සබරගමු පළාතේ පැල්මඩුල්ල මිණිපුරයේ බැබළෙන පාසලක් වූ ර/ ගන්කන්ද මධ්‍ය විදුහල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ සංකල්පයක් මත බිහි වූ ලංකාවේ මධ්‍ය විදුහල් 51 න් එකක් විය. සිය අතීත ගමන් මඟේදී පමණක් නොව වර්තමානයේදීද ජාතික විභාගයන් සඳහා සිසුහු ඉදිරිපත් කරමින් ඉහළම සාමාර්ථ්‍යය දක්වන්නට මේ පාසලට හැකියාවක් ලැබුණි. මීට වසර 94 කට පෙර එනම් 1929 මාර්තු 3 වැනි දින තල්කොළ සෙවිලි කළ කුඩා මඩුවකින් ආරම්භයක් සැපයූ මේ පාසල එදා හැඳින්වූයේ ගනේගම බෞද්ධ මිශ්‍ර පාසල නමිනි. ගන්කන්ද මුහන්දිරම්ගේ ඩිංගිරි මහත්මා, පුංචි මහත්තයා හා හීන් මහත්තයා යන එදා සිටි ප්‍රභූන්ගේ භූමි පරිත්‍යාගයෙන් මිණි පුරයෙන් බිහිවූ මේ පාසල වර්තමානයේ ඉහළම තලයේ වැජඹෙන නමත් රැන්දූ ජාතික පාසලකි. සිසුන් 40 කින් එදා ආරම්භ වූ මේ පාසලේ වත්මන් සිසුන් සංඛ්‍යාව 2831 කි. ගුරුවරු 125 ක් මෙන්ම අනධ්‍යන කාර්ය මණ්ඩලය 32 කි.
ගන්කන්ද විදුහල් පියසින් සිසුන්ගේ නැණ නුවණ පුබුදුවාලන මේ ගමනේ ආරම්භක ගුරුතුමා වූයේ ඩී.එච්. සුබසිංහ වන අතර ඩී. එස්. ආර්. කුලසූරිය ප්‍රථම මුල් ගුරුවරයා විය. ලංකාවේ මුල්ම මධ්‍ය විදුහල් 51 අතරට තේරී පත්වන මේ පාසල, ර/ ගන්කන්ද විදුහල නමින් ප්‍රකට වන්නේ 1946 ජනවාරි 3 වැනිදාය. ඒ වන විට සිසුන් 423ක් වූ මේ විදුහල ජාතික පාසලක් බවට පත්වන්නේ 1991 අගෝස්තු මාසයේදීය. වසර 94 ක් පුරාවට රටේ නමක් රඳවමින් පාසල ආ මේ ගමනේදී අතීත විදුහල්පතිවරු සේම වත්මන් විදුහල්පති එම්. සුධීර ජේ. ජී ෆොන්සේකා ඒ විශිෂ්ට කැපවීමට දායක වූවෝ වෙති. පාසලේ වත්මන් පෙර ගමන්කරු වන එම්. සුධීර ජේ. ජී ෆොන්සේකා වත්මන් විදුහල්පතිවරයාගේ කාලයේ පාසල ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් යුගයක් විය. ඔහුට පෙර විදුහල්පති ධුරය හෙඹවූ නීල් වතුකාරවත්ත විදුහල්පතිවරයාගේ සමය ද පාසලේ එක් ස්වර්ණමය යුගයක් විය. ඔහු විසින් ගොඩ නැඟූ පාසල් පරිසරය අදටත් එලෙසම පවත්වා ගෙන යෑමේ ගෞරවය වත්මන් කළමනාකරණ මණ්ඩලයට හිමි වේ.
