ලොවම හඬවා බ්‍රිතාන්‍ය මහ රැජි­න සමු­ගත්තේ මෙහෙ­මයි | සිළුමිණ

ලොවම හඬවා බ්‍රිතාන්‍ය මහ රැජි­න සමු­ගත්තේ මෙහෙ­මයි

මා   එංගලන්තයේ ජීවත් වූ පසුගිය වසර 48 තුළ අපේ නායිකාව වූ එලිසබෙත් මහ රැජින අද ජාතියෙන් සමුගනී. දේශීය විදේශීය පුරවැසියන්, උස් පහත් බාල මහලු ආගම් ජාති බේද නැතුව දවස් දෙක තුනක් පෝලිමේ සිට පැමිණෙයි. ශ්‍රී ලාංකිකයකු වශයෙන් එතුමියට අවසන් ගෞරවය දැක්වීම මගෙත් යුතුකමකි. චොක්ලට්, චොකලට් බිස්කට් හා බත් පැකට් අඩංගු බර බෑග් පිටේ එල්ලාගෙන බිරිය රුවිනි, දේශාන්, දිනුම් පුතුන් හා ෂයිනි දියණිය සමඟ මම මේ නඟින්නේ ලන්ඩන් නුවර බලා යන ශීඝ්‍රගාමී දුම්රියටය.

දැන් සැප්තැම්බර් 19 වනදා උදෑසන 10:45 ය. මහ රැජිනට අවසන් බුහුමන් දැක්වීමට ලන්ඩන් පැමිණ සිටින දස දහස් ගණනක බ්‍රිතාන්‍ය ජනතාව අතරට අපිත් කෙසේ හෝ එක් වී ඇත. මම වටපිට බලමි. හැමතැනම පෙනෙන්නේ කඳුළු පිරි මුහුණුය. සමහර සුදු ජාතික කාන්තාවන් දරුවන් වඩාගෙන හඬති. හැමෝගෙම ඇස් යොමු වී ඇත්තේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල දෙසටය.

රක්ත වර්ණ නිල ඇඳුමින් සැරසුණු Grenadier Guards රෙජිමේන්තුවේ සොල්දාදුවෝ රිද්මයට පා තබමින් එලිසබෙත් රැජිනගේ දේහය ඉතා පරිස්සමින් පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් එළියට ගෙන එති. පඩිපෙළ බැස ගත් ඔවුහු ඇයගේ දේහය අවුරුදු දෙසීයක් පැරණි අවි කරත්තයේ (Gun Carriage) ප්‍රවේශමෙන් තැන්පත් කරති. මෙම කරත්තයට ඇත්තේද ප්‍රෞඪ ඉතිහාසයකි. වික්ටෝරියා මහ රැජිනගේ, හයවැනි එඩ්වඩ්, පස්වැනි ජෝර්ජ් හා එලිසබෙත් රැජිනගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජතුමාගේ දේහය අඩංගු පෙට්ටිය පෙරහරේ ගෙන ගියේ මේ ඉපැරණි කරත්තයෙනි. ශෝකී බියුගල් නාදය මැද්දේ කළු නිල ඇඳුමින් හා සුදු තොප්පිවලින් සැරසුණු නාවික භටයන් 142දෙනකු රාත්තල් 5600ක් බර අවි කරත්තය හෙමිහිට අදිමින් ආචාර පෙළපාළියෙන් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය කරා ගමන් අරඹන්නේ දසදහසක් නරඹන්නන්ගේ නෙත් කඳුළින් තෙත් කරවමිනි.

එලිසබෙත් මහරැජිනගේ රන් ඔටුන්න පෙට්ටිය උඩ දිලිසෙමින් ගමන් කරයි. මහ රැජින වසර හැත්තෑවක් තිස්සේ හිසේ පැලඳූ ඔටුන්න ලෝකයේ ඉතාම වටිනා රාජකීය ඔටුන්නයි. එහි මිල තක්සේරු කිරීමට බැරිය.1937 දී නිපදවන ලද මේ ඔටුන්නේ දියමන්ති 2838 ක් ද, නිල් මැණික් (Sapphire) 16 ක් ද, මරකත මැණික් හෙවත් පච්ච ගල් (Emerald) 11ක්ද, පද්මරාග රතුකැට (Ruby) 4ක් හා මුතුකැට Ruby 269ක් ද ඇත. ඔටුන්න කොතරම් දිලිසෙනවා ද කියනවා නම් තත්පර ගණනාවකට වඩා කිසිවකුට ඒ දෙස බලා සිටිය නොහැකිය. එතුමියගේ පිය රජතුමා 1934 දී කිරුළ පලඳින විට එතුමියගේ මව වූ එලිසබෙත් රැජින පැලඳ සිටියේ මේ ඔටුන්නය.

