
පුංචි දරුවෝ දෙපස පේළි සැදී උන්හ. දරුවන් ගේ ටිකිරි සිනා සහ අත්පොළසන් හඬ මැද්දේ මංගල අසිරියක් දනවන ලෙස සැරසූ නිල් පැහැයෙන් දිදුලන අමුතු මාදිලියේ ත්‍රී රෝද රථය පාසලට ඇතුළු වූයේය. පුංචි දරුවන්ගේ හිත් පිරී ගොස්ය. මේ ඔවුන්ගේ රථය ය. ගුරුන් දෙගුරුන් සිසුන් ඇතුළු මුළු පාසලක් හා ඔවුන්ට ආදරය කරන හිතවතුන් සමඟ එක් වී ඉස්කෝලයට ගෙනා රථය.
දැන් පුත්තලම අධ්‍යාපන කලාපයේ මුන්දලම විල්පොත බණ්ඩාරනායක ඉස්කෝලයට වාහනයක් තිබේ. පසුගිය 22 දා බ්‍රහස්පතින්දා ඒ වාහනය පුංචි උත්සවයක් සහිතව පාසලට ගෙවැදුනේය. ඒ මංගල්‍යයට පුත්තලම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශයේ අධ්‍යක්ෂ සුජීවිකා චන්ද්‍රසේකර, මුන්දලම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී පිරිසක් සමඟ පාසලේ දරු දරියන්ගේ මවුපියන් සහ පාසලට ආශීර්වාද කරන පිරිසක් එක් වී සිටියහ.
එය සැබෑ ලෙසම උත්සව තබා සැමරිය යුතු මොහොතකි. වැදගත්ම දේ මේ වාහනය මිලදී ගත් අයුරුය. වාහනය මිලදී ගන්නේ විදුහල්පතිවරයාගේ මග පෙන්වීම යටතේ පාසල් දරුවන් සහ මවුපියන් මෙහෙයවා පාසලේ අභිවෘද්ධියට සුබ පතන්නන් ද එක්කොට ගෙන ගම පුරා දියත් කළ ඩෙංගු මර්දන ව්‍යාපෘතියකින් අනතුරුව එකතුවන අබලි ද්‍රව්‍ය විකිණීමෙනි.
ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් පාසලට සුබ පතන්නන්ගේ සංසදයක් නිර්මාණය වී තිබිණි. ව්‍යාපෘතියේ සියලුම කටයුතු ප්‍රායෝගික කර තිබුණේ ඔවුන් විසිනි.
![]() |
පුත්තලම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික විෂය භාර අධ්‍යක්ෂ සුජීවිකා චන්ද්‍රසේකර සහ විල්පොත බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති මංජුල සමරජීව ඇතුළු පිරිස නවීකරණය කරන ලද රථය පාසලට ගෙන ආ අවස්ථාව |
රටක පුරවැසි වගකීමක් වූ ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් දියත් කර පාසල් දරුවන් ස්වකීය නිවාස පරිසරය පවිත්‍ර කිරීමට මවුපියන් සමඟ පොලඹවා ගෙවතු පරිශ්‍රයෙන් එක්වන අබලි ද්‍රව්‍ය එකතු කර පාසලට වාහනයක් ගැනීමට සැලසුම් කිරීමේ සිතිවිල්ල මොන තරම් විචිත්‍ර එකක් දැයි කල්පනා කරමි. ඒ සොඳුරු මිනිසුන් සමඟ සංවාද ප්‍රවේශයකට එළැඹෙන්නෙ එබැවිනි.
විල්පොත බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති මංජුල සමරජීවය. ඔහු රටේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පාසල් වැසී යද්දී ගම සංවිධානය කර ප්‍රවාහන අපහසුතා සහිත ගුරුවරුන්, දරුවන් “බට්ටා“ ලොරිවලින් පාසලට රැගෙන එන්නට කටයුතු කර එක් දවසක්වත් පාසල නොවසා පවත්වා ගැනීමේ මෙහෙයුම දියත් කළ ලංකාවේ මහා හිත් සහිත විදුහල්පතිවරුන් කුලකයේ කෙනෙකි.
ප්‍රවාහන පහසුකම පූරණය කරගැනීම සඳහා පාසලට වාහනයක් අවශ්‍ය බව ඔවුන්ට තදින්ම දැනෙන්නේත්, පාසලට බරක් නොවී එම වාහනය නඩත්තු කර පවත්වා ගැනීම සඳහා යන්ත්‍රණයක් සකස් විය යුතු බව දැනෙන්නේත් මේ අත්දැකීම් ඔස්සේය.
