තම සීයා වූ එලිසබෙත් රැජනගේ සැමියා පිලිප් කුමරුගේ අවමංගල උත්සවයට සහභාගි වීමට අමෙරිකාවේ සිට එංගලන්තයට පැමිණ ඒ මොහොතට මුහුණ දුන් ආකාරය ගැන සඳහන් කදිම ප්රස්තාවනාවක් ද ඇතුළත් කර ඇති හැරී කෘතියේ පළමු පරිච්ඡේදය වෙන් කර ඇත්තේ සිය ආදරණීය මව ඩයනා පිළිබඳ ආදරණීය මතක සටහන් වෙනුවෙනි. ඩයනාගේ අවසන් කාලයේ පෙම්වතා බව කියන ඩොඩී අල්ෆෙයිඩ් ගැන ලියන්නට ද හැරී කුමරු අමතක කර නැත. ඩයනා කුමරිය පැරිස් නුවර රිය අනතුරට ලක් වන විට හැරී සහ විලියම් සිටියේ ස්කොට්ලන්තයේ පිහිටි එලිසබෙත් මහ රැජනට අයත් බැල්මෝරල් මාලිගාවේ ගිම්හාන නිවාඩුව ගත කරමිනි. රජ පවුලේ දඟකාර කොලු පොඩිත්තන් ද රැසක් සිටි බැවින් මව නැති පාළුව ඔහුට දැනුණේ අල්ප වශයෙනි. ඇරත් ඒ මොහොතේ ඇය සිටියේ ද ඩොඩි සමඟ විවේක සුව විඳිමිනි. එය හැරී ද දැන සිටි අතර, ඔහු කියන්නේ මව කොතැන සිටියත්, එතැන සිටින්නේ ඇගේ අලුත් ‘මිතුරා‘ සමඟ විය යුතු බවය. එහෙත් ඔහු කෘතියේ කිසිදු තැනක ඩොඩීගේ නම සඳහන් නොකිරීමට තරම් පරිස්සම් වී ඇත.
‘මිතුරා...!‘
‘ඒක තමයි හැමෝම පාවිච්චි කරපු වචනය. පෙම්වතා කියලා නෙවෙයි මිනිස්සු කිව්වේ. ඔවුන් කිව්වේ ඔහු ඇගේ මිතුරා කියලයි. ඇත්තෙන්ම ඔහු ප්‍රසන්න හාදයෙක්.‘
විලීට (විලියම් කුමරු) සහ හැරීට ඒ වනවිට ඩොඩී මුණ ගැසී තිබුණේ එක් වතාවකදී වන අතර, එය සිදු වූයේ ඩයනා සහ ඩොඩී පළමුවරට එකිනෙකා හමු වූ ප්‍රංශයේ ඇල්ෆ් ප්‍රාන්තයේ පිහිටි සාන්ත ටොපෑස් පළාතේදීමය. ඩොඩී පළමුවරට හමු වූ ඒ මොහොතේ හැරී සිටියේ මව හා සොහොයුරා සමඟ ඉතා ප්‍රීතිමත් නිවාඩුවක ය.
පළමු හමුවේදීම ඔහු තොරතෝංචියක් නැතිව තමා සහ සොහොයුරු විලියම් සමඟ කතා කරන්නට වූ බවත්, මේ නාඳුනන පුද්ගලයා මව සමඟ ඊටත් වඩා කතා කළ බවත් හැරී ලියා තිබිණි. ඩොඩී විසින් ඒ මොහොතේ සිය මවට තෑගි කළ දියමන්ති අත් පලඳනාවට ඇය දැඩි කැමැත්තක් දැක් වූ බවත් ඔහු සඳහන් කර ඇත.
