
“කෙහේද යන්නේ?”
කලබලයෙන් රෝහල දෙසට යන කිහිපදෙනෙකු දෙස බලා සිටි කෙනෙකු විමසුවේ කුතුහලයෙනි.
“නයෙක්.... නයෙක්....”
යමින් ගමන්ම කෙනෙක් පැවසීය.
ප්‍රශ්නය විමසූ පුද්ගලයා ද නයා බැලීට යන පිරිස හා එක් වූයේය. ප්ලාස්ටික් බෝතලයක බහා සිටින විසල් නාගයා බලන්නට මිනිසුන් පොරකන අතරේ නාවලපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරු හෙද කාර්යය මණ්ඩලය ඇතුළු සෙසු සේවකයෝ නාගයකු දෂ්ට කිරීමෙන් ජීවිතයත් මරණයත් අතර සටනක සිටි දැරියක බේරා ගැනීමේ කාර්යයට උරදී සිටියහ. නාගයා බැලීමට පැමිණි පිරිස රෝහල වටා එක්රොක්වීම ඒ මොහොතේ වෛද්‍යවරුන්ට මහත් හිරිහැරයක් වුයේය. යම් දෙයක් වු විට ඉවක් බවක් නැතිව ඒ වටා රොක්වන මිනිසුන් පිළිබඳ කියන්නට යන කතාවක් නොවේ. ඉකුත් දිනෙක ලක්ෂපාන ප්‍රදේශයේ නිවෙසක මිදුලේ සෙල්ලම් කරමින් සිටි තුන්හැවිරිදි සෙනිත් ඔවින්යා දැරියට නයකු දෂ්ට කිරිමේ කතාවයි මේ.
අම්මාත් තාත්තාත් නෑදැ ගෙදරකට ගියේ පුංචි ඔවින්යා ඇගේ මිත්තනියගේ නිවෙසේ නතරකරය. මිදුලේ සෙල්ලම් කරමින් සිටි ඇය බිම දිගේ ඇදුණු සතාගේ වල්ගයෙන් ඇද්දේ ඌ විසකුරු සර්පයකු බව නොදැනය. නමුදු සර්පයා දැරියට දෂ්ට කළේය. නිවැසියෝ වහාම දැරිය ලක්ෂපාන රෝහල වෙත ගෙන ගියහ. මුලික ප්‍රතිකාර ලද දැරිය එතැනින් පැයක් ඇතුළත නාවලපිටිය රෝහල වෙත මාරුකර යවන ලදී. දැරිය නාවලපිටිය රෝහල වෙත රැගෙන යන ලද්දේ තනිවම නොවේ . දැරියගේ සීයා විසින් දැරියට දෂ්ට කරන ලද නාගයා ද බෝතලයක දාගෙන රෝහලට ගෙන ගියේය. දැරිය රෝහලට රැගෙන එද්දී නාවලපිටිය රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්තිමාලා, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය දිපානි විජේසිංහ, වෛද්‍ය හර්ෂ අබේවර්ධන හා වෛද්‍ය ජගත් දිසානායක ඇතුළු හෙද කාර්යය මණ්ඩලය සහ සෙසු සේවකයෝ සුදානම්ව බලා සිටියහ.
දැරිය රැගෙන ඒමත් සමඟ වහා ප්‍රතිකාර කෙරිණි. සිද්ධිය පිළිබඳ අප හා තොරතුරු පැවසූයේ වෛද්‍ය ජගත් දිසානායක මහතාය.
“සර්පයා දැරියගේ පාදයක් සපා කාලයි තිබුණේ. අපට දැන ගන්නට ලැබුණේ ගෙදර මිදුලේදී මේ දේ වුණා කියලා. කොහොම නමුත් අපි වහාම ප්‍රතිකාර කිරීම ඇරැඹුවා. නයෙක් දෂ්ට කළ විට ඒ පුද්ගලයාගේ ලේ වලටයි ස්නායුවලටයි දෙකටම ඒ විස බලපෑම් කරනවා. අපි දරුවාට විස නසන බෙහෙත් දීම ආරම්භ කෙරුවා. ඒ වගේම ඇගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවශ්‍ය සියල්ල අපේ රෝහලේ දී කෙරුණා. ඒ වන විට දැරිය හුස්ම ගැනීමේ අපහසුවෙන් හිටියේ. ඒ සඳහා අවශ්‍ය දේ කඩිනමින් අපේ රෝහලේ දී කෙරුණා. දැරියගේ ජීවිත අවදානම ඒ වන විට පහව තිබුණේ. පසුව දැරිය මහනුවර මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යැව්වා . දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ දැරිය දැන් සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබනවා. අපට දැරියගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඇයට දෂ්ට කළ සර්පයා රෝහලට රැගෙන ඒම බෙහෙවින්ම උපකාරි වුණා.