විදුහල්පති මංජුල සමරජීව ඒ කතාව අප සමඟ කියමින් සිටියේය.
“ විල්පොත බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය කියන්නෙ පුත්තලම අධ්‍යාපන කලාපයෙ පුංචි ඉස්කෝලයක්. ඒත් මේ පාසල ඇතුළෙ අපට හදන්න පුළුවන් වුණා දරුවන් මවුපියන් සහ ගුරුවරුන් එකම මිටකට කැටි කරගත්තු බොහොම පොහොසත් සංස්කෘතියක්. මේ ව්‍යාපෘතියත් එහි එක්තරා ඵලයක්...“
“මේ වකවානුවේ අපි ලබමින් ඉන්න අත්දැකීම් එක්ක ළමයි සිය ගණනක් දිනපතා එකතුවෙන තැනකට පොඩි වාහනයක් ඕන කියන එක තදින්ම දැනුණා. පාසලේ දරුවෙක් අසනීප වුණොත් අරන් යන්න ඕන මුන්දලම රෝහලට. කිලෝ මීටර විස්සක් විතර දුරයි. ඒ වගේම පාසල නියෝජනය කරමින් ක්‍රීඩා තරග, නිර්මාණ තරග වැනි අවස්ථාවලට සහභාගීවන දරුවන්ට මවුපියන්ට බරක් නොවී ඒ සඳහා එක්වන්න අවශ්‍ය පරිසරය හැදීමේ වගකීම පාසල සතුව තිබුණා.“
“ඒ අනුව තමයි අපි කල්පනා කළේ කිසිම කෙනෙකුට බරක් නොවී, පාසල හා ගම අතර එකමුතු කමත් වර්ධනය කරන අතරම සමාජයටත් වැදගත් වන ව්‍යාපෘතියකින් ඔස්සේ අදාළ ඉලක්කය සම්පූර්ණ කරගන්න. ඒ අනුවයි මේ ඩෙංගු මර්දන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ.“
“අපි මුලින්ම පාසලේ දරුවන් දැනුම්වත් කළා. ඔවුන් හරහා මවුපියන්ට මේ පණිවිඩය දුන්නා. සෑම දරුවෙක්ම තමන්ගේ මවුපියන් හා එක්ව ගෙවතු පරිසරය සුද්ද කළ යුතුයි. සුද්ද කරලා එකතුවන පරණ යකඩ, පොල් ලෙලි, පොල් කටු, බෝතල්, ප්ලාස්ටික් ද්‍රව්‍ය එකතු කළ යුතුයි.“
ඒ එකතුවෙන ද්‍රව්‍යවලින් කැමති ප්‍රමාණයක් පාසලේ ගොඩනඟන අරමුදල තර කරන්න ලබා දෙන්න කියන ඉල්ලීම අපි කළා. පාසල් විදුහල්පතිවරයෙක් විදිහට මට කිසිම මූල්‍ය ගනුදෙනුවකට මැදිහත් වෙන්න නෛතික අවසරයක් නෑ. මේ තත්ත්ව ඇතුළෙ විල්පොත බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයට සුබ පතන්නන්ගේ සංසදයක් නිර්මාණ වුණා. මා බාහිරින් සිට ඔවුන්ට උපදෙස් හා මඟපෙන්වීම් කළා. විදුහලේ ආදි ශිෂ්‍යයන් මවුපියන් මෙන්ම පෞද්ගලික අභිලාෂයන් නැතිව සද් භාවයෙන් ව්‍යාපෘතියට එකතුවෙන ඕනෑම කෙනකුට එම සංසදය විවෘත කළා.“
මේ ව්‍යාපෘතිය අහලා මුළු ගමේම අය ඊට එකතු වුණා. ගමේ ගෙවල්වල මෙච්චර කල් ගොඩගැහිලා තිබුණ අබලි ද්‍රව්‍ය වීදුරු, සැමන් ටින්, බෝතල්, බෙලෙක්, ප්ලාස්ටික්, යකඩ, පොල් ලෙලි පොල් කටු ඉවත් වුණා. “
“ඊට පස්සේ මවුපියන් කණ්ඩායම්වලට බෙදිලා සෑම ඉරිදා දවසකම උදේ වරුව වෙන් කරගෙන කලින් දැනුම් දීපු ප්‍රදේශයකට මවුපියකුගේ ට්‍රැක්ටරයක්, බට්ටා වාහනයක්, ලොරියක් අරන් ගියා.
