෂය කරුණු ඉගෙන ගනිමින් බාහිර ක්‍රියාකාරකම්වල නියැළෙමින් මේ දරුවෝ දවස ගෙවා දමන්නාහ. පාසල අවසානයේ සුපුරුදු හෝරාවේ ඔවුහු මිටින් මුදාහළ කුරුල්ලන් සේ නිවෙස් බලා යති. නගරයේ නම් පාසලෙන් ගෙදර එන දරුවා හැන්දෑ වරුව ගත කරන්නේ එක්කෝ අතිරේක පන්තිවලය. නැතිනම් රූපවාහිනිය ඉදිරියේය. නමුදු දවසට දෙවරක් ඉස්කෝලේ යන මේ දරුවන් අපට හමු වන්නේ දකුණු පළාතෙනි. කොළඹින් බොහෝ දුර බැහැර දකුණු පළාතේ කණුමුල්දෙනිය උතුරු නවෝද්‍යා පාසලේ දරු දැරියෝ සවස හයෙන් පසු යළිත් පාසල් යන්නෝය. ඒ යන්නේ කෙසේ හෝ හෙට දවස ජය ගන්නේය යන තිර අධිෂ්ඨානය සිත්හි දරාගෙනය.

හිරු බැස ගොස් ගම අඳුරේ ගිලී යද්දී මේ දරුවන් සිය රාත්‍රි පාසල වෙත පැමිණෙන්නේ සිනහ මුසු මුහුණිනි. තෙහෙට්ටු ගතියක් හෝ දිවා කල වෙහෙසී දවසේ වෙහෙසකාරී බවක් ඒ මුහුණුවල දකින්නටවත් නැත. දෙමවුපියන්ද දරුවන් මෙන්ම ප්‍රබෝධමත්ය. උදේටත් ඉස්කෝලේ යන රාත්‍රියටත් ඉස්කෝලේ යන මේ දරුවන්ගේ කතාව මෙන්ම ජීවිත ද හරි අපූරුය.

වැසී යෑමට ඔන්න මෙන්න කියා තිබූ කණුමුල්දෙනිය උතුරු නවෝද්‍යා පාසලේ රාත්‍රී පන්ති ඇරැඹෙන්නේ මිට වසර කිහිපයකට පෙරය.

සැන්දෑ යාමයේ සුදෝ සුදු වතින් සැරසී දරුවන් තක්සලාවක් වෙත ගමන් කරනු දැකීම අපට පුදුමයක් වුවද මේ ගමට නම් එය අරුමයක් නොවන්නේය. සවස පාසල් ගමනේ නියමුවන් වන්නේ ගුරුවරුන්ය.

කණුමුල්දෙණිය පාසලේ විදුහල්පතිවරයා වන එච්. චන්ද්‍රසිරි මහතා ඇතුළු ගුරු මඩුල්ල උදෑසන 6.30 වෙද්දී පාසලට පැමිණ පාසලේ වැඩ කටයුතු ආරම්භ කරයි. පාසල අවසන් වන්නේ අනෙකුත් පාසල් නිම වන වේලාවටමය. එහෙත් විද්‍යාලයේ වැඩ කටයුතු එතැනින් අවසන් නොවේ. අඳුරු වැටී ගෙන එද්දී සිසුන් එකා දෙන්නා යළි පාසල වෙත පිය නගන්නේ පාසල් බිමට යළි ජීවයක් එක් කරමිනි. මහ වැසි ඇ‍ද හැළුණද ඒ පාසල් ගමනේ වෙනසක් නොමැත. පස්වරු 6.30 වෙද්දී දරුවන් යළි පාසල වෙත පැමිණෙන අතර මවුපියෝද ඇතැම් අවස්ථාවල දරුවන්ගේ තනිනොතනියට පැමිණෙති. සඳ එළිය පොළොව සිප ගන්නා මොහොතේ සුදෝ සුදු වතින් සැරසුණු දරුවන්ගේ හඬින් මුළු පාසලම එළිය වෙයි.

රාත්‍රියේ පාසල පැවැත්වීමේ මුල් අදහස විදුහල්පතිවරයාගේය. අනතුරුව ගුරුවරුද ඊට සහයෝගය දැක්වුහ.