මේ සමඟම මම කැමැතියි තවත් පණිවුඩයක් දෙන්න. යම් අයෙකුට සතකු දෂ්ට කළ විට හෝ සපා කෑ විට ඒ සර්පයා රෝහලට රැගෙන එ්මට පුළුවන් නම් ඉතාම හොඳයි. විශේෂයෙන්ම කිවයුතු දෙය තමයි සර්පයා ගෙන ආ යුත්තේ පණ පිටින් . සතා මරලා රැගෙන ඒම නොකළ යුත්තක්. අද අපේ රටේ සර්පයන් වඳවී යෑමට ලක් වෙලා තිබීම එයට හේතුවයි. සර්පයන් මේ පරිසරයට අවශ්‍යයි. මොවුන් රැක ගැනීමයි කළ යුත්තේ..”
මෙතැන තවත් කතාවක් ද වෙයි. එනම් දැරියට සපා කෑ විශාල නාගයා තොණ්ඩුවක් දමා අල්ලා ගෙන රෝහලට රැගෙන ආ අවස්ථාවේ නාගයාට අනතුරක් නොකර බේරා ගැනීම ගැනය. කොළඹ වෛද්‍ය පීඨයේ සර්ප විස පර්යේෂණාගාරයේ සර්ප විස කාරක හා සර්පාගාර පාලක දුශාන්ත කන්ඩම්බි මහතාගේ ගම ද නාවලපිටිය ය. ගමේ නාගයන් හා සම්බන්ධ යමක් වේනම් ඔහුට පණිවුඩයක් ලැබෙන්නේය. මෙදා ඔහුට නාගයා පිළිබඳ පිණිවුඩය ආවේ නාවලපිටිය රෝහලෙනි. වහාම රෝහලට පැමිණි ඔහු නාගයාගේ ගෙල පෙදෙස හිරවී තිබූ කම්බිය කපා නිරුපද්‍රිතව බේරා ගත් නාගයා ප්‍රදේශයේ රක්ෂිතයකට මුදා හැරියේය.
විටෙක මිනිසුන් බැණ වදින්නේ ද වෛද්‍යවරුන්ටමය. තවත් විටෙක වෛද්‍යවරුන් පසසන්නේ ද මිනිසුන්මය. කෙසේ වුවත් ලක්ෂපාන දැරියගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ සියලුම රෝහල් වෛද්‍ය කාර්යය මණ්ඩලය ගැන ප්‍රදේශවාසීන් කතාබහ කරන්නේ ආදරයෙනි. ළමයි බලා කියා ගත යුත්තේ බොහෝ පරිස්සමෙනි . නමුදු වර්තමානයේ දරුවන් ගැන ඇතැම් විට දෙමවුපිය අවධානය යොමුවීම අඩුය. පරිසරය ගහකොළ හා මිනිසා අතර ඇත්තේ නොබිෙඳෙන බැඳීමකි. නමුත් අද දරුවන් මෙන්ම වැඩිහිටියන් ද පරිසරය ඇසුරේ ගෙවන කාලය බොහෝ අඩුය . කලකට ඉස්සර මේ තත්වය බෙහෙවින් වෙනස්ය. පරිසරයේ ජීවත් වු දරුවා ඒ අවට වෙසෙන සතුන් හඳුනන්නේය. ඇතැම් විට සතුන්ට බිය වන්නේය. ඒ නිසාම බිම ඇදෙන සතකු දුටු විට සතාගෙන් දුරස් වීමට හෝ ඒ ගැන වැඩිහිටියන් ඇමතීමට හෝ දරුවෝ හුරුවී සිටියෝය. නමුදු මේ සියල්ල අද වන විට කණපිට පෙරැළී ඇත්තේය. මේ කණපිට පෙරැළීම නිසාම ඔවින්යා මෙන් තවත් දරුවන්ද සර්පයකු දුටු විට ඌ ඇල්ලීමට ඉස්සර විය හැක්කේය.
ලක්ෂපාන ඔවින්යා දැරිය මුහුණ පෑවේ ද එවැනි අනතුරකටය. ඇගේ දිවි බේරුණේ අනූනමයෙනි.
තම කාර්ය මණ්ඩලයෙන් වු සේවාව අගය කරන අතරේම නාවලපිටිය රෝහල් අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා පවසන්නේ මෙවැනි කතාවකි.