මහ රැජිනත් එයට පෙර සිටි රජවරුත් පාර්ලිමේන්තු රාජාසන කතාව පැවැත්වූයේ පවුම් බිලියන තුනක් වටිනා මෙම ඔටුන්න දරමින්ය. ඔටුන්න වටා ඇත්තේ රජ මාලිගාවේ උද්‍යානයෙන් ගලවා ගන්නා ලද රැජිනගෙ ප්‍රියතම මල් වර්ගයන්ය.

පසුගිය සති දෙක තුළ බ්‍රිතාන්‍යයේ සිදු වූ ඓතිහාසික වෙනස් වීම තවමත් බොහෝ දෙනකුට සිහිනයක් මෙනි. මහ රැජින ඉතාමත් වයස්ගතව සිටි නිසා බ්‍රිතාන්‍ය ජනතාව ඇය තව වැඩි කලක් ජීවත් නොවන බව දැන සිටියහ. නමුත් ඇය ගේ මරණය මෙතරම් ඉක්මනට සිදුවේ යැයි කිසිවකු සිතුවේ නැත.

සැප්තැම්බර් 5 වනදා අගමැති බොරිස් ජොන්සන් තම ඉල්ලා අස්වීම බාර දුන් පසු 47 හැවිරිදි එලිසබෙත් ට්‍රස් බ්‍රිතාන්‍යයේ 56 වැනි අගමැති හා තුන්වැනි අගමැතිනිය වශයෙන් මහ රැජින ඉදිරියේ දිවුරුම් දුන්නාය. එය මහ රැජිනගේ අවු 70ක රජ කාලය තුළ සිදු කෙරෙන අවසාන නිල කටයුත්ත යැයි කිසිවකු සිතුවේ නැත.

සැප්තැම්බර් 7 වැනිදා වන විට රැජිනගේ අසනීප තත්ත්වය වැඩි වී ඇති බව ආරංචි වී එතුමියගේ වැඩිමල් දියණිය ඈන් කුමරිය වහාම ලන්ඩන් සිට ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගාව කරා ගියාය. 8 වැනිදා උදෑසන චාල්ස් කුමාරයා ද එංගලන්තයේ සිට ගුවනින් බැරමොරල් මාලිගාවට පැමිණියේය. මහ රැජිනගේ තත්ත්වය එතරම් සතුටුදායක නොවන බව බකිංහැම් මාලිගාව විසින් අගමැතිනිය හා විපක්ෂ නායක වරයා වෙත තුණ්ඩුවකින් දැනුම් දුන්නේ එදින දහවල් 12 පාර්ලිමේන්තුව තුළ විවාදයක් පැවැත්වෙද්දීය. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින චාල්ස් කුමාරයා හා ඇනා කුමරිය බලා සිටියදී එදින සවස හතරයි තිහට පමණ සදහටම තම දෙනෙත් පියා ගත්තාය.

සැප්තැම්බර් 13 වැනිදා හවස මහා රාජ්‍ය ගෞරව ඇතුව ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවරට ගුවනින් ගෙනෙන ලද මහ රැජිනගේ දේහය ගුවන් තොටුපොළෙහි දී අගමැතිනි එලිසබෙත් ට්‍රස් විසින් මහත් හරසරින් පිළිගෙන බකිංහැම් මාලිගාව කරා ගෙන යන ලදී.

14 වැනිදා හවස දෙකට බකිංහැම් මාලිගාවේ සිට රිය පෙරහරකින් ගෙන ආ මහ රැජිනගේ දේහය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරන ලදී. දෙවැනි එලිසබෙත් රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ප්‍රථම පුරවැසියා වූයේ ලාංකික සම්භවයක් ඇති 56 හැවිරිදි වැනිසා නන්තකුමාරන් මහත්මියයි. හැතැප්ම ගාණක් දිග පෝලිමේ සිට පැමිණ රැජිනගේ දේහයට තම අවසන් ගෞරවය පුද කොට වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටතට පැමිණි විගස ලෝක ජනමාධ්‍ය ඇයව වටකර ගත්හ.

