
යළි වගා කළ හැකි පුරන් කුඹුරු නැවත අස්වැද්දීම සඳහා වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙරට පුරන් කුඹුරු යළි වගා කිරීමට යොදා ගැනීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2023 වසර සඳහා රුපියල් මිලියන 430ක් වෙන් කර තිබේ.
මෙම මුදල යොදා ගැනීම මගින් 2023 වසරේ මහ කන්නයේ දී පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ නැවත වගා කළ හැකි එහෙත් අවුරුදු 05කට ආසන්න කාලයක් වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 47,000කි.
තවත් අක්කර 50,000ක් පමණ පුරන් කුඹුරු තත්ත්වයට පත්ව ඇතත් ඒවා නැවත වගාව සඳහා ඒවා යොදා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතී.
දැනට වගා කළ හැකි එහෙත් වගා නොකර අත්හැර දමන ලද පුරන් කුඹුරු වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ දක්නට ලැබේ.
මෙසේ වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු වගා කිරීමේ කටයුතු රැකියා විරහිත තරුණ ප්‍රජාවට පැවරීමටත්, ඔවුන්ට තමන් කැමැති සුදුසු බෝගයක් වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ප්‍රතිපාදන හා වගාවට අවශ්‍ය බීජ හා අනෙකුත් යෙදවුම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නොමිලයේ සපයනු ලබයි.