“සාමාන්‍යයෙන් වැඩිපුරම සර්පයෝ ගැවසෙන්නේ අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවල. නමුත් මේ ප්‍රදේශවල නයි දෂ්ට කළ අවස්ථා අඩුයි. සාමාන්‍යයෙන් ප්‍රතිකාර ලබන්නට එන්නේ කුණකටුවන් දෂ්ට කළ රෝගීන්. කොහොම වුණත් අපි පුංචිකාලේ සර්පයන්ට බයයි. නමුත් දැන් පුංචි දරුවෝ ඊට වෙනස්. මේ ගැන දෙමවුපියන් වග කිව යුතුයි . මේවා නිවසේදී වන අනතුරු. දෙමවුපියන් දරුවන් ගැන ඔවුගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.”
නාගයා සිට ගැරඬියා දක්වා විසකුරු සර්ප ලොවේ විවිධ කතා පුවත් අදටත් අපේ සවනත වැකෙන්නේ නිමක් නොමැති සර්ප දෂ්ටනයන්ට මිනිසුන් ගොඳුරු වීමේ විපාක නිසා ය. අද සර්ප දෂ්ටන හේතුවෙන් මියයෑම බොහෝ දුරට අඩුවී ඇත්තේ ඒ සඳහා වූ ප්‍රතිකාර රෝහල්වල මෙන්ම ආයුර්වේද හෙළ වෙදකමේද සාර්ථකව ක්‍රියාත්මක වන නිසාය. එහෙත් තවමත් මේ විස වෙදකම හරහා ගෙතුණු බොහෝ කතා පවතින්නේ විවිධ මතිමතාන්තරත් සමඟය. රෝගියෙකුට සර්පයෙක් දෂ්ට කළ වහාම ඒ විසකුරු සර්පයා අල්ලා රෝහලට හෝ වෛද්‍යවරයා ළඟට ගෙන යා යුතුද? දෂ්ට කළ සර්පයා හඳුනා නොගතහොත් කරන ප්‍රතිකාර ක්‍රම අසාර්ථක වේද? සර්පයා මැරුවහොත් රෝගියාගේ විස සිරුර පුරා දිව යනවාය යන කියමන සත්‍යයක්ද? යන කරුණු ගැන අපි විමසීමක් කළේ එහෙයිනි.
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පාරම්පරික සර්වාංග හා සර්ප විස පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලකා ගුණසේකර මහත්මිය අප හා ඒ ගැන අදහස් පළ කළේ මෙසේය.
සර්ප විෂ වෙදකම ගුප්තයි - නාගයා වෛර බැන්දොත් බේරා ගැනීම අමාරුයි
“පාරම්පරික සර්ප විස වෙදකම කරන්නේ ගුප්ත විද්‍යාව, තත්කාලය, දූත ලක්ෂණ හා පාරම්පරික විස වෙදකම යන අංශ හතරක එකමුතුවෙනුයි. කාට හෝ සර්පයෙකු දෂ්ට කළහොත් එම සර්පයා රැගෙන යෑම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම අපේ වෙදකමේ සර්පයා මරන්න කියලා කියන්නෙත් නැහැ. රෝගියාගේ දූත ලක්ෂණ අනුව, තත්කාලය අනුව අපිට තීරණය කරන්න පුළුවන් රෝගියාට දෂ්ට කළ සතා සර්පයා, සපා කෑ වේලාව, වැදුණු දළ ප්‍රමාණය ආදී බොහෝ කරුණු . දේශීය සර්ප විෂ වෙදකමේ නාග, පොළොං, කරවල් හා මාපිල් වශයෙන් සර්ප වර්ග හතරක් හඳුනා ගැනෙනවා.
සර්ප විෂ වෙදකම ගුප්තයි. සමහර විට සර්පයා මැරුවහොත් කරන මන්ත්‍ර අසන්නැති වෙලාවල් තියෙනවා. සර්පයාගේ දළවලට අධිගෘහිත යක්ෂණියන් හතර දෙනෙක් ඉන්නවා. මේ දළ හතරම වැදුණහොත් විෂ උග්‍රවිය හැකි නිසා ක්ෂණිකව ප්‍රතිකාර කළ යුතුයි. අපේ වෙදකම අනුව නයෙකු දෂ්ට කරන විට ඌ නැවත ඇවිත් ඒ විස උරාබොන කතාවක් කියනවා. සාමාන්‍යයෙන් නයෙකු දෂ්ට කළහොත් ඌ ඇවිත් ගේ වටා කැරකෙනවා කියලා කතාවක් තියෙනවා, අපේ වෙද කෙම්. මන්ද සමහර විට අපේ වෙදකමට අනුව ඒ සර්පයාම ගෙන්වලා රෝගියාගෙන් විස අද්දවන ක්‍රමයක් තියෙනවා. එවැනි අවස්ථාවක් වෙතොත් සර්පයා මැරීමෙන් ඒ දේ කරන්න බැරි වෙනවා.
