බත් දුන් පියාට බත් දුන් මින්නේරි කොලනියේ ලීලාවතී අම්මා | Page 13 | සිළුමිණ

බත් දුන් පියාට බත් දුන් මින්නේරි කොලනියේ ලීලාවතී අම්මා

* ඩී.එස්, ජේ.ආර්., ඇන්.ඇම්, පිලිප් මැති ඇමැතිවරුන් කුස්සියටම ඇවිත් මගෙන් බත් කටක් කාලා ගියා 
* මින්නේරි ගොවි ජනපදයේ මුලින්ම පදිංචි වූ ගෙවිලිය ඇයයි

සිරිලක බත බුලතින් ගඩා ගෙඩියෙන් ස්වයං පෝෂිත නොකර ශ්‍රී ලංකාවට ජාතික ආර්ථික අභිවෘද්ධියක් ළඟා කර ගත නොහැකි බව මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයෝ එදා තරයේ විශ්වාස කළහ. ඒ අනුව මෙරට කෘෂි ආර්ථික සංවර්ධනය උදෙසා 1933 දි මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ඔහු ආරම්භ කළේය. ඒ මින්නේරිය කොලනියේ පළමු පියවරට පැමිණි අද ජීවත්වන ජ්‍යෙෂ්ඨතම ජනපද මාතාව පසුගියදා “සිළුමිණට” ට සම්මුඛ වූවාය.

අපි පොළොන්නරු වඳින්න යන්නේ පයින්මයි. රේල්පාර දිගේම යනවා. එන්නෙත් එහෙමමයි. මැදිරිගිරිය නටඹුන් බලන්න යන්නේ බක්කිවල. අපි නඩයක් ම එකවර යනවා. මොන තරං වන සත්තු හිටියත්, හිරිහැරයක් කරදරයක් කළේ නෑ

වාරිමාර්ග කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා ඇතුගල මහත්මිය සමඟ මින්නේරිය ගොවි නායකයන් හමුවූ අවස්ථාවේ, මින්නේරිය වාරිමාර්ග නේවාසික කළමනාකාර ඩී.එම්. ඥානපාල මහතා හඳුන්වා දුන් විශ්ව සාරනාථ මහතා මේ මෑණියන්ගේ කණිටු පුතාය.

දැනට බොරලැස්ගමුවේ සිය දියණිය සමඟ දිවි ගෙවන කංකානම්ගේ ලීලාවතී මහත්මිය සිය සියවස් පූර්ණය පසු කළේ මෑතකදීය.

1917 දික්වැල්ලේ උපන් කංකානම්ගේ ලීලාවතී මහත්මියගේ මතකයන් ශක්තිමත්ය. ඉතාම සන්සුන්ව තැන්පත් ස්වරයෙන් නිරවුල්ව අප හා මතක සාද කථාවෙහි ඇය නිමග්න වූයේ, නොබිඳුණු සුන්දර සිනහව සමඟින්ය.

දික්වැල්ලේ සිට ගම්පහට ආ ඇයට සිය දිවි හිමි සහකරු හමුවන්නේ, සුහද යෝජනාවකින්ය. ඒ මාතර, තිහගොඩ සිට ගම්පහට වෙළඳාමට ආ එම්.එච්. ධර්මදාසය. ඔහු එකල බෝතලේ සේනානායක පරපුරේ පොල් වතු යායේ වතු පාලකයාය.

1945 දි මේ යුවළගේ විවාහය සිදු වන්නේ ද හිඟුරක්ගොඩදීය. ඒ වනවිට ධර්මදාස තරුණයා හිඟුරක්ගොඩට පැමිණ සිය ගොවිතැන් කටයුතු අරඹා තිබුණි.

“අපේ ඉඩම්වල අපිම තමයි වැඩ කළේ. ඉඩං සුද්ද කරගෙන කුඹුරු හදාගෙන නිකං හරක් දාලා කරකෝලා මඩෝලා තමයි වැඩ කළේ. හාන්නේ එහෙම නැ. අපි ඉතිං සෑහෙන්න දුක් මහන්සි වෙලා තමයි ඒවා කර ගත්තේ.” පිට පුපුරන ගිනියම් මින්නේරියේ ඇය ඔහු සමඟ හරි හරියට ජීවිත සටනට උර දුන් අයුරු සිහි කරන්නීය.

“මගේ ලොකු පුතා හම්බ වුණේ කොළඹ. තව එක්කෙනෙක් පොළොන්නරුවේ. අනිත් සේරම දමන, මාතෘ නිවාසයේ. ලොකු පුතා හැර අනෙක් සේරම දරුවො. (ඇයට පුතුන් පස් දෙනයි - දියණියෝ තුන් දෙනයි) උපන්නේ ලන්තෑරුම් එළියෙන් තමයි.” එසේ දුෂ්කර පාරමිතාව පුරමින් මෙළොවට ජනිත කළ ඒ දරුවන් සියලු දෙනාම අද රටට ජාතියට සේවය කරන මානව සම්පත්ය.