පැරීසිය ඇතුළු ලොව පුරා සුන්දර නගර ගණනාවක ඇති තරම් නිවාඩුව ගත කළ ද, හැරීට කවදත් නිවාඩුව ගත කිරීමට වැඩි කැමැත්තක් තිබුණේ බැල්මෝරල් මාළිගාවේය. එහි නිදන කාමර පනහකි. ඉන් එක් කාමරයක් වෙන් කර තිබුණේ විලියම් සහ හැරී කුමරුවන්ටය. කාමරයෙන් අඩකටත් වඩා ප්‍රමාණයක් විලියම් කුමරුට වෙන් කර තිබූ අතර, ද්විත්ව සයනයක්, කැඩපත් සහිත කබඩයක් සහ මුහුණ දොවා ගැනීමට ප්‍රමාණවත් තරමේ වතුර බේසමක් ද ඔහුගේ කොටසට අයත් විය. එහෙත් හැරීට වෙන්කර තිබූ කොටස ඉතා කුඩා එකකි. අඩු පහසුකම් සහිත එම කොටස තමාට වෙන් කළේ ඇයිදැයි ඔහු කිසිදිනෙක විමසා නැති අතර, ඒ ගැන තැකීමක් ද කර නොතිබිණි.
‘මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් විලී තමයි ඔටුන්නට හිමිකාරයා. මම නිකම්ම නිකම් අමතර කොටසක් වගෙයි. ඒකම තමයි නිතර නිතර මගේ පියාත්, මව හා සීයාත් පාවිච්චි කරපු වචන ටික. සමහර වෙලාවට ආච්චිත් ඒ වචනම පාවිච්චි කළා. ‘උරුමක්කාරයා හා අමතර එකා‘.
‘මම තමයි විලියම්ගේ හෙවණැල්ල වුණේ. හරියට කියනවා නම් ආදේශකයක් වගේ. එහෙමත් නැතිතම් ‘ප්ලෑන් බී‘ එක කියන්නත් පුළුවනි. මාව මේ ලෝකෙට ගෙනාවේ විලියම්ට මොනව හරි වුණොත් ඒ වෙනුවට පාවිච්චි කරන්න. අවශ්‍ය නම් අමතර කොටසක් හැටියට පාවිච්චි කරන්න වෙන්න ඇති. සමහර විට හැරී වෙනුවෙන් වකුගඩුවක්..? රුධිර පාරවිලනයක්..? ඇට මිදුළු බද්ධ කිරීමක්..? වැනි දෙයකට...
‘මම උපන් දවසේ මගේ පියා අම්මාට කිව්වාය කියන ප්‍රකාශයක් මට දැනගන්න ලැබුණේ තරුණ වියට පා තැබුවාට පස්සෙයි. ‘නියමයි..! දැන් ඔයා මට උරුමක්කාරයෙකුයි, අමතර කොටසකුයි දෙකම දීලා. දැන් ඉතින් මගේ වැඩ කොටස සම්පූර්ණයි‘ එසේ පවසා මගේ පියා ඉන් පසුව ඔහුගේ පෙම්වතිය මුණ ගැහෙන්න යෑමත් විහිළුවක් හැටියටයි මම දකින්නේ. විහිළුවට වගේ කියන ඇත්ත දේවල් තව කොච්චර තියෙනවද?‘
නිවාඩුව ගත කිරීමට පැමිණෙන බැල්මෝරල් මාළිගාවේ තම කුඩා කුටිය පිළිබඳ කිසිදු කනගාටුවක් හෝ තැකීමක් නොතිබුණි. ඇරත් ඔහු කුටියට වැදුණේ රාත්‍රී නින්දට යෑමට පමණි. එදින එනම් 1997 අගෝස්තුවේ 31 වැනිදා රාත්‍රියේද හැරී සුපුරුදු පරිදි බැල්මෝරල් මාළිගයේ තම කුඩා කුටියේ නින්දට වැටුණු අතර, මැදියම් රැයේ හදිසියේම ඔහුට ඇහැරුණේ කිසිවකු තම ඇඳ අසල සිටගෙන සිටිනු ඉවෙන් මෙන් දැනුණු නිසාය. ඒ සිටියේ පියා චාල්ස් කුමරුය. ‘පා...?‘ හැරී සහ විලියම් දෙදෙනාම තම පියා අමතන්නේ එලෙසිනි.
චාලස් කුමරු ඇඳ අද්දර සිටගෙන සිටි අතර, සුදු පැහැති රාත්‍රී නිදන ඇඳුම නිසා හැරීට ඔහු පෙනුණේ අවතාරයක් මෙනි.