“ඉන් පස්සෙ අපේ සංසදයෙ පිරිස සහ ගමේ අනෙක් පිරිස් එකතු වෙලා නිවාඩු දවස්වල මේ අබලි ද්‍රව්‍ය තෝරලා වර්ග කළා. ඊට පස්සේ ඔවුන් විසින්ම මේ ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ගැනුම්කරුවන් සොයාගෙන ඇවිත් විකිණුවා. මේ අබලි ද්‍රව්‍ය විකිණුවට පස්සේ ලක්ෂ දෙක හමාරක මුදලක් අපට ලැබුණා.“
මේ වකවානුවේ දී ලක්ෂ දෙක හමාරක් යනු පා පැදි දෙකක් සඳහා වැය කරන මුදලය. ගමේම අබලි ද්‍රව්‍ය විකුණා හමාරය. මේ ව්‍යාපෘතිය ඔස්සේ තවත් අරමුදල් තර කළ නොහැකිය. එහෙත් ගමේ සම්පත් තිබේ. මොටර් රථ කාර්මිකයෝ වෙති. වාත්තු ශිල්පීහු වෙති. පින්තාරු කරුවෝ සිටිති. ඔවුන්ගේ දැනුම හා ශිල්ප ඥානය යොදාගෙන අබලන් ත්‍රී රෝද රථයක් ගෙනැවිත් අලුත්වැඩියා කරගැනීමේ යෝජනාව සුබ පතන්නන්ගේ සංසදයෙන් යෝජනා වුණේය.
“ අපි කට්ටියම අබලන් වාහන හොයන්න ගත්තා. ක්‍රියා විරහිත තත්ත්වයෙ තිබුණු ත්‍රී රෝද රථයක් තිබුණා ඇඹිලිපිටියෙ. හිමිකරු එක්ක කතා කරලා ලක්ෂ දෙක හමාරකට එකෙ මිල තීන්දු කර ගත්තා. “
“ඊට පසසේ අපි කණ්ඩායමක් ලොරියක් අරන් ඇඹිලිපිටි ගිහින් වාහනය පටවගෙන ආවා. ඊට පස්සෙ අපේ ගමේ ඉන්න තාක්ෂණික දැනුම තියන ශිල්පීන්, මවුපියන්, සංසදයෙ හිතවතුන් එකතුවෙලා මේ ගර්හිත වාහනය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළා. අලුත්ම රථයක තත්ත්වයට එය ගෙනාවා. “
“අද ඉස්කෝලෙට වාහනයක් තියනවා. පහුගිය සතියෙ සිංහල සාහිත්‍ය දිනයේ තරගවල සහතික දිනාගත්තු දරුවො හය දෙනෙක් ඒ උත්සවයට ගියේ මේ රථයෙන්. මම කියන්නෙ අප හැමෝටම අභියෝග ජය ගන්න පුළුවන් අනන්‍ය අවකාශයක් තියෙනවා. එය තෝරා ගැනීමයි වැදගත් වෙන්නේ. යහපත් පිබිදීමක් දැක්කට පස්සේ හැමෝම එතෙන්ට උදව් කරන සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂතුමන්ගේ සිට කලාප, කොට්ඨාස, කාර්යාලවල නිලධාරීන් සියලුම දෙනා මේ ව්‍යාපෘතියට ආශිර්වාද කළා.
විදුහල්පතිවරයාගේ කතාව අසා සිටියෙමි. ඔහුගේ උද්දාමය තුළ රටට ආදරය කරන අභිමානවත් පුරවැසියකුගේ ආත්මය සැඟවී ඇතැයි විශ්වාස කරමි.
වාහනයේ සටහන් වී ඇත්තේ පාසලේ ආදර්ශ පාඨය ය. “දිරිය දිනුමේ මඟය“... එය රටේ ආදර්ශ පාඨය ලෙස තෝරා ගත හැකි තරම් බරසාර එක්ක බව සිතේ.
පුත්තලම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික විෂය භාර අධ්‍යක්ෂ සහ මදුරන්කුලිය කොට්ඨාසයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුජීවිකා චන්ද්‍රසේකරය. ඇය අපට කියන්නේ පුත්තලම අධ්‍යාපනය කලාපය තුළ කිසිවෙකුට අනාවරණය නොවී අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවන අපූරු වැඩසටහන් පෙළකි.