“ඒ කාලේ මෙහෙ මැලේරියාව. කොළඹ මිනිස්සු නිකමටවත් මේ පැත්තට එන්නේ නැ. නමුත් අපි කාටවත් ඒ ලෙඩ කරදර සිද්ධ වුණේ නැහැ. අනික වල් අලි මිදුලෙන් යනවා. ඇයි ගේ දෙපැත්තෙම ඝන කැලෑව. දවසක් මං දොර අරින කොට සද්දන්ත අලියෙක් මිදුලේ. නමුත් කවදාවත් කරදරයක් කළේ නෑ. මං බය වුණෙත් නැහැ. මොන කරදර තිබුණත් මං කවදාවත් කියලා ‍නැහැ මෙහෙන් යමු කියලා.” ඇය කියන්නේ අපට හිතාගත නොහැකි මොකක්දෝ මහා හැඟීමක් හිත් දරාගෙනය. ඇගේ කතා අසන විට සිහි වන්නේ වෙසතුරු රජු සමඟ හිමේ ගිය මන්ද්‍රි දේවිය ය.

ධර්මදාස මහතා යනු මින්නේරිය ගොවි කොලනියට වමේ දේශපාලනය - සම සමාජ පක්ෂය - ගෙන ගිය පුද්ගලයා ය. එයට පෙර ඔහු ඩී.එස්. සේනානායක, ඩී.ජී. ද සිල්වා ආදීන් සමඟ ප්‍රගතිශීලී ජන කඳවුරේ සිටියේය. ඒ නිසා ධර්මදාස නිවස හැමදාම දේශපාලනඥයන් සැඟවුණ සංහිඳක් විය.

“ඩී.එස්. සේනානායක මැතිතුමා, සී.ජී. ද සිල්වා මහත්තයලා අපේ ගෙදරින් කන්න තේ බොන්න එනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මීටිමට ආ දවසේ අපේ ගෙදර කෑමට එනවා කියලා තාත්තා අලුතෙන් ම පුටු හයක් ගෙනාවා රුපියල් විසිපහකට. ඒ 1951 ජූලි මාසයේ ය. ඊට පස්සේ තාත්තා සමසමාජ පක්ෂෙට ගියා. ඉතිං ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, කාලෝ ෆොන්සේකා, අතාවුද සෙ‍නවිරත්න, තිස්ස විතාරණ, අනිල් මුණසිංහ වගේ ගොඩක් අය අපේ ගෙදරට ආවා. ඒ අය සේරම නතර වෙන්නේ අපේ ගෙදර. කොල්වින් මහත්තයා නඩුවලට ආවම නතර වෙන්නෙත් අපේ ගෙදර. උදේට උසාවියට අඳින අර අමුතු ඇඳුම ඇඳගෙන කුස්සියට ම ඇවිල්ලා, “මං මෙහෙම තමයි උසාවි යන්නේ” කියලා මගේ අත් දෙකම අල්ලලා ආචාර කරලා, කිරිබත් එහෙම කාලා තමයි යන්නේ. 70 මහ ඡන්දෙ දි රත්න දේශප්‍රිය සේනානායක මහත්තයා එක්ක ධර්මසිරි සේනානායක මහත්තයත් ආවා. සේරමලා සාලේ පැදුරු දාගෙන තමයි නිදා ගන්නේ. උදේට සේරටම කඩයප්පන් හදනවා. ආප්ප, ඉඳිආප්ප. නමුත් මට බිත්තර කඩන්න තාත්තා තහංචි දාලා තිබුණ නිසා, කවුරු හරි බිත්තර කඩලා තාච්චියට දානවා. අපේ ගෙදර තාත්තා හැදුවා ලොකු කෑම මේසයක්. විස්සකට විතර එක පාර වාඩිවෙන්න පුළුවන්. ඒ කාලේ හිටිය සේරම දේශපාලන ලොක්කෝ ඔය මේසෙ ඉඳන් කාලා තියෙනවා.

විජය කුමාරතුංග මහත්තයා මින්නේරිය ඡන්දෙට ආවාම අපේ ගෙදරින් තමයි කෑවේ. ඡන්දේ පැරදිලා - නෙමේ පරද්දලා - කොළඹ යන්න කලින් පොළොන්නරුවේ ඉඳලා තකහනියක්ම අපේ ගෙදර ඇවිල්ලා - ඔලුව නමාගෙන - කුස්සියට ඇවිල්ලා මට වැඳලා - ආචාර කරලා ස්තුති කරලා ගියේ. නමුත් මොන ඡන්දෙදිවත් කවුරුත් මිනිස්සු අපිට වචනයකින්වත් කරදරයක් හිරිහැරයක් කළේ නෑ.”

