
මං දන්නවා සර්ගෙ පරම්පරාවල සමහර ඥාතීන්ට යාපනේ ඉඩකඩම් වෙළෙඳ ව්‍යාපාර විතරක් නෙමේ ජීවිතත් අහිමි වුණා. සර්ට දුක ඇති. බුදු හාමුදුරුවො කියලා තියෙවා කිඹුල්වතින් එන සුළඟත් සැපයි කියලා.
යාපනේ යම්දැයි නොයම්දැයි මනෝහාරි සිතන්නට වූවාය. නරේන් මාමාට කුමන පිළිතුරක් දිය යුතුද? එකවර ම සිතා ගැනීමට නුපුළුවන. මිතුරිය රෝජා උතුරට යෑමේ කතාවට තවත් අලුත් කතාවක් එක් කර ඇත. රුක්නාද් එය නොදන්නේ ද?
රාජඍෂි උතුරට යනවාට ලොකු අම්මාගෙන් තහනම් නියෝග වැටෙනු නිසැකය. ඒ පිළිබඳ රුක්නාද් හමුවේ කතා කිරීම නොකළ යුතු වන්නේ එය ඔහුගේ සිත නොසන්සුන් කිරීමට ඇති අවකාශ වැඩි නිසාය.
“මනෝ, නංගි එනවද? ගිය සැරෙත් ඔයා ආවෙ නැහැ. රාජඍෂි ආවෙත් නැහැ..”
කුඩා හැන්දකින් දීසියේ වූ දෙළුම් ඇට එහා මෙහා පෙරළමින් උඩුයටිකුරු කරමින් සිටි රුක්නාද් මනෝහාරීගේ මුහුණ බලා එකවර ම ඇසුවේ බලාපොරොත්තු සහගතවය.
“නරේන් මාමා යනවා නම් අම්මා අපිට යන්න දෙයි. ඒත් අපි හිතාගෙන හිටියෙ..”
මනෝහාරි සිතූ දේ කීමට පසුබට වූවාය. නරේන් මාමා නොසිටියා නම් තම සිතැඟි මිතුරු වෙසින් රුක්නාද් සමඟ කීමට අවකාශ තිබිණි.
“මොනවද ඔයාලා හිතාගෙන හිටියෙ? කවුද අපි?”
තරුණිය පිළිතුරු නොදුන්නාය. කුඩා කල යාපනයේ විදුලි පහන් කණුවට ගැසූ කොන්ක්‍රිට් ඇණය බලන්නට සෝ බර සුන්දර ආශාවක් ඇය සිත බුබුළු නංවමින් ඇත. එය තවමත් නොසෙල්වී නොගැලවී තිබෙන බව දැන් ඇය දනී.
එදා කණුව වට කර ගෙන සිටි නැඟණිය මෙන් ම ඉන්ද්‍රජිත් සහ චන්දිරම් සමඟ එහි යෑමට ඇය සිත ඇති ප්‍රාර්ථනය හා බලාපොරොත්තුව එකවර කීමට නුපුළුවන. රෝජා සඳපාණි ඉන්ද්‍රජිත් සොයා ගැනීමේ අන්තර්ජාල මෙහෙයුමට චන්දිරම් ද සම්බන්ධ කර ගෙන ඇත.
“රුක්නාද් රෝජා කියනවා එයා නම් ආයෙ පහන් කණුව ළඟට යන්නෙ චන්දිරම්ලව හොයා ගත්තට පස්සෙලු. ඒ දෙන්නත් එක්ක යන එකටලු වැඩි වටිනාකමක් තියෙන්නෙ.”
මනෝහාරි වරින්වර නරේන්ද්‍ර දෙසත් රුක්නාද් දෙසත් බලමින් කීවේ මඳක් සැකයෙනි. දෙගිඩියා හැඟීමෙනි.
“කවුද දෙන්නා?” එකම ප්‍රශ්නය දෙදෙනෙකු මුවින් එකවර මතු විය.