“ විල්පොත බණ්ඩාරනායක විද්‍යාලයේ වාහන ව්‍යාපෘතිය කියන්නෙ පුත්තලම අධ්‍යාපන කලාපයෙන් එළිදැක්වුණ එක් ව්‍යාපෘතියක් විතරයි. මේ වගේ ව්‍යාපෘති ගණනාවක් පුත්තලම අධ්‍යාපන කලාපය ඇතුළෙ විවිධ පාසල්වල සිද්ධ වුණා.“
“ මේ චින්තන වෙනස ඇති වුණේ මීට අවුරුදු පහකට කලින් වර්ල්ඩ් විෂන් ආයතනය පුත්තලම අධ්‍යාපන කලාපයේ කොට්ඨාස තුනක් ඇතුළෙ දියත් කළ වැඩසටහන් පෙළක් නිසා. ඒ ව්‍යාපෘතිවල දී සිද්ධ වුණේ පාසලක භෞතික සම්පත් දියුණු කරගන්න ගොඩනඟන වැඩසටහන්වලට මවුපියන් එකතු කරගන්නා මුදලක් තිබුණ නම් ඊට සමාන අරමුදලක් වර්ල්ඩ් විෂන් ආයතනය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එම ව්‍යාපෘතියට ලබා දීම.
“මේ වැඩසටහන් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වුණා. කොච්චර මුල් බැසගත්තද කියනවා නම් වර්ල්ඩ් විෂන් එක අරමුදල් සැපයීම නැවැතුනාට පස්සෙත් විදුහල්පතිවරු පාසල් සංවර්ධන සමිති එක්ක එකතු වෙලා ඒ ව්‍යාපෘති දිගටම පවත්වාගෙන ගියා. “
“ අපේ කොට්ඨාසෙ තවත් පාසලක් වන කට්ටකඩුව සිංහල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතූමා ගුරුදෙගුරුන් සිසුන් මුල්වෙලා පොල් ලෙලි විකුණලා අවුරුදු ගණනක් උපයා ගත්තු අරමුදලින් පාසලට යාබද ඉඩම් කෑල්ල පාසලට සල්ලි දීලා අරන් ක්‍රීඩා පිට්ටනියක් හදා ගත්තා.“
“මේ වාහන ව්‍යාපෘතියට කලින් ඔවුන් තවත් එවැනි ව්‍යාපෘති කීපයක් දියත් කළා. එකක් තමයි එළිමහන් පන්ති කාමරය. ගසක් මැදි කරගෙනයි ඒ එළිමන් පන්ති කාමරය නිර්මාණය වුණේ. ඒක රවුම් පන්ති කාමරයක්. එය නිර්මාණය වන්නෙත් ගුරු දෙගුරුන් සිසුදරුවන් පාසලට ළැදි සියල්ලන්ගේ මැදිහත්වීමෙන්. විදුහල්පති තුමත් ගමේ කෙනෙක්. ගමත් ඉස්කෝලයත් අතර තියෙන්නෙ ඉතාම සමීප බැඳීමක්. කොවිඩ් කාලෙදි මේ පාසල ඖෂධීය පාන වර්ග ලබා දෙන සුව අසපුවක් වුණා. ගංවතුර වෙලාවෙ දී ගමට කෑම බෙදන තැන වුණේ මේ පාසල.“
“මෙවැනි ව්‍යාපෘතියක් කියන්නෙ අපට තියන විභවය සහ අප ඉදිරියේ තියන අභියෝගය එකිනෙකට ගළපා ගැනීමේ නිර්මාණාත්මක ක්‍රියාවලියක්. අධ්‍යාපන පරිපාලකයන් විදිහට ඒ වැඩසටහන්වලට ධෛර්ය දෙන ගමන් නිසි මඟ මෙහෙයවීම තමයි අපි කරන්නේ. මේ ව්‍යාපෘතියෙන් ඇතිවුණු කතාබහ අපේ සමස්ථ වැඩසටහන් පෙළම සමාජයට අනාවරණය වීම සතුටක්.
අප හැමදාම විශ්වාස කරන යථාර්ථයක් තිබේ. පරිවර්තනීය වෙනසක් සඳහා අවශ්‍ය සිතිවිලි මාත්‍රයක වෙනස පමණි. මේ පුංචි පුංචි එළි තිත් අඳුරු සමාජය එළිය කරමින් තැනින් තැන දැල්වෙමින් කියන්නේ ඒ කතාවය. ඒ කතාවට සවන් දෙන්න සූදානම් නම් මේ දුර්ග සමය අපව මේ තරම් නොපෙළනු ඇත.
ජායාරූප - චාන්දනී දිසානායක