“මේ පාසල වැසී යන්නට තිබුණු පාසලක්. මා පාසලට පැමිණි පසු පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම විෂය පරිබාහිර කටයුතු දියුණු කරන්න නව ක්‍රමවේද කීපයක්ම ආරම්භ කළා. ඇතැම් අවස්ථාවල දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සම්පූර්ණ කරන්න සාමාන්‍ය පාසල් කාලය මදි බවක් මා ඇතුළු ගුරුමණ්ඩලයට තේරුණා. එනිසා ගුරු මණ්ඩලය අප සැම එක්වී පාසලේ නව ඉගැනුම් රටාවක් නිර්මාණය කළා.

මේ පළාතේ ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන පිරිසක්. වී හා කුරුඳු වගාව ඒ අ‍යගේ ප්‍රධාන ආදායම් මාර්ගය. ඉන් වැඩි දෙනකුට තමන්ගේ දරුවන් අමතර පන්ති යවන්න ආර්ථික ශක්තියක් නෑ. අප මෙලෙස අමතර පන්ති පවත්වා ළමයින්ට ඉගැන්වීම ඒ දරුවන්ට වගේම දෙමවුපියන්ටත් ලොකු සහනයක්.

මා පළමුවෙන්ම කළේ මූලික වශයෙන් දරුවන්ගේ මනෝභාවයන් දියුණූ කිරිම වෙනුවෙන් ධනාත්මක වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමයි. දරුවන් පමණක් නොවෙයි මෙයට දෙමවුපියන්ද සහභාගි කර ගත්තා. එම වැඩ සටහන් දැනටත් ක්‍රියාත්මක කෙරෙනවා. ඇත්තෙන්ම පාසලේ දියුණුවේ රහස එය ලෙස හඳුන්වන්න පුළුවන්. අපි ගුරු මණ්ඩලය කිසිදු අවස්ථාවක දී පිල් බෙදිලා නැහැ. ගුරු මණ්ඩලයේ, දෙමුපියන්ගේ මෙන්ම දරුවන්ගේ අදහස්වලටත් අපි ඇහුම්කන් දෙනවා. ඒ නිසා බොහෝ දෙනා අපේ විද්‍යාලයේ උගන්වන්න කැමැතියි. මේ ගුරුමණ්ඩලය තම වැටුපෙන් කොටසක් පවා පාසලේ සංවර්ධනය වෙනු වෙන් ලබා දෙනවා. මේ නිසා අද මේ විද්‍යාලය ඉගෙනුම අතින් ඉහළ තැනකට පත් වෙලා තියෙන්නේ.

අද බොහෝ තරුණ දරුවන් මත් ද්‍රව්‍ය වැනි විනාශ වෙන දේවලට ඇබ්බැහි වෙනවා. නමුත් මේ දරුවන් කිසිදු අවස්ථාවක මත් ද්‍රව්‍ය භාවිතය හා පාසල විනාශ කිරීමේ කටයුත්තකට එක්වන්නේ නෑ. මේ ගම්මානයේ බොහෝ දෙනාට විශාල අදායම් මාර්ග නැහැ. ඒනිසා සිය අධ්‍යාපන හැකියා වර්ධන කර ගනිමින් ජිවිතය ජයග්‍රහණය කිරීමේ මුලික අරමුණ ඉටු කර ගැනීමේ අදහසින් සියලුම දරුවන් වැඩ කරන්නේ.” යැයි විදුහල්පති එච්.චන්ද්‍රසිරි මහතා පැවැසීය.

දරුවන් රාත්‍රියේ පාසල් පැමිණිය ද සියලු කටයුතු සිදු කෙරෙනුයේ උදෑසන පාසල ආරම්භ කෙරෙද්දී සිදු වන ආකාරයටමය. රාත්‍රියේ පාසල් එන සිසුන් සඳහා ද පාසලේ බුද්ධ මන්දිරයේ දොර ඇරී ඇත. සිසු දරුවෝ සියල්ලටම පළමුවෙන් පන්ති කාමරවල සිය පොත් ටික තබා උදෑසන මෙන්ම බුද්ධ මන්දිරයට ගොස් පහන් දල්වා මල් පහන් පූජා කරති. ගස් කොළන් සොලවමින් හමා යන වියළි සුළඟට ඒ පහන් සිළු නිවීමට හැකියාවක් නැත්තේය. මේ දරුවන්ගේ දෙමවුපියන්ගේ ඒකායන පරමාර්ථය මේ මහපොළව අස්වැද්දීමය. ඒ අතරතුරදී සිය දරුවන්ට නොමිළයේ ශිල්ප දෙන මේ ගුරුවරුන් ගම්මුන්ට පෙනෙන්නේ සිය දරුවන් යන මඟ එළිය කිරීමට පැමිණි ඉෂ්ඨ දේවතාවුන් ලෙසිනි.