‘ඔව්, මගේ කොල්ලෝ...‘ චාල්ස් කුමරු සිනාසුණේ ආයාසයෙනි. ‘ඔහුගේ බැල්ම අන් කවරදාටවත් වඩා වෙනස් වී තිබිණි. එහි රැඳී තිබුණේ භීතියකි.
‘ඇයි පා..?
ඔහු හැරීගේ ඇඳෙහි කොනක වාඩි වී ඔහුගේ අතක් හැරීගේ දණහිසක් මත තැබුවේය. ‘මගේ කොල්ලෝ...අම්මා රිය අනතුරකට ලක් වෙලා‘ හැරී බලා සිටියේ අම්මාට කරදරයක් නැති බව තහවුරු කරනතුරුය. එහෙත් ඔහු එසේ කළේ නැත. ‘අවුලක් තියෙනවා. අම්මාට මහ නරක විදිහට තුවාල වෙලා. රෝහල්ගත කරලා මගේ කොල්ලෝ‘
‘ඔහ්..! රෝහල්ගත කරලා..?‘
‘ඔව්, ඔළුව තුවාල වෙලා‘
‘ඔහු පැපරාසීන් ගැන කිව්වද ? ඔවුන් ඇය පස්සේ හඹා ගිය බව කිව්වද? එහෙම කිව්වේ නෑ වගේ. මට දිවුරන්න බෑ. ඒත් හිතෙන හැටියට නෑ. පැපරාසීන් අම්මාටත්, හැමෝටමත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ‘
‘මම ආයෙත් කල්පනා කළා. තුවාල වෙලා...ඒත් ඇයට සනීප වේවි. ඇය රෝහල් ගත කරලා. ඔවුන් ඇගේ තුවාලය සනීප කරාවි. අපි ඇය බලන්න යාවි. අද..අද රෑම‘
‘එගොල්ලෝ උත්සාහ කළා මගේ කොල්ලෝ... මට බයයි එයා ජීවත් වෙයිද කියලා‘ මම ඔහුට මොකක් හරි කීවාදැයි දැන් මතක නැත. මොකුත් කියන්න නැතුව ඇති. මට මතක පුදුම සහගත දේ නම් මම අඬපු නැති එකයි. එක කඳුළක්වත් නෑ.
පියා මා වැලඳ ගත්තේ නැත. ඒත් නැවත වතාවක් මගේ දණහිස අත තබා පසුව නැගිට යන්නට ගියේය. නිසැකවම ඔහු විලීගේ කුටියට යන්නට ඇත. මම නැගී සිටියේ නැත. නිහඬව සයනයේ වැතිර ඔහේ බලා සිටියෙමි. ඊළඟ උදෑසන ස්නානය කිරීමට ද නොගියෙමි. නිදන ඇඳුම ද මාරු නොකළෙමි. විලීට හෝ අපේ ආයම්මා මේබල්ට කතා නොකළෙමි. මව මිය ගියේ යැයි විශ්වාස කිරීමට මට නොහැකිය. නැත..! ඇය මිය ගියේ නැත. ඇය අතුරුදන් වූවා පමණි.
එදින උදෑසන හරියටම 9.00ට බැල්මෝරල් මාලිගා මිදුලේ සාම්ප්‍රදායික අවමංගල වාදනය ඇසෙන්නට විය.
උදෑසන සිටම බැල්මෝරල් මාලිගාව ඉදිරිපිටට ජනතාව රැස් වන්නට පටන් ගෙන තිබිණි. ඔවුහු විවිධ විවිධ දෑ මාලිගය ඉදිරිපිට දමා යන්නට වූහ. මල්, ශෝක පණිවිඩ පත්... සැබැවින්ම හැරීට ඩයනා යනු ඔහුගේ ලෝකයේ එකම කොටස්කාරිනිය වූවාය. ඔහුගේ ආදරය මේගන් විසින් හිමි කරගනු ලැබුව ද, ඔහුගේ සිතෙහි ගැඹුරුම තැන වෙන්වී ඇත්තේ තවමත් මවගේ සුවඳටය; උණුසුමටය; මතක සටහන්වලටය.