“ඉන්ද්‍රජිත්. චන්දිරම්ගෙ අයියා ද මල්ලිද දැන් මට මතක නැහැ”
නරේන්ද්‍ර සහ රුක්නාද් ඔවුනොවුන් මුහුණ බලා ගත්තහ. ඥාති දියණිය පිළිබඳව නරේන්ද්‍ර සිත උපන්නේ දුකකි. මේ රෝජා සඳපාණි ගත් සංවේදී තීරණයක් වීමට නුපුළුවන. මනෝහාරිගේ අහිංසක සිත තවමත් කුඩා මිතුරා සොයා ගැනීමට වෙහෙස දරමින්ය.
“මනෝ, මේ අහන්න. අපි හැමදෙනා ම ඔයාගෙ පුංචි යාළුවා දකින්න ආසාවෙන් ඉන්නෙ. මගෙ නම් හිත කියන්නෙ ම ලෝකෙ කොහෙ හිටියත් එයා ළඟදිම දවසක අපිට කතා කරාවි කියලයි. ඒත් මානෝ ආයෙත් අවුල් කරදර පටන් ගන්න කලින් අපිට කරන්න දෙයක් තියෙනවා. ඕනෑම මනුෂ්‍ය ජීවිතයකින් මේ මහ පොළොවට ලොකු වටිනාකමක් දෙන බව රට පුරා සියලු ජාතීන් අතර ව්‍යාප්ත කරන්න අපිත් දැනුත් ප්‍රමාද වැඩියි. කොතනින් හරි කොහොම හරි පටන් ගන්න ඕන. පහසු නැහැ. ඒක මං දන්නවා නංගි...”
මනෝහාරි මෙන් ම නරේන්ද්‍ර ද රුක්නාද්ට සවන් දුන්නේ කල්පනාවෙනි. රෝජා තරුණිය සිය ඥාති දියණිවරුන් දෙදෙනාත් පුත්‍රයාත් වසඟයට ගෙන ඇතැයි නරේන් සිතුවේ කිසියම් නොරිස්සුමක් හො නොසංසුන්කමක් සිත ඇතිවය.
“සඳපාණි රෝජාට ඕන විදිහට රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.”
ඔහු කීවේ සරදම් හඬිනි. මනෝහාරි එසේ කී මාමා වෙත හෙළුවේ කරදරකාරී බැල්මකි.
“රුක්නාද් මං හිතන්නෙ රෝජා හරි.” ඇය තීරණාත්මක වූවාය.
“එයා කතා කරන්නේ වර්ගවාදී අර්බුදයේ මානුෂික පැත්ත හොඳට අධ්‍යයන කරලා. ජීවිතයේ යථාර්ථය ඇත්තට ම ගවේෂණය කරලා. එයා කියනවා ආදරය සහ විශ්වාසය බලෙන් දෙන්නවත් බලෙන් ගන්නවත් බැහැ කියලා. ඒක ඇත්ත. ගැහැනු පිරිමි අතර විතරක් නෙමේ, දෙපාර්ශ්වයක් අතර ඇති වෙන ඕනෑම ප්‍රශ්නයක් නිවැරැදි විදිහට විසඳෙන්නෙ ආදරය සහ විශ්වාසය ඇති වුණොත් විතරයි.”
නරේන්ද්‍ර සුපුරුදු පරිදි නොසංසුන් විය. දැන හෝ නොදැන ඒ තරුණිය තම අතීතය සමඟ පැටලි පැටලී විත් ඇගේ වර්තමාන කතාවලින් තම ඥාති දියණිවරුන් සහ පුත්‍රයා පමණක් නොව රුක්නාද් ද වසඟයට ගෙන ඇත.
ආදරය සහ විශ්වාසය බලෙන් දීමට හෝ බලෙන් ගැනීමට නොහැකි යැයි පවසමින් ප්‍රියදෝණි මහමායා තම ජීවිතයෙන් ඉවත්ව ගියාය. ඇයටත් රෝජා සඳපාණිටත් එරෙහි වීමේ සිතක් නරේන්ද්‍ර තුළ උපන්නේ නිතැතිනි.