“ඇයි තාත්තා ඡන්දෙ ඉල්ලුවේ නැත්ද..?”

“ඉල්ලුවා.. පක්ෂෙ නං මම දන්නේ නෑ. හැබැයි ලකුණ කුකුළා.” යැයි කියූ ඇගේ මුව හසරැල්ලෙන් වැසී ගියේය.

“මිනිස්සු තාත්තා පාරේ යනකොට “කුක්කූ කූ...” කියලා හැංගෙනවලු. ඒත් ඡන්දෙ දිනුම්. මින්නේරිය ගම් සභාවේ පළමුවෙනි උප සභාපති තාත්තා තමයි.”

“ඒ කාලේ මදුරු කලබලයක් තිබුණනේ. ඇන්.ඇම්. මහත්තයලා කට්ටියක් ඇවිත් අපේ ගෙදර ඉඳලා උදේ යනවා කොලනියට මිනිස්සුන්ට බෙහෙත් දෙන්න. හවසට ආයේ එනවා. ඒකෙන් තමයි තාත්තා එතුමලා එක්ක සම්බන්ධ වුණේ...”

“තාත්තා මාව කිසිම දෙයකට ගෙදරින් පිටට යැව්වේ නෑ. කඩේට, පොළටවත් මම කවදාවත් ගිහිං නැහැ. අවශ්‍ය සේරම දේවල් ගෙදරට ගෙනත් දෙනවා. අපිට රෙදි ගේන්නේ කොළඹ මවුලානා සාප්පුවෙන්. ළමයින්ට ඇඳුම් මහන්නෙත් මමයි. මම ආශ්‍රය කළේ රේල්ලුවේ කංකානම් මහත්තයගේ නෝනයි, රාජපක්ෂ දොස්තර මහත්තයගේ නෝනවයි විතරයි. කංකානම් මහත්තයලගේ මහන මැෂිම ගෙන්නා ගෙන තමයි, මම ඇඳුම් මහන්නේ. හොඳම දෙයකට නං පිටින් මස්සවා ගන්නවා ළමයින්ට. ළමයිගේ කොන්ඩේ කපන්නෙත් බාබර්ව ගෙදරට ගෙන්නලයි. පන්සල්වලට දානේ හදනවා. කවුරු හරි ඇවිල්ලා අරන් යනවා. අපි යන්නේ නෑ. ගමේ කිසිම මඟුල් තුලාවකටවත් මම යන්නේ නෑ. ඒ වගේ ම ඔය කොයි කවුරු ආවත් කවරදාකවත් මම ඒ කතා මැදට, සාලෙට එන්නේ නැහැ. කිසිම දේශපාලන රැස්වීමක් බලන්න ගිහිං නැහැ. මට අවශ්‍ය නෑ. මම මහන්සි වුනේ ගෙදර වැඩ ටික කරගෙන දරුවෝ ටික හොඳ මිනිස්සු විදියට ලොකු මහත් කර ගන්නයි. රටේ තොටේ වෙන දේවල් ගැන දැන ගන්නේ තාත්තා ගේන පත්තරවලින් තමයි. ඒත් ඒ කිසිම දෙයක් ගැන කවදාවත් මම තාත්තා එක්ක කථා කරලා නැහැ.” තෙත් වූ දෑස් කෙවෙනි පිසදාලමින්, ඇය කථා කරන්නේ මහත් වූ ගැඹුරු පති භක්තියක් සිත් දරාගෙන බව දැනේ. ධර්මදාස මහතා තම බිරිඳට දිය හැකි උපරිම සුව පහසුව දීමට නොමද වෙහෙසක් ගෙන ඇත. ඔහුට ඇය කෙරෙහි වූ සෙනෙහස ඉන් ස්පුට වේ.

අලි, ඇතුන්, කොටි. වලසුන් නිරන්තරයෙන් කරක් ගසනා මහා මින්නේරිය වනය දෙබෑ කරගෙන ගිය රේල් පාර එදා ගම්මුන්ගෙ ද ප්‍රධාන මාර්ගය විය.

“අපි පොළොන්නරු වඳින්න යන්නේ පයින්මයි. රේල්පාර දිගේම යනවා. එන්නෙත් එහෙමමයි. මැදිරිගිරිය නටඹුන් බලන්න යන්නේ බක්කිවල. දවසකට යනවා ඉතිං ගිහිං එන්න. අපි නඩයක් ම එකවර යනවා. මොන තරං වන සත්තු හිටියත්, හිරිහැරයක් කරදරයක් කළේ නෑ අපිට. ඇවිදින්න යනවා නං ඉතිං ගියේ ඔය ගමන් තමයි...”