පසුගියදා පැවැති 2022(2021) සාමාන්‍ය පෙළ විභාගයට ගන්කන්ද විදුහලෙන් සිසුහු 268 දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ සියලු දෙනාම උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූයේ පාසලේ සාමාන්‍ය පෙළ සිසු සමත්වීම මෙවර ද 100% කට පත් වෙමිනි. 2017 සිට මේ දක්වාම ගන්කන්ද විදුහලේ සාමාන්‍ය පෙළ සිසු සමත්වීම 100% ක් වීම කැපි පෙනුණු ලක්ෂණයකි. මෙවර A 9 සාමාර්ථ්‍යය 12ක්, A 8 සාමාර්ථ්‍යය 22 ක්, A 7 සාමාර්ථ්‍යය 22 ක් හා A 6 සාමාර්ථ්‍යය 34 ක් ලබාගැනීමට ගන්කන්ද සිසුහු සමත් වූහ. ඒ අතර තවත් සුවිශේෂිතාද විය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව A සාමාර්ථ ගණිතය විෂයට 192 ක් ලබා ගැනීමට ද, විද්‍යාව විෂයට 78 ක් හා ඉංග්‍රීසි විෂයට 77 ක් ලබා ගැනීමටද හැකි වීම ඒ අතර වෙයි. 2021 සා/පෙළ පමණක් නොව පසුගිය වසර කිහිපය හා සංසන්දනයේදී මෙවැනිම සාධනීය වාර්තා තැබීමට ගන්කන්ද විදුහල් දරුවෝ සමත් වූහ. 2020 සාමාන්‍ය පෙළ විභාගයේදී ඉතිහාසය විෂයට A සාමාර්ථ්‍යය 196 ක්, 2019 වසරේදි බුද්ධාගම විෂයට A සාමාර්ථ්‍යය 209 ක්, 2018 වසරේදී ගණිතය විෂයට A සාමාර්ථ්‍යය 115 ක් හා 2017දිද ගණිතය විෂයට A සාමාර්ථ්‍යය 139 ක් ලබා ගැනීමට මේ දරුවෝ සමත් වූහ. සාමාන්‍ය පෙළ විභාගයේදි බොහෝ සිසුන්ට අපහසු විෂයන් ගන්කන්ද දරුවෝ ඉහළින් සමත් වූයේ පාසල විසින් මෙතෙක් ගෙන ආ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියන්ය.
කොවිඩ් වකවානුවේ අන් දරුවන් සේම මේ පාසලේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කරන්නට වූයේ මාර්ගගත ඉගැන්වීම් හරහාය. ඒ සඳහා පාසලේ තොරතුරු තාක්ෂණ අංශය සමඟ එක්ව ඒ වෙනුවෙන්ම සැකසුණු නවීන තාක්ෂණික මෙවලම් ඇතුළත් පන්ති කාමර 6 ක් සකස් විය. දුරබැහැර ගුරුවරු පමණක් නිවසේ සිට මාර්ගගත ඉගැන්වීම් සිදු කළ ද, අනිකුත් සියලු ගුරුවරු පැවැති දුෂ්කරතා නොසලකා පාසලේ වූ මාර්ගගත පන්ති කාමර හරහා සියලු සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය ලබා දෙන්නට විය. පන්ති කාමර 6 ටම වෙන වෙනම නිශ්චිත කාල සටහන් සකස් වූ අතර ඒ සියලු අධීක්ෂණ කටයුතු විදුහල්පති, කළමනාකරණ මණ්ඩලය ප්‍රමුඛ අංශ ප්‍රධානීහු අතින් සිදු විය.
දුරකතන සංඥා අඩු, අති දුෂ්කර පළාත්වල සිටින දරුවන්ගේ තාක්ෂණික ගැටලු අවම කිරීමට අවශ්‍ය උපකරණ මෙවලම් ලබාදීමේ කටයුතු පාසැලේ ප්‍රධාන ආදි සිසුන් අතරින් සිදු විය. තාක්ෂණික ගැටලු අවම කිරීමේ ක්‍රමෝපායන්ට මුල සිටම ප්‍රවිෂ්ට වීමට හැකියාව ලැබුණු හෙයින් සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් මාර්ගගත ක්‍රමයට අනාවරණ පරීක්ෂණ මෙන්ම ඇගැයීම්ද පැවැත්වීමට හැකියාව ලැබුණි. විභාග පැවැත්වීමේදි යම් යම් දුෂ්කරතා පැන නැඟුණද, ඒ සියල්ල දරුවන් විඳ දරාගෙන මේ මාවතේ ඉදිරියට යෑමට හැකිවීම මේ ජයග්‍රහණයේ එක් පසුබිමක් විය.
