
එක්දහස් නවසිය අසූව දශකයේ සිට වසර 41 තිස්සේ ඒඩ්ස් භීතිකාව නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගොස් ඇති අතර තවත් ලක්ෂ ගණනක් මරණය අබියස ජීවිතය අයදිමින් සිටිති. ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් 01දාට යෙදී ඇති අතර ඒඩ්ස් යනු Human immunodefi ciency virus (HIV) වයිරසයෙන් ව්‍යාප්ත වන මාරාන්තික සංකූලතා ඇති කරන රෝගී තත්ත්වයකි.
මේ වන විට ලොව පුරා එච්.අයි.වී. ශරීරගත වූවන් දශ ලක්ෂ තිස්පහ ඉක්මවයි. ඒ අනුව ලෝක ජනගහනයෙන් සියයට එකකට ඒඩ්ස් වැලඳීමේ ප්‍රවණතාවක් ඇත. මෙම ආසාදිතයන්ගෙන් වැඩි කොටසක් ජීවත් වන්නේ දකුණු අප්‍රිකානු හා දකුණු ආසියාතික රටවලය. දකුණු අප්‍රිකානු රටවල ඒඩ්ස් ආසාදිතයන් 25% ඉක්මවයි. දුප්පත් රටවල එච්.අයි.වී. වැඩිවන්නේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් හා රුධිර පරීක්ෂණ සඳහා ඖෂධ හා මුදල් නොමැති හෙයිනි. 2008 වසරේ පමණක් ලොව දසලක්ෂ දෙකක් ඒඩ්ස් නිසා මිය ගියහ. එම වසරේ පමණක් ලොව දස ලක්ෂ 2.7%ක් අලුතින් එච්.අයි. වී. ආසාදිත වූහ.
සෑම ලෝක ඒඩ්ස් දිනයක්ම නිශ්චිත තේමාවක් කෙරෙහි අවධානය යොමු කරයි. මේ වසරේ තේමාව වනුයේ - සමානාත්මතාව සුරකිමු (Equalize) යන්නයි. ඒඩ්ස් අවසන් කිරීමේ ප්‍රගතිය වළක්වන අසමානතා ආමන්ත්‍රණය කරන ලෙස HIV/AIDS පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන (UNAIDS) අප සැමගෙන් ඉල්ලා සිටී.
මේ අනුව, "සමානාත්මතාව සුරකිමු" යන ගෝලීය තේමාවට අනුකූලව, ශ්‍රී ලංකාව ද 2022 දෙසැම්බර් 1 වන දින ලෝක ඒඩ්ස් දිනය සැමරීමට සැලසුම් කර ඇත.
ජාතික ලිංගාශ්‍රිත රෝග, ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ එච්.අයි.වී. රෝගය පිළිබඳ ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ කීය.
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) ශ්‍රී ලංකාවේ HIV/AIDS ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා ජාතික ප්‍රතිචාරය සම්බන්ධීකරණය කරන ප්‍රධාන රාජ්‍ය සංවිධානය වෙනවා. ශ්‍රී ලංකාව තුළ එච්. අයි. වී. පරීක්ෂණ සහ සත්කාර සේවා රට පුරා පිහිටුවා ඇති ලිංගාශ්‍රිත රෝග සායන 41ක් මඟින් සපයනු ලබනවා. ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2030 වන විට ඒඩ්ස් අවසන් කිරීමට ප්‍රකාශ කර ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා එච්.අයි.වී. සමඟ ජීවත් වන පුද්ගලයන්ගෙන් 95%ක් හඳුනාගෙන ඔවුන්ගෙන් 95%ක් ප්‍රතිකාර ආරම්භ කළ යුතුය.
ඉහළ ප්‍රධාන ජනගහන කණ්ඩායම් හා සසඳන විට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනගහනය අතර එච්. අයි.වී. ව්‍යාප්තිය අඩු මට්ටමක පවතී (0.1% ට වඩා අඩු) 2019 දී ප්‍රධාන ජනගහන කණ්ඩායම් අතර සිදු කරන ලද එච්. අයි. වී. සමීක්ෂණ මඟින් පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමි (1.5%), සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් (1.4%) අතර වැඩිම එච්. අයි. වී. ව්‍යාප්තියක් දක්නට ලැබේ. කාන්තා ලිංගික ශ්‍රමිකයන් (0.1%) සහ ලිංගික ශ්‍රමිකයන්ගේ සේවාදායකයන් (0.1%) අතර ව්‍යාප්තිය සාපේක්ෂව අඩු විය."
