කුරුන්දි පුද බිමට බාධා කිරී­මෙන් අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම | සිළුමිණ

කුරුන්දි පුද බිමට බාධා කිරී­මෙන් අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම

 

මුලතිව් කුරුන්දි විහාරය ගැන අපි මීට පෙරද කතා කෙළෙමු. මේ ඓතිහාසික සිද්ධස්ථානය ගැන අපට යළි කතා කරන්නට සිදුව ඇත්තේ එම සිද්ධස්ථානයට එරෙහිව අන්තවාදී පිරිසක් කටයුතු කරනා හෙයිනි. මුලතිව් කෝකිලායි මාර්ගයේ නාගචෝලේ වන රක්ෂිතයේ පිහිටා ඇති කුරින්දි විහාරය මෙරට එකම කබොක් ස්තූපය ලෙස සැලකේ. එවන් සිද්ධස්ථානයක් ආරක්ෂා කිරීමේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීව වන අතර ඒ වගකීම ඉටු කිරීමට බාධා කරනා අය සිදු කරන්නේ එක් අතකින් අධිකරණයට අපහාස කිරීමකි. තවත් අතකින් රාජ්‍ය සේවාව කඩාකප්පල් කිරීමකි. එමෙන්ම රාජ්‍ය සේවකයන්ට එම සේවාව සිදු කරන්නට බාධා කිරීමකි. අපේ ගමේ භාෂාවෙන් කියනවානම් මේ සේරම ‘කිරිමෙල්‘ වැඩය. මහ උළුගෙදර තපින්නට වන වැරැදිය.

 

කුරින්දි පූජා භූමියේ සංරක්ෂණයට අකුල් හෙළන්නේ කවුරුන්ද? ඒ කුමන හේතුවක් නිසා ද යන්න ගැන මෙන්ම කුරුන්දි සංරක්ෂණය කළ යුත්තේ කුමන හේතුවක් නිසා ද යන්න ගැන අප විමර්ශනය කළ යුතුය.

සේරුවාවිල විහාරස්ථානය අපට දායාද කළ දඹගස්ආරේ මේධංකර හිමියන් විසින් කුරින්දි විහාරය ගැන ද තොරතුරු අනාවරණය කර තිබේ. කුරින්දි විහාරය පිහිටි නාගචෝලෙ වනය 1933 වසරේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් රක්ෂිතයක් ලෙස ගැසට් කරන ලද්දේ එහි ඇති ඓතිහාසිකත්වය නිසාමය. මේ ඓතිහාසික පුදබිමේ වටිනාකම නිසාම කුරින්දි විහාරය අයත් භූමි භාගය 80 දශකයේදී නියමිත පරිදි හඳුනා ගැනීමෙන් පසු එය සංරක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදී. එහෙත් 1983න් පසුව ඇති වූ ත්‍රස්තවාදී යුද ගැටුම් නිසා ඒ සියල්ල නතර කර දමන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු විය.

යුද්ධයෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ විසින් කුරුන්දි විහාරයීය පුනරුත්ථාපන කටයුතු ආරම්භ කළත් ප්‍රතිපාදන නොමැති වීම නිසා ගැටලුවකට මැදි වන්නට සිදු විය. එහෙත් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාලයන් විසින් ලබා දුන් මුදල් ප්‍රතිපාදන නිසා එහි සංරක්ෂණ කටයුතු සිදු කරන්නට හැකි විය.

එසේ ගොඩනැගුණු කුරුන්දි ජාතික උරුමය, ජාතිවාදය මුදුන් කර ගත් දේශපාලකයන් කිහිප දෙනකු විසින් අඩපණ කරන්නට කටයුතු කෙළේ බෞද්ධ සිද්ධස්ථානයක් විසින් දෙමළ ජනතාවගේ භූමියක් අයිතිකරගෙන ඇති බවට ව්‍යාජ කරුණක් මතු කරමිනි. ඔවුහු ඒ සම්බන්ධව අධිකරණයට පවා ගියහ. කුරුන්දි ඉදිකිරීම් නිසා එහි ගැටුම් හට ගෙන ඇති බවද ඔවුහු පෙන්වා දීමට උත්සාහ කළහ. එම කරුණ නිසා මතුවූ නීතිමය ගැටලු මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තම වැඩ කටයුතු තාවකාලිකව නවතා දමන්නට සිදු විය.

නඩුවේ තීන්දුව ලැබු‍ණි. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කුරින්දි සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදු කරගෙන යාමට හැකි වන පරිදිය. ඒ කුරුන්දි යනු බොදු උරුමයක් පමණක් නොව එය ජාතික උරුමයක් වශයෙන් සංරක්ෂණය කළ යුතු නිසාය.

