ලෝකයේ එකම ගලක කෙටූ සාම ගිවිසුම | Page 2 | සිළුමිණ

ලෝකයේ එකම ගලක කෙටූ සාම ගිවිසුම

ලෝකයේ විවිධ ස්වරූපයේ යුද ගැටුම් අතර නොයෙකුත් ආකාරයේ සම්මුති, සාකච්ඡා සහ සාම ගිවිසුම් බිහි වුවද, ලෝකයේ ප්‍රථම හා එකම සෙල් ලිපිගත සාම ගිවිසුම ඇත්තේ ශ්‍රී ලංකාවේ බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය.

මීට වසර 852 කට පෙර එනම් ක්‍රි.ව. 1165 දී පළමුවැනි පරාක්‍රමබාහු සහ දෙවැනි ගජබා රජු අතර ඇති කර ගත් සාම ගිවිසුම කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොකරැල්ල ගම්මානයේ සිට සැතපුම් දෙකක් පමණ දුරින් මැද්දෙකැටිය වැව ඉස්මත්තේ පිහිටි ‍ඓතිහාසික සංගමුව රජ මහා විහාරස්ථානයේ ගල් තලාවක කොටා ඇත.

පළමුවැනි පරාක්‍රමබාහු සහ දෙවැනි ගජබා අතර රජරට ප්‍රදේශයේ එවකට පැවති යුද්ධය මෙම ගිවිසුමට අනුව නතර කෙරුණු බැව් මහා වංශයේ සඳහන් වේ.

ප්‍රදේශයේ උස් කඳු මුදුනක පිහිටි, එහෙත් පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක මෙම විහාරස්ථානය පිහිටා තිබේ.

විහාර භූමියට ඇතුළු වනවාත් සමඟම මුලින් ම හමුවන්නේ ඓතිහාසික වැදගත්කමකින් යුතු මෙම සෙල් ලිපියයි.

ලංකා ඉතිහාසයේ බොහෝ දේ සඟවාගෙන සිටින සංගමුව විහාර භූමිය අවට ස්වභාව ධර්මයේ අසිරිය ඕනෑ ම අයෙකුගේ මනැස, මසැස පිනවන නිස්කලංක පරිසරයකින් සමන්විතය.

අක්කර පනස් දෙකකින් යුත් විහාර භූමිය පුරා නටබුන් රැසක් විසිර පවතී. සංගමුව විහාරස්ථානය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ඉදිකරන ලද්දක් සේ සැලකේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇති පරිදි මෙම ගිවිසුමේ අර්ථය මෙසේය.

යහපතක් වේවා. මහා සම්මත පරම්පරා වෙන් අඛණ්ඩව පැවැත එන්නා වූ ද, නිරන්තරයෙන් සත්‍යය රකින්නාවූ ද, ගජබා - පරාක්‍රමබාහු දෙමස්සිනෝ වෙමු.

“අප දෙදෙනා ඇති කර ගත් සම්මුතියකට දිවි තිබෙන තුරා හානියක් නොකරමු. අප දෙදෙනා අතරින් පළමුව මිය පරලොව යන අයගේ රාජ්‍යය අනෙක් තැනැත්තාට අයත් ය. මේ රාජ්‍යය විනාශ කිරීමට යම් සතුරු රජෙක් නැගී සිටියහොත් ඒ තැනැත්තා අප දෙදෙනාට ම විරුද්ධව නැගී එන කෙනෙකුන් සේ සලකා ඔහුට විරුද්ධව කටයුතු කරමු. මේ සම්මුතියට හානි වන ලෙස කටයුතු කරන ‍යම් කෙනෙක් වෙත් ද, ඔවූහු තෙරුවන්ගේ ආඥාව කඩ කළ අය වෙති.

එසේ ම ඔව්හු අපා ගත වන්නා හ. අපි දෙදෙනා ම මෙම සම්මුතිය කඩ කිරීමට නොපෙලඹෙමු. අනුන්ගේ යහපත ම ධනය කොට ඇති අප දෙදෙනා ගේ මේ ලියැවිල්ල (ගිවිසුම) සඳහිරු පවතින තුරු ලොව (ලෝකයා) ආරක්ෂා කෙරේවා!

කරුණු කිහිපයක් නිසා මෙම සෙල් ලිපිය අනෙකුත් සෙල් ලිපිවලට වඩා වැදගත් ස්ථානයක් හිමි කර ගනී.

බොහෝ සෙල් ලිපි සීමාවී ඇත්තේ විහාරාරාම පූජා කිරීම සඳහාය. එහෙත් මෙම සෙල් ලිපිය රාජකීය සමගි සන්ධානය් පෙන්නුම් කරයි. මහාවංසගත වැදගත් කරුණු සනාථ කරන්නක් වීම තවත් විශේෂත්වයකි.