“මම ගිය බදාදා පාර්ලිමේන්තුව ගාව පයින් යනකොට එතන හිටපු පොලිස් භටයෙක් කාටදෝ කියනවා ඇහුණා තව දවස් තුනකින් රැජිනගේ දේහය බලන්න යන පෝලිම මෙතැනින් තමයි පටන් ගන්නෙ කියලා. එතකොට රැජිනගේ පෙට්ටිය තිබුණේ ස්කොට්ලන්තයේ. මේ අනගි අවස්ථාව පැහැර හරින්නට බැහැ කියලා හිතලා මම එතැනම නැවතුණා. රැජින බ්‍රිතාන්‍යයට විතරක් නොවේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල්වලටත් අති විශාල සේවයක් කළ උත්තමාවියක්. බ්‍රිතාන්‍ය අපට හුඟක් උදවු කළා. ශ්‍රී ලංකාව නිදහස ඉල්ලූ විට නිදහස දුන්නනේ. ඉතින් එයට කළගුණ සැලකීමක් වශයෙන් මම මහ රැජිනට මෙහෙම අවසන් ගෞරව දක්වන්න ආවා.”

“මට ජීවත්ව සිටිද්දී රැජින බලාගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. රැජින මිය ගියාට පස්සේවත් එතුමිය දකින්න ඕන නිසයි මම දවස් 3ක්ම පෝලිමේ ඉඳලා මෙතැනට ආවේ” කියා හැතැම්ම පන්සියයක් ඈත ස්කොට්ලන්තයේ Dundee නුවර සිට පැමිණ සිටි 57 හැවිරිදි Susan Dedge මහත්මිය කඳුළු පිරි දෙනෙතින් BBC යට කීවාය.” ඇය කීවේ ඇත්ත ය. බ්‍රිතාන්‍යයේ ජනගහනය මිලියන් 67 කි. එයින් බොහෝ දෙනකු රූපවාහිනියෙන් මිසක සැබැවින් එතුමිය දැක ගැනීමට වාසනාව ලද්දේ නැත.

එහෙත් මහ රැජින සියැසින් දැක බලා ගැනීමට හා එතුමිය සමඟ වචන කිහිපයක් කතා කිරීමේ දුර්ලභ වාසනාව මටත් වරක් උදා විය. 1991 වසරේ මා පශ්චාද් ඉංජිනේරු උපාධිය හදාරමින් සිටි ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ නව තෙමහල් ඉංජිනේරු ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණියාය. එතුමිය විශ්වවිද්‍යාල සිසුන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලද මහරැජින දැක බලා ගැනීම සඳහා සිසුන් මවුපියන් හා නගරවාසීන් පන්දහසකින් පමණ සරසවි භූමිය පිරී ගොස් තිබුණි. විශ්වවිද්‍යාලයේ උපාධි ලබා බ්‍රිතාන්‍යයේ හතර කොනේ සේවය කරමින් සිටි ඉංජිනේරුවරුන් විසින් එවන ලද නා නා ප්‍රකාරයේ මල් පන්සියයකින් සාදන ලද ඉතා අලංකාර මල් කළඹක් එතුමියට පිරිනැමූ විට ඇය අමන්දානන්දයට පත් වූවාය. ඉන්දියානු හා ජර්මන් සිසුන් දෙදෙනකු සමඟ සුහද කතාබහක යෙදෙමින් ඉදිරියෙන්ට පැමිණි මහ රැජින ‘Where are you from‘කියා මගෙන් ඇසූ ප්‍රශ්නයට “Her Majesty, I am from Sri Lanka ” (උත්තමාවියනි, මම ශ්‍රී ලංකාවෙන් කියා කීවෙමි.)

“ආ ශ්‍රී ලංකාව බොහොම ලස්සන රටක්. දෙසරයක්ම මම එහේ ගියා. මම ඔයාලගේ අලි නාවනවා දැක්කා විතරක් නෙවේ, මම බැහැ බැහැ කිය කියා සීගිරි පර්වතය මුදුනට නැග්ගා” කියමින් සිනාසුණාය.