ටාං...ටාං.. ටාං....පාසලේ සීනුව නාද වේ. කණුමුල්දෙණිය ගම්මානයේ සිටින සියලු පාසල් දරුවෝ එක හුස්මට වැඩ ආරම්භ කරති. ඉර නැඟී ගතවන පැය ගාණක සිට ඉර බැස ගිය පසුත් පාසල් යෑම මේ සිසු දරුවන්ටනම් සාමාන්‍ය දෙයකි. කිසිම පැකිළීමක් නැතිව ඔවුන් සවසට ද පාසල් යෑමට පෙළ ගැසෙන්නේ ඒ නිසාය. සිය දෙමවුපියන් අතරින් වැඩි දෙනෙකු පෙළන ආර්ථික අපහසුතාවෙන් මිදීමට එකම පිළිසරණ ඉගෙනීම බව මේ සිසුහූ මනාව තේරුම් ගෙන සිටිති‍.

“මේ පාසල අපිට අපේ ගෙදර වගේ. අපි උදේ 6.30 වන විට පාසලට එනවා. ඉන්පසුව පාසල අවසන් වී ගෙදර ගොස් යළිත් එනවා. සවස හය වෙද්දි පාසල ආරම්භ වෙනවා. අපි මේ රෑ පාසලේ දී ගණිතය, විද්‍යාව හා ඉංග්‍රිසි මෙන්ම වෙනත් අමාරු විෂයන් ඉගෙන ගන්නවා. මේ රෑ පාසල අපට අලුත්ම අත්දැකීමක්. අපේ පන්තිවල ළමයි රැසක් මේ පාසලට එනවා. මෙහිදී ඉගෙන ගන්න දේ නිසා අපි අමතර පන්ති යන්නේ නෑ. එනිසා අපේ දෙමවුපියන්ගේ මුදල් ද ඉතිරි වෙනවා.

බැරිවෙලාවක්වත් අපි මේ පාසලට නොපැමිණ නිවෙසේ හිටියා කියා මේලෙසින් ඉගෙනීමේ වැඩවලට නැඹුරුවීමක් ඇතිවෙන එකක් නෑ. ඒනිසා අපේ මවුපියන් අප මේ රාත්‍රී පාසලට එවන්න උනන්දු කරවනවා.”සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන ටි.පියුම නිමාෂ ශිෂ්‍යයා පවසයි.

නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ. පී. නුවනි සිසුවිය රෑ පාසලට පැමිණ සිටියේ පියාද සමඟය. ඇගේ පියා එදින සිය දියණිය සමඟ රෑ පාසලට පැමිණෙන දරුවන් කීප දෙනකුගේම මඟ දිගට ආරක්ෂකයාවී පැමිණ සිටියේය.

“අපට රෑ පාසලට පැමිණීම කරදරයක් නොවෙයි. අපි හැමෝම රෑ පාසලට ගොඩක් ‍කැමැතියි. අපි හැම වෙලාවෙම හිතන්නේ අපේ අධ්‍යාපනය සාර්ථක කර ගන්නේ කොහොමද කියලා විතරයි. අපි නිවෙස්වල හිටියානම් අපට අධ්‍යාපනය වෙනුවෙන් මේ වගේ නැඹුරු වෙන්න ලැබෙන්නේ නැහැ. මේ ලෙස රෑ පාසලට පැමිණීමෙන් අපට ‍ඉගෙන ගන්නා විෂයන්ට අමතර කරුණු රැස් කර ගැනීමට මෙන්ම අමතරව ප්‍රශ්න පත්තර කිරීමටත් අවස්ථාව ලැබෙනවා.” නුවනි කීවාය.

ඉගෙනීම මෙන්ම බාහිර කරුණු අතින්ද පසුපසින් තිබූ මේ පාසල අදවන විට කලාපයේ පාසල් 92ක් අතරින් දෙවැනි ස්ථානය දක්වා පැමිණ තිබේ. පාසලේ මේ වනවිට සිසු සිසුවියෝ 800කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබති. සාමාන්‍ය පෙළ විභාගයෙන් වලස්මුල්ල අධ්‍යාපන කලාපයෙන් ප්‍රතිශතයක් වශයෙන් සියයට 98.5 ක සාමාර්ථයක් ලබා දෙවැනි ස්ථානය දිනා ගැනීමට කණුමුල්දෙනිය පාසලට හැකි වී ඇත. විද්‍යාලයීය ඉතිහාසයේ මෙවැනි ජයක් ලැබූ පළමු අවස්ථාව මෙය බව විදුහල්පතිවරයා පවසයි.