“මනෝ දුව, මේ අහන්න. රෝජා ගෑනු ළමයි ඊයේ පෙරේදා ලංකාවට ඇවිත් දාර්ශනික මත ප්‍රකාශ කළාට ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්වුණු මිනිස්සුන්ගෙ දුක දැක්කෙ අපි. අපි දැක්කෙ මනෝ විද්‍යාත්මක දුකක්වත් දාර්ශනික දුකක්වත් කාල්පනික දුකක්වත් නෙමේ ප්‍රායෝගික දුකක්. උතුරේ අහිංසක මිනිස්සු වගේ ම දකුණේ අහිංසක මිනිස්සුත් ජීවත් වුණේ මරණ බයේ ගැහි ගැහි. අපි දේශපාලකයො ආරක්ෂක සේනා පිරිවරාගෙන පාරට බැස්සෙ. ඒක දැන් අපට අමතකයි. රෝජා ගෑනු ළමයා කැනඩාවට වෙලා සැපෙන් සතුටෙන් ජීවත් වුණා. නේෂන් වගේ මනුෂ්‍ය ධර්ම දන්න යහපත් මනුෂ්‍යයෙකුට දරුවා නූනා නම් එයත් දෙමළ ඩයස් පෝරාවට සම්බන්ධ වෙලා අලුත් විදිහකට අපිට ආයුධ දික් කරාවි.”
“නෑ මාමා නෑ” මනෝහාරි දැඩි තියුණු හඬකින් විරෝධය පෑවාය.
“එයාගෙ අම්මගෙ මරණයත් එල්.ටී.ටී. ඝාතනයක්.”
“එහෙම නම් එයා ඒ ඝාතනයට සාධාරණත්වයක් ඉල්ලලා මානව හිමිකම් කඩ කළා කියලා යන්න ඕනැ ජීනිවාවලට. යාපනේට නෙමේ.”
රුක්නාද් නරේන්ද්‍රට සවන් දුන්නේ පුදුමයෙනි. ඔහු කෝපවී සිටී. ඔහුගේ කෝපය මනෝහාරි ඉක්මවා සඳපාණි තරුණිය ද අරමුණ කරගෙනය.
ඔහු නරේන්ද්‍ර දෙස බලා සිටියේ මෙතෙක් කාලයක් අවංකව හා ඍජුව තමාට හිතවත්කම් පෑ, මුළු මිනිස් වර්ගයා තුළම නිදහසට මනුස්සකමට ආදරයක් තිබිය යුතු යැයි සංවේදීව කියා පෑ, දේශපාලනඥයා ගේ හදිසි පෙරැළිය කුමක්දැයි වටහා ගැනීමට උත්සාහ කරමිනි. විවිධ සිතුවිලි ඇතිව නැතිව ගියේය.
“නරේන්ද්‍ර සර්. මට සර්ව තේරුම් ගන්න පුළුවන්.” අවසානයේ නිශ්චිත සිතුවිල්ලක ඔහුගේ සිත නතර විය.
“මං දන්නවා සර්ගෙ පරම්පරාවල සමහර ඥාතීන්ට යාපනේ ඉඩකඩම් වෙළෙඳ ව්‍යාපාර විතරක් නෙමේ ජීවිතත් අහිමි වුණා. සර්ට දුක ඇති. බුදු හාමුදුරුවො කියලා තියෙවා කිඹුල්වතින් එන සුළඟත් සැපයි කියලා. අප්‍රමාණ සැප සම්පත් අත් ඇරලා මහභිනික්මන් කරපු සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවොත් එහෙම දේශනා කළා නම් ලෞකික ජීවිත ගත කරන අපිට මිනිස් හදවත්වල බැඳීම් එකපාරට ම අතාරින්න බැහැ. සර්ට දුක ඇති...”
“නෑ මට කිසිම දුකක් නෑ. මගේ බැඳීම ඥාති මිත්‍රයො එක්ක නෙමේ. මනුස්සකම එක්ක. මනුෂ්‍ය හැඟීම් එක්ක සෙල්ලම්කරනවට මං කැමති නෑ.”
නරේන්ද්‍ර මඳක් මෘදු විය. මනෝහාරි තැති ගත් දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය. ඔහු නිතර කිපෙන්නෙක් නොවන බව ඇය දනී. කිපෙන්නේ කුමක් නිසාදැයි වටහා ගැනීමට ද අපහසුය. රෝජා සඳපාණි පිළිබඳ ඔහුගේ අර්ථකථනය සාවද්‍යය. මිතුරිය ආරක්ෂා කර ගත යුතුය.