“වටේම තියෙන පන්සල්වලට දානේ දෙනවා. බුබුළ පන්සලේ ඒ කාලේ හිටිය හාමුදුරුවෝ පස්සේ ගියා. සැරයක් අපි ගෙදරට වඩම්මවලා දානයක් දුන්නා. මඩිහේ ලොකු හාමුදුරුවොත් කොළඹ ඉඳලා අපේ ගෙදර ඒ දානෙට වැඩියා. ඒ කාලේ අපි දානේ අරගෙන පන්සලට යන්නේ නෑ, දානේ සකස් කළාම කවුරු හරි ඇවිත් අරන් යනවා.”

ධර්මදාස නිවස සහ පන්සල් අතර ඇති දුරත් ඒ දුර මහ වැටී ඇති කැලෑ මංඩියත් නිසා එසේ කළා විය හැකියි.

“ඒ කාලේ තිබුණේ ගොඩක් රිදී කාසි. කොළ සල්ලි අඩුයි. කොහොමටත් මට සල්ලි ගැන එච්චර මතක නෑ. මොකද මං සල්ලි භාවිතයක් කළේ නැහැනේ. හැබැයි අපේ ගෙදර රිදී කාසි ගෙනල්ලා හොර්ලික්ස් ටින් එකකට දානවා. ඒක පිරිලා තිබුණා. ඔය රිදී කාසිවලින් හවඩියකුත් හැදුවා තාත්තා...”

ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගෘහ පතිනියකි. ඈ වෙහෙසුනේ දරුවන් උස් මහත්කර හොඳ දැන උගත් මිනිසුන් කරන්න මිස, මුදල්, ආභරණ, ඉඩංකඩං, යාන වාහන ලොල් මඟක යෑමට නොවේ.

සිය මෑණියන් පිළිබඳ මතක අවදි කළ විශ්ව සාරනාත මහතා සහ අමරා මල්ලිකා මහත්මිය කියා සිටියේ,

“අපේ අම්මා, තාත්තා ඉස්සරහ වචනයක්වත් කථා කරන්නේ නැ. අම්මා කවදාවත් කුඹුරු වැඩවල දීවත් එන අය එක්ක වැඩිය කතාබහට ගියේ නැහැ. අම්මා මුළු ජීවිතයම කැප කළේ ගෙදරදොර වැඩවලට තමයි. අම්මා මඟුල් ගෙදරකටවත් ගිහිං නැහැ. ඒක තාත්තා අම්මා හිරකරගෙන ඉන්න කළ දෙයක් නෙමේ. අම්මාට තියෙන ආදරේ නිසා අම්මව තාත්තා කොහෙවත් යවන්නේ නැත්තේ. අම්මටත් ඕනේ ගෙදරට වෙලා ඉන්නයි. අම්මා පොත් පත්තර කියවනවා. ඒ නිසා අම්මට හොඳ දැනුමක් තියෙනවා.”

“අම්මා අපිට හැමදාම උදේට එළකිරි ජොග්ගුවක් දෙනවා. බොන්නම ඕනේ. ඉස්කෝලේ ගෙනියන්නත් ඕනේ ඒ කිරිම තමයි. තාත්තට හොඳට කන්න තියෙන්න ඕනේ. විශේෂයක් නෑ, ඕනෙම එළවළුවක් කනවා. බිත්තර කන්නේ නැ. බිත්තර පෙන්නන්න බෑ,”

ධර්මදාස මහතා සතුව ඇති පොත් එකතුව මිල කළ නොහැකි මහා අනර්ඝ ග්‍රන්ථ එකතුවකි. එහි ඇති සමහර පොත් එම ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණයේ පිටපත්ය.

ධර්මදාස - ලීලාවතී යුවළ මින්නේරි ගොවි ජනපද ඉතිහාසයේ ස්වර්ණමය පිටුවකි. ඒ ඉතිහාසය මෙවැනි රචනයකින් හමාර කළ නොහැක. ඒ ඉතිහාසය සොයා යෑම ද දවසෙන් දෙකෙන් කළ හැක්කක් නොවේ.

සිය දරුවන්ගේ දරුවන් ද තුන් මුනුපුරන් ද දැක තුටු පහටු සිතින්, නිදුක් නිරෝගීව සිය දුවා දරු මුනුපුරු මිනිබිරියන්ගේ ආල ලීලා විඳිමින්, අද දිවි ගෙවන මින්නේරියේ දීර්ඝතම දිවි සැරියේ හිමිකාරිනි ලීලාවතී මාතාව ජාතියට වාසනාවකි.

විශේෂ ස්තුතිය - මින්නේරිය වාරිමාර්ග කළමනාකරණ නේවාසික කළමනාකාර කාර්යාලය

ලහිරු ඒෂාන් නානායක්කාර

Comments

පිටු