එහිදී ස්තූපයට අවශ්‍ය කබොක් ගල් ද අසීරුවෙන් වුවද සපයා ගනිමිනි. ඒ සියල්ලටම ප්‍රතිපාදන ලබා දුන්නේ බෞද්ධාලෝක පදනම විසිනි. මේ ඉදි කිරීම් සඳහා දෙමළ ජනතාව ද සහාය ලබා දුන්නේ එම නිසාය. එසේ ගොඩ නැඟුණු කුරින්දි විහාරයේ ධාතු නිධානෝත්සවය පසුගිය පොසොන් පුන් පොහෝ දිනට යොදාගෙන තිබුණි. අධිකරණයේ අනුමැතියෙන් එසේ සංරක්ෂණ කටයුතු සිදු කෙරුණු කුරුන්දි විහාර භූමියට පැමිණ එම පුණ්‍ය උත්සවයට බාධා කරන්නට දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයන් කිහිප දෙනකු විසින් කටයුතු කළේ එම අවස්ථාවේදීවය. ඒ කඳු මුදුනේ පිහිටි කුරින්දි චෛත්‍යය අසලටම ගොසිනි. මේ බාධාවන් නිසා එම ධාතු නිධානෝත්සවය නවතා දමන්නට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට සිදු විය. එය ඇත්තෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානියකුගේ රාජකාරියට බාධා කිරීමකි. රාජ්‍ය ආයතන ප්‍රධානියකුගේ රාජකාරියටත් වඩා සලකන්නේ නම් රාජ්‍ය කටයුත්තකට බාධා කිරීමකි. තවත් ලෙසකින් පෙන්වා දෙනවා නම් අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කිරීමකි.

එයින් නොනැවතුණු මේ අන්තවාදී පිරිස් මුලතිව් අධිකරණයේ පසෙක තිබූ නඩුව යළි කරළියට ගෙනාවේ කුරින්දි විහාරයට තවත් බාධා කරමිනි. දෙමළ ජනතාවගේ ඉඩම් අල්ලාගෙන පුරාවිද්‍යාව අනවසර කටයුතු කරන බවටත් ඒ හරහා ගැටුම් ඇතිවන බවටත් ඔවුහු කරුණු ගෙනහැර දක්වා තිබුණි. එම නඩුවට කරුණු ගෙනහැර දක්වන ලද්දේ ව්‍යාජ තොරතුරු මුල් කර ගනිමින් වූ අතර, පුරාවිද්‍යා රක්ෂිතයක් යන්න මෙහිදී වසන් කර තිබුණි.

නාගචෝලේ වන රක්ෂිතයක් වන අතර, එය දෙමළ හෝ සිංහල හෝ ජනතාවකට අයත් වන්නේ කෙසේද යන්න පවා එහිදී වසන් කර තිබුණි.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ මේ කරුණුවල ප්‍රතිඵලය වූයේ කුරින්දි විහාරය කඩා ඉවත් කර දමන ලෙසට අධිකරණ නියෝගයක් පැනවීමයි. ඒ පසුගිය ජූලි මාසයේ 14 වෙනිදාය.

එහෙත් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා විසින් ඊට එරෙහිව මුලතිව් අධිකරණයට කරුණු වාර්තා කළේ ජූලි 21 වෙනිදාය. ඒ පුරාවිද්‍යා පනතට අනුවය. මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සරවණරාජා එම කරුණු පරීක්ෂා කර බලා පසුව කුරින්දි විහාර භූමියට ගොස් ස්ථානීය පරීක්ෂාවක් කරන ලදී. එහිදී සියලු ස්ථාන පරීක්ෂාවට ලක් කළ මහේස්ත්‍රාත්වරයා යළි අධිකරණයට ගොස් තමන් විසින් මීට පෙර ලබා දුන් නියෝගය බල රහිත කරනු ලබන බවත් කුරුන්දි විහාරයේ සංරක්ෂණ කටයුතු කරගෙන යාමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුමැතිය හිමිවන බව දැනුම් දුන්නේය. එයින් මැනවින් පෙන්නුම් කළේ කුරුන්දි පුරාවිද්‍යා භූමිය හා නාගචෝලෙ වන රක්ෂිතයේ අනවසර ඉදි කිරීම් ඇත්නම් ඒ මෑත කාලයේ ඒවා බවයි. ඒවා කිසිවකුට අයත් නොවන අතර සියල්ල පුරාවිද්‍යා භූමි වශයෙක් හෝ වන සංරක්ෂණයට අයත් රක්ෂිත භූමීන් හෝ වන බව එයින් තහවුරු කෙරිණි..