2021 වසරේ අලුතින් හඳුනාගත් රෝගීණ් සංඛ්‍යාව 411ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. 2021 අවසානය වන විට, එච්.අයි.වී. (PLHIV) සමඟ ජීවත් වන පුද්ගලයන්ගේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව 3600ක් වන අතර ඔවුන්ගෙන් 82%ක් ඔවුන්ගේ එච්.අයි.වී. තත්ත්වය දැන සිටියහ. "ලැබුණු ART" සඳහා ප්‍රතිශතය 81% සහ වයිරස් ලෙස මර්දනය කරන ලද ප්‍රමාණය 85% විය. අවදානම් ලිංගික හැසිරීම් හේතුවෙන් HIV අවදානම වැඩි කණ්ඩායම් සිටින අතර ඔවුන් අධි අවදානම් කණ්ඩායමක් ලෙස හැඳින්වේ.
එම කණ්ඩායම් නම් පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්, වාණිජ ලිංගික ශ්‍රමිකයන්, මත්ද්‍රව්‍ය එන්නත් කරන පුද්ගලයන්, වෙරළ තීරයේ සංචාරක විදේශිකයන් හට මඟ පෙන්වන පිරිමි ළමයින් (beach boys) සහ බන්ධනාගාර රැඳවියන් වේ.
පිරිමි සහ පිරිමි සමලිංගික සබඳතා ඇති අය අතර එච්. අයි. වී. වාර්තා වීමේ සැලකිය යුතු වර්ධනයක් ඇති බව සොයාගෙන ඇත. 2021 වර්ෂයේ එච්. අයි. වී. රෝග විනිශ්චයන් බොහොමයක් කාන්තාවන්ට වඩා පිරිමින් අතර වන අතර පිරිමි සහ ගැහැනු අනුපාතය 5:1 විය.
පසුගිය වසර කිහිපය තුළ තරුණයන් (අවුරුදු 15 - 24) අතර හඳුනාගත් එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. 2021 වර්ෂයේදී, වාර්තා වූ මුළු රෝගීන්ගෙන් 14% (පුද්ගලයන් 59) අවුරුදු 15 - 24 වයස් කාණ්ඩයේ අයයි. මෙයින් වැඩිම පිරිසක් (88%) තරුණයන් ය.
මේ අනුව, HIV ආසාදනයට ගොදුරු වීමේ අවදානම හේතුවෙන් තරුණයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ ආරක්ෂිත ලිංගික පරිචයන් පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් පාසල් අධ්‍යාපනය තුළ සහ උසස් අධ්‍යාපනය තුළ ලබාදිය යුතුය.
එච්.අයි.වී. වැළැක්වීමේදී, හැකි ඉක්මනින් රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතා වැදගත් වේ. මේ අනුව, අවදානම් ලිංගික හැසිරීම් සහිත ඉලක්කගත ජනගහනය සඳහා එච්.අයි.වී. පරීක්ෂණ වැඩි කිරීම මගින් එච්. අයි.වී. ආසාදිතයන් හඳුනාගැනීම ඉතා වැදගත්වේ. එබැවින්, අවදානම් ලිංගික හැසිරීම් පිළිබඳව සහ පරීක්ෂණ සඳහා ඇති උනන්දුව වැඩි කිරීම පිළිබඳ මහජන දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටන HIV ක්ෂණික පරීක්ෂණ සහ HIV ස්වයං පරීක්ෂණ හඳුන්වා දීමෙන් HIV පරීක්ෂණ සඳහා ප්‍රවේශය පුළුල් කර ඇත.
රට තුළ එච්.අයි.වී. තුරන් කිරීම සඳහා සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම සඳහා දේශපාලන, ආර්ථික සහ සමාජීය ප්‍රතිපත්තිවල පරිවර්තනීය වෙනසක් අවශ්‍ය වේ.
සෑම කෙනෙකුගේම අයිතිවාසිකම් ආක්ෂා කිරීම සහ අවාසි සහගත සහ ආන්තික ප්‍රජාවන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීම, 2030 වන විට ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ ඉලක්කය කරා ළඟා වීමට අසමානතා අවම කිරීමට එක්ව කටයුතු කිරීම අපගේ වගකීමයි.
එච්.අයි.වී. සඳහා පරික්ෂා කර ගැනීමට කැමති ඕනෑම අයකුට www.know4sure.lk ඔන්ලයින් හමුවීමක් වෙන්කරවා ගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න - 0703 633 533/0112667163. ඔබගේ නිවසට ස්වයං පරීක්ෂණයක් ලබා ගැනීමට එච්.අයි.වී. ස්වයං පරීක්ෂණය සඳහා ක්ෂණික ඇමතුම් අංකය - 071 637 9192