හැමවිටම එලිසබෙත් රැජිනගේ මුහුණ ආලෝකවත් කළ සුන්දර සිනාව මා සැබැවින් දුටුවේ එදාය. එලිසබෙත් රැජින පසුගිය වසර 70 තුළ රටවල් 171 විදේශ සංචාර 238 ක යෙදුණාය. ඇය වැඩියෙන්ම සංචාරය කළ රට ප්‍රංශයයි. තම රාජ්‍ය කාලය තුළදී පමණක් ඇය නිල සංචාර 22,000 කට ආසන්න සංඛ්‍යාවකට සහභාගී වූවාය.

එලිසබෙත් මහ රැජින අවසන් වතාවටත් පාර්ලිමේන්තුවෙන් නික්ම යන ශෝකජනක අවස්ථාව මමත් බිරියත් දරුවනුත් බලා සිටින්නේ බලවත් සංවේගයෙනි. පාර්ලිමේන්තුවේ සිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයට ඇත්තේ සැතපුම් භාගයක දුරකි. රැජිනගේ දේහය අඩංගු ගිනි අවි ගැල පිටුපස මුලින්ම ගමන් කරන්නේ තුන්වැනි චාල්ස් රජතුමා හා බිරිය කැමිලා, ඈන් කුමරිය හා සැමියා අද්මිරාල් ටීම් ලෝසන් ද, ඔවුන් පසු පස ගමන් කරති. තුන්වැනි පේළියේ ගමන් කරන්නේ රැජිනගේ දෙවැනි හා තුන්වැනි පුතුන් වන ඇන්ඩෘ කුමරු හා එඩ්වඞ් කුමරු හා ඔවුන්ගේ බිරියයි.

මහරැජින මිය යෑමත් සමඟ තුන්වැනි චාල්ස් නමින් රජකම ලැබූ චාල්ස් කුමාරයා තම පුත් වූ විලියම් කුමරා වේල්ස් කුමරා වේල්සයේ (Prince of Wales) තනතුරට උසස් කළේය. නව වේල්ස් කුමාරයා විලියම් කුමරු හා කේට් කුමරිය ඉතා ශෝකයෙන් ඊළඟ පේළියේ ගමන් කරයි. ඔවුන් පසුපස ඉතා දුක් මුසු මුහුණින් ගමන් කරන්නේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි තුන්වැන්නා වූ නව නව හැවිරිදි ජෝර්ජ් කුමරු හා චාලට් කුමරිය යි.

සංගීතඥයන් 170 ක් මේ පෙරහරේ පසුපස ගමන් කරන්නේ ඉතාමත් ශෝකී සංගීතයන් වාදනය කරමිනි. පාර දෙපැත්තේ සිටින දහස් ගණන් ජනතාව ඒ ශෝකී සංගීතයට සවන් දෙමින් හඬති.

දැන් වේලාව උදෑසන 10:52 යි. අවමඟුල් පෙරහැර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයට ළඟා වෙයි. මේ වන විට ලෝකයේ නොයෙක් රටවල රජවරු ජනාධිපතිවරු හා අගමැතිවරු හා අනෙකුත් ඉහළ පෙළේ නායකයන් 537 ඇතුළු ආරාධිත අමුත්තන් 2,200ක් දේවස්ථානය තුළ වාඩි වී සිටිති. පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයෝ අමුත්තන්ගේ කොටසේ මුල් පේළිවල වාඩි වී සිටිති. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය ජනාධිපතිවරයා හා බංග්ලාදේශ අගමැතිවරයා ද ඔවුන් අතර සිටිති. ඉන් පසු පෙළේ වාඩි වී සිටින්නේ දැනට ජීවතුන් අතර සිටින හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් වන ජොන් මේජර්, ටෝනි වේලෙයාය තෙරේසා මේල ඩේවිඩ් කැමරන් හා බොරිස් ජොන්සන්ය.

වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය ලන්ඩන් නුවර පැරණිතම රාජකීය දේවස්ථානයයි. 1065 දී Edward රජතුමා විසින් ගොඩනඟන ලද මේ දේවස්ථානය තුළ බ්‍රිතාන්‍යයේ රජවරු 39 දෙනකු කිරුළු පලඳා ඇත. අද අවසන් ගමන් යන දෙවැනි එලිසබෙත් කුමරිය පිලිප් කුමරු සමඟ උත්සවාකාරයෙන් විවාහ වූයේත් 1953 දී ඇය දෙවැනි එලිසබෙත් මහ රැජින වශයෙන් අභිෂේක ලැබුවේත් විලියම් කුමරා හා කේට් කුමරිය විවාහ වූයේත් මේ ඓතිහාසික දේවස්ථානයේය.