ඒ අනුව සියලු ජාතීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන කුරුන්දි විහාරයේ සංරක්ෂණ වැඩකටයුතු යළිත් ඇරඹුණි. එහෙත් පසුගිය 21 වෙනි බදාදා එහි ගිය දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ ජාතිවාදී දේශපාලන කණ්ඩායමක් පිරිස් විසින් එහි සේවයේ යෙදී සිටි පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන පවා එල්ල කරන ලදී. මේ නිසා කුරුන්දි විහාරයේ කටයුතු කළ පුරාවිද්‍යා නිලධාරීන් පොලිසියේ පැමිණිල්ලක් දමා එම භූමියෙන් ඉවත් වන්නට විය. එයින් කුරුන්දි විහාරයීය වැඩකටයුතු මුළුමනින්ම අඩපණ වී ඇත.

එකම රටක් එක නීතියක් යන්න මෙහිදී අප සිහිගැන්විය යුතුය. ශ්‍රී ලාංකිකයන්ට දිවයිනේ ඕනෑම තැනක සිටින්නට හැකි වනවා සේ බෞද්ධයන් ද ඕනෑම ආගමකට ජාතියකට ගෞරව කරනු ලබන්නේය. එමෙන්ම සියලු දෙනාම පුරාවිද්‍යා සංරක්ෂිතයන්ට ගරු කළ යුතුය. යාපනයේ සංචාරය කරන බොහෝ පිරිස් නල්ලූර් කෝවිලට යන්නේ එය හින්දු බැතිමතුන්ගේ බව නොදැන නොවේ. එමෙන්ම මඩු වන්දනාවට යන්නේ එය කිතුනු ජනතාවගේ මුදුන් මල්කඩක් බව ද නොදැන ද නොවේ.

ඒ සියල්ල අපගේ ජාතික උරුමයන් නිසාය. කුරුන්දි විහාරය එවන් ජාතික වස්තුවකි. නමුත් කුරුන්දි සංරක්ෂණයට බාධා කරන පිරිසගේ අරමුණ වෙනකකි. ඔවුන් බලාපොරොත්තු වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමය. කුරුන්දි විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් පවසන්නේ. කුරුන්දි විහාරයට මේ අකටයුතුකම් කරන්නේ අවට ගම්වැසියන් නොවන බවයි.

‘‘අවට ගම්වල දෙමළ ජනතාව අපත් සමඟ ඉතා සුහදව කටයුතු කරනවා. මේ සියල්ලම කරන්නේ දෙමළ දේශපාලකයන් විශේෂයෙන්ම මන්ත්‍රී චාල්ස් මේ කටයුතුවලට මුල් වී කටයුතු කරන්නෙක් බව කිව යුතුමයි. ඔහු පමණක් නෙමෙයි ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් ද සිතියම් ලිපි ගොනු පවා වෙනස් කර තිබෙනවා. මේ තත්ත්වය ඇත්තෙන්ම නීතියෙන් දඬුවම් කළ යුතු වරදක්. රාජ්‍ය ලිපි ගොනු වෙනස් කරන්න ඔවුන්ට බලයක් නැහැ. අක්කර 360ක භූමි භාගයක් දැනට තිබෙන කුරුන්දි භූමියට අක්කර 400ක් තිබෙන බව පුරාවිද්‍යා සිතියම් අනුව පැහැදිලියි. ඒත් ඇතැම් ස්ථානවල නිවාස ඉදි කර විවිධ වගාවන් කර ඇති නිසා ඒ භූමීන් අයත් කර ගන්නට පුරාවිද්‍යාව කටයුතු කෙළේ නැහැ. අක්කර 5ක් පමණ පුරාවිද්‍යා නටබුන් ඇති භූමියක් පමණක් කනු දමා වෙන් කරන්නට පුරාවිද්‍යාව කටයුතු කළා. එය ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. වනය මැදින් කිලෝ 40ක් පමණ බර කනු ගෙන ගියේ දැඩි පරිශ්‍රමයකින්. ඒ කුරුන්දි කියන්නේ සමස්ත ලාංකිකයන්ටම ආවේණික පුදබිමක් නිසයි ‘‘

ඒ අනුව මේ තත්ත්වය තවදුරටත් පැවතුණහොත් එයින් ඇතිවන ගැටලු සුළුපටු නොවන්නට ඉඩ තිබේ. කුරුන්දි විහාරයට සිදු කරන බාධාවන්ට එරෙහිව පසුගිය 26වැනිදා කොළඹදී විරෝධතා පෙළපාලියක් පවත්වන ලදී. මේ අර්බුදය නැවැත්වීමට ඉහළ මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍ය වන්නේය. අධිකරණයෙන් ලබා දුන් නියෝග පවා කඩ කරමින් සිදු කරන්නා වූ මේ නොමනා ක්‍රියාව නිසා සමස්ත දෙමළ ජනතාවටම කලු පැල්ලමක් එකතු වන්නට ද ඉඩ ඇත.