“නරේන් මාමා, මාමා රෝජාට දොස් කියන්නෙ එයා ගැන හරියට නොදැන. එයාට අම්මා නැති වුණේ ත්‍රස්තවාදය නිසා. එයා ඒ දුක හංගගෙන අපි මනුස්සයො වෙමු කියන යෝජනාව ගේනවා. අපි සේරටම වැඩිය එල්.ටී.ටී ක්‍රියාකාරකම් ගැන දන්නෙ එයා. කැනඩාවෙ ජීවත් වුණාට එයා තමන් උපන් භූමියට බෝම්බ දාන්න ත්‍රස්තවාදීන්ට එකතු වෙලා නැහැ. එයා දුක හංගගෙන ජීවත් වෙනවා. පව්.”
“කොයි ගෑනිත් තියෙන අහංකාරකම හින්දා හිතේ දුක හංගගෙන පිරිමින්ට ගොරවන්න දක්ෂයි.”
“නෑ මාමා, රෝජා කාගෙවත් හිත රිද්දන්න කැමති නැහැ.”
“හ්ම්. හරි පිළිගන්නම්.”
“එයා ඉන්ද්‍රජිත් චන්දිරම් එක්කම විදුලි පහන් කණුව ළඟට යමු කියන්නෙ ලොකු අර්ථයක් තේරුමක් ඇතිව. ඒ දෙන්නා ගියාම තරුණ දෙමළ කෙල්ලො කොල්ලො අතරෙ පොඩි සංවාදයක් ඇති වෙනවා. දසක ගණනාවකට පස්සෙත් ළපටි මනුස්සකමේ මතකය අමතක වෙලා නැහැනේද කියලා දෙතුන් දෙනෙක් හිතුවත් ඒක ලොකු ජයක්.”
“හ්ම් පිළිගන්නවා.”
නරේන්ද්‍ර නිහඬ විය. ආදරය සහ විශ්වාසය බලයෙන් දීමට හෝ ගැනීමට නොහැකි යැයි අසන්නට ලැබීම ඔහු නැවුම් හැඟීම් දනවන්නක් නොවේ. ඒ පිළිබඳ මේ තරුණයාට හෝ තරුණියට කීමෙන් පලක් නැත.
අතීතය සුළි සුළඟක් කරනු ලබන්නේ වියරු වූ සොබාදහම නොව, සොබා දහම විසින් උපත දී ඇති පෙනෙන නොපෙනෙන කුණාටුවක් වන් සොඳුරු යෞවනයේ පසුවන ස්ත්‍රි ආත්මයන් විසිනි. ඇය සිතා මතා තමා දවා අළු කරන්නට සිතනවා නොවේ. සිදුවන්නේ මේ කුණාටුවට අසුවී තමා අතීතය තුළ අතරමංවී වර්තමානයට ඒමට නොහැකිව පසුතැවිලි වීමයි. කුණාටුවට පෙර පසුව නිතැතින් ම ගිනි ගන්නා අතීතය තුළ තමාම දැවී අළු වී යාමයි.
“නරේන් ඔයා ඔයාගෙම ජීවිතයට කතා කරන තුරු ඔයාට ජීවිතය තේරුම් ගන්න බැහැ. දේශපාලනඥයෙක් විදිහට ඔයා මිනිස්සුන්ට කතා කරන්න කලින් ඔයා ඔයාට ම කතා කරන්න. ඔයා කවුද කියලා රටවැසියො හොයා ගන්න කලින් ඔයා කවුද කියලා ඔයාම හොයා ගන්න නරේන්. එතකොට ඔයා තුළින් හැබෑ මනුෂ්‍යයෙක් මතු වේවි.”
සිතෙහි කරකැවෙන සුළි සුළඟද දෙබෑකර හඬ නංවන අතීත ස්ත්‍රි ආත්මයක දයාබර ඉල්ලීමෙහි වටිනාකම එදා තමාට නොවැටහුණා නොව වටහා ගැනීමට උත්සාහ නොකිරීම අද දඬුවම් දෙන වරදක්ව ඇත.
රුක්නාද් තරුණ මන්ත්‍රිවරයා මේ නෑකම් කියමින් සිටින්නේ ඇගේ ඒ දයාබර ඉල්ලීමට නොවේ ද? මානව හිතවාදී දේශපාලනඥයෙකු තුළින් ආදරණීය පෙම්වතෙකු දැකීමට ඇය තුළ වූ බලාපොරොත්තු තමා විසින් බිඳ දමනු ලැබුවේ කුමන ජයග්‍රහණයක් උදෙසාද? කුමන ආත්ම තෘප්තියක් සඳහා ද?