“සමගි සන්ධානය කඩ කළහොත් තුනුරුවන් අණ මැකූවම් හ නරකයෙන් මුක්ත නොවූවම් හ.” යන්නෙන් එදා ආගම ධර්මය රජවරුන්ගේ ජීවිතවලට පවා කොතෙක් දුරට සම්බන්ධව පැවතියේ ද යන්නට ප්‍රමාණවත් සාධක අන්තර්ගතවීමද තවත් කරුණකි.

සංගමුව විහාරස්ථානය එදා කල්ලක ලෙන, කල්ලක මහා විහාරය, කලු මහ වෙහෙර, කාලවේල විහාරය, මණ්ඩලාරාම විහාරය ආදී නම්වලින් ද හඳුන්වා ඇත.

මලියදේව මහ රහතන් වහන්සේ තුන් පිටකය හදාළේ ද, විදසුන් වඩා රහත් වූයේ ද කල්ලක ග්‍රාමයේ මණ්ඩලාරාම මහා විහාරයේ (සංගමුව විහාරය) බවට ඓතිහාසික සාධක ඇතැයි කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්.ඩබ්ලිව්. විමල් විජේරත්න මහතා විසින් සම්පාදනය කර ඇති “මලියදේව මහ රහතන් වහන්සේ වැඩ විසූ මණ්ඩලාරාම විහාරය නමැති ග්‍රන්ථයේ සඳහන් වේ.

මෙම ස්ථානය අතීතයේ බලකොටුවක් ලෙස භාවිතා කොට ඇති බවද පැවසේ.

විහාරයේ ලෙන් කටාරම්වල ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපිවලට අනුව මෙම විහාරස්ථානය ක්‍රි.පූ. තුන්වැනි සියවසට අයත් සේ සැලකේ. ලෙන් විහාරය තුළ දක්නට ඇති චිත්‍ර මහනුවර යුගයට අයත් ඒවා බැව් හෙළිවී ඇත.

මෙම ස්ථානයේ ඉතිහාසය අනුරාධපුරයෙන් පටන්ගෙන, පොෙලාන්නරු යුගය හරහා මහනුවර යුගය දක්වා තිබෙන බැව් එකී යුගවලට අයත් සෙල් ලිපි හා සිතුවම් පරිශීලනය කිරීමෙන් පැහැදිලිවේ.

සංගමුව විහාරයේ සමහර ගල්ලෙන් ගෝඨයිම්බර යෝධයා විසින් නිර්මාණය කර ඇති බවටත් යෝධාගේ බිරිය ගොකරැල්ල ප්‍රදේ‍ශයේ විසූ බවටත් ජන ප්‍රවාද පවතී. අද පවා “යෝධ ගේ” නමැති වාසගම ගොකරැල්ල ප්‍රදේශයේ සමහර පවුල් සතුව පවතී.

මාතලේ අලු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන අවස්ථාවේ මෙම විහාරස්ථානයේ සිට අලු විහාරය දක්වා මල් පෙරහරක් ගමන් කළ බැව් ද ජනප්‍රවාදයෙහි එයි.

මෙම විහාර භූමියේ ලෙන් විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව මීට වසර පහළොවකට ‍පමණ පෙර නිදන් හොරුන් විසින් හාරා අලාභ හානි සිදු කර ඇති අතර, මේ දක්වා එම ප්‍රතිමාව පිළිසකර කිරීමට පුරා විද්‍යා බලධාරීන් විසින් කිසිදු පියවරක් ගෙන නොමැත. එසේ ම ලෙන් විහාරයට ඇතුළු වන දොරටුවේ ඇති දුර්ලභ ගණයේ මකර තොරණ ද ඉරිතලා ගොස් කඩා වැටෙන්නට ආසන්න තත්ත්වයක පවතී.

ගල්කණු, සඳකඩ පහණ, මුරගල් හා ඉපැරණි වැසිකිළි, ගල් පුවරු, සිරි පතුල්, උපෝස්ථාගාරයක නටබුන්, ගල්ලෙන් සහ ලෙන් විහාරයේ බිතු සිතුවම් ද ආරක්ෂා කර ගත යුතු පුරා වස්තු අතර වැදගත් තැනක් ගනී.

සිංහලයා ගේ ප්‍රෞඪ ඉතිහාසය මේ ලොවට හඬගා කියන මෙකී පුරාවස්තු අකාලයේ විනාශවී යෑමට ඉඩ නොදී ආරක්ෂා කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වගකීමකි.

වත්මන් විහාරාධිපති අලුත්ගම මංගල හිමියන් පවසන අන්දමට අක්කර පනස් දෙකක් පුරා විසිරී පවතින මෙම විහාරස්ථාන භූමිය විධිමත් ගවේෂණයකට ලක් කළ‍හොත් අපේ ප්‍රෞඪ ඉතිහාසයට සාක්ෂි දරන තවත් පුරාවස්තු රැසක් මතු කර ගැනීමට හැකි වනු නොඅනුමානය.

හිරියාල සමූහ

Comments