කුරුන්දි විහාරයට බාධා කිරීම් සිදු කෙළේ වරක් දෙවරක් නොවේ. අධිකරණය මඟින් අවස්ථා දෙකකදී සංරක්ෂණ කටයුතු කරගෙන යන්නට අවසර ලබා දී තිබියදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එහි සංරක්ෂණ කටයුතු කරගෙන යද්දී මේ ලෙසින් බාධා කිරීම සුළු කොට තැකිය නොහැකිය.

අධිකරණයට අපහාස වන ලෙසින් අධිකරණය විසින් ලබා දුන් අවසරයට එරෙහිව අයුතු ජනරාශිය මෙන්ම අධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව කටයුතු කිරීමට දැඩි නීතිමය පියවර ගත යුතුය. කුරුන්දි ස්තූපය අසලටම පැමිණි අන්තවාදී පිරිස් විරෝධතා පුවරු එල්ලාගෙන පවසා සිටියේ ‘පන්සල අධිකරණ නීතිය උල්ලංඝනය කර ඇති‘ බවකි. එමෙන්ම එහිදී රූපවාහිනි නාළිකාවන්ට ප්‍රකාශ කර සිටියේ තමන්ගේ භූමිය පන්සල අල්ලාගෙන ඇති බවකි. පුරාවිද්‍යා භූමියක් එසේත් නැත්නම් 1933 රක්ෂිතයක් ලෙස ගැසට් කළ වනයක් කිසිවකුගේ භූමියක් වන්නේ කෙසේද?

මේ සම්බන්ධයෙන් අපි මුලතිව් සහකාර පොලිස් අධිකාරි ලසන්ත විතාරණගෙන් විමසුවෙමු.

‘‘ අධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සංරක්ෂණ කටයුතු කරගෙන ගියේ. පුද්ගලයන් කිහිප දෙනෙක් මේ කටයුත්තට අකුල් හෙළනවා. මෙතන අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීම ඒ අයගේ අරමුණ බව පැහැදිලියි. මේ අවස්ථාවේදී අපි එසේ කළහකාරී ලෙස හැසිරුණු මෙය මෙහෙය වූ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඔවුන්ට එරෙහිව රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවරනු ලබනවා. හැමදාම මේ වගේ නීතියට පටහැනිව කටයුතු කරන්න දෙන්න බැහැ. එහෙම වුණොත් ඒකෙන් වෙන හානිය බරපතළ වෙන්න පුළුවන්. කොහොමත් මේ අවස්ථාවේදී අපි තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා‘‘

අධිකරණයට අපහාස කළ මෙරට මැති ඇමැතිවරු දෙදෙනෙකු වන එස්.බී. දිසානායක හා රන්ජන් රාමනායක බන්ධනාගාර ගත විය. එසේම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු ද එවකට අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවකදී අධිකරණයේදී 'උස් හඬින්' කථා කිරීමේ චෝදනාවට වසරක සිර දඬුවමක් නියම කරන ලදි. එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ද අධිකරණයට අපහාස කිරීමට දඬුවම් නියම විය.

කුරුන්දි විහාරයට බාධා කළ මන්ත්‍රීවරුන් වන චාල්ස්, රවිහරන් ඇතුළු දේශපාලකයන්ට ද මේ ලෙසින්ම නීතිය ක්‍රියාත්මක විය යුතුය. කොළඹදී පැවති විරෝධතාවයේදී ජනතාව හඬ නැඟුවේ කුරුන්දි පුදබිමට බාධා නොකරන ලෙස හා කුරුන්දි පුදබිම රැක දෙන ලෙසයි.

කුරුන්දි යනු සුළුවෙන් තැකිය ස්ථානයක් නොවේ. ජනප්‍රවාදවලට අනුව බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය වූ නාගදීපයට වැඩම කළ අවස්ථාවේදී කුරුඳුමලේ විහාරය පිහිටි කඳු සහිත භූමියට වැඩම කොට ඇත. එමෙන්ම ඛල්ලාටනාග රජු විසින් ක්‍රි.ව. 100 -103 අතර කාලයේදී කුරුන්දවාශෝක විහාරය තනා ඇති බවට පුරාවිද්‍යා සාක්ෂි ඇත.

සිවුවන උදය රජතුමා විසින් මේ සම්බන්ධව සොයා බැලූ බවට පැරැණි සාධක තිබේ. එවන් ජාතික ඓතිහාසික පුදබිමක් සමස්ත ජාතීන්ටම රැකදීමට වහාම කටයුතු කළ යුතුය.

 

Comments