පියා සහ මව අතර තිබූ ගැටුම කුමක්දැයි හැරී මෙන්ම විලියම්ටත් පැහැදිලි අදහසක් නොතිබිණි. එහෙත් එය තවත් කාන්තාවක අරභයා සිදුවූවාක් බවට දෙදෙනාම සැක කළ අතර, එසේ සැක කරන්නටත් හේතු තිබිණි. කුඩා වූවත් හැරී පවා සිතුවේ පියාට තවත් කාන්තාවක සමඟ සම්බන්ධතාවක් ඇති බවය. මවගේ අතුරුදන්වීමත් සමඟ (ඩයනා මිය ගිය බව කියන්නට හැරී කැමැති නැත)
‘සියල්ල පියාගේ වාසියට හැරුණා. අනෙක් කාන්තාව මුණ ගැහෙන්න එයාට ඇති තරම් නිදහස ලැබුණා. එයා කැමැති විදිහට එළිපිටම. ඒත් ඔක්කොටම වඩා එයාට ඕන වුණේ එයාගේ පුත්තුන්ට මේ බව දැනගන්න හරින්නයි. ඇය මුණගස්වන්නයි.‘
‘විලී මුලින්ම ගියා. මාළිගාවේදි මුණ ගැහුණේ. තේ එකකුත් බොන්න ඇති මගේ හිතේ. ඊට පස්සේ මම. කොහොම වුණත් විලී ඇය ගැන වැඩි විස්තර මොකුත් කිව්වේ නෑ. ඇගේ නම කැමිලා. එච්චරයි කිව්වේ. මගේ වාරය එලැඹුණේ ඉන් පස්සෙයි.‘
‘වැඩි කතාබහ ඕන නෑ‘ මම මටම කියා ගත්තා. නිකං හරියට එන්නතක් විදින කොට වගේ ඇස් දෙක වහ ගන්න.‘
කැමිලා මා මෙන්ම සන්සුන් චරිතයක් කියලා මට ළාවට මතකයක් තියෙනවා. එකිනෙකාගේ අදහස් ගැන අපි එච්චර හිතන්න ගියේ නෑ. ඇරත් එයා මගේ අම්මා නෙවෙයිනේ. මම එයාට බාධාවකුත් නෙවෙයිනේ. වෙනත් වචනවලින් කියතොත් මම ඔටුන්නේ හිමිකාරයා නෙවෙයිනේ.‘
‘තේ බොන්න කලින් මම කල්පනා කළේ එයා කොයි වගේ ද කියලයි. අර කතන්දර පොත්වල තියෙනවා වගේ දුෂ්ට කුඩම්මා කෙනෙක් වේවිද?
කැමිලා එක්ක සමුළුවෙන් පස්සේ අවසන් සම්මන්ත්‍රණය තාත්තා එක්ක..
‘ඉතින්, ඔයාලා මොනවද හිතන්නේ කොල්ලනේ ?‘ තාත්තා සතුටින් ඉන්න ඕන කියලයි අපි දෙන්නා හිතුවේ. ඔව්, අම්මගෙයි තාත්තාගෙයි කසාදේ කුරුටු ගාලා දාන්න කැමිලා ලොකු දෙයක් කරලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නෑ එයා අම්මගේ අතුරුදන් වීමට හේතුවක් කියලා. අපි එයාට දොස් කියන්නේ නෑ. ඇත්තටම කැමිලාට තාත්තාව සතුටින් තියන්න පුළුවන් නම් අපි එයාට සතුටින් සමාව දෙනවා. තාත්තා කවදත් එයාගේ හැඟීම් ගැන අපිත් එක්ක කතා කළේ නෑ. ඒක නිසාම අවුරුදු ගාණක් තිස්සේ අපි දෙන්නාට එයා ගැන හරි චිත්‍රයක් ගොඩ නඟා ගන්න බැරි වුණා.‘
එහෙත් සැබැවින්ම චාල්ස් මුල සිටම සිදු කර ඇත්තේ සමාව දීමට බැරි දේවල් බව හැරී දැන සිටියේම නැත. ඒවා ආරම්භ වූයේ 1981 ජූලි මාසයේ 29 වැනිදා චාල්ස් - ඩයනා රාජකීය විවාහයට පෙර ගිවිස ගැනීමේ අවස්ථාවේ සිටමය.