එලිසබෙත් මහ රැජිනට පක්ෂපාතීත්වය දක්වන බවට දිවුරුම් දී වැඩ භාරගත් ප්‍රථම අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ඩඩ්ලි සේනානායකය. අප අත් හැර ගිය දවස දක්වා වූ වසර 70 තුළ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල්වල අගමැතිවරු 171ක් ඇය යටතේ සේවය කළෝය.

වික්ටෝරියා ජලාශය සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් මිලියන 113ක ආධාර ලැබුණේ එලිසබෙත් මහ රැජින නිසාය. මහ රැජිනගේ අනුමැතිය ඇතිව බ්‍රිතාන්‍ය අප රටේ නොයෙකුත් ව්‍යාපෘති සඳහා පවුම් මිලියන 1,200ක් පමණ ආධාර කොට තිබේ. බ්‍රිතාන්‍යයේ සිටින 60,000ට අධික ශ්‍රී ලාංකිකයන් මහ රැජිනගේ හදිසි අභාවය ගැන අද අතිශයින්ම ශෝක වන්නේ එතුමිය හැමවිටම ශ්‍රී ලංකාවේ මිතුරියක් වූ නිසාය.

දැන් උදෑසන 10:52 ය. රාජකීය අවි කරත්තයේ නිදමින් සිටින මහ රැජිනගේ දේහය අඩංගු පෙට්ටිය සොල්දාදුවන්ගේ කරපිටින් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයට පැමිණ අල්තාරය මත තැන්පත් කර ඇත.

දේවස්ථානයට නුදුරු පාර්ලිමේන්තු චතුරස්‍රයේ ඇති බිග්බෙන් ඔරලෝසුව 11:00 කණිසමට මහ හඬින් හඬ නඟයි. දේවස්ථානයේ අධිපති David hoyle දේව මෙහෙය පටන් ගනී. නව අගමැතිනි එලිසබෙත් ට්‍රස් බයිබලයේ කොටසක් කියයි. ඉන්පසු සියලු දෙනාම අසුන්වලින් නැගිට The lord's my shepherd,I'll not want යන ගීතිකාව ගයති. ඉන්පසු Justin Welby කැන්ටන්බරි ආච්බිෂොප් තුමා මහ රැජින වසර හැත්තෑවක් තිස්සේ බ්‍රිතාන්‍යයට කළ සේවය විස්තර කරමින් එතුමියට ස්වර්ගය පතයි.

තවත් දේවගැතිවරු කිහිප දෙනකු දේශන පවත්වමින් යාඥා කරති. අමුත්තෝ වරින්වර නැගිටිමින් ශෝකය පිරුණු ළයාන්විත ස්වරයෙන් Hymn ගීතිකා කියති. ලෝකය පුරා බිලියන දෙකක ජනතාවක් මෙම ඓතිහාසික අවමඟුල් උලෙළ නරඹමින් කඳුළු සලති. චාර්ල්ස් කුමාරයා හා ඈන් කුමරියගේ නෙත් කඳුළින් තෙත් වෙති.

දැන් වෙලාව 12:45 යි.මහ රැජින දැන් මේ ගමන් කරන්නේ එතුමිය වසර හැත්තෑවක් වාසය කළ බකිංහැම් මාලිගාව ඉදිරියෙන් ය.

විල්සන් මාලිගාවේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය ද ඓතිහාසික සිද්ධස්ථානයකි. පස්වැනි හා හයවැනි ජෝර්ජ් රජවරු, මේරි මහ රැජින, මහ රැජිනගේ මව වූ එලිසබත් රැජින, රැජිනගේ සැමියා වූ පිලිප් කුමරු ද අවසාන නින්ද නිදන්නේ මෙම දේවස්ථානයේ පහළ මහලෙහිය. තව සුළු වේලාවකින් දෙවැනි එලිසබෙත් මහ රැජින ද තම සැමියා අසල අවසන් නින්දට වැටෙනු ඇත.

 

Comments