“අපේ පාසල දැන් වලස්මුල්ල කලාපයට පමණක් නොව මුළු ලංකාවටම ආදර්ශයක් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අපට පාසල ගැන තියෙන්නේ හරිම ආඩම්බරයකින්. අපේ පාසල මෙතෙක් දුරක් පැමිණියේ බාධා රැසක් මධ්‍යයේයි. ඒ සඳහා විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් වැදගත්. ගුරුවරුත් විතරක් නොවෙයි ළමයින් අතරත් ඉතා හොඳ සම්බන්ධතාවක් තිබෙනවා. අපි පාසලේ ඉගෙනීම් කටයුතු සිදු කරන්නේ ඉතාම සතුටින්” යැයි කේ. එස්. එස්. ජයවර්ධන සිසුවිය පැවසුවාය

පාසලේ ගණිතය විෂය බාර ආචාරිණි ඒ. ඩි. අබේවික්‍රම මෙනවිය රාත්‍රී පාසලේ ද දරුවන්ට ගණිතය උගන්වන්නීය.“දරුවන්ගේ අධ්‍යපන තත්ත්ව ඉහළ නැංවීමේ අරමුණෙන් සිදුවන මේ නව අධ්‍යාපන ක්‍රියාවලියෙන් සෙමින් ඉගෙනීමේ කටයුතුවල සිටි දරුවන්ගේ අධ්‍යපන හැකියාව මේ වන විටත් වර්ධනය වෙලා. හැමෝගෙම අදහස්වලට තැන දී කටයුතු කිරිම නිසයි අපි අද මේ ජයග්‍රහණ ලබා ගෙන තියෙන්නේ. ගුරු මණ්ඩලයත් බො‍හෝ කැපවෙලාවැඩ කරනවා. පාසලේ බොහෝ භෞතික දෑ නිර්මාණය නිර්මාණය කරන්නේ ගමේ ජනතාව හා පාසලේ ගුරුවරු. මේ නිසා අපේ පාසල සමාජය ආරක්ෂා කරන පාසලක් බවට පත්වෙලා. රාත්‍රී පාසල පැවැත්වීම නිසා මේ වනතුරු පාසලේ කිසිම අකටයුතු දෙයක් සිදු වෙලා නැහැ. ඒ නිසා ගුරුවරුන් ලෙස අපි මේ රාත්‍රි පංතිවල කටයුතුවලට එක් වන්නේ ඉතාමත් කැමැත්තෙන්”

චන්ද්‍රානි ගමගේ මහත්මියගේ දරුවා පළමු වසරේ සිටම ඉගෙන ගත්තේ කණුමුල්දෙනිය උතුරු නවෝද්‍යා පාසලේය.

“මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා විරකැටිය පාසලට ගියා. නමුත් ඒ විද්‍යාලයේ ඉගෙන ගන්න බැහැ කියලා නිරන්තරයෙන් දරුවා මට ඇවිටිලි කරනවා. එම පාසලේ අධ්‍යාපන රටාව දරුවාට හරි ගියේ නැති නිසා වෙන්නැති. මං නැවත මේ විද්‍යාලයට දරුවා එක්කර ගෙන ආවා. පස්සේ මේ පාසලෙන් දරුවා අධ්‍යපන ලැබුවා. කිසිදම අමතර පංතියකට ගියේ නැහැ. දරුවා හොඳට ඉගෙන ගත්තා. පස්සේ සාපෙළ ඉහළින්ම සමත් වෙලා උසස් පෙළ කරනවා. විදුහල්පතිතුමාගේ අප්‍රමාණ කැපවීමත් ගුරුවරුන්ගේ දක්ෂතාව හා කැපවිමත් නිසයි අද පාසල මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අධ්‍යාපනය විතරක් නොවේ හැදියාවත් විනයානුකුල දරුවෙකු බිහි කිරීමත් මේ විද්‍යාලයෙන් සිදු වෙනවා.”

ඉඳහිට බසයක් දෙකක් දුවන මං මාවත් ඇති. කැලෑවෙන් වටවී ඇති මේ ගමේ දරුවන්ගේ ඉගෙනීමට අත්වැලක් වී ඇති රාත්‍රී පාසල ගැන එගම වැසියන් කතා බහ කරන්නේ ප්‍රීතියෙනි. ආඩම්බරයෙනි.

Comments