නරේන්ද්‍ර දකුණත ඇඟිලි තුඩින් නළල්තලය පිරිමැද ගන්නට විය. මනෝහාරි ඔහු දෙස බලා සිටියේ ඔහුගේ දීර්ඝ කල්පනාවන් කුමක් මුල්කරගෙන දැයි විශ්වාසයෙන් තොරවය. සමහර විට නරේන් මාමා රාජිනි ලොකු අම්මාට එරෙහිව යෑමට අකැමැත්තෙන් රෝජා සඳපාණිගේ යෝජනා සැහැල්ලු කරනවා වීමට පුළුවන. ලොකු අම්මා සිත නේෂන් වෛද්‍යවරයා, රෝජා සඳපාණි සහ රුක්නාද් මන්ත්‍රිවරයා පිළිබඳ අල්පමාත්‍ර පැහැදීමක් විශ්වාසයක් නැත.
“නරේන් මාමා.” මනෝහාරි ඔහු කල්පනාවෙන් අවදි කරවා ගත්තාය.
“මම මාමාට බොන්න මොනවා හරි ගේන්නද?”
“මට උණුවතුර ටිකක්. රුක්නාද් ඔයාට තේ එකක්?”
“හොඳයි. ඉඟුරු කෑල්ලක් දාලා.” මනෝහාරි පුස්තකාල කුටියෙන් බැහැර වීමට නැගී සිටියාය. නරේන්ද්‍ර ඉදිරිපිට දෙළුම් දීසියෙහි අඩුවක් නැත.
“නෙර්න් මාමා දෙළුම් ටික කන්නකො.”
“හරි. කන්නම්. ඔක්කොම කන්නම්.” මනෝහාරි සිනාසෙමින් කුටියෙන් පිටව ගියාය.
“රුක්නාද්.”
“කියන්න සර්.”
“කාන්තාවො එක්ක වැඩ කරන කොට හුඟක් පරෙස්සම් වෙන්න ඕන. දේශපාලන ප්‍රශ්නවලදි අධි සංවේදී වෙන්න හොඳ නැහැ. තීරණ ගන්න අමාරුයි. අපිට පිළිගන්න වෙනවා උතුරේ ප්‍රශ්නෙ ජාතිවාදයක් නෙමේ. දේශපාලන බල තණ්හාවක්. මේ තත්වය මුළු රටම හොඳට තේරුම් ගන්න ඕන. නැත්නම් සාමාන්‍ය රටවැසියා නැවත නැවතත් නැවත නැවතත් දුකට වැටෙනවා. ලෝකෙ දේශපාලනයේ ක්‍රෑර බල අරගල න්‍යාය පත්‍රයකට රැවටිලා හරි, බයවෙලා හරි, තමන්ගෙ බලය රැකගන්න යටත්වෙලා හරි ලාංකිකයින් විදිහට එකිනෙකා කෙරෙහි ගෞරවයක් විශ්වාසයක් ආදරයක් ගොඩනගන්නෙ නැතුව රට පාලනය කරන්න ගියොත් රටත් ඉවරයි. රටවැසියත් ඉවරයි.”
“ඔය ටිකම තමා රෝජා සඳපාණි කියන්නෙත්. එයා පුංචි වුණාට හුඟක් දැනුම තේරුම තියෙනවා.”
රුක්නාද් නරේන්ද්‍රගේ හඬට ප්‍රති උත්තර දුන්නේ සිනාවෙනි.
ඇත්තද? එයත් එහෙම කියනවද? ඔය කතාව ඉස්සර හිටපු කාන්තාවොත් කියලා තියෙනවා. දැන් අයත් කියනවා. අනාගතේ ඉපදෙන අයත් කියාවි.”
නරේන්ද්‍ර කීවේ සිනාවෙනි.
“මට සර්ගෙන් පොරොන්දුවක් ගන්න තියෙනවා.”
“මොකක්ද?”
රුක්නාද් මොහොතක් නරේන්ද්‍රගේ මුහුණ බලා සිටියේ ඇස පිය නොහෙලෙන දෙනෙතිනි.
ලබන සතියට