කොවිඩ්වලින් අනතුරුව රට විවෘත වුවද පාසල් සිසුන් ගෙන්වා ගැනීම කාණ්ඩ වශයෙන් සිදුවූ හෙයින් එසේ ඇතිවූ පාඩු පියවා ගන්නටද විශේෂ ක්‍රම සොයන්නට ගන්කන්ද කළමනාකරණ මණ්ඩලයට හැකි විය. ස්වේච්ඡාවෙන් සිය කාලය වැය කරමින් පාසල් කාලයෙන් අනතුරුව අතපසු වූ පාඩම් කොටස් පියවීමේ කාර්ය භාරයට ගුරුවරු නියැළුණහ. එසේම එකම විෂය කොටස් දෙවරක් සිසුන් වෙනුවෙන් ඉගැන්වීම ගුරු සේවයේ සුවිශේෂි කැපවීම්ය. උදෑසන පාසල් ආරම්භ කිරීමට මත්තෙන් පැයක කාලයක් වෙන්වූයේ යම් යම් විෂයන්ට නියමිත සාධන මට්ටමක් නොපෙන්වූ දරුවන්ටය. පාසල් අවසන් වීමෙන් පසු පැයක කාලයක් ගත වූයේ ඒ ඒ විෂය ආවරණ කටයුතු වෙනුවෙනි. සමාන්තර පංති 6 ම එක් ආකාරයටම අධ්‍යයන කටයුතු සිදු විය.
පැල්මඩුල්ල ගන්කන්ද විදුහලේ විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සාමාන්‍ය පෙළ අවශ්‍ය සාධන මට්ටම කරා ළඟාවීමට අනුපමේය කැපවීමක් සිදු කළෝය. පාසල උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්ව පවතින කාලයේ සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින සිසුන්ට විශේෂ සම්මන්ත්‍රණ දියත් කළේ කිලෝ මීටර් තුනක් දුරින් වූ දුෂ්කර පාසලක් වන පනාවැන්න පාසලේදීය. ඒ විභාග මධ්‍යස්ථානයන් පවතින හෙයින් ගන්කන්ද පාසලේ අතිරේක පන්ති සඳහා සිසුන් ගෙන්වීමට නොහැකි හෙයිනි. ගුරුවරුන්ගේ කැපවීම මත කිලෝ මීටර තුනක් දුරින් වූ මේ පාසලේද සාමාන්‍ය පෙළට පෙනී සිටින සිසුන් 10 ක් සමණ සිටිති. පනාවැන්න පාසලේ සිමිත පහසුකම් ඇති හෙයින් ඩෙස් බංකු පුටු මේ පාසලින්ම ගෙන ගොස් අදාළ දේශන පැවැත්වීමට සිදුවීම ඔවුන්ගේ නොමැකෙන අත්දැකීම් විය. මෙය ගන්කන්ද විදුහල් සිසුන්ට පමණක් නොව පනාවැන්න සිසුන්ට ද මහඟු අවස්ථාවකි. ගණිතයට අවශ්‍ය සාධන මට්ටම කරා ළඟා කරවිමට ගණිත කඳවුරු පැවැත්වූයේ උදෑසන සිට පසුදා එළිවන තෙක්ය. ඒ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම පාසල් ගුරුවරු ද එක්වීමෙනි. දරුවන්ට එන නවමු අත්දැකීමක් එක් කළේය. සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් මෙන්ම විවිධ ක්‍රීඩා ඇතුළත් වුව ද ඒ සියල්ල ගණිතයට අදාළ දැනුම ගෙනෙන වැඩසටහන් විය. අමතරව ගිනිමැල සංගීත සංදර්ශන හරහා රාත්‍රිය ගෙවෙන්නට සැලැස්වූයේ දරුවන්ට මනසට ද විවේකයක් ලබා දෙමිනි. ගණිත කඳවුරු මෙන්ම යම් පසුබැම් පෙන්නුම් කරන විෂයන් වෙනුවෙන් විෂය කඳවුරු සංවිධානය කිරීම ද ගුරුවරුන්ගේ කැපවීමක ප්‍රතිඵලයකි. මේ නිසා වසර කිහිපයක්ම දක්ෂ, අදක්ෂ සිසුහු සියල්ලෝම එක් ගමනකට ප්‍රවිෂ්ට කරවන්නට හැකි විය.