‘උත්සව ශාලාවේ ආසන අතරින් ඇවිද යද්දී පවා මා සෙව්වේ කැමිලා කොහේද කියලයි. ඇය එතැන සිටි බව මම දැන සිටියා. එදා රාත්‍රියේ හැමෝම හිටියේ සතුටෙන්. ඒත් මට සතුටක් තිබ්බේ නෑ.‘ ඩයනා කුමරිය මෙලොව හැර යෑමට පෙර ලියා පළ කළ කෘතියක එසේ සඳහන් වී තිබිණි.
‘ඉතින් මම උත්සව ශාලාවේ ආසන අතරින් ඇවිද යද්දී ඔන්න මම දකිනවා කැමිලා කුමරිය බලා ඉන්නවා. ළා අළුපාට හිස් වැස්මක් පැලඳ ඇය චාල්ස් දෙස බලා සිටියා. ඇගේ පුතු ටොම් පුටුවක නැඟලා අප දෙස බලා ඉන්නවා මම දැක්කා. ඒක අමතක වෙන්නැති සිදුවීමක්.‘ ඩයනාගේ මතක සටහන් අතර එසේ තිබිණි.
අවසානයේ පියාගේ යෝජනාවට හැරී සහ විලී එකඟ වූහ. කැමිලා කුමරිය රජ පවුලට සාදරයෙන් පිළිගැනීමට දෙදෙනාම කැමති වූහ.
‘හැබැයි අපි දෙන්නම පෙරළා තාත්තාගෙන් ඉල්ලුවේ එකම දෙයයි. කැමිලාව විවාහ කරගන්න එපා. ඔබ නැවත විවාහ විය යුතු නෑ. අපි දෙන්නම තාත්තාගෙන් ඉල්ලා සිටියා. මේ විවාහය මතභේදයට තුඩු දේවි. මාධ්‍ය මගින් අපහාස කරාවි. මුළු රටම, මුළු ලෝකයම අම්මා ගැන කතා කරාවි. අම්මවයි කැමිලාවයි සංසන්දනය කරලා කතා කරාවි. අපි කාටත් ඒක වෙන්න අවශ්‍යතාවක් නෑ. අපි ඔයාට සහයෝගය දෙනවා. අපි කැමිලාව පිළිගන්නවා.‘
‘හැබැයි කරුණාකරලා එයාව බඳින්න එපා...! එකට ජීවත් වෙන්න‘
චාල්ස් ඊට පිළිතුරු දී නැත.
පිළිතුරු දුන්නේ කැමිලාය. එක්වරම.
එය සිදු වූයේ ඇය සමඟ පැවැති සාකච්ඡාවෙන් මොහොතකට පසුව බව හැරී කියයි. හැරී කියන්නේ ඇය දීර්ඝ ක්‍රීඩාවක ආරම්භයට මුල පිරූ බවය. අමුවෙන්ම කියන්නේ නම් ‘ගේම් එක පටන් ගෙනය‘ එය විවාහය ඉලක්ක කරගත් එකකි. අවසානයේ ඔටුන්නට අයිතිවාසිකම් කීමේ අරමුණකි.
කැමිලා ගැන තැනින් තැන කතා ගොඩක්ම පැතිරී ගියේය. රටේ සියලුම පුවත්පත් විලී සහ කැමිලාගේ පෞද්ගලික සංවාද පළ කර තිබිණි. ඒවා සැබැවින්ම නිවැරැදි තොරතුරු සමුදායකි. ඒවා මාධ්‍යයට කාන්දු වූයේ කෙසේද ? කාන්දු විය හැක්කේ එතැන සිටි තවත් අයකුගෙන් පමණි.
මේවා Spare කෘතියෙන් මිස මීට පෙර කිසිවකු කතා නොකළ දේවල්ය. කැමිලා ගැන කියන්නට හැරීට තවත් බොහෝ දේ තිබිණි. ඒවා පසු දිනෙක කියවමු. කවුරුත් සිතුවේ හැරී කුමරු රජ පවුලේ පට්ටන්තරේම දිග හරිනු කියාය. එහෙත් එය එසේ වූයේ නැත. හැරී කුමරුම කියන ආකාරයට ඔහුට තවත් පොතකට ලියන්නට කරුණු බොහෝ ය.