නාගයෙකු දෂ්ට කළ විට ඌ දෂ්ට කළ ස්ථානය කළු වෙන අතර මුහුණ ඉදිමීම්, මුහුණ කළු විම්, මෙන්ම සිහි මූර්ජා වීම් ඇතිවෙනවා. මේ විස බලපාන්නේ රෝගියාගේ ස්නායු පද්ධතියට. නාග දෂ්ටයේදි නාගයා වෛර බැදගෙන පැමිණ දෂ්ට කළහොත් බේරා ගැනිම් අපහසු වෙනවා. මර්මස්ථාන වලට දෂ්ට කිරීම්ද මාරාන්තික වෙනවා. කෙසේ වෙතත් ආයුර්වේද වෙදකම, පාර්ම්පරික වෙදකම අනුව සර්ප දෂ්ටයෙන් රෝගියාගේ ජීවිතය බේරාගැනීම වඩාත් පහසු වෙනවා.”
පානදුර ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධාරි
මධුරංග විද්‍යාසේකර
පිටගැස්ම වැළැක්වීමේ එන්නත විදිනවාමයි
සර්ප දෂ්ට රෝගියෙකු රෝහලකට රැගෙන ඒමේදි දෂ්ට කළ සර්පයා රැගෙන ඒමෙන් ප්‍රතිකාරයට වඩාත් පහසුවක් වෙනවා. සර්පයාගේ හිස කොටස බේරා ගෙන ආ යුත්තේ සර්පයා හඳුනා ගැනීම පහසු වෙන්නයි. සර්පයා පණ පිටින් ගෙන ඒමේදි වඩාත් ආරක්ෂිතව ගෙන ආ යුතු වෙනවා. මන්ද කලබලයෙන් ගෙන ඒමේදි විවිධ අපහසුතාවයන්ට ලක්වීමේ ඉඩකඩ පවතින නිසා. නමුත් සර්පයා හඳුනා ගැනීමට බැරි වුවත් රෝග ලක්ෂණ අනුව අපි ප්‍රතිකාර ආරම්භ කරනවා. පිටගැස්මට ලක්වීම වළක්වා ගැනීමට ටෙටනස් ටොක්සයිඩ් එන්නත විදීම කරනවා. කුමන සර්පයා දෂ්ට කළත් සපා කෑවත් මේ එන්නත විදීම අනිවාර්යයි.
රෝගියාගේ රෝග ලක්ෂණ මතුවූයේ නම් ‘ඇන්ටි වෙනම්‘ එන්නත එන්නත් කරනවා. සමහරු කියනවා සර්පයා මැරිලා ගෙනාවොත් විෂ වැඩියි කියලා. එහෙම වෙන්නේ නැහැ. විෂ වැඩිවීම කෙරෙහි බලපාන්නේ සර්පයාගේ ඛේට ග්‍රන්ථිවල එකතු වූ විස ප්‍රමාණයයි. දෂ්ට කරන අවස්ථාවේදි සර්පයා වෙන සතෙකු දෂ්ට කර ඇත්නම් විස ප්‍රමාණය අඩුයි. ඌ බඩ ගින්නේ සිටී නම් විස ප්‍රමාණය වැඩියි. කෙසේ වෙතත් දෂ්ට කළ වහාම ළඟම රෝහලකට ගෙන ඒම වැදගත්. විවිධ හේතු කාරණා මත ප්‍රමාදය හේතුවෙන් විස රෝගියාගේ ශරීරයේ පැතිරීමෙන් අසාධ්‍යවීම හෝ මරණයට පත්විම සිදුවිය හැකියි. ස්වසන පද්ධතිය , වකුගඩු අකර්මන්‍ය වීම, කම්පනය, උග්‍ර ආසාත්මිකතාව, විෂබීජ පැතිරීම, පිටගැස්ම, මාංශ පේශි මියයෑම ආදි කරුණු කාරණා මත රෝගියා මරණයට පත්විය හැකි හෙයින් කල් නොයවා හැකි ඉක්මනින් රෝගල් ගත කළ යුතුයි.
පසුබිම් තොරතුරු හා සේයාරූ - දිල්හාන් විජයානන්ද
සුභාෂිණී ජයරත්න