පාසලේ මේ ජයග්‍රහණය පිටුපස පෙළ ගැසීම් බොහෝය. ක්‍රීඩා, සංගම් පාසලේ අනන්‍යතාවය. ගන්කන්ද විදුහලේ ක්‍රීඩා 32 ක් මෙන්ම සංගම් 11 ක් පැවැත්වෙයි. විභාගය පමණක් නොව බාහිර කටයුතුවලට ද සිසුහු සිය සහයෝගය දක්වන්නේ නිසි කාල කළමණාකාරීත්වයෙනි. 2022 වසරේ සිසුහු ඒවායෙන් ජය ගත්තේ විභාගය පමණක් නොව බාහිර කටයුතුවලට ද ගන්කන්ද දරුවෝ හපනුන් යන අදහස රටට කියාපාමිනි. වසර 11 කට පසු 2022 වසරේදී‘ රන්මිණි සටන‘ජයගෙන පාසලට ශූරතාව දිනා ගැනීමේ සටනේදී සාමාන්‍ය පෙළට මුහුණ දුන් දරුවෝ ද විය. සමස්ත ලංකා පාසල් වොලිබෝල් 20 න් පහළ බාලිකා ශූරතාව, ඩී. එස්. අයි ස්පෝර්ට්ස් සමස්ත ලංකා 19 න් පහළ බාලිකා අනු ශූරතාව දිනා ගත්තේ මේ සියලු අභියෝග මධ්‍යයේය. කරාතේ, ටයිකොන්ඩු සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනා ගත්තේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ප්‍රවීණා හේෂානි දියණියය. සබරගමු පළාත් ක්‍රීඩා තරග ඉසවු බොහෝමයක්ම පසුගිය වසරේදි දිනා ගැනීමට පාසලට හැකි විය. පහතරට ඒකල නානුමුර, උඩරට සමූහ කොහොඬාහෑල්ල වැනි නර්තන අංශයේ පළාත්, සමස්ත ලංකා ජයග්‍රහණ පාසල අත්කර ගත්තේ 2022 වසරේදීමය.
පාසලේ මේ සියලු ජයග්‍රහණයන් අභියස ආදි ශිෂ්‍ය සංගමයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රියන්ත වැලිවත්ත පවසන්නේ පාසලේ සියලු අවශ්‍යතාවන් සඳහා ආදි සිසුහු උදවු උපකාර කරන්නේ මුදලේ වටිනාකම නොසොයමින් බවයි. පාසලේ දරුවන්ගේ අඩුපාඩු සම්පූර්ණ කිරීමේ කටයුත්තේ සිට සිසුන්ට නිදහසේ ඉගෙනීමේ වාතාවරණයක් සැකසීමේ කටයුත්ත දක්වා වූ සියලු කාර්යයන් සඳහා ආදී සිසුන්ගේ දායකත්වය පාසලට නොඅඩුව ලැබෙන බවකි. විදුහල්පති ඇතුළු කළමනාකරණ මණ්ඩලය විසින් ‘පිබිදෙන ගන්කන්ද ‘නම් වැඩසටහන හරහා ආදි සිසුන්ට ඉලක්ක ලබා දී ඇත. ආදි සිසු කණ්ඩායම් 25 ක් සඳහා පාසලේ ක්‍රීඩා හා සංගම් ක්‍රියාකාරකම් 25 ක් ඉදිරියට ගෙන යාමේ වගකීම් පවරා ඇත්තේය.
විශ්ව සමාජයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමේ දැක්ම පෙරටුකර ගත් පැල්මඩුල්ල ගන්කන්ද විදුහල් මාතාවගේ මෙහෙවර වන්නේ ද ස්ව ශක්තියෙන් නැඟී සිටීමට හැකි පරිසර හිතකාමී සාරධර්ම සපිරි දේශාභිමානි සිසු පරපුරක් බිහි කිරීමය. මේ ගමනේදී වත්මන් විදුහල්පති එම්. සුධීර ජේ. ජී ෆොන්සේකා, නියෝජ්‍ය විදුහල්පති( පරිපාල හා මූල්‍ය) කේ. ඩබ්. එස්.එම් සේනාරත්න, නියෝජ්‍ය විදුහල්පති( අධ්‍යාපන සංවර්ධන හා විනය) ඒ.එම් තිලක්, සහකාර විදුහල්පති( අධ්‍යාපන සංවර්ධන හා මූල්‍ය) එස්.එම් රමණි ගුණතිලක, සහකාර විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන හා විෂය සමගාමී) එච්. පී උදේනි චන්ද්‍රසිරි ඇතුළු පාසල් කළමණාකාරී මණ්ඩලය ද සාමාන්‍ය පෙළ විශිෂ්ට හැකියාවන් දැක්වීමට කැපවූ 6,7,8 අංශ ප්‍රධාන නිර්මලා විල්බට්, නියෝජ්‍ය අංශ ප්‍රධාන වින්ධ්‍යා ගමගේ, 9, 10 ,11 අංශ ප්‍රධාන අයේෂ් චතුරංග, නියෝජ්‍ය අංශ ප්‍රධාන කෝමලා වීරසේකර ඇතුළු සියලු ගුරු භවතුන් දැක්වූ